Monday, February 4, 2013

ඔසප් වීම අධිකව වේදනාකාරීද...ඔබට “එන්ඩොමෙට්‍රියෝසිස්”ද? | What is Endometriosis

ආර්තවය වන දින වලදී ඉතා අධික යටි බඩේ කැක්කුමක් ඇතිවන් කාන්තාවන් අතර ඔබේ යෙහෙලිය ,ඔබේ සහෝදරිය හෝ බිරිඳ සිටීද? එසේ නම් මෙම ළිපිය ඔබටයි. ඉහත කිව් රෝග ලක්ෂණය එන්ඩොමෙට්‍රියෝසිස්නිසා විය හැකියි.

කුමක්ද මේ එන්ඩොමෙට්‍රියෝසිස්”?


එන්ඩොමෙට්‍රියෝසිස් නම් රෝගය තවමත් සම්පූර්ණයෙන් පැහැදිළි කරගෙන නැති රෝගී තත්ත්වයකි.මෙහි ලාක්ෂණික ස්වභාවය නම්, ගර්භාශයේ ඇතුලතම බිත්තියේ ඇති සෛල වෙනත් ස්ථාන වල දක්නට ලැබීමයි.මෙම තැන්පතු නිසා ඇතිවන ප්‍රදාහ තත්ත්වය , දැඩි වේදනාවක් ජනිත කරවයි.
සරලව ගත් කල රෝගයේ ස්වභාවය මෙසේ පැහැදිලි කළ හැකියි. හෝමෝන වල බලපෑම නිසා ගර්භාෂ  ඇතුළු බිත්තියේ("එන්ඩොමෙට්‍රියම්") ඔසප් වීමේදී ඇතිවන වෙනස්කම් ,(මෙම රෝගීන්ගේ අසාමාන්‍ය ලෙස පිහිටී) ගර්භාෂයට පිටතින් ඇති "එන්ඩොමෙට්‍රියම්" පටක වලද සිදුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස එම ස්ථාන වල ලේ ගැලීම් ,වේදනාව ඇති වීම , පටක එකිනෙකට ඇලීම හා කල් යත්ම එම රුධිරය සහ ස්‍රාව එකතු වී "චොකලට් සිස්ට්" නමැති ගෙඩි ඇතිවීමද සිදුවේ.මෙම ක්‍රියාවලිය තුළදී නිකුත් වෙන රසායනික නිසාද වේදනාව තවදුරටත් උග්‍රවේ.
වේදනාවට අමතරව මඳසරු භාවය වැනි ප්‍රශ්න ද ඉහත කිවු පරිදි  මෙම රෝගය සමඟ ඇතිවිය හැකියි.

pic coutesy-http://www.safertility.co.uk

රෝගය ඇතිවීමට හේතුව කුමක්ද?

විසින් යෝජනා කර ඇති පරිදි ආර්ථවයේදී රුධිරය උදර කුහරය තුළය නැවත ගලා ඒම , දැනට එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය ඇතිවීම පිළිබඳ වඩාත්ම පිළිගත් මතයයි.නමුත් බොහෝ කාන්තාවන් අතර ඉහත පරිදි රුධිරය ගලායාමේ තත්ත්වය පෙන්නුම් කලත් එම සියල්ලන්ටම එන්ඩොමෙට්‍රියෝසිස් රෝග ලක්ෂණ දක්නට නොමැත්තේ ඇයිදැ යි යන්න තවම පර්යේෂණයන්ට බඳුන් වන කරුණකි.
Pic courtesy -gynaecology.spotmysite.com

මෙය කෙතරම් බහුල රෝගයක්ද?

එන්ඩොමෙට්‍රියෝසිස් බහුල මෙන්ම බහුලතාවය දැනට වැඩිවෙමින් පවතින රෝගයකි.පරම්පරාගත බහුලතාවයක් දක්වන මෙම රෝගය, දරුවන් ලැබිය හැකි වයසේ පසුවන ගැහැණුන් අතර 6-10% ප්‍රමාණයකටත්, මඳ සරු හා දිගුකාලීන වේදනාවෙන් පෙළෙන අය අතරින් 25-50% කට පමණ ත් ඇත.

