Sunday, February 3, 2013

ගර්භනී සමයේ රක්තහීනතාව | Iron deficiency aneamia in pregnancy


අපගේ සිරුරේ සියලුම පෝෂණ ද්‍රව්‍ය වල ප්‍රවාහන මාධ්‍ය වන්නේ රුධිරයයි. මෙසේ රුධිරය මගින් සිරුර පුරා ප්‍රවාහනය කරන ද්‍රව්‍ය වලින් ප්‍රධානම දෙයක් නම් ඔක්සිජන්ය. ඔක්සිජන් හෙවත් අම්ලකර වායුව සිරුරේ සියලුම සෛල වල පැවැත්මට අත්‍යාවශ්‍ය වේ. මෙසේ සිරුර පුරා රුධිරය මගින් ඔක්සිජන් ප්‍රවාහනය කරනු ලබන්නේ හිමොග්ලොබින් නම් තවත් සංයෝගයකට බැඳීමෙන් අනතුරුවයි. මේ හිමොග්ලොබින් සිරුරේ  නිෂ්පාදනය කිරීමට යකඩ අත්‍යවශ්‍ය වේ. යකඩ හිඟ වූ විට සිරුරේ ලේ හිඟ කමක් (රක්තහීනතාව) ඇති වන්නේ මේ හේතුව නිසාය.
Pic by -medicainfo.com

ගර්භනී කාලයේදී ඔබ රක්තහීනතාවයට පත් වීමට වැඩි ඉඩක් ඇත්තේ ඇයි?


ඔබ ගර්භනී වූ විට ඔබගේ සිරුරේ ඇති රුධිර ප්‍රමාණය 50%කින් පමණ ඉහල යයි. ඊට අමතරව ඔබ තුල වැඩෙන කලලයේ වර්ධනයට සහ වැදෑමහේ වර්ධනයට යකඩ අවශ්‍ය වේ. මේ නිසා ගර්භනී සමයේ සිරුරට වැඩිපුර යකඩ අවශ්‍ය බව ඔබට වැටහෙනු ඇත. මේ සඳහා ඔබගේ සිරුරේ ගබඩා වී ඇති යකඩ මෙන්ම ඔබ ආහාර මගින් ශරීරයට ලබා ගන්නා යකඩද යොදා ගනු ඇත.
නමුත් බොහෝ කාන්තාවන් ගර්භනී සමය ආරම්භ කරන විටම සිටින්නේ සිරුරේ ගබඩා යකඩ වී ඇති යකඩ අතින් ප්‍රමාණවත් නොවන මට්ටමකය. මෙයට නොයෙක් හේතු තිබිය හැක. ගන්නා ආහාර වල ප්‍රමාණවත් ලෙස යකඩ නොතිබීම, මාසික ඔසප්වීමේදී අධික ලෙස රුධිරය වහනය වීම, පණු රෝග, එක දරුවෙක් ලැබී අතරතුර ප්‍රමාණවත් කාලයක් නොතබා නැවත ගර්භනී වීම ඉන් කිහිපයකි. මීට අමතරව අධික ලෙස උදෑසන වමනය සෑදීම නිසා ප්‍රමාණවත් පරිදි යකඩ අඩංගු ආහාර ගැනීමට නොහැකි වීම, නිවුන් දරුවන්ගෙන් ගර්භනී වීම, ගන්නා ආහාර වල ප්‍රමාණවත් ලෙස යකඩ අඩංගු නොවීම ආදියද ඔබගේ ශරීරයේ යකඩ හිඟ වීමට බලපෑ හැක.
ඉහත සඳහන් කර ඇති හේතු නිසා ඔබගේ දෛනික යකඩ අවශ්‍යතාවය ගර්භනී සමය තුලදී සැලකිය යුතු ලෙස ඉහල යයි.
මෙම මුළු යකඩ අවශ්‍යතාවයම අහාර මගින් පමණක් ලබා ගැනීමට අසීරු නිසා සියලු ශ්‍රී ලාංකික ගර්භනී කාන්තාවන්ට සායන වලදී අතිරේක යකඩ පෙති ලබා දීම සිදු කරයි.
යකඩ ඌනතාවය ගර්භනී සමයේ ඇති වන රක්ත හීනතාවයට සුලභම හේතුව වුවත් කලාතුරකින් වෙනත් හේතු තිබිය හැක. විටමින් B12 ඌනතාවය, ෆෝලික් අම්ල ඌනතාවය, යම් කිසි හේතුවක් නිසා සිරුරෙන් රුධිරය හානි වීම, සංජානනීය (ජානමය වශයෙන් පරපුරෙන් පරපුරට උරුම වන) ලේ සම්බන්ද රෝග ආදිය ඉන් කිහිපයකි.

යකඩ ඌනතාවය නිසා ඇති වන රක්තහීනතාවය මට හෝ මගේ දරුවාට හානිකර ලෙස බලපායිද?


