Friday, March 22, 2013

බඩගිනි සීයා

පෙර දිනෙක මා නුවරඑළියේ සිට අගනුවරට ඒමට පිටත් වීමි. නුවරට යෑමට සිත් නොවූ බැවින් පේරාදෙණිය මංසන්ධියෙන් බැස කොළඹ බස් නැවතුම් පළෙහි බසයක් නවතන තුරු බලා සිටියෙමි. සංකීර්ණ වූ සමාජයේ තම තමාගේ පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමට අතෝරක් නැතිව වෙහෙසෙන “ දුක්පත් “ ජනයා දෙස සානුකම්පිතව බලා සිටින අතර තුර පේරාදෙණිය මංසන්ධිය දෙසට වන්නට බස් නැවතුම් පළෙහි දුටු යමෙකින් මාගේ සිතිවිලි සමුදාය මදකට නතර විය. එක් වැහැරුණු මහල්ලෙක්  බස් නැවතුම් පළෙහි සිටගෙන සිටිනා සියල්ලන් වෙත අත පා යමක් ඉල්ලා සිටින අයුරක් මා හට දර්ශනය විය. ශ්‍රී ලාංකේය ජන සමාජයේ බෞද්ධයාගේ මුදුන් මල් කඩ වන් , ශ්‍රී මහේශාඛ්‍ය ගෞතම බුදුන්ගේ දක්ෂිණ අකු ධාතුව තැන්පත් කර ඇති නුවර පින් බිමේ මේ අසරණයාට උදව් කිරීමට  බස් නැවතුම් පළෙහි සිටි සිංහල , දෙමළ , මුස්ලිම් ආදී වූ සියලු ජනයා හට වුවමනාවක් නොවූ අතර , මේ මහල්ලාද සියල්ලන් වෙත අත පාමින් ක්‍රමයෙන් මා වෙතද ලගා විය. මා අසල වූ තරුණයා ක‍ණෙහි i-pod ඇබයක් ගසා සිටියේ  මහල්ලා ඇසෙනු විනා ඇස් දෙකද අන්ධ වූවා සේ කිසිත් නොකොට ආත්මයක් , මනසක් නොවූ ගන්ධබ්බයකු සේ වැනි වැනී සිටියේය.

අනතුරුව මා ළගට වන් මහල්ලා තම දෑතම මා හට පෑවේය. මහල්ලා කෙරෙහි මහත් දුකක් මගේ චිත්ත සන්තානයේ උපන් බැවින් මා මෙසේ ඇසීමි.

 “මොකද සීයේ ? මොනවද ඕනි ?“

මහා වාලුකා කතරෙක ක්ෂෙම භූමියක් දුටු කළෙක මෙන් ක්ෂණිකව නව පණක් ලද මහල්ලා ,

“අනේ මහත්තයෝ ඊයේ දවල් ඉදල බඩට කෑමක් වැටුනෙ නෑ. පුළුවනි නම් කෑමක් ගන්න කීයක් හරි දෙන්න“ යයි කීවේය.

මගේ හදවත දැවී ගියේ ජපානයේ හිරෝෂිමා , නාගසාකි නගර පරමාණු බෝම්බයෙන් දැවී ගියාටත් වඩා ක්ෂණිකවය. අනේ අපි වැනිම තවත් මනුෂ්‍ය ප්‍රාණයක් තම ජීවිතය රැකගැනීමට තම ආත්ම ගරුත්වය පසෙක තබා තවෙකුකට අත පානා සැටි. 

“යමු සීයේ. මා ළග නම් එච්චර සල්ලි නැහැ.ඒත් යමු මම මොනව හරි කන්න අරන් දෙන්නම් “

මම සීයාත් කැටුව ලගම පිහිටි සයිවර් කඩයකට ගොඩ වැදීමි. කඩේ නානා “ මාත්තියා මොනවද කන්නේ“ කියමින් පෙරගමන් ආවත් සීයා දුටු කල මදක් පිළිකුල් ව පසුබැසීය. “ශේ ශේ උදේ පාන්දරම බිස්නස් සවුත්තු කරන්න ඇවිත්. යෙන්න යෙන්න“ කියමින් සීයා කඩෙන් එළවා දැමීමට සැරසෙද්දී , මම නානාට බාධා කරමින් “මේ මහත්තයට කැමති ඕන දෙයක් කන්න දෙන්න. “ කඩයේ තිබූ හොදම මේසය සහ පුටුවට සීයාව යොමු  කළෙමි. වේටර් කොළුවාද වඩේ ඇතුළු සියලු දෑ අඩංගු බන්දේසියක් මේසය මත තැබීය. නානා සීයගේ තසිමට සම්බෝල බෙදුවේය. ඉනූ කදුලු ඇතිව සීයා වඩයක් අතට ගෙන මා දෙස අසරණ ලීලාවෙන් බැලීය. “කන්න සීයේ. ඇතිවෙනකන් කන්න“. වඩයක් කෑමෙන් අනතුරුව මම සීයාට කීමි. “එක වඩයක් හොදටම සෑහෙනව මහත්තයෝ . පුළුවන්නම් මට තේ එකක් අරන් දෙන්න“. මම නානාට තේ එකක ඇනවුම ලබා දී රුපියල් සියයේ නෝට්ටුවක් දික් කළෙමි. එවිටම නුවර කොළඹ බස් රථයක්  බස් නැවතුම් පළෙහි නැවතීය. මම සීයා ළගට ගොස් “සීයේ තව මොනව හරි ඕනි නම් කියන්න . මගෙ බස් එක ආවා. මම යන්න ඕනෑ“ කීවෙමි. 

“තව මොනවත් එපා මහත්තයා! මහත්තයට බුදු සරණයි! මහත්තයව හැදුව දෙමව්පියන්ට පින් ලැබෙන්න ඕනා! යන එන ගමන දළදා හාමුදුරුවො රැක ගනිවි“
සීයාගේ ඒ පැතුම දෙසවනේ රැව් පිළිරැව් දෙද්දී , මගේ රත්තරන් දෙමාපියන් සිහිකරමින් , සියල්ලන්ටම සෙත් වේවායි සිතමින් බසයට ගොඩ වීමි.

No comments:

Post a Comment