Sunday, January 13, 2013

නිදහසේ සුලඟ

'අනේ....'

ගම දෙවනත් කරමින් පැමිණ නැවතුනු බයිසිකලය දැක මම දුර්මුඛ වෙමි. ඔහුගේ දෑස් මගේ විස්මය සහ බිය දැක එලිය වෙයි. 

'මොකද? ඉක්මනට මේක දාගෙන නගිනව !' 
 හෙල්මටයක් පාමින් ඔහු ආයිත් ගම දෙක වෙන්නට බයිසිකලය රේස් කරයි. 

'කොහෙන්ද මේ කරත්තෙ හොයා ගත්තෙ?' 

කිසිදා නැග නැති මේ හුචක්කුවට නැගීම පසෙක තබා මා ගෙදර යන්නට සූදානම්ය.  මොටෝ සයිකල් වලට මම දක්වන්නේ භයක් නොව එය පිරිසිදු භීතිකාවකි. එහෙවු එකේ ඒ හුටු හුටුවෙන් පැමිණ මගේ දවස කා දැමූ ඔහු ගැන මට දැනෙන්නේ වචනෙන් කිව නොහැකි තරහකි.

'නැගපන් කිව්වම අහලා' 
ඔහුගේ අණට කෙසේවත් මට කීකරු විය නොහැකිය. භීතිකාවක හැටි ඔහු නොදන්නේද?

'මට බැහැ. කෝ වාහනේ. ඇයි දන්නෙ නැද්ද මම බයිසිකල් වල නැගල නැහැ කියලා. බයයි කියලා. ඇයි එහෙම තියෙද්දි මේකෙම ආවෙ ? '
මගේ කෝපය ගිනි කන්දක් වගේ පුපුරයි. 

'කිව්වම අහලා නගිනවද නැද්ද?'

'මම දන්නෙ නැහැ නගින්න.'

'මෝඩ එලදෙන. මෙතෙන්ට මෙහෙම කකුල තියලා නගිනු!'

වෙන කළ හැකි දෙයක් නැත. දන්නා හැටියට නැග්ගෙමි. අල්ලා ගැනීමට තැනක් නැත. ඔහුගේ උරහිස මිස.. ඇඟිලි තුඩින් උරහිස නොව ජැකට්ටුව අල්ලා ගතිමි. සියොලඟ වෙවුලයි. සිරුර දහඩියෙන් නෑවී ඇත. ඇයි හත්තිලව්වේ මම බයයි කිව්වම අහන්න බැරි. ? මගේ හද ගැස්ම මටම දැනෙයි. අඩමානෙට කූඩුවක එල්ලිච්චි ගිරවෙකු මෙන් මට වෙන සරණක් නැත.

'බය ගුල්ලි, ලැජ්ජාවෙ බැහැ' 
කියමින් ඔහු වේගයෙන් ධාවනය කරන මෝට සයිකලය ස්ටාට් වන්නේ එක පිම්මෙනි. මම විසිවී යමි. ටෝන් ! හඬින් මගේ හෙල්මටය ඔහුගේ හෙල්මටයෙහි වදියි.

මෝඩි. මගෙ හෙල්මට් එක හීරුවොත් ගහනව!  

අහෝ... පෙඟුනු දහඩිය එසේම තිබියදී ඔහු හිතක් පපුවක් නැතිව ඉගිලෙයි. නුවරුන් හැරි හැරී බලති. ලැජ්ජාව හිතේ පිරෙයි.

'මොකක්ද අයියා. ඇයි මෙහෙම කලේ...!' 
මට එය කියාගන්නට හෝ පණ තිබ්බ එක ලොකු දෙයකි.

You will never know how fun it is. soon you will start asking me to speed up ! You wait ! 

පිස්සු මැට්ටා. ! මට බහින්න ඕනෙ.නෑතිනම් මම කෑගහනවා මාව පැහැරගෙන යනව කියලා.
  මම කෑගසමි.

ඔහු තවත් වේගය වැඩි කරයි. රේසිං සයිකලය වේග මීටරයේ 80 පසු කරයි. 

මගෙ අම්මේ....
මා පාරෙහි නැවති , බයිසිකලය පමණක් ඉදිරියට විදී යතැයි බියෙන් මම ඔහුගේ ජැකට්ටුව තදින් අල්ලා ගනිමි.

මෝඩ බය ගුල්ලි. උඹ ජීවිතේ මොනවද විඳල තියෙන්නෙ. විඳල නැහැ. විඳවල විතරයි.... 
ඔහු කෑගසයි. මට හරියට ඒවා නෑසෙයි.

