Monday, July 8, 2013

අන්තරේ කැදවුම්කරු අත්අඩංගුවට ගැනීම පොදු ශිෂ්‍ය මර්ධනයේම දිගුවක්-SSU කියයි


පොදු දේපලක් වූ නිදහස් අධ්‍යාපනය විනාශ කරන ආණ්ඩුවේ ශිෂ්‍ය මර්දනයට එරෙහිව පෙළගැසිය යුතු බවත් ඒ සඳහා සමස්ථ රට වැසියාටම ආරාධනා කර සිටින බවත් සඳහන් කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම් කරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී. එම ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය පහත පළ වේ.

"ඇප කොන්දේසි කඩ කළ බවට ආණ්ඩුවේ පොලීසිය විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර ජූලි 15 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.
2012 අගෝස්තු මාසයේ පැවති ශිෂ්‍ය උද්ඝෝෂණයකදී පොදු දේපලවලට හානි කරන ලදැයි ආණ්ඩුවේ පොලීසිය විසින් පවරා තිබූ බොරු පැමිණිල්ලක් මත ඔහු අත්අඩංගුවට පත්වූ අතර එහිදී ඇප ලබා දුන්නේ නැවත එවැනි පොදු දේපල හානි කිරීම්වලට සම්බන්ධ නොවීමේ කොන්දේසිය මතය. පසුගිය දා ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 84ක් පංති තහනම් කිරීමට එරෙහිව පැවති උද්ඝෝෂණයේදී එම ඇප කොන්දේසි කඩ කලැයි ආණ්ඩුවේ පොලීසිය නැවත වතාවක් බොරු චෝදනාවක් ඔහුට එල්ලකර තිබේ.
ආණ්ඩුවේ පොලීසිය හැසිරෙන්නේ ආණ්ඩුවේ මර්දනකාරී නියෝග අනුව බව කිසිවෙකුට රහසක් නොවේ. මේ වනවිට රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපාධි විකිණීමටත් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමටත් ආණ්ඩුව කටයුතු කරමින් සිටී. රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධි රුපියල් ලක්‍ෂ 75 බැගින් විකුණන්නේ ආණ්ඩුවයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල උපාධි රුපියල් ලක්‍ෂ 65 බැගින් විකිණීමට අණ පනත් සකසා දෙන්නේ ආණ්ඩුවයි. ඒ අනුව පොදු ජනතාවගේ අයිතියක් වූ අධ්‍යාපනය නමැති පොදු දේපල විනාශ කරමින් සිටින්නේ ආණ්ඩුවයි. ශිෂ්‍ය ව්‍යාපාරය සටන් කරමින් සිටින්නේ ආණ්ඩුවෙන් මෙම පොදු දේපල රැකගැනීමටය. ජූලි 03 දා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොළඹදී දැවැන්ත උද්ඝෝෂණ පාගමනක් පැවැත්වූයේද එම පොදු දේපල ආරක්‍ෂා කිරීම වෙනුවෙනි.
නිදහස් අධ්‍යාපනය රැකගැනීමට සටන් කරන ශිෂ්‍ය නායකයින් හා ක‍්‍රියාකාරකයින් මර්දනය ආණ්ඩුවේ ඉලක්කයයි. පසුගිය ජූනි මාසයේ පමණක් පංති තහනමට ලක්වූ විශ්වවිද්‍යාල සිසුන් සංඛ්‍යාව 188කි. මේ වනවිට පංති තහනමට ලක්කර ඇති මුළු සිසුන් ගණන 300කට වැඩි බව එස්. බී. දිසානායක ඇමතිවරයාම පිළිගෙන ඇත. ජුනි මාසය තුලදී පමණක් පොලීසිය ලවා සිසුන් 20 දෙනෙක් අත් අඩංගුවට ගනු ලැබීය. ශිෂ්‍ය උද්ඝෝෂණවලට පහර දුන්නේය. ශිෂ්‍ය සංගම් තහනම් කළේය. බොරු චෝදනා මත පොලීසිය විසින් අවිශිබම කැඳවුම්කරු උසාවියට ඉදිරිපත් කිරීම මෙම මර්දනයේම ඉදිරි දිගුවකි.
මෙම ශිෂ්‍ය මර්දනය වහාම නතර කරන ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිමු. එසේම ජනතාවගේ පොදු දේපලක් වූ නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමේ ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ගවලට එරෙහිව පෙළගැසෙන ලෙස ජනතාවට ද ආරාධනා කර සිටිමු."

No comments:

Post a Comment