Tuesday, November 13, 2012

Messenger විශ්‍රාම යැවීම



මෙතෙක් කලක් මයික්‍රොසොෆ්ට් සමාගමේ නිල IM(Instant Messaging) සේවාව(එනම් ක්‍ෂණික පණිවිඩ සේවාව) ලෙස දියුණුකරමින් පවත්වාගෙන ආ Messenger සේවාව සේවයෙන් ඉවත්කිරීමට කටයුතු කරමින් සිටින බව පසුගිය සතියේ(නොවැම්බර් 7, 2012 දින) එම සමාගම ප්‍රකාශයට පත්කලා. පසුගිය වසරේ Skype සමාගම මිලදීගැනීම නිසා වෙනම මැසෙන්ජර් සේවාවක් පවත්වාගෙනයාම අනවශ්‍ය බවට සමාගම තීරණය කර තිබෙනවා.

Microsoft සමාගමේ සලකුණක් බඳුවූ Messenger IM සේවය එලිදැක්වූයේ 1999 වසරේදීය. තම සමාගම විසින් එළදක්වන ලද විවිධ මෙහෙයුම් පද්ධති තුලට ද මෙම සේවාව අන්තර්ගත කිරීමට ඔවුන් කටයුතුකළා. "MSN Messenger Service" නමින් ආරම්භවී ඉතිහාසය පුරා ".NET Messenger", "Windows Messenger", "Windows Live Messenger" ආදී නම්වලින් හැඳින්වුණා. කෙසේහෝවේවා පසුගිය වකවානුව වනවිට මැසෙන්ජර් සේවාව වටා මිලියන 350ක් පමණවූ ප්‍රජාවක් රොද බැඳී සිටින්නට ඇත.

Skype සේවයට ඇත්තේ මීට සාපේක්‍ෂව කෙටි ඉතිහාසයකි. 2003 දී ආරම්භවූ ස්කයිප් අනතුරුව 2005 වසරේදී eBay සමාගම විසින් මිලයට ගැනුනේ US$ බිලියන 2.6ක මුදලකටය. ආරම්භයේ පටන් ස්කයිප් සේවාව ඉමහත් ප්‍රචලිත්වයක් අත්කරගැනීමට සමත්විය. ඒ IM සේවයට අමතරව Voice call සහ Video call සේවාවන් ප්‍රධානකරගත් සේවයක් වූ බැවිනි. එහි සාර්ථකත්වය නිරීක්‍ෂණය කළ මයික්‍රෝසොෆ්ට් සමාගම 2011 වසරේ මැයි 10 වන දින Skype සමාගම මිලදී ගත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 8.5කටය. එදා පටන් ස්කයිප් වල භාරකත්වය microsoft සමාගමේ ස්කයිප් අංශය දරනවා. ස්කයිප් ඉතිහාසයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස facebook chat සමගම එක්වීම සලකන්නට පුළුවන්. 2012 වර්ෂයේ මාර්තු වනවිට මිලියන 1090ක පමණ ප්‍රජාවක් ස්කයිප් වටා එක්රොක්වී සිටියහ.

මේ මස මුල්භාගයේ නිකුත්කරණ ලද Skype 6.0.73 සංස්කරණය මගින් MS Messenger සේවයට ආයුබොවන් කීමේ මුල් පියවර තැබීමට කටයුතු සිදුවුණේය. එමගින් මැසෙන්ජර් සේවාව භාවිත කරන පරිශීලකයන්ට ස්කයිප් client තුලින්ම තම මයික්‍රොසොෆ්ට් ගිණුමට ඇතුල්වීමේ පහසුකම ලැබුණි. මැසෙන්ජර් සේවයේ සිට ස්කයිප් වෙත මාරුවීමෙන් මෙතෙක් තමන් භාවිත කළ මෙසෙන්ජර් ලිපිනයම භාවිත කිරීමට අවස්ථාව ලැබෙන බවත් ස්කයිප් වෙත මාරුවන තෙක් 2013 වර්ෂයේ මුල් කාර්තුව දක්වා මෙසෙන්ජර් සේවාව ක්‍රියාත්මක වනු ඇති බවත් ප්‍රකාශයට පත්කර ඇත.

කෙසේ නමුත් මෙම එක්කිරීම චීනයට බලපාන්නේ නැත. චීනය තුල පවත්වාගෙන යනු ලබන දැඩි ප්‍රතිපත්ති වලට අවනතවන පරිදි ස්කයිප් හා මෙසෙන්ජර් සේවා ක්‍රියාත්මක කිරීමට එරට වෙන්වෙන් සමාගම් දෙකක් 2004 හා 2005 වර්ෂවල පටන් අයිතිකාර සමාගම් සමග සහයෝගීතාවක් පවත්වා ගැනීම මීට හේතුවයි. මේවන විට ඒ සේවා දෙකේම අයිතිය මයික්‍රොසොෆ්ට් සමාගමට පැවතියත් චීනය තුල එම සමාගම් දෙක යටතේ වෙනවෙනම ක්‍රියාත්මක වන නිසා යම්හෙයකින් සේවාවන් එක් කළහොත් එම සමාගම් අතර අර්බුදයක් ඇතිවිය හැකි නිසා ඉදිරියටත් චීනය තුල Skype හා Messenger සේවා වෙන්වෙන්ව පවත්වාගෙන යනු ඇත.



1 comments:

Comment එකක් දාන්න