'අයියෙ මාව බස්සන්න . මාව වෙවුලනව ! ප්ලීස්. පොඩ්ඩක්.. නවත්තන්න.  '

වේගය බාල වෙයි. පැති කණ්නාඩියෙන් ඔහු මා වෙත බලයි. 

'මොකෝ?' 

ඇත්ත කිය නොහැක.

'මට වොශ් රූම් යන්න ඕනි'  

කෙල්ලෙකු එසේ කියද්දි ඊට නොනැමිය හැකි මනුස්ස හිතක් නැත.
ඇත්ත හංගා මම කියමි. ඔහු එය විස්වාස කරන්නට ඇත... 

'ආපෝ .. ටෝක්ස් නම් විහාර මහ දේවි වගෙ. ඒ උනාට මොටෝ සයිකලෙක නැග්ගම චූ යනව' 
නම්බුව පැත්තක ගියදෙන්. ඕනෙ එකක්. 

'ඔව් ඔව්. අනේ නවත්තන්න.' 
 මම පරාජය භාර ගෙන පින්සෙන්ඩු වෙමි. 

උරිස් අකුලාගෙන ඇඹරී ගිය පැය භාගයේ ප්‍රතිපලයක් වශයෙන් තිසර පටෙහි ගාංචුව ගැලවුනු බව , ජීවිතයේ ප්‍රථම වතාවට ශරීරය අහම්බෙන් ස්පර්ෂ කළ පිරිමියෙකුට කිසි සේත් කිය නොහැක.

 තව පැය කාලකින් පමණ සයිකලය නවතියි. මම බෑගයෙන් පපුව වසාගනිමින් අවන්හලෙහි නාන කාමරයට රිංගා ලොකු හුස්මක් හෙලමි. ඇත්තම නම් ඒ වෙනවිටත් චූ බරත් තදින් තිබූ බවයි.  සියල්ල සමථයකට පත් කොට පීඩනයද මුදා හැර මම සාමකාමී වේශයෙන් වාඩි වෙමි.

'බය ගුල්ලි' 
 කියමින් ඔහු මහ හඬින් හිනහ වෙයි.  මම තවමත් වෙවුලන කකුල් දෙක පාලනය කරගන්නට තැත් කරමින් රවා බලමි. මගේ රැවුමට කිසි දාක ඔහු බිය වූයේ නැත.

කෙටි කෑම වේලකින් නැගී සිටිමින් යලිත් බයිසිකලට නැගගන්නට වලිකන මා දෙස බලමින් , ඔහු 'wait' කියයි. 

'හෝව් හෝව් පොඩ්ඩක් ඉන්නවා කියල දෙනකල්.. මේකෙ ආයෙ යන්න වෙනවනෙ' 
ඒ කුඩා ඉඟි තුල මම එකල අහස් මාලිගා හැදුවෙමි. 

මම නිසි පිලිවෙලට නැග මෙවර වඩා පහසුවෙන් හිඳ සිටියෙමි. තිසර පටෙහි ගාංචුව කටුවකිනුත් , මගේ සිරුරෙහි ආරක්ෂාව ඔහුගේ උරහිසෙහි රැඳි දෑතෙනුත් සන්නද්ධවී තිබුණි.

You know Batti, this is a unique feeling. This is the feeling of freedom. Now don't look at the vehicles coming towards. Just TRUST me. I will handle it. Hold me. Feel the breeze. I want you to feel this. 

මම භාවනාවක මෙන් සමවැදී සිටි දැහැන බිඳෙන්නේ ස්ටාට් වූ වේගවත් පිම්මෙනි. 

'අනේ අයියේ හෙමින් ...' 

'පිස්සුද මෝඩි. හෙමින් යන්නෙ මෝඩයෝ...'  

කියමින් ඔහු 100 ආසන්නව වන තුරුම වේගය නංවයි. මඳ මොහොතකින් ඔහුගේ සුරුවම් දෑතෙහි නැලවෙන පැද්දෙන වේගවත් මොටෝ සයිකලයේ රිද්මයට මමද අනුගත වන්නට වූයෙමි.

ජීවිතය අධිවේගී ඕවිල්ලක පැද්දෙමින් දෙකන් කපා පහර දෙන සුලං පහරට ආශාවෙන් හුස්ම අල්ලන අයුරු මට දැණිනි. වෙව්ලන ගතත් සිතත් සන්සුන් වෙද්දි , ජීවිතයේ කිසි සේත්ම නොවිඳි නිදහසකින් හද පිරෙන අයුරු මට දැනෙන්නට විය. 

