රසවත්ව, හරවත්ව, ගුණවත්ව හා වැදගත්ව සිංහල ලියමු.

Wednesday, May 29

"අකුරු මිහිර" මා අදද රස විඳිනවා

මහා ජේ.බී. දිසානායකයින් සමග සිංහල යුනිකෝඩ් කමිටුවට මා සහභාගී උනා. එ‍තුමාගේ මට දුන් "අකුරු මිහිර" මා අදද රස විඳිනවා.

ඇතා ඇලට ආවා - ඇතා ඇලට පැන්නා
ඇත් පැටියත් ආවා - ඇත් පැටියත් පැන්නා

මේ කුමාරතුංග මුනිදාස ශූරීන් ගේ රසම රසය

රෝස මලේ නටුවේ කටූ
වන බඹරෝ ඔහෝම හිටූ
නටුව නොවේ මල සිඹිමී
මම ළමයෝ පැණි උරමී

බලන්න කාලය වෙනස් උනත් තියෙන සමානකම් හා ලබාදෙන රසයේ නොඅඩුව. එමනිසා අනාගතයේ දරැවන්හට උරුම කරන්න සිංහල ව්‍යාකරණය රැකගමු, ඉගන ගමු. නව ලියුම් රටා හා ශෛලීන් භාවිතා කළත් භාෂාවේ මූලික ව්‍යුහයන් වෙනස් කිරීම නම් නුසුදුසුයි.

මට ආසයි ආයෙත් මුහුද දකින්න - සාමන්‍ය ව්‍යවහාරය
මට ආයෙත් ආසයි දකින්න මුහුද - ස්පාටකස් කථාව මතකද?
මට දකින්න ආසයි මුහුද ආයෙත් -
මට මුහුද ආයෙත් දකින්න ආසයි -
මුහුද ආයෙත් දකින්න ආසයි මට -
ආයෙත් දකින්න ආසයි මුහුද මට -
ආසයි ආයෙත් දකින්න මට මුහුද -
ආසයි ආයෙත් මුහුද දකින්න මට -

කථන, චිත්‍රකථා, කවි,  ගීත රචනා, නාට්‍ය, වන්නම් වල මෙවැනි ශෛලීන් ගොඩයි. කොහොම පද බැඳ ලීවත් උක්ත, ආඛායාත, කර්ම, ක්‍රියා, කාලාර්ථය හා අක්‍ෂර වින්‍යාසයන් වසර දහස් ගණනාවක් දියුණු වී ආ දේ. ඒවා වෙනස්වීම ක්‍රමයෙන් සිදවූවත්, සිතා මතා වෙනස් කිරීම එකඟතාවයන් අනුව වීමයි වැදගත්.

කොළඹ යුගයේදී ඩබ්. ඒ. සිල්වා සුරීන් සිංහල බස සූක්‍ෂමව හසුරුවා නව රසයක් ලබාදුන්නා. සිරියලතා කථාව උණු කැවුම් වගේ අලෙවි උනා. විජයබා කොල්ලය, සුනේත්‍රා, ලක්‍ෂමී නොහොත් නොනැසෙන රැජින (Translation of King Solaman's Mines) වැනි පොත්වල ඔහු නව වදන් රාශියක් හඳන්වා දුන්නා. හරිම රසවත්. ඔහුගේ සෑම පොතකම නව වචන සූචියක්ද අඩංගු කළා. ඔහු නව වචන හඳුන්වා දුන්නේ වාග් විද්‍යාවට අනුව ඉතා පරිස්සමින්.
චින්තාමාණික්‍යරත්නය ඔහුගේ වචනයක්. පාපමළප්‍රක්‍ෂාලනක්‍ෂණම සකස්කඩ වචනයක්. සකස්කඩ සිංහල උච්චාරණය පිණිස මිස පොත් ලියන්න නෙමේ භාවිතා කලේ. අදත් පිරිවෙන්වල පූංචි හාමුදුරැවරු සකස්කඩ වනපොත් කරණවා.

අද ඩබ්. ඒ. සිල්වා ශෛලිය භාවිතා නොකලත් ඔහුගේ ශෛලිය ඉතා රසවත්. ඒ ව්‍යාකරණය මනා ලෙස හැසිරවීම නිසයි. මහාචාර්ය සරත්චන්ද්‍ර මනමේ ලියද්දී නව වදන් අපට උරුම කළා.

නන් සිරින්, ලප නොමවන් සඳ සේ, දුලා නෙතුපුලා, වන්‍යේ ආරණ්‍යයේ, අසන් මපිය හිමි, ගියා වැද්දෝ නොම විද්දෝ
මාගේ අවසර නොමගෙන. බස ව්‍යක්තව හැසිරවීමේ හැකියාව ලැබෙන්නේ ව්‍යාකරණාදිය ප්‍රගුණ කිරීමෙන් පමණයි. අජිත් තිලකසේන
වැනි කතුවරුන් නව ක්‍රම අත්හදා බැලුවද එය ප්‍රධාන මාවතට එන්නේ නැහැ. බලන්න මේ අති විශිෂ්ඨ විකිලිපිය.

http://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B6%B1%E0%B6%B8%E0%B7%9A

බලන්න එය කොතරම් හොඳින් ව්‍යාකරණාකූලව සකසා තියෙනවාද? එය මා ලියනාකාරයට ලිවිය නොහැකියි. සංවාදාත්මක හා ශ්‍රාස්ත්‍රීය ලිපියක වෙනස එයයි. එය මනාව තේරුම්ගත් කළ අන්තර්ගතය අනුව ශෛලිය වෙනස් කරමින් ඕනෑම නිර්මාණයක් රසවත්ව කිරීමේ හැකියාව  ඔබට ලැබෙනවා. කීටකථන්දර කරුවෙකුගේ සිට මහා ගත්කරුවරයකු දක්වා යාමට යමෙකුට හැකියාව ලැබෙන්නේ බස ඇසුරෙන් සහ ලිවීමෙන්ම පමණයි. බස වනසා එය කළ නොහැකියි.

ඉතින් මිතුරනි ඉගන ගනිමුද හරිහැටි සිංහල බස. ඉංග්‍රීසියට දක්වන ගෞරවය ලබාදෙමු ද සිංහලයට හසුරැවා නිසි ලෙස. හෙලය සහ සකුව මුසුව සුදුසු නොවූවද, රසය ගෙන එනු පිණිස, මෙපද ලිවූ බව කියමින නවතිමිය අදට  මම, නැවත හෙට ලියන තුරු සැමට ඔබ ජය හා සතුට.

නිරංජන් මීගම්මන
ශිල්ප සයුර
www.shilpasayura.org

No comments:

Post a Comment