මරණය රතු රෝස මලකි...!

දිවිකුසුමන් වියැකෙන දින
අප වෙනුවෙන් පෙති පිබිදෙන
මරණය රතු රෝස මලකි
සියලු සතගෙ හිස පැළ‍ඳෙන

දිවියෙන් අප ලද සෝ දුක්
එහි සුවන්දින් පිසදා ලන
මරණය රතු රෝස මලකි
අවසන් මොහොතේ පිබිදෙන



දිවි ඇති තුරු හෙලූ කඳුලු
පිණි බිඳු අතරින් හිනැහෙන
මරණය රතු රෝස මලකි
කිසි කලෙකත් පර නොමවෙන

යලි දිවියක් ගැන නොසිතන
අයට සහන සුවය ගෙනෙන
මරණය රතු රෝස මලකි
හැම දෙන එක ලෙස නොදකින

න‍ටුවේ ක‍ටු ගැනම සිතන
අයට නිතර බිය දනවන
මරණය රතු රෝස මලකි
කිසි දින නොපිපී නොතිබෙන

අයෙක් කැකුළු පෙති පුබුදන
අයෙක් නොපිපෙතැයි ‍රැවටෙන
මරණය රතු රෝස මලකි
දිවිය පුරා සුවඳ හමන

දිය ගොඩ වෙනසක් නොදකින
වසන්තයක් ගැන නොසිතන
මරණය රතු රෝස මලකි
සැමදා සැම තැනම පිපෙන

No comments:

Post a Comment