සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Sunday, April 28, 2013

Madonna of the Carnation (මරියතුමිය හා කානේෂන් මල)


Madonna with Carnation-(1478-1480)
ලියනාඩෝ ඩා වින්සි ෆ්ලෝරන්ස් නගරයේ ජීවත් වූ මුල් අවධියේ එනම් ක්‍රි.ව.1482 ට ඉහත තම ගුරුවරයා වූ වෙරෝකියෝගේ බලපෑම් වලින් තොරව තරුණ ඩාවින්සි විසින් නිර්මාණය කරන ලද උසස් චිත්‍රයක් ලෙස මරියතුමිය හා කානේෂන් මල චිත්‍රය හදුන්වාදිය හැක.

ජේසු බිලිඳා සහ මරියතුමිය ඇතුලත් මෙම චිත්‍රය"කානේෂන් මලේ මරියතුමිය"ලෙසත් ඇතැම් විචාරකයන් "පුෂ්පයන්ගේ මරියතුමිය"ලෙසත් හඳුන්වා ඇත.
මෙම චිත්‍රයේ අන්තර්ගතයේ බොහෝ අංගයන් මනා සංයමයකින් යුක්තව අධි විස්තරාත්මකව විදහා පා ඇත.ආරුක්කු සහිත ගොඩනැගිල්ලක කොටසකුත් එම ආරුක්කු තුළින් පෙනෙන විශාල වූ කඳුකර දර්ශනයකුත් පසුබිමට ගලපාගෙන ඇති  අතර චිත්‍රය ත්‍රිකෝණයකට අන්තර්ගත වන ආකාරයට සම්පිණ්ඩනය කර තිබේ.
Madonna with Carnation
මරියතුමිය වම් අතින් කානේෂන් මලක් අල්ලාගෙන සිටී.පසෙක ජේසුබිළිඳාණන් දක්වා ඇත.මරියතුමියගේ වම් පසින් වූ ක්‍රිස්ටල් බඳුනේ මල් සමූහයක් ද දක්වා ඇත.
ඇතැම් විට මෙම මල් වලින් මරියතුමියගේ හා ජේසු බිළිඳාගේ දිව්‍යමය පවිත්‍රතාවය හෝ නැවුම් බව සංකේතවත් කරන්නට ඇතැයි විචාරකයන් පවසයි.එසේ හෙයින් ඔවුන් මෙම චිත්‍රය හැඳින්වීමට "කානේෂන් මලේ මරිය තුමිය"වශයෙන් භාවිතා කරන්නට ඇතැයි සැලකිය හැකිය.කරුණු එසේ උවද මුළු චිත්‍රයේම සංරචනය ගත්කල කානේෂන් මලට හෝ ක්‍රිස්ටල් බඳුනේ මල් වලට ප්‍රධාන තැනක් හිමිව ඇතැයි සිතිය නොහැකිය.එසේ උවද ලියනාඩෝ ඩාවින්සිගේ අනන්‍යතාවය හඳුනාගැනිමට මේ අකාරයෙන් භාවිතා කරන්නට ඇතැයි සැලකියහැක.
ඊට හේතුව වන්නේ ෆ්ලෝරන්ටයින් ආදී සෙසු ශිල්පීන් මේ ආකාරයේ චිත්‍ර විශාල සංඛ්‍යාවක් ඒ වනවිටත් සිතුවම් කර තිබීම වියහැක.
මෙම සිතුවම තුළින් ඩාවින්සිගේ ශිල්පීය කුසලතාවය මනාව නිරූපණය වන්නේ කානේෂන් මලෙන් හෝ පසෙක ඇති ක්‍රිස්ටල් බඳුනේ මල් වලින් නොව විශේෂයෙන්ම මරියතුමියගේ ඇඳුම නිරූපණය කර ඇති ආකාරය සහ කෙස් කළඹ නිරූපණය කර ඇති ආකාරයෙන් බව විචාරකයන්ගේ මතයයි.ඩාවින්සි ගේ ශිල්පීය ක්‍රමයේ ආවේණික ලක්ෂණයක් වූ කඳුකර භූමි දර්ශනය විස්තරාත්මකව ඉදිරිපත් කිරීම මෙහිදීද දක්නට ලැබෙන අතර එය ඔහුගේ මෙම කෘතියේ විශිෂ්ටත්වයට බොහෝ සෙයින් උපකාර කර ඇත.
Madonna of the Carnation at Munich Gallary
ඩාවින්සි චිත්‍ර ශිල්පය ප්‍රගුණ කල ස්වකීය ගුරුවරයා වන වෙරෝකියෝ ගේ අනන්‍ය ලක්ෂණවලින් මිදී තමාටම ආවේනික වූ සිතුවම් සම්ප්‍රදායක් ගොඩ නගා ගැනීමට දරන ලද ප්‍රයත්නය මෙම සිතුවම තුළින්ද මනාව ප්‍රකට වේ.
ජර්මනියේ මියුනිච් කලාගාරයේ ප්‍රදර්ශණයට තබා තිබූ මෙම සිතුවම වර්තමානයේ මියුනිච් නගරයේ ම පෞද්ගලික එකතුවක කෘතියක් බවට පත් වී ඇති බව සඳහන්ය.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...