Friday, July 26, 2013

පළාත් සභා අහෝසි කළොත් ආණ්ඩුවේ ඉන්නේ නැහැ - ඇමති වාසුදේව

අනේ දෙයියො බුදු වෙන්න එහෙම විනාසයක් නම් කොරන්න එපා මයෙ දෙයියෝ. මේ කාලකන්නි රට හත් කඩකට කැඩිලා ගියත් කමක් නෑ. ඔබවහන්සේලා නම් මේ ආණ්ඩුවෙන් යන්න තියා හිතන්නවත් එපා. ඔය විදිහට රාජිත, ඩීව්, විතාරණ, රෙජිනෝල්ඩ් ආණ්ඩුවෙන් ගියොත් මේ ආණ්ඩුව කුණාවකට අපහුවෙච්චි කෙහෙල් ගහක් වගේ ඇදන් වැටෙයි මයෙ දෙයියෝ. එතකොට මේ රටට ජනතාවට යන කල මොකක්ද දෙයියනේ? මේ රට මේ විදිහට හරි දුවන්නේ ඔබ වහන්සේලා හින්දා නෙමේද?

ජනතාව 2005 ඉඳලා මේ ආණ්ඩුවට ඡන්දේ දුන්නේ ඔබතුමන්ලා ගැනම හිතලමයි. ඔබතුමන්ලා ආණ්ඩුවෙන් ගියොත් ඒ ඡන්දදායකයෝ හැමෝම වගේ නියඟලා අල කාලා මැරෙනවා සිකුරුයි මයේ දෙයියෝ. ඉතිරි එවුන් නියඟලා අල හොයන්න ඇවිදලා මහමඟ මැරෙයි රත්තරනේ.

ඔබතුමාන්ලා නැතුව කොහොමද රටක් කොරන්නේ සීවරන් දෙයියනේ. තිස් වසරක යුද්ධය නිමා කරන්න ඔබවහන්සේලා එදා කරපු සටන ලංකා ඉතිහාස පොතේ රන් අකුරින් ලියැවෙයි ආයුබෝවන්ඩ. අපිට මතකයි එදා සුදු නෙළුම් කාලතුවක්කු, යුධ ටැංකි තවලම් අර ගෙන මාවිල්ආරු පහු කරලා කිලිනොච්චියට ගිය හැටි වීර දුටුගැමුණු කුමාරයා වගේ. ඒ පිං ඔබවහන්සේලාට විතරක් නෙමේ ජාතක කොරපු පියාණන් වහන්සේලට වගේම මෙලොවට බිහිකළ මෑණියන් වහන්සේලටත් අයිති වෙන්න ඕනෑ.

ඒ නිසා ඔය වගේ අපේ හිත් පෑරෙන මූසල කතා කියන්න එපා ආයුබෝවන්ඩ. කොටියට උතුර විතරක් නෙමේ ඉල්ලනවා නම් මධ්‍යම කඳුකරයත් ලියලා දෙන්න අයුබෝවන්ඩ. නැගෙනහිර සරිස්ථානයක් කරන්න හකීම්ට භාර දෙන්න. අපි වගේ බලු ගැත්තන්ට ඔය අවුරුද්දකට පාරක් සිරිපාදේ ගොහින් එන්න පාස්පෝට් කෑල්ලක් හදාගන්න එක අමාරු නෑ ආයුබෝවන්ඩ.

ඒ නිසා අපේ ආයුෂත් අරගෙන තව චිරාත් කාලයක් පතළ මහා කරුණාවෙන් මේ රට කොරවන්න ඕනෑ. එහෙම නැත්නම් අපිව මරලා දාන්න ආයුබෝවන්ඩ. ඔබතුමා නැති ආණ්ඩුවක් එක්ක මං නම් විනාඩියක් ජීවත් වෙන්නේ නෑ ඕන්. ඇත්තමයි. සත්තයි. ඔබතුමා පල්ලයි.

6 comments:

නාමල් උඩලමත්ත said...

Kasun Pradeepa great....

නාමල් උඩලමත්ත said...

Piyasiri Kularatne “මිනිසෙකුගේ ජීවිතයේදී කලාතුරකින් ඉතිරි වූ යහපත් ප්‍රතිපත්තයක් විහිලුවට ලක්ව ඇති අපූරුව‘. මේ තමයි දැන් රටේ පවතින දේශපාලන සංවාද වල සිල්ලර ස්වාභාවය.

නාමල් උඩලමත්ත said...