ඔබගේ කුස තුල වැඩෙන දරුවා ඔහුගේ යකඩ අවශ්‍යතාවය සපුරා ගන්නේ ඔබගෙනි. එම නිසා ඔබ යකඩ හීනතාවයෙන් පෙළෙන්නේ නම් එය ඔබගේ දරුවාට බලපෑමට ඉඩ ඇත. එයින් ඇති වන සංකූලතා අතර දරුවාට උපතින් පසු යකඩ ඌනතාවය සැදීම නිසා රක්තහීනතාවය සැදීම, අඩු බර දරු උපත්, නොමේරූ (මාස සම්පූර්ණ නොවූ) දරු උපත් ආදිය වේ. එමෙන්ම ඒ නිසා දරුවා ගබ්සා වීමට හෝ මල දරු උපත් සිදු වීමටද ඉඩ ඇත.
            එසේම රක්තහීනතාවය නිසා ඔබට ඇති විය හැකි ප්‍රශ්න අතර පහසුවෙන් ආසාදන වලට ගොදුරු වීම, දරු උපතේදී සුළු රුධිර වාහනයකින් පවා බරපතල ප්‍රශ්න ඇති වීම, දරු ප්‍රසූතියෙන් පසු අධික ලෙස රුධිරය වහනය වීම, හදවත් ගැටළු, දරු ප්‍රසුතියෙන් පසු ඔබට මානසික අවපීඩන තත්වයකට පහසුවෙන් ගොදුරු වීම ආදිය වේ.

යකඩ ඌනතාවයෙන් වැලකීමට ඔබට කල හැක්කේ කුමක්ද?


යකඩ ඌනතාවයෙන් වැලකීමට කල හැකි හොඳම දෙය ගර්භනී වීමට පෙර සිටම සිරුරේ ප්‍රමාණවත් යකඩ සංචිතයක් පවත්වාගෙන යාමයි. ඒ සඳහා යකඩ අඩංගු ආහාර බහුල ලෙස ආහාරයට ගත යුතුය. මාංශමය ආහාර වල යකඩ මාංශමය නොවන ආහාර වලට වඩා අඩංගු වන අතර ඒවා මාංශමය නොවන ආහාර වලට වඩා පහසුවෙන් ශරීරයට අවශෝෂණය කර ගත හැක. මේ සඳහා මස, මාළු, හාල්මැස්සෝ, කරවල, කිරි, බිත්තර ආදිය ආහාරයට ගත යුතුය.
කෙසේ වෙතත් මාංශමය නොවන ආහාර ප්‍රමාණවත් ලෙස ආහාරයට ගැනීමෙන්ද යකඩ ශරීයට ලබා ගත හැක. මේ සඳහා කොළ පැහැති එළවලු, ධාන්‍ය වර්ග (කඩල, කව්පි, මුං ඇට), අර්තාපල්, බීට්‌රූට් රටකජු ආදිය ආහාරයට ගත යුතුය.
එසේම යකඩ ශරීරයට අවශෝෂණය කිරීමට බාධා කරන දෑ අහාරය ගැනීමෙන් වැළකී සිටිය යුතුය. ඒවා නම ආහාර වෙල සමඟ කිරි, කහට තේ, කෝපි ආහාරයට ගැනීම ආදියයි. එසේම කැල්සියම් යකඩ අවශෝෂණය අඩු කරන බැවින් එම පෙති යකඩ සමග නොගත යුතුයි.
විටමින් C මගින් යකඩ අවශෝෂණය පහසු කරයි. දෙහි වල විටමින් C අඩංගු වේ. එම නිසා ආහාර පිසීමෙන් පසු දෙහි ස්වල්පයක් එක කිරීම යකඩ අවශෝෂණය පහසු කරයි.

ඔබට රක්තහීනතාවයක් ඇත්දැයි දන ගන්නේ කෙසේද?