ඔහුගේ සිරුරට බර දිය නොහැකිව වේගයෙන් ඇදෙන මෝටෝ රිය පසු අසුනෙහි අපහසුවෙන් ඈත් වී යන මගේ සිරුරට ඔහුගේ මුලු සිරුරම බර වෙයි. හැගිම් වල ඉවුරු බිඳිමින් නිදහස නමැති යතුරු කැරැල්ල එක් එක ඉන්ද්‍රිය කපොලු හැර දමයි. මම ඔහුගේ පිටට වාරු වෙමි.දැන් මා ඔහුගේ වේගවත් සුක්කානමෙහි කොටසක් වී සිටිමි.

Now are you telling me to slow down ? 
ඔහු මගේ පපුවට ඔහුගේ පිට තුරුල් කොට ගනිමින් අසයි. 

'No. Dont ..' 
මම කොඳුරමි. 

බෝවන රෝගයක් ඇතුවාක් මෙන්, අපහසුවෙන් අපුලෙන් උරහිසෙහි රඳවාගෙන සිටි මගේ වම් අත ඔහු ඔහුගේ වමතින් ඉදිරියට ඇද ගනිමින් එය ඔහුගේ පපුතතුරෙහි රුවා ගනී.

චිත්‍රපට , බොලඳ පෙම් නවකතා , මල් ගස්, මේ හැම එකම අතාත්වික ප්‍රේම රැඟුම් යැයි මම එතෙක් කල් සිතා සිටි හැඟුම් එදා බැහැර කළෙමි. 
මම මගේ දකුණතත් හදවතත් සුලඟ තරම්ම නිදහස් කරගනිමින් ඔහුගේ බඳ වටා යවා දෑතින්ම ඔහුගේ පපුව බදාගනිමින් ඔහුට තුරුල් වෙමි.

'Life is Beautiful Idiot!.. wow....!' 

හරකි. මටද ඉඩියට් කිව්වෙ ...
ඔහු එසේ කෑගසමින් ඔහුගේ ලය බදා සිටින් දෑත් තනි අතකින් පිරිමදියි. 

මම නිදහස් ආලයෙහි සුවයෙන් අකර්මන්‍ය වෙමි.

'නෑ මට.... Don't slow down now...'  
ඔහුට තවත් තුරුල් වෙමින් කොඳුරමි.

ගහකොළත්, දෙපස කොලු කුරුට්ටනුත් , මහ හඬින් වේගයෙන් ඇදෙන මොටෝ සයිකලයෙහි කුරුල්ලන් දෙදෙනෙකු මෙන් වෙලී කෑගසමින් යන මේ ජෝඩුවට නොතිත් ඉරිසියාවෙන් පැලෙද්දී, මම ඒ ගැනවත් වගක් නැති ලෙස , නිදහසේ සුලඟේ ආස්වාදයට පලමු වරට ඉව අල්ලමින් මත් වී සිටියෙමි.... 

---------------

'මෝට සයිකලයක් පැද්ද කාලයක් මතක නැහැ අම්මි'
නාරද මගේ උකුලට බරවී ස්පෝට්ස් චැනලයෙහි රේස් බලයි.  ඒ හඬට අවනත වී මම පියවි ලෝකයට එමි.

'අම්මි... ඔයා සයිකලෙ යන්න ආස නැද්ද?'  
ඒ පැනයෙන් , කලකට පෙර සීතල සුලඟ මැද්දෙන් ඔහුගේ කෙසඟ අත පිරිමැදි මගේ අත්ල සීතල වෙයි.

'නැහැ අප්පච්චි. මට බයයි..'
බොරුවකින් , ඉදිරියෙහි කිය යුතුව තිබූ බොහෝ මුසාවන් මම පස් ටිකක් දා වසා දමමි... 

'අපරාදෙ.. ඒත් දවසක මම එක්ක යන්නම්කො' 

'හ්ම්ම්ම්.. අනේ මන්දා '  මම සිනාසෙන්නෙමි.

ඔහු තාමත් රූපවාහිනිය දෙස බලාගෙනය. මම , අලුත් අධිවේගී මාර්ගයේ වේගයෙන් ඇදෙන රේසින් සයිකලයක එකිනෙකාට තුරුලු වී ඇදෙන පෙම්වතුන් නොවූ ඉතා පැරණි ආදරවන්ත ජෝඩුවක් දිහා බලාගෙනය. 

No comments:

Post a Comment