කලකට පස්සේ..

කට අරින්නේම සමාවෙන්න කියාගෙන. මොනම දෙයක්වත් ලියන්න ඉස්පාසුවක් විවේකයක් ලැබුනේ නෑ.  හිතට නිදහසක් තිබුනෙත් නෑ. පොඩි ආර්ථික අවපාතයක් වගේ දෙයක් ගෙදර ඉස්සරහ දොරට තඩිබාද්දි බැදීම් ටිකක් පැත්තකින් තියලා රන් මසු හොයාගෙන කුවේට් පැත්තේ එන්න වුනා.

දැන් ඒ බරත් නිදහස්. දැන් ලියන්නේ කුවේට් වල ඉදං. ඒකෙත් ආනන්දයක් තියෙනවා. කොහොමත් මම ලියන දේවල් වලට විවේචන, විශේෂන එකතු කරන්නේ අපේ ගෙදර උන්දෑ. “නිකම් ඉන්න වෙලාවට ආපහු ලියන්නකෝ ඩැඩා.“ ඒකත් ඇත්ත. ඇයි තවත් පස්සට කල් දාන්නේ? ඔන්න මම ආපහු වැඩේට බැස්සා.

මේ ගමන පටංගන්නේ විහිළු ටිකක් එක්ක. එක පාරට ප්‍රබුද්ධ පැත්තට යනවට වඩා මෙහෙම ආරම්භයක් ගන්න එක හොදයි කියලා හිතුනා.

 

අශ්වයා ගෝං ටික් ටික් ටික්..

Husband-and-Wife-Fighting Cartoon

එක විවේකී ඉරිදාවක සපරමාදු අංකල් හරි බරි ගැහිලා පත්තරයක් කියව කියව ඉදිද්දි, එතනට කඩංපාත් වුන සෝමලතා නැන්දා අංකල්ගේ තට්ටේ වෙව්ලිලා යන්න තාච්චි පාරක් ඇදලා ඇරියා.

“මොන යකෙක් වැහිලද හත්තිලව්වේ?“ අංකලුත් හොල්මන් වෙලා බෙරිහන් දුන්නා.

“තමුසෙගේ කුණු රෙදි අපුල්ලද්දි කලිසම් සාක්කුවක තියලා මට මේ තුණ්ඩු කෑල්ල හම්බවුනා. කවුද ඕයි ට්‍රික්සි කියන්නේ?“ ඇන්ටි වියරුවෙන් දෙදරන්න ගත්තා. “කවුද ඕකි? තමුසේ එහෙනම් මටත් කොලේ වැහුවා, ඈ?“

“අයියෝ ඔයත් මා ගැන හිතන විදිය. මතකද සුමාන දෙක තුනකට කලින් මම අස්ස රේස් එකකට ගියා.. ඇයි අනේ අර විමලයත් එක්ක? ඔය ට්‍රික්සි කියන්නේ එතන හිටපු නොම්මර එකේ අශ්ව නෑම්බියක්. ඒ.. ඒකිට තමයි මම ඔට්ටු ඇල්ලුවේ. අයියෝ ඔයා නම් මහ…“

තමන්ගේ පුරුෂයා ගැන මොන තරම් නරක විදියටද හිතුවේ කියලා දුක්වෙලා, ඇන්ටි අංකල්ට උනු උනුවෙන් තේ එකක් හදලා ගෙනත් දුන්නා.

බොන්න කියලා අංකල් තේ එක කටට ලං කලා විතරයි. බූමරංගයක් වගේ හැරෙන තැපෑලෙන් ආපහු ආපු ඇන්ටි තේ එක උදුරලා අරං ඒක අංකල්ගේ මූනට දමලා ගැහුවා.

“ඒ පාර මොන කරුමයක්ද හත්තිලව්වේ?“ මූන දිගේ පහලට සට සට ගාලා වැටෙන තේ බිංදු පත්තර කොලේකින් පිහිදන ගමන් අංකල් ඇන්ටිගේ ඇගට කඩං පැන්නා.

“අන්න.. අර අශ්ව නෑම්බි කතාකරලා තමුසේ කෝ කියලා අහනවා.“

දීපංකෝ උත්තර.. නේ?

 

2 thoughts on “කලකට පස්සේ..

Leave a comment