ගර්භනී සමයේදී සිළුම මව්වරුන්ගේ රුධිරයේ ඇති හිමොග්ලොබින් මට්ටම මන බැලීම අනිවාර්යයෙන්ම සිදු කරයි. එය සිදු කරන්නේ ඔබගේ වෛද්‍ය වරයා විසිනි.  ඒ සඳහා ඔබ ලඟම ඇති පූර්ව ප්‍රසව මාතෘ සායනයේ ගර්භනී කාලයේ මුල් අවදියේදීම ලියාපදිංචි වීම වැදගත්ය.
එසේම ඔබට රක්තහීනතාව තිබුනත් නැතත් ගර්භනී කාලයේ පසු අවධි වලදී ඔබ එම තත්වයට පත වීමට ඉඩ ඇති නිසා ඔබට මුල සිටම යකඩ පෙති ලබා දෙනු ඇත.
ඔබට රක්තහීනතාවය සැබෑ ලෙසම සෑදුනත් ඔබට මුල් අවදියේදී කිසිදු රෝග ලක්ෂණයක් නොතිබීමට ඉඩ තිබේ. එයට හේතුව මුල් අවදි වල එය බොහෝ විට ඉතා බරපතල නොවීමයි. නමුත් පසුව රක්තහීනතා තත්වය වැඩි වන විට කම්මැලි ගතිය, අධික මහන්සි ගතිය, කැරකිල්ල/ක්ලාන්තය ආදී රෝග ලක්ෂණද සුදුමැලි භාවය ආදී රෝග ලක්ෂණද මතු විය හැක. තවදුරත් රෝගය වැඩි වන විට පුව වේගයෙන් ගැහෙනවා දැනීම, හති ගතිය, ඉසරදය, ක්ලාන්තය, නිතර කේන්ති යාම සහ මානසික ඒකාග්‍රතාව නැති වීම ආදී රෝගලක්ෂණ පහල විය හැක.

යකඩ හිඟ වීම නිසා ඇති වන ලේ හිඟ කමට ප්‍රතිකාර කරන්නේ කෙසේද?


මූලික වශයෙන්ම රෝගය සැදීමට පෙරම රෝගය වැළක්වීමේ පියවරක් ලෙස සියලු මව්වරුන්ට යකඩ පෙති ලබා දීම සිදු කරයි. මෙම පෙති සාමාන්‍යයෙන් රාත්‍රී ආහාර වේලෙන් පසු ගන්නා අතර එම යකඩ වඩාත් හොඳින් අවශෝෂණය වීමට ඔබට විටමින් C පෙතිද ලබා දෙනු ඇත. තේ සහ කෝපි යකඩ අවශෝෂණය අඩු කරන නිසා එම ආහාර යකඩ පෙති සමග නොගත යුතුය. එසේම ඔබට වෛද්‍යවරයා විසින් කැල්සියම් පෙතිද ලබා දී ඇත්නම් එම පෙති උදැසන ගත යුතු වේ. ඊට හේතුව කැල්සියම්ද යකඩ අවශෝෂණය අඩු කරනා බැවිනි.
නමුත් කිසියම් හේතුවක් නිසා ඔබට යකඩ හිඟ වී ගර්භනී සමය තුලදී රක්තහීනතාවය සෑදුනහොත් ඔබට යකඩ අඩංගු බෙහෙත් වර්ග ලබා දීම සිදු කරයි. මෙසේ ලබා දෙන යකඩ කුමන ප්‍රමාන වලින් කුමන ආකාරයෙන් ලබා දෙන්නේද යන්න තීරණය වන්නේ ඔබගේ රක්තහීනතාවයේ බරපතල බව අනුව සහ ඔබගේ ගර්භනී සමයේ පසු කරමින් සිටින අවදිය අනුව වේ. සාමාන්‍යයෙන් ගිලින යකඩ ලබා දීම ප්‍රමාණවත්ය. නමුත් ඔබගේ රක්තහීනතාව බරපතල නම් හෝ ඔබගේ ගර්භනී කාලයේ අවසානයට ලඟා වී ඇත්නම් ඔබට රුධිර වාහිනී තුලට කෙලින්ම යකඩ ලබා දීමට සිදු විය හැක. එසේම තත්වය ඉතාම බරපතල වුවහොත් ඔබට රුධිර පාරවිලයනයක් කිරීමටද සිදු විය හැක.

යකඩ පෙති ගන්නා විට ඇති විය හැකි ප්‍රශ්න මොනවාද?


යකඩ පෙති ගන්න විට ඇති වන සුලබම ප්‍රශ්නය වන්නේ ආහාර මාර්ගය ආශ්‍රිත සංකූලතාය. මේ අතරින් ප්‍රධානම වන්නේ උගුරට ඒම, උදරයේ අපහසුතාවය, මලබද්ධය, වමනය ආදිය වේ. මේවා අතරින් බොහොමයක් යකඩ පෙති ආහාර සමග ගැනීමෙන් වලක්වා ගත හැකි වේ. එසේම පෙති ගන්නා වේලාව වෙනස් කිරීම මගින්ද සමහර අතුරු ආබාධ වලක්වා ගත හැක. ඔබගේ මෙම ආබාධ පිලිබඳ වෛද්‍යවරයා දැනුවත් කර ඔබගේ ප්‍රශ්නයට විසඳුම් ලබා ගත හැක.   
            යකඩ පෙති ගන්නා විට ඔබගේ මලපහ යම ප්‍රමාණයකට කළු පහ වනු ඇති අතර ඒ පිලිබඳ බිය විය යුතු නැත. මෙය යකඩ පෙති ගන්න විට ඇති වන කිසිසේත් හානිකර නොවන අතුරු ප්‍රතිපලයකි. 

No comments:

Post a Comment