Saturday, January 12, 2013

Never the Same Moment !

එදා වෙනදාට වඩා බොහෝ වේගයෙන් රාත්‍රිය එලැඹි දිනයකි. ඒ කලකට ඉහත සීතල දුරුත්තය. අහස උසට නැගී සිටි උස ගස් අප දෙසම එබී බලන ඉරියව්වෙන් රිය ඉදිරිපස වීදුරුවට නෑමී සිටින්නාක් මෙන් මට පෙනෙයි. හාත්පස කරුවල බලා සිටියදීම වෙලා ගනියි. සීතලෙන් හිරිගඬු පිපෙද්දී වැස්ස ආලයට ඉඟි කරයි. ආලයෙන් මත්වූ දෙදෙනෙකුට මීටත් එහා සොබාදහමෙන් ආශිර්වාදයක් අවැසිද?

වම් පසින් වේගයෙන් ගලා යන දොල මහවැලි ඉවුරේ පෙම් පිය සටහන් මකා දමයි. ඒ යෝධ වංගුව තනිව සිටින්නෙකුට නම් බිය ගෙනෙනු නිසැකය. සොබාදමට ආගන්තුක යමක් වී නම් රිය තහඩු සහ වීදුරුවය. ඒ හැරුනු කොට එහි වූයේ සොබා දහමේ නිසැකවම කොටස් වූ ඔහුත් මාත් ගසුත් අහසත් අඳුරත් පමණකි.

ඔහු කිසිදු කලබලයකින් තොරව මගේ උකුලෙහි හිස හොවාගෙන හිඳියි.

Life is Beautiful like a Butterfly ! 

විටෙක මේ පොදු කියුම මා කෝපයට පත් කරවයි. ඔහුගේ මුහුණ දෙස බලාගෙන මම....

As long as your real life doesn't bother you 24/7 !

මා මිමිණුවේ සිතින් පමණකි. ඔහු මට වදයක් වෙමින් මගේ සිත කියවයි.

කොච්චර කිව්වත් අහන්නෙ නැහැ. ඉන්නව මෝඩියෙක් වගේ අතීතයෙ එල්ලිලා. උඹ කවද්ද ඔය ගුලෙන් එලියට එන්නෙ ?  

ඔහුගේ 'උඹ' වචනයට මා උවමනාවට වඩා සිත් රිදවා ගනිමි. ඔහු අමනාපයෙන් නැගී සිට ඔහුගේ රියදුරු අසුන පහත් කොට එහි දිගා වෙයි. මම අමනාප හඟවන අටියෙන් මගේ පස වීදුරුවෙහි නාසය අලවාගෙන අඬා බහින දොළට දෑස යොමමි. පෙනෙන දොළක් නැත. එතරම්ම කලුවරය.

ඉදිරිපස ඇති යෝධ වංගුවට කහ එලියක් වැටෙයි. ඉදිරියෙහි වාහනයක් එන සලකුණකි. මම හරි බරි ගැසී වාඩි වෙමි. තිගැස්ම නිසා මට එලිය බැලිය නොහැකිය. වාහනය එම වේගයෙන්ම අප පසු කරයි. නැවතුනු මගේ හිත යලිත් ගැහෙන්නට පටන් ගනියි.

ඔහු මා දෙස බලා හිඳියි.

'මෝඩි..ඒ වාහනේට අපිව පේන්නෙ නැහැ. අපිට උන්ව පේන්නෙ නැති තරම් මීදුම. උන්ට කොහෙද අපිව පේන්නෙ'

ඔහු සැහැල්ලුවෙන් මගේ බඳ වටා අතක් යවයි.  මට වාහනත් වංගුවත් අමතක වෙයි. ඒ වෙනුවට සීතලත් අන්ධකාරයත් , රිය වෙත ගූඪ අයුරෙන් එබී සිටින උස ගස් පෙලත් මතක් වෙයි. රැකවරණය හිත සොයයි.

මම ඔහුගේ පපුතුර අස්සෙහි හිස රුවා ගන්නෙමි. ඔහු කිසිදා ආදරයට බොලඳ බවින් උත්තර නොදුන්නේය. ඒ වෙනුවට ඔහු මගේ සෞම්‍ය වීගෙන සිත රිදවූයේය. උත්තර ධ්‍රැවයත් දක්ෂිණ ධ්‍රැවයත් ආසක්ත වන්නාක් සේ සෞම්‍ය මා ඔහුගේ රළු කමට බැඳි ගියෙමි.

ඔහුගේ  තනි අතින් මගේ කොණ්ඩය එක මිටට තදින් අල්වා ගනියි.

'රිදෙනවා අයියෝ' 
මම ඔහුගේ උරහිස සපා කමි.

ඔහු කිසිදු කරුණාවකින් තොරව කැටි කොටගත් කොණ්ඩය රැඳි අතින්ම මගේ හිස ඔසවයි.  මගේ දෑස් පියවෙයි. ජීවිතය කියවිය හැකි ඔහුට මගේ ආරාධනාව වටහා ගනු නොහැකිද? මඳ අඳුර , අන්ධකාර ගස් කොලන් , පසෙකින් ගලන දොළ පහරේ නාදය , මගේ හිත සමග නින්නාද දෙන ආශාවන් යටපත් කිරීමට කිසිදු වෑයමක් නොගනියි.