Namal Udalamatta Piyasiri Kularatne, විහිළු කරන්නේ අපි නෙමේ. වාසුදේව පළාත් සභා අහෝසි කළොත් ඉල්ලා අස්වෙනවා කියන එකනේ විහිළුව. ඊට වඩා ලොකු විහිළුවක් තවත් තියෙනවාද? වාසු හොඳටම දන්නවා මේ මොහොතේ ආණ්ඩුව පළාත් සභාවල බලතල අඩු කළාට පළාත් සබා අහෝසි නොකරන බව. ඒ නිසානේ මේ ගැලරි ටෝක්ස් දාන්නේ. ඒකද අවංකකම? ඒකද ප්‍රතිපත්තිය? එදා ඉඳලා බෙදුම්වාදයට කඩේ ගිහිපු කොටි ත්‍රස්තවාදීන්ට විමුක්ති හමුදාව කියපු අවසන් සටනට විරුද්ධව පෙළපාලි ගිහිපු වාසු ඇයි නොකියන්නේ පළාත්සභා බලතලවලට අත තිබ්බොත් ගෙදර යනවා කියලා? අපිට ඉතිහාසය අමතක නැහැ. වාසුට ප්‍රතිපත්තියක් තිබ්බා නම් එයා මේ ආණ්ඩුවට එනවාද? මහින්ද චින්තනයෙන් පාර්ලිමේන්තු එනවාද? මම හිතන්නේ වාසු ජනමතයට පයින් ගහලා තමන්ගේ පුද්ගලික බෙදුම්වාදී න්‍යාය අනුව වැඩ කරන්නේ. ඒකද ප්‍රතිපත්තිය? එයා නූතන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ජනතා නියෝජිතයෙක්. එයාට ඡන්දේ දුන්නේ දේශමාමක ජනතාව මිස සුනන්ද දේශප්‍රියලා, සම්බන්ධන්ලා, රජිව් විජේසිංහලා නෙමේ. මේ රටේ දේශ මාමක ජනතාව. ඒ ජනතා මතයද ඔහු දැන් දරන්නේ. ප්‍රතිපත්ති කොහොම වෙතත් එයා හරියට නම් ඉල්ලා අස්වෙන්න ඕන පාර්ලිමේන්තුවෙන්. අඩු තරමේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා නම්.

නාමල් උඩලමත්ත said...

Piyasiri Kularatne ජීවිතයේ හැම මොහොතක්ම කලින් මොහොතට වඩා වෙනස්. එක වගේම පෙනුනත් වෙනස්.

නාමල් උඩලමත්ත said...

Namal Udalamatta Piyasiri Kularatne ඒක ඇත්ත. ඒකනේ අර සෙන් බුදු දහමේ කතාවක් තියෙන්නේ එකම ගඟ දෙවරක් දකින්න බැහැ කියලා. හැබැයි ඒක නොතේරෙන්නේ වාසුලාට. 1987 තිබුණු සමාජ දේශපාලන පසුබිම නෙමේ 2013 තියෙන්නේ. එදා දුන් විසඳුම අසාර්ථක බව කාලය විසින් ඔප්පු කර හමාරයි. ඒ විසඳුම එදා රට පිළිගත්තේ නැහැ. අද පිළිගන්නෙත් නැහැ.

ජේ.ආර්. වුණත් පිළිගත්තේ කරන්න දෙයක් නැති නිසා. අද ගලේ පැහැරූ බලලා බවට පත්ව ඇති ජේවීපී එක යුද්ධ ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා එක පළමු පළත් සභා ඡන්දය වර්ජනය කළා. දැන් ඒකට රිංගපු එවුන්ට පළාත් සභා රහ වැටිලා. ඇයි ඉතින් දිව්‍ය සැපනේ. ඔබතුමා ඔය කියන වෙනස්වීම්වලට අනුගත වෙන්න බැරි හණමිටි කරගහන් යන වාසුලාට මිස අපට නෙමේ. 1950-60 ඉගෙන ගනිපු යල් පැනපු මාක්සවාදී අදහස් වැමරීමට වැඩිය වාසුලා අද මොනවාද කරන්නේ? එයාලගේ චින්තය දශමයක්වත් වැඩිලා තියෙනවාද? මං නම් හිතන්නේ මේ මිනිස්සු ජීවත්වෙන එක නතර කරලා දැන් අවුරුදු 30-40ක් වෙනවා

නාමල් උඩලමත්ත said...

Namal Udalamatta "‘වාසුදේව ආණ්ඩුවෙන් ඉවත් වෙනවා නම් ඉවත් වෙලා යන්න කියන්නැයි අපි ජනාධිපතිතුමාට කියනවා. ඒ අය අයින් වුණාම තව තවත් ජනතාව ආණ්ඩුව වටේ රොද බැදෙනවා. රනිල්ට අවශ්‍ය රාජපක්ෂ රෙජිමය පෙරෙළන්න විතරයි. මේ ගෝරානාඩුව ගැන නිසිතා පොදු ජන මතය ගැන සිතා මාතෘ භූමිය දිනවන්න ජනාධිපතිතුමා ක‍්‍රියාකරන බව විශ්වාසයි. උතුරු නැගෙනහිර වෙනම දෙමළ ප‍්‍රදේශයක් කියන මතවාදයේ සිටින සම්බන්ධන් බලයට ආවොත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඉඩම් පොලිස් බලතල ලබාගන්නවා. සංශෝධන කළ යුත්තේ ඊට පෙරයි. මේ සංශෝධනයට එරෙහි වන්නේ වික‍්‍රමබාහු වැනි අයයි. වාසු වැනි අයයි. වාසු ඊළමට පක්ෂව එංගලන්තයේ පෙළපාලි ගියා මේ අය කවදාවත් රට වෙනුවෙන් පෙනී සිටියේ නැහැ’" පූජ්‍ය බෙංගමුවේ හිමි

 
සිය රට දේ සිරි සැප දේ !