Saturday, March 30, 2013

Pour Gamlath

සුචරිත ගම්ලත් මහතා වෙනුවෙන් අනිවාර්යයෙන්ම අප ලිවිය යුතු සටහන පිළිබඳව සිතමින් සිටින විට බ්‍රෙෂ්ට් ගේ කවියක් ගම්ලත් මහතාගේම අපූරු සිංහල බසින් කල පරිවර්තනයක් අපිට සිහි වුනි. අප හැමදා පෙනී සිටි ගම්ලත් මහතාගේ උරුමය මෙම කෙටි පද වැල් කීපය තුල කැටි වී ඇතැයි කියා සිතේ. 

කෙසේ උවත් මෙම පද වැල අප සොයා ගැනීමටත් පෙර Vanni Post වෙබ් අඩවිය එය පල කර තිබුණි. නමුත් එය නැවතත් මෙහි පලවීම කිසිසේත් අපතේ යැවීමක් විය නොහැකිය. මක්නිසාද යත් එමගින් කියවෙන දේ අප වඩාත් ශක්තිමත්ව, වඩාත් සංවිධානාත්මකව සහ වඩාත් හඬ නගා පැවසිය යුතු වන නිසාය. 


අද දවසේ අපට කල හැකි ප්‍රධානම දේ මෙය මිස වෙන අන් කිසිවක් නොවේ. සුචරිත ගම්ලත් නම් සත්‍යයට පමණක් විෂය වූ මිනිසා වෙනුවෙන් අපට කළ හැකි ලොකුම කළගුණ සැලකීම වන්නේ එයයි. 

සරල ම දේ උගනිව්
තොපගේ යුගය එළඹ ඇත
උගැනුමට පමා නැත
උගනිව් අයනු ආයනු
ඒ මදි බව සැබැවි
එහෙත් උගනිව්
හෝඩිය
අධෛර්යවත් නො වව්
දියත් කරව් නැණ නැව
කරව් තරණය
විදු සයුර අපරිමිත
උදුරා ගනිව් නායකත්වය.
අනාථය, හදාරව
අනාථාගාරයෙහි
සිරකරුව, හදාරව
බන්ධනාගාරයෙහි
ගෘහණියනි, හදාරව
කුස්සියෙහි
හැට පිරුණත් හදාරව
ඉහට වහලක් නැතත්
සොයා යව් විදුහල
ගත වෙවුලත සීතලෙන්
මොලවවු ඥාන අග්නිය
සා පිපාසා පහරත
ගනිව් පොත සුරතට -
එයයි තොප ආයුධය
උදුරා ගනිව් නායකත්වය
නොබා විමසවු සොයුරනි
නො විකිණෙව් උන්ට,
බලා තමා දෙස
නො දත් බව දැන ගනිව්.
හොය හොයා නොදත් දේ
රැස් කරව් ඥාන ධන
උදුරා ගනිව්
නායකත්වය.
රචනය – බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්
පරිවර්තනය – සුචරිත ගම්ලත්
උපුටා ගැනුණේ 1995 එස්. ගොඩගේ සහ සහෝදරයින් විසින් ප්‍රකාශිත සාහිත්‍ය කලා ආදිය ගැන නමැති කෘති‍යේ 9 වැනි පිටුවෙන්.  

No comments:

Post a Comment