Friday, November 9, 2012

අපි කවදාවත් මිය යන්නෙවත් යළි උපදින්නේවත් නැහැ

“මට දැනෙනවා... කවුරු හරි මට කතා කරනවා”

“මොනවද ඔවුන් කියන්නෙ? ”

“ඉවසීම ගැන යි කථාකරන්නේ... කෙ‍නෙකුට මේ ඉවසීමේ ගුණය අවශ්‍ය ම යි...”

“ඔව්... තව කියන්න ඒ ගැන...”

පිළිතුර ආවේ කවිකාර ගුරුස්වාමි වෙතිනි. “ඉවසීම හා කල් යල් බැලීම... හැම දෙයක් ම පැමිණෙන්නේ එසේ පැමිණීමට අවශ්‍ය ම වන අවස්ථාවේ යි. ජීවිතය කඩිනම් කරන්න බැහැ... බොහොම දෙනෙකුට ඕනෑ කරනවා වගේ එය හදාගත් කාල සටහනක්, සැලසුමක් අනුව ක්‍රියාත්මක කරන්ටත් බැහැ. ජීවිතයේ කවර හෝ මොහොතක අපට ලැබෙන දේ වැඩිමනත් යමක් නො ඉල්ලා අප පිලිගත යුතු යි. ඒත් ජීවිතයට අන්තයක් නැහැ... අපි කවදාවත් මිය යන්නෙවත් යළි උපදින්නේවත් නැහැ... අපි නොයෙකුත් අවධි පසුකරමින් ගමන් කරන‍වා විතර යි. එහි කෙලවරක් නැහැ. මානවයාට තිබෙන මානයන් ගණන බොහොම යි. කාලය කියා කියන්නේ මේ අප දකින කාලයට නොවෙයි, අප ඉගෙන ගන්නා පාඩම් වලට යි.”

භූමදානයේ විස්තර, රෝගී තත්ත්වයන් සමනය කිරීමට යොදාගත් කැලෑ ඖෂධය, දෙවියන්ගේ පිළි රූ ආදිය සම්භාව්‍ය ප්‍රතිගමණයේ දර්ශීය අංගයන් වේ. ස්මරණයන්ට ගොනු වූ දහසය වැනි වියේ සිට මරණය දක්වා වූ දීර්ඝ කාල පරාසය ද එ වැන්නකි. මේ මොහොතේ දී සිය මරණ අත්දැකීම කැතරින්ට සිහිපත් නො වූවත් (මේ ජන්මයේ මරණ අත්දැකීම මින් පෙර සැසියක දී සිහි කරන්නට ඈ සමත් වූවා ය.) නො පෙනෙන ලොව “අන් පසෙන්” ප්‍රභාවිත ආධ්‍යාත්මික තොරතුරු ග්‍රහණය කැර ගැනීම සඳහා ඈ එය පසුකර ගියා ය.

පූර්ව ජන්ම යළි සිහිපත් කිරි‍මේ දෙවැනි රටාව ලෙස මා නම් කරන්නේ මුඛ්‍ය අවස්ථා ප්‍රවාහ රටාව යි. මෙහි දී සැඟවුණ ව්‍යසනකාරී කම්පනය වඩාත් හොඳින් තේරුම් ගත හැකි නිශ්චිත ජවනිකාවන් රැසක් පූර්ව ජන්ම මාලාවක් අතරින් තෝරා උපවිඥානික මනස විසින් එකට වියමන් කරනු ලබයි. මෙ මඟින් රෝගියාට අත් වන්නේ වඩාත් ප්‍රබල හා ඉක්මන් සුවයකි.

ඇතැම් අවස්ථාවල මේ ප්‍රවාහයට අන්තර් ජන්ම සමාලෝචනයක් ද අඩංගු වන අතර තවත් වරෙක එසේ සිදු නො වේ. ඇතැම් විටක උගත් පාඩම හෝ රටාව අතිශයින් සියුම් වන අතර ප්‍රවාහයේ අන්තය වෙත ලඟා වන තෙක් හෝ මවිසින් ඒ කුමක්දැයි නිශ්චිත ලෙස රෝගියාගෙන් අසන තෙක් එය පැහැදිලි ලෙස දෘශ්‍යමාන නො වේ. තවත් අවස්ථාවක දී මුඛ්‍ය අවස්ථා ස්මරණ ප්‍රවාහය විසින් මේ රටාව ක්ෂණයකින් සම්ප්‍රේශණය කරනු ලබයි.

ඇතැම් රෝගීන්ගේ “මුඛ්‍ය අවස්ථා ප්‍රවාහය” බෙහෙවින් ම කඩ කඩ ව ගිය ස්වභාවයක් පෙන්නුම් කරයි. පසු ව, රෝගියාගේ සුවයට හේතු කාරක වන ප්‍රශස්ථ ස්මරණ ප්‍රවාහය ලෙස උපවිඥානය විසින් තීරණය කරනු ලබන සවිස්තරාත්මක මුඛ්‍ය අවස්ථා ප්‍රවාහ හෝ සම්භාව්‍ය රටාවන් බවට මෙය ඊළඟ සැසිවල දී ප්‍රසාරණය වෙයි. බොහෝ අවස්ථාවල දී මුඛ්‍ය අවස්ථා ප්‍රවාහය, ව්‍යසනකාරී කම්පනයෙන් කම්පනයට හා මරණ මංචකයෙන්, මංචකයට නාටකීය එහෙත් ස්නිග්ධ හා ශාන්ත ලෙස ගලායන්නේ සීමා මායිම් නොමැති, ඊට ම ආවේණික එහෙත් ගැඹුරු ලෙස සුවකාරක වූ අවබෝධාත්මක ප්‍රදීප්තියක් වියමන් කරමිනි. මුඛ්‍ය අවස්ථා ප්‍රවාහය සඳහා පහත නිදසුන යළිත් වතාවක් සැපයෙන්නේ කැතරින්ගේ සිද්ධියෙනි. මේ ස්මරණයන් සියල්ල මතු වූයේ ඇගේ පළමු පූර්ව ජන්ම ප්‍රතිගමණ සැසිය තුළ දී ය.

