සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Sunday, January 27, 2013

Galviharaya Hiti Pilimaya


01.ගල් විහාරයේ (උත්තරාරාමය) හිටි බුද්ධ ප්‍රතිමාව
පොලොන්නරුව පූජනීය ප්‍රදේශය තුළ අලාහන පිරිවෙන් සංකීර්ණය පසුකර උතුරු දෙසට ගමන් කරන විට,වත්මන් "ගල්විහාරය" නම් ශෛලමය බුද්ධ ප්‍රතිමා පන්තිය හමුවේ.චූල වංශයේ සඳහන් පරිදි එකල "උත්තරාරාමය"ලෙස හඳුන්වා ඇති මෙය මහා පරාක්‍රමබාහු රජුගේ නිර්මාණයක් ලෙස සලකයි.මෙම ශෛලමය ප්‍රතිමා පන්තිය විහිදී ගිය ගල් පර්වතයක් උපයෝගී කරගනිමින් නිමවා ඇත.බුද්ධ ප්‍රතිමා 4ක් ප්‍රධාන වශයෙන් දැකගත හැකි වන අතර හිඳි පිළිම 2ක් ද හිටි පිළිමයක් හා සැතපෙන පිළිමයක් ඒ අතර වේ.මේ ප්‍රතිමා අතරින් වඩාත් විශේෂිත වන්නේ වැඩි දෙනාගේ මත ගැ‍ටුමට ලක්වූ හිටි පිළිමයයි.

මෙහි ඇති අනෙකුත් ප්‍රතිමා වලට වඩා මෙම හිටි පිළිමය පැරණි බව සෙනරත් පරණවිතාන මහතා පවසයි.අඩි 22යි අඟල් 9ක් උසවන මෙම හිටි පිළිමය බොහෝ පිළිම නෙළීමේ සම්ප්‍රදායට වඩා වෙනස් මගක් ගෙන ඇත.දකුණු පාදයට බර දී,වම් දණහිස මදක් ඉදිරියට තබාගෙන සිටින ආකාරයේ පහසු ඉරියවුවකින් මෙය නිමවා ඇත.මෙහි දෑත් පිහිටා ඇති මුද්‍රාව විද්වතුන්ගේ විවිධ මත ගැ‍ටුම් වලට ලක්වී හමාරය.පපුව හරහා බැඳි දෑත් වමත මත දකුණත පිහිටා ඇත.ඒකාංශව පොරවා ඇති සිවුරේ ‍රැළි සමාන්තර රේඛා 2කින් පෙන්වයි.හිටි පිළිමයේ ඉරියවුව ත්‍රිභංග ලක්ෂණවලට සමානකම් දක්වයි.
මෙම පිළිමයෙන් ආනන්ද තෙරුන් හෝ බුදුන් වහන්සේ හෝ පිළිඹිබු වන්නේදැයි කලක් තිස්සේ තිබූ ගැටළුවකි.බොහෝ දෙනා පැවසුවේ මින් පිළිඹිබු වන්නේ,බුදුන් වහන්සේගේ පිරිනිවන් මංචකය අසළ ශෝකාකූලව සිටින ආනන්ද තෙරුන් බවය.එහෙත් සොයාගත් බොහෝ සාක්ෂි අනූව මෙමඟින් බුදුන් වහන්සේ මූර්තිමත්වන බව පිළිගෙන ඇත.උෂ්ණීෂය අක්බඹරු විලාශයෙන් යුත් හිස කෙස්, බුද්ධ ප්‍රතිමාවලට සීමාවූ ලක්ෂණයි.මෙම පිළිමයේද එම ලක්ෂණ ඇත.තවද කිසි විටෙකත් බුදුන් වහන්සේ හැර වෙනත් ප්‍රතිමාවක් පද්ම පීඨයක් මත ගොඩ නැඟීම සිදු නොකිරීම ද විශේෂ ලක්ෂණයකි.ඒ අනූව ගල් විහාරයේ ඇති මෙම ප්‍රතිමාව ගොඩනගා ඇත්තේ පද්ම පීඨයක් මතය.මෙම හිටි පිළිමය ආනන්ද හිමිගේ නම් එය සැත්පෙන පිළිමයත් සමඟම එකට තිබිය යුතුය.මෙම ශෛලමය ප්‍රතිමා පන්තියේ සෑම ප්‍රතිමාවකම ආවරණ තනා ඇති බවට සලකුණු වර්තමාණයේ ද පර්වතය මුදුනේ ඇති කුඩුම්බි සාක්ෂි දරයි.ඉහත කරුණු අනූව මෙම පිළිමයෙන් බුදුන් වහන්සේ මූර්තිමත් විය යුතුය.
මෙම හිටි බුද්ධ ප්‍රතිමාව දුර්ලභ වූවක් ලෙස සැලකෙනුයේ මෙහි දෑත් වලින් පෙන්වන මුද්‍රා හේතු කොටගෙනය.ඒ නිසාම මෙම ප්‍රතිමාව බොහෝ දෙනාගේ මත ගැ‍ටුමට හේතුවිනි.සෙනරත් පරණවිතාන මහතා පවසන පරිදි මෙය "පරදුක්ඛ:දුක්ඛිත මුද්‍රාව" වේ.අන් අයගේ දුකේදී දුක්වීම මින් අදහස් කරයි.අනුකම්පාව හා කරුණා සමාපත්ති ගුණය විදහාපාන "ත්‍රෛලෝක විජය මුද්‍රාව"මෙය බව තවත් වියතුන් පවසා තිබේ.
නුවර යුගයේ සිතුවම් ඇති යාපහුව,රිදී විහාරය,දඹුල්ල යන ස්ථානවල අනිමිස ලෝචන පූජාව චිත්‍රනයේදී මෙම මුද්‍රාව යොදාගෙන ඇත.මෙසේ අත් පිහිටා තිබීම නිර්භීත භාවයේ සංකේතයක්ද විය හැකිය.පරණවිතාන මහතා පවසන පරිදි මෙය පරදුක්ඛ:දුක්ඛිත මුද්‍රාව ලෙස ගතහොත් පහත තර්කයන්ට පිළිතුරු ලැබිය යුතුය.ඔහු පවසන්නේ මෙමඟින් අන් අයගේ දුකේදී දුක්වන බව මින් නිරූපිත බවයි.නමුත් අටලෝ දහමින් කම්පානොවීම බුදුවරුන්ගේ ලක්ෂණයකි.තමන්ට ලැබෙන සියළු දුක් සැප සමව සිතින් ඉවසීම බුදුවරුන්ගේ ශ්‍රේෂ්ඨ ගුණාංගයකි.කරුණු එසේනම් බුදුන් වහන්සේ අනුන්ගේ දුකේදී කරුණාව දැක්වූවා මිස දුකට පත් නොවිය යුතුය.ඒ අනූව මෙය පරදුක්ඛ:දුක්ඛිත මුද්‍රාව ලෙසට සැලකිය නොහැකි බව විද්වතුන්ගේ මතයයි.
කෙසේ වෙතත් මෙම මුද්‍රාව මඟින් අනුකම්පාව, කරුණාව,නිර්භීතභාවය වැනි ගුණාංග මතුකර දැක්වීමට කලාකරුවා උත්සාහයක් දැක්වූවා විය හැක.කාම්බෝජයේ ද මෙම පිළිමය ස්වරූපයේ බුද්ධ ප්‍රතිමා තිබී ඇත. සියමේ(තායිලන්තයේ) ද මෙම ස්වරූපයේ පිළිම නෙලීමේ සම්ප්‍රදායක් තිබී ඇත.
හෙළ උරුමයේ ප්‍රෞඩත්වය විදහා පෑමට එදා කලාකරුවා දැක්වූ ප්‍රතිභාව මෙම විශිෂ්ඨ නිර්මාණයෙන් මොනවට පැහැදිලි වේ.

