කූඩුව හැර ගිය ගිරවාට...



 කැලයෙම ඉපිද කැලයෙම ඇති දැඩිව                හැදී
පෙර කරුමයට මිනිසුන් අතරකට                      වැදී
දුක් කම් කටොල්ලෙන් මෙතුවක් දවස්                විඳී
නිදහස් වී ගියා නුඹ කූඩුවෙන්                            මිදී

කෑවත් අප සොයා දෙන රසවත්                       අහර
දෙඩුවත් අප දොඩන බස අතරින්                     පතර
කැලයේ නුඹේ නෑදෑයන් ළඟ                           විතර
සැපයක් නැතැයි සිතුනිද මිනිසුන්                     අතර



ඉඳ හිට නිවාඩුවකට මම එන                           කලට
කිසිවක් ගෙනෙන්නේ නැතිමුත් මම                 නුඹට
"මොනවද ගෙනාවේ" ඇසු හැටි යස                හැඩට
ඇසෙනව ඇසෙනවා වගෙයි තව                    කණට

කූඩුවෙ සිටියදී තනිකම                               දැනුනාද
තනිවුන සිතට පෙම් සිතුවිලි                         නැගුනාද
ජීවිතයෙහි යමක් අඩු බව                            හැඟුනාද
පෙම්වතියක සොයා යන්නට                       සිතුනාද

නුඹ අප අතැර ගිය ශෝකය ඇතත්                   සිතේ
මට බැහැ දොසක් පවසන්නට නුඹට                පුතේ
කිසිදා නොවියලෙන කඳුළක් ඇතත්              නෙතේ
නුඹවත් සැපෙන් හිටපන් වන වදුලු                 පෙතේ

කිසි අනතුරක් නුඹ යන මඟ නොම               වෙන්නයි
රෑනට එකතුවී ආයෙත්                            ඉගිලෙන්නයි
දුර වනපෙතේ නුඹ සිතු ලෙස                 හැසිරෙන්නයි
අප පවුලේ කෙනෙකු වී මතු                       උපදින්නයි

No comments:

Post a Comment