Wednesday, February 6, 2013

බලය සහ දර්ශනය ගැන තවදුරටත්...

මෙයට මාස කීපයකට පෙර අප විසින් ජිල් ඩෙලර්උස් ගේ සටහනක් පරිවර්තනය කළෙමු. එහි තේමාව වූයේ දර්ශනය සහ බලය අතර සම්බන්ධයි. මෙය අපිට නැවතත් සිහියට නැගුනේ, ජෝජ් බාක්ලි නම් බ්‍රිතාන්‍ය දාර්ශනිකයා නැවත කියවන විට දුටු සිත්ගන්නා සුළු කරුණක් නිසාය. බාක්ලි යනු දර්ශනයේ ඉතිහාසය තුල අධානග්‍රාහී යථාර්ථවාදය (dogmatic realism) සංකීර්ණ ලෙසම අභියෝගයට ලක් කල දාර්ශනිකයාය. ඔහුගෙන් පසුව නැවතත් 'යථාර්ථය' පිලිබඳ කතා කරන ඕනෑම අයෙකුට මෙම අභියෝගය මග හැර යා නොහැකි බව අපගේ අදහසයි. 


නමුත් අප මෙතනදී කරන්නට උත්සාහ කරන්නේ එම අභියෝගය පැහැදිලි කිඉරීම නොවේ - මෙය බ්ලොග් අඩවියකින් කල හැක්කක් නොවේ. බාක්ලිගේ මූලික කෘතිය වන A Treatise Concerning the Principles of Human Knowledge කෘතිය ප්‍රදානය කර තිබෙන්නේ තෝමස් හර්බට් නම් බ්‍රිතාන්‍ය දේශපාලනඥයා වෙතයි. එම 'පිදුම' කියවන සමකාලීන කියවන්නියකට සිනහ යාමට බොහෝ දුරට ඉඩ තිබේ. එහි තිබෙන්නේ ඉතාමත් යටහත් පහත් සේවකයෙක් තම ස්වාමියාට ඉමහත් බැගෑපත් ලීලාවකින් ගෞරව කිරීමකි. ඇත්තටම එය බාක්ලි අවසන් කරන්නේ මෙසේය : "උතුමාණනි, උතුමාණන් වහන්සේගේ ඉතාම බැගෑපත් සහ ඉතාම විශ්වාසවන්ත සේවකයා වන ජෝජ් බාක්ලි" කියාය. 

දර්ශනයේ ඉතිහාසය තුල මෙවැනි සිනහ යන විදියේ 'පිදුම්' බොහෝ තිබේ. ජෝන් ලොක් ගේ මූලික දාර්ශනික කෘතිය ප්‍රදානය කර තිබෙන්නේද ඉහත තෝමස් හර්බට් ආධිපාදවරයාය (Earl). නූතන දර්ශනයේ සමාරම්භක කෘතිය වන කාන්ට් ගේ Critique of Pure Reason ප්‍රදානය කර තිබෙන්නේත් එකල ප්‍රශියාවේ වංශාධිපතියෙකුටයි. ශාස්ත්‍රාලීය දර්ශනය (academic philosophy) කියන එක විධිමත්ව යුරෝපයේ ස්ථාපිත වීමට පෙර, දාර්ශනිකයන් හට මෙවැනි වංශාධිපතියන් ගේ අනුග්‍රහය මත යැපීමට සිදු විය. 

නමුත් සියවස් තුනක් ඉක්මවා ගියත්, බාක්ලි වාසය කල ලෝකයෙන් සැතපුම් දස දහස් ගණනකට එහා සිට අප තවමත් ඔහු ගේ කෘති කියවයි. අනෙක් අතට තෝමස් හර්බට් ආධිපාදවරයා කියා කෙනෙක් මිහිතලය මත වාසය කර සිටි බව පවා අප දැන ගත්තේ බාක්ලි සහ ලොක් නිසාය. ඔහු සිය ජීවිත කාලය තුල බ්‍රිතාන්‍යයේ ඉතාම බලවත් පුද්ගලයෙකු ලෙස වූ බවට විවාදයක් නැත. නමුත්  ඇත්තටම 1650-1750 කාලය තුල බ්‍රිතාන්‍ය දේශපාලනය ගැන සොයනා පර්යේක්ෂකයෙකු ට මිස වෙන අයෙකුට අද දවස තුල තෝමස් ආධිපාදවරයා ගැන දැන ගැනීමට ඇති ඉඩ ඉතා සීමිතය. පුද්ගලත්වය යනු මිනිස් ජීවිතයේ පරම සුවය - එහි සුරාන්තය කියා සිතනා සමකාලීන මිනිසාට 'ඉතාම බැගෑපත් සහ ඉතාම විශ්වාසවන්ත සේවකයෙක්' වූ ජෝජ් බාක්ලිගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ තිබේ.   

No comments:

Post a Comment