4 comments:

  1. //පරණවිතාන මහතා පවසන පරිදි මෙය පරදුක්ඛ:දුක්ඛිත මුද්‍රාව ලෙස ගතහොත් පහත තර්කයන්ට පිළිතුරු ලැබිය යුතුය.ඔහු පවසන්නේ මෙමඟින් අන් අයගේ දුකේදී දුක්වන බව මින් නිරූපිත බවයි.නමුත් අටලෝ දහමින් කම්පානොවීම බුදුවරුන්ගේ ලක්ෂණයකි.//

    ඔව් අටලෝ දහමින් කම්පා නොවීම බුදු, පසේ බුදු, මහ රහත් කියන තුන්තරා බෝධියටම පොදු ලක්ෂණයක්. පරණවිතාන මහත්තයා කියන විදිහට පිළිමෙන් නිරූපණය වෙන මුද්‍රාව ඒක නම්, මේ හිටි පිලිමය නිසැකවම ආනන්ද හිමිගෙ වෙන්න ඕන. මොකද බුදුන්ගෙ පිරිනිවන් මංචකය වෙනක්ම්ම ආනන්ද හිමි පෘතක්ජන භික්ෂුවක් නිසා....
    සැතපෙන පිළිමය ගැනත් ඔය වගේම බහු මතයක් තියෙනවා නේද???

    ReplyDelete
  2. ඔව්.......පිරිණිවන් මංචකය වගේම සැතපෙන අවස්ථාවක් කියලත් කියනවා.හිටි පිලිමය ආනන්ද හිමියන්ගෙ කියල හිතන විචාරකයෝ කියන්නේ ඒක පිරිණිවන් මංචකය කියල.ඒ වගේම ඒ පිළිමයේ සිරිපතුල සමානව නැති නිසාත්,කොට්ටෙ බරට පහලට එබිල තියෙන නිසාත් මේ තර්කය බොහෝ දුරට පිලිගැනෙනවා.
    හැබැයි සැතපෙන අවස්ථාවක් කියල කියන විචාරකයෝ කියන්නේ හිටි පිලිමයත් බුදුන් වහන්සේගේ කියල තමයි.හේතුව හිටි පිලිමය පද්මයක් මත වැඩසිටින නිසාත් බුදුන් වහන්සේගේ ඇතැම් අංග ලක්ෂණ (අක්බමරු වන් හිසකේ,ලම්භකර්ණ,අඩවන් දෙනෙත්) නිරූපනය වෙන නිසාත්.

    ReplyDelete
  3. ඒ ලගමුව මහතා ගේ ශ්‍රී ලංකා වේ බෙෘද්ධ ප්‍රතිමා ලක්ෂණ කෘතියේ හා බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ බුදු පිළිමය මුද්‍රා සහ ආසන යන කෘති වල මෙවැනි මුද්‍රාවක් පිළිබද සදහන්නොවේ.

    ReplyDelete
  4. ඒ ලගමුව මහතා ගේ ශ්‍රී ලංකා වේ බෙෘද්ධ ප්‍රතිමා ලක්ෂණ කෘතියේ හා බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ බුදු පිළිමය මුද්‍රා සහ ආසන යන කෘති වල මෙවැනි මුද්‍රාවක් පිළිබද සදහන්නොවේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...