“ගල් ඇතුරූ පාරකුත්, ගසුත් තියෙනවා... මට පේනවා ලිපක ගින්දර... මගේ හිසකෙස් රන්වන් පාට යි. මම ඇඳගන ඉන්නෙ දුඹුරු පාට දිග රළු ඇඳුමකුයි පටි සෙරෙප්පුයි. මගේ වයස විසි පහ යි. මට ඉන්නවා දුවක්... ඇගේ නම ක්ලියෙස්ටා... ඈ තමා රැචල් (රැචල් යනු ඇගේ වර්තමාන ජීවිතයේ ලේලියක වූ අතර ඔවුන් දෙදෙනා අතර වූයේ අතිශයින් ම සමීප සම්බන්ධතාවයකි.)

“හරිම රස්නයක් දැනෙ‍නවා... විශාල රළ ගෙඩි ඇවිත් ගස් ඉදිරී වැටෙනවා... දුවන්න තැනක් නැහැ. හරිම සීතල යි... වතුර සීතල යි. මට මගේ දරුවා බේරගන්න ඕනෑ... ඒත් එය කරන්න බැහැ.... පුළුවන් තරම් තදින් ඈ අල්ලාගෙන ඉන්න විතරයි පුළුවන්... මාව ගිලෙනවා... වතුරෙන් මගේ හුස්ම හිරවෙනවා... මට ‍හුස්ම ගන්න බැහැ... ලුණු වතුර... මගේ දරුවා මගේ අතින් ගැලවිලා යන‍වා.... මට පේනවා වලාකුළු... මගේ දරුවා මාත් එක්ක ඉන්නවා. ඒ එක්කම මගේ ගමෙන් ආපු අනිත් අයත් ඉන්නවා. මට පේනවා මගේ සහෝදරයා.”

ඒ ජන්මය කෙලවර ඈ නිහඬ ඉසිඹුවකට පත් වූවා ය. එහෙත් ඈ තවමත් සිටියේ ධ්‍යානමය නිද්‍රාවක යි.

“කියාගෙන යන්න” මම කීවෙමි. “ඔබට වෙන මොනවද මතක? ”

“මම ඇඳගෙන ඉන්නෙ කළු ලේස් ඇල්ලූ ඇඳුමක්... මගේ හිසේත් කළු ලේස්... හිස කෙස් කළු යි. අතරින් පතර සුදු වෙලා. මේ 1758 (ක්‍රි.ව) මම ඉන්නෙ ස්පාඤ්ඤයේ... නම ලුසියා, වයස පනස් හය යි. මම නටමින් ඉන්නෙ... අනෙක් අයත් නටනවා. (දිඟු නිහැඩියාවකි) මට සනීප නැහැ... උණ අරන්... සීතලට දාඩිය ගලනවා... ‍ගොඩක් මිනිස්සු ලෙඩ වෙලා... ඔවුන් මැරෙනවා... වෛද්‍යවරු දන්නෙ නැහැ මේක ජලයෙන් හැදෙන ලෙඩක් බව...” මම ඇය කාලයේ මඳක් ඔබ්බට ගෙන ගියෙමි. “මට සනීප යි. ඒත් ‍මගේ ඔලුව තවමත් රිදෙනවා... වතුරෙන් හැදුණු උණ නිසා මගේ ඔළුවත් ඇසුත් තවම වේදනාවයි. ගොඩ දෙනෙක් මැරුණා”

මේ මුඛ්‍ය අවස්ථා ප්‍රවාහ රටාවේ දී ව්‍යසනකාරී කම්පනය අත් දකිනු ලැබූයේ ස්වභාවික ආපදාවක් ඇසුරින් බැව් පැහැදිලි ය. මුඛ්‍ය අවස්ථා ප්‍රවාහ රටාවේ දී ආවේගයන් සංකේන්ද්‍රනය වන ස්වභාවය ඉතා බලවත් සේ පෙනී ගියත්, මගේ අත්දැකීම් අනුව නම් මේ කවර හෝ ප්‍රතිගමණ රටාවක් මඟින් ව්‍යසනයක හෝ මරණ මංචකයක කම්පනයන් ඉවත් කිරීමේ දී, අහිතකර ප්‍රතික්‍රියාවන් සිදු වීම සඳහා ඇති අවදානම ඉතා අල්පයකි.

(මෙය, කොටස් වශයෙන් පල වන කෘතියක එක් පරිච්ඡෙදයක කොටසක් මිස තනි ලිපියක් ලෙස කියවීම සඳහා සකස් කරන ලද්දක් නො වේ. ලිපියෙහි විස්තර වන විෂය ක්ෂේත්‍රය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට නම් මෙහි කොටස් මුල සිට කියවීම සුදුසු ය) 

No comments:

Post a Comment