ඔහු සෙනෙහසක් නැති සේ මා පසෙකට කොට නැගිටියි. මම දුර්මුඛ වෙමි.  ඔහු ඉදිරියේ තරම් මම කිසිදා කිසිතැනක එතරම්ම ලෙහෙසියෙන් 'මා' නොවූයෙමි. එහි නිර්ලජ්ජිත , ආදරනීය , සෙනෙහෙබර  'මම' ඔරිජිනල් වේශයෙන්ම නිදැල්ලේ හැසිරුනෙමි.

'කිස් එකක් ඕනෙ !' මම අණ කරමි.

'බැහැ, එහාට වෙනව, කෝලම!' ඔහු ගණන් උස්සයි.

'මම බහිනව එලියට '   මම තර්ජනය කරමි .

'පල ඉතින්! මම යනව' 

'බැහැ. ඕනෙ !' මම බොලඳ වෙමි.

'ඉල්ලන ඉල්ලන වෙලාවට දෙන්න මම බැඳිල නැහැ' 

මම පරාජය වෙමි. යලිත් මගේ පස රිය වීදුරුවට මම නාසය අලවා ගමි. ඔහු වෙන මොකක්දෝ වැල් වටාරමක් කියවයි. මට එය ඇහෙන්නේ නැත. මම හ්ම් කියමින් අහක බලා සිටිමි.

'ඒයි... !'

ඔහු මගේ පිට පෙදෙසට කතා කරයි. මම අඩමානයට ඇලවී බලා යලිත් පස්ස හරවමි.  ඔහු රිය පණ ගන්වයි...

'අනේ......! ' මගේ හිත අඬන්නට ගනියි. ඒත් දත විකා ගෙන මම සිටින්නෙමි. ඔහුට මාත් මට ඔහුත්  කිසිදා පරාජය නොවූ බව මට මතකය.

ඔහු පණ ගැන්වූ රිය අඩියක් දෙකක් ඉදිරියට ගෙන යයි.

මගේ බඳ වටා එක අතක් යවන ඔහු අනෙක් අතින් මගේ කුර්තාව ඔසවා කොඳු ඇට පෙලෙහි මැද හරියට වන්නට සිය උණුසුම් හාදුවක් තබයි. එය විඳගත නොහැකි තරම් සරාගී හෙයින් ඔහුගේ දැඩි ග්‍රහණය අස්සෙන් මම ඇඹරෙමි. තවත් එක් හාදුවක් එතැනම තබා ඔහු කුර්තාව සකසමින් , කිසිත් සිදු නොවූවාක් මෙන් ඇදෙන රිය සියතට ගනියි.

ඔහුගේ හාදු දෙකෙහි උණුසුමෙන් මමද සුක්කානම් රෝදය මත උත්ථාන වී ඔහු දෑතට නතුව සිටිමි. වචන නො එයි.ඔහු රිය පදවමින්ම මා ඔහු වෙත ඇද ගනියි.

'තව එකක් ඕනි' මම ඔහුට තුරුලුව කොඳුරමි.

'බැහැ... ආයෙ නැහැ. ඔය ඇති'
ඔහුගේ අභිමානයට , ඒ රළු බවට මා කෙතෙක් ආදරය කළේදැයි අදද මට සිතා ගත නොහැකිය.

'අනේ...... ප්ලීස්....' 

'නාහෙන් ඇඬුවට මොකුත් ලැබෙන්නෙ නැහැ'...

මොහොතක් දෙකක් නිහැඬියාව රජ වෙයි. 


'You know Batti , I can give you another kiss, same place, same way... But its never the same moment Batti !'  

මම තවත් ආදරෙන් ඔහුට තුරුලු වෙමි....

'Shit ! This is exactly the life I was looking for... Life is Shit!'

ඔහු මගේ සවන් අසල හිඳ තමාටම කොඳුරයි.

'But you just said, Life is Beautiful'  

මම මඳ සිනහවෙන් කොඳුරමින් ඔහුගේ උරහිස සපා කමි.

'පලයන්... එහාට වෙයන් .. අනාචාරයේ හැසිරෙමින් රිය පැදෙව්වා කියල පොලිසියෙන් අල්ලයි'  

මගේ සිත ගෙවූ හැම තත්පරයක් ගැනම ලෝභයෙන් පිරෙයි.

---------------

අද සිත්වින්දී නැත. ගල් බංගලාවට පහළින් ලොකු වංගුව නාරදගේ රිය පසුකළේ කොයි වෙලේදැයි මතක නැත.

'ලොකු මැඩම් ... බහිනවද .. වඩා ගෙන ගෙට අරන් යන්නද?' 

නාරද නිවස අසල බැස ඇතුවා පමණක් නොව , මගේ රිය දොරද හැරගෙන මා බසින තුරු බලා හිඳියි. නාරදගේ දෑත් මගේ හිසෙහි රැඳෙයි. මට ඇඬෙන්නට එයි. ඔහුගේ සිනහ මුසු දයාභරිත මුහුණ දකින මම අන්ද මන්ද වෙමි.

දෙයියනේ මම කොච්චර පවු කරනවද?

ඇදෙන රියක සිට , කොඳු ඇට පෙලෙහි තැබු ඒ උණුසුම් නිහඬ එමෙන්ම අඳුරු හාදුව පිලිබඳ මතක බොඳ වන්නේ වාත වේගයෙනි...

2 comments:

  1. මගෙ බ්ලොග් එකට ආව පළමු ප්‍රතිචාරෙ ඔබ. ගොඩක් ස්තූතියි.

    ReplyDelete