නවතන්න මගේ හද සමග සෙල්ලම් කෙරුම...!(Quit Playing Games With My Heart...!)

මම අද සටහන් කරන්නට යන්නේ මම සිංහලට පරිවර්තනය කළ ඉංග්‍රීසි ගීයක්. මේක මට බ්ලොග් එකට දාන්න හිතුනෙ විශේෂ හේතුවක් නිසා. මම ගොඩක් ඉස්සර මේ ගීත පරිවර්තනය කළේ Vision ඉංග්‍රීසි අධ්‍යාපනික පුවත් පත වෙනුවෙන්. ආර්ථික ප්‍රශ්න නිසා කෙටි කාලයකින් ඒ පුවත් පත නවත්වා දමන්න එහි ප්‍රකාශකයන්ට සිදුවුණා. ඒත් මට තේරෙන විදිහට Vision කියවන්නන් අතර ගොඩක් ජනප්‍රිය වුණා. ඒකට හොඳම සාධකය තමයි එහි පළවුණු දේවල් කොපි කිරීමට ලක් වුණු තරම...ලංකාවෙ ප්‍රසිද්ධම පෞද්ගලික ඉංග්‍රීසි ගුරුවරු මම ලියපු දේවල් කොපි කරල එයාලගෙ ප්‍රකාශන වල දාගෙන තියනව දැක්කම මට ඇතිවුණේ සියුම් සතුටක්... ඒ වගෙම එයාලගෙ බංකොලොත් භාවය පිළිබඳ සියුම් කණගා‍ටුවක්...

ඉතින් මෙයට සති දෙකකට පමණ පෙර මම පාන් ගෙඩියක් ගන්න කඩේට ගිය වෙලාවෙ මම දැක්ක අලුත් ඉංග්‍රීසි අධ්‍යාපනික ප්‍රකාශනයක් ඇවිල්ල තියනවා. මම කොයි එකටත් පුරුද්දට වගේ පිටපතක් මිලදී ගත්තා. අරන් බලන කොට මෙන්න බොලේ පි‍ටුපස කවරය සරසලා වර්ණ පින්තූරත් එක්ක දාල තියෙන්නෙ මම පරිවර්තනය කළ ගීයක කොපියක්. හැබැයි මේ පාරනම් මගෙ හිතට ආවෙ තරහක්...

මම මේ පළ කරන්නෙ මම විසිඔන් එකට මුලින්ම ලියපු සහ මෑතදි කොපි කිරීමට ලක් වුණ පරිවර්තනයම නෙවෙයි. අද ටයිප් කරන ගමන්ම පොඩි සංශෝධන කිහිපයක් කළා. සංසන්දනය කර බැලීම පිණිස මේ ගීතයේ ඉංග්‍රීසි පද වැල මෙතනින් ගන්න පුලුවන්. බලන්නකො කියවලා...


නවතන්න මගේ හද සමග සෙල්ලම් කෙරුම...!


මගේ හද තුළ වුවද නිරතුරුව දකිමි මම
ඔබ තවත් මෙමාහට අවංකම නොවන බව
මගේ මුලු ආත්මය පතුලින්ම හැ‍ඟෙයි මට
සියල්ලම වෙනස් බව; පෙර පරිදි නොවන බව...

බොහෝ විට මේ ලෙසට සිත යටින් පතමි මම
හරවන්න හැකි වෙතොත් කාලයා පසුපසට
නොහැකි ලෙස පෙනෙන මුත් කරන්නට සිතෙයි එය
ඉතින් ඔබ නවතන්න
මගේ හදවත සමග සෙල්ලම් කරන එක...

ඔබ විසින් අප දෙදෙන දෙපසකට ඇද දමා
වෙන් කරන්නට පෙරම
දැන් ඉතින් නවතන්න
මගේ හදවත සමග සෙල්ලම් කරන එක...
අහිංසක මගේ හද තුළට ඔබ පිවිසෙන්න
පෙරාතුව දැන සිටිය යුතුව තිබුණේ මෙබව

ඔබ නැවත මා වෙතට යළි යළිත් පැමිණීම
නොනවතනු පිණිස මේ ලෙසට දිවි ගෙවමි මම
මා කරන සියලු දෙය කරමි ඔබ වෙනුවෙන්ම
එය ඔබට නොපෙනුණේ කුමන කරුමයකටද?

කිසිසේත් කරන්නට නොහැකි ලෙස පෙනෙන මුත්
කාලයා යළිත් පසුපසට හරවා ලීම
අහෝ මට හැකි වුණොත් කියා පතනෙමි වරෙක

ඔබ මගේ හද සමග සෙල්ලම් කරන එක
නවත්වා දමන්නට වේලාව පැමිණ ඇත…

5 comments:

  1. ඉස්කෝලෙ යන කාලේ, මම හිතන්නේ 9 -10 වසරෙ ඉන්නකොට ගොඩක් අය අතර ජනප්‍රිය සින්දුවක් වුනා මේක ;-)

    ReplyDelete
  2. ඔව් අප්පා මේක ඒ දවස්වල හැමවෙලේම කටේ තිබුණු සින්දුවක්. අපි 6 වසරෙ විතර ඉන්න කාලෙ :)

    ReplyDelete
  3. සිරා මචං.

    @
    ඒ කියන්නේ තමීරට දැන් පට්ට වයසක්නේ....

    /නිශාන්ත

    ReplyDelete
  4. ලස්සනයි..
    ඔය වගේ ට්‍රාන්ස්ලේට් කරපුවාටත්, පද රචනයේ අයිතිය ගන්න මුකුත් වැඩ පිළිවෙලක් නැද්ද? එතකොට කවුරු ඔය සිංදුව ගත්තත්, ඔයාගේ නමත් දාන්නම වෙනවනේ..

    අඩේ මචං, Word Verification අයින් කරහං...

    ReplyDelete
  5. @LG
    @තමීර
    @නිශාන්ත
    තැන්කූ ඇවිත් ගියාට. ඔයාල කියවනව කියල දැක්කම ලියන්න හයියක් එනවා...
    @පිස්සා
    එහෙම නීතියක් තිබුනත් ඒව ක්‍රියාත්මක වෙයිද...? බුද්ධිමය දේපළ මංකොල්ලයට ලෝකෙන්ම නම් දරාපු රටකනෙ මම ඉන්නෙ...
    ඔන්න මම word verification අයින් කළා... සිදුවූ අපහසුතාවයට කණගා‍ටුයි...

    ReplyDelete