රෝග ලක්ෂණ

ඉහත කිව් පරිදි ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ වේදනාව හා මඳ සරු භාවයයි.
වේදනාව, ප්‍රධාන ලෙසම ඔසප් වීමේදී රුධිරය ගැලීමට ප්‍රථම ආරම්භ වී , රුධිරය ගැලීම අවසාන වූ පසුවද පැවතී අඩුවී යයි. නමුත් බොහෝ තරුණියන්ට ඇති පරිදි ඔසප් වීමේදී රුධිරය ගැලීම ආරම්භ වීම සමඟ ඇතිවන තද කරනවා ක් වැනි වේදනාව සාමාන්‍ය තත්ත්වයක් බව සිතට ගත යුතුය.
සහකරු සමඟ ලිංගිකව එක්වීමේදී ඇතිවන වේදනාව, කල් පවතින උදර/ශ්‍රෝණි හෝ කොන්දේ වේදනාව ද මෙම රෝගයේ ලක්ෂණයකි. පෙර නොතිබූ ඔසප් වේදනාවක් පසුව ඇතිවීම එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය සැක කළ යුතු තවත් අවස්ථාවකි. 
එන්ඩොමෙට්‍රියම් කොටස් තැන්පත් වීම ම ද, ඉන් ඇතිවන රසායනික, උදර අහ්‍යන්තරයේ සිදු වන අහිතකර වෙනස්කම් මෙන්ම ලිංගික කාර්යයට සිදුවන අපහසුතා නිසා මෙම රෝගයේදී මඳසරු බව ඇති වේ යයි පිළි ගැනේ.

එන්ඩොමෙට්‍රියොසිස් පිළිකා තත්ත්වයක්ද?

එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය පිළිකා තත්වයක් නොවේ. නමුත් ඉතා දීර්ඝ කාලයක් පවතින එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය පිළිකා කාරක විය හැකි බව සමහර පර්යේෂණ පෙන්වයි.

රෝග විනිශ්චය කිරීම

එන්ඩොමෙට්‍රියොසිස් රෝග විනිශ්චය කිරීමේදී යෝනි මාර්ගය හෝ උදර කුහරය හරහා කරන අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් භාවිතා කල හැකිය.මෙහිදී ඉහත විස්තර කර ඇති චොකලට් සිස්ට් , ඩිම්බකෝෂ වල චලනය අඩුවීම ආදිය එන්ඩොමෙට්‍රියොසිස් රෝගය ප්‍රබලව සැක කළ හැකි හේතූන් වන අතර , රෝග විනිශ්චය කිරීමේ හොඳම ක්‍රමය නම්, ලැපරොස්කොපි පරීක්ෂාවක් මගින් උදර කුහරය කැමරාවක් යොදා පරීක්ෂා කිරීමයි.

ප්‍රතිකාර විධි


මෙහිදී ඖෂධ මගින් හෝ සැත්කම් මගින් ප්‍රතිකාර කිරීම සිදු කෙරේ.
ඖෂධ වශයෙන් ගත් කල හෝමෝනමය පවුල් සැලසුම් පෙති, ඩිපෝ ප්‍රොවේරා එන්නත්, හෝමෝන නිකුත් කරන ගර්භාශයික ලූප මෙන්ම තවත් නව ඖෂධ වර්ග භාවිත වේ.
ගැබ් ගැනීම(නිසා ඔසප් වීම නැවතීමෙන්) එන්ඩොමෙට්‍රියොසිස් තත්වය සමනය වේ.නමුත් රෝගයේ එක් ස්වභාවයක් වන්නේ ගැබ් ගැනීම සිදු නොවීමයි.තවද ඉහත සඳහන් කල ඖෂධ නිසාද පිළිසිඳ ගැනීම් නවතී. මෙම නිසා මඳ සරු කාන්තාවන් සඳහා සැත්කම් කරා යාම වඩා උචිත වේ. 
3cm ට වැඩි ප්‍රමාණයේ චොකලට් සිස්ට්, ලිංගිකව එක්වීමේදී ඇතිවන අධික වේදනාව හා නැවත නැවත ඖෂධ මගින් පමණක් රෝගය පාලනය නොවීම යන හේතු ද සැත්කමක් කරා යාමට සැළකිය යුතු අවස්ථා වේ.

රෝගයට භාවිතා කරන සැත්කම් විධි සැලකූ කල, එන්ඩොමෙට්‍රියොසිස් තැන්පතු පුළුස්සා ඉවත් කිරීම බහුලවම කෙරේ. එ මගින් මඳ සරු භාවය අඩු වන බව සොයාගෙන ඇත. උග්‍ර රෝග අවස්ථාවකදී,අත්දැකීම් බහුල ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් පෙරිටෝනියම නම් උදර කුහර ආවරණ පටලය, අවයව වලින් වෙන් කිරීම සිදු කරුණු ලැබේ; රෝගය ඉතාමත් උග්‍ර සමහර විටෙක  ගර්භාෂය හා ඩිම්බ කෝෂ ඉවත් කිරීමට පවා සිදු වීමට ඉඩ ඇත.

මහාචාර්ය හේමන්ත සේනානායක විසිනි.
අනුවාදනය වෛද්‍ය වේදිෂ ගන්කන්ද







No comments:

Post a Comment