Thursday, November 1, 2012

ඉතින් ආයුබොවන් Google Knol ගරු


2007 දෙසැම්බර් 13 දින ගූගල් සමාගම විශ්වකෝෂීය සංස්කරණයක් ප්‍රකාශයට පත්කලේය. ඒ Google Knol නමිනි. අන්තර්ජාලයේ අන්තර්ගතය පුළුල්කිරීමේ අරමුණින් තමන් මෙම ව්‍යාපෘතිය ඇරඹීමට පියවර ගත් බවට ගූගල් සමාගම ප්‍රකාශයට පත්කල ද එය සාධාරණිය කිරීමට ඔවුන්ට දැඩි වෙහෙසක් දරන්නට සිදුවූයේ ඒ වනවිට විකිපීඩියාව වැනි ඕනෑම කෙනෙකුට විවෘත විශ්වකෝෂයක් වර්ධනයවෙමින් පැවති බැවිනි. Google සමාගම තමන්ගේම කියා විවෘත විශ්වකෝෂයකට අරඇදීමට සූදානම්වන බවත් එමගින් දැනුවත්ව හෝ නොදැනුවත්ව Wikipedia මරුවෙකු නිර්මාණයවන බවත් විචාරකයන් පෙන්වාදුන්හ. නමුත් ගූගල් සමාගම තම ස්ථාවරය ප්‍රකාශකරමින් කියාසිටියේ තම සමාගම Wikipediaව සමග ඉතා සුහදව කටයුතු කරන බවත් එහි දියුණුව පිළිබඳ සතුටුවන අතර ගූගල් නොල් මගින් ඊට කිසිඳු බාධාවක් හෝ තර්ජනයක් ඇති නොවන බවත්ය.


එය කෙසේවුවත් Wikipedia නාමයේ භාරකාරකත්වය දරණ Wikimedia Foundation ප්‍රකාශයක් නිකුත්කරමින් කියාසිටියේ අන්තර්ජාලයේ විවෘත අන්තර්ගතය වැඩිවන තරමට ලෝකයට හොඳ බව තමන් විශ්වාස කරන බවයි.


knol යන යෙදුම යොදනුයේ දැනුමෙහි තැනුම් ඒකකය යන අරුතිනි

-Google

Google Knol හා Wikipedia අතර දැකිය හැකි පැහැදිලි වෙනස්කම් කීපයක් විය.

  1.  ලිපි පිළිබඳ මධ්‍යස්ථභාවයක් හෝ මූලාශ්‍ර සහිතව සාධාරණියකරණයකිරීමක් අවශ්‍ය නොවීම
  2.  ව්‍යාපාර, නිෂ්පාදන, සේවා ආදියට අනුග්‍රහය දක්වන ලිපි අනුමත කර තිබීම.
  3.  Google Knolතුලදී ලිපියක් ආරම්භකරන මුල්තැනැත්තාට අවශ්‍යනම් එම ලිපියේ සම්පූර්ණ අයිතිය හෝ අයිතියෙන් කොටසක් තමන්සතුව තබාගැනීමේ හැකියාව.
  4.  තමන් ආරම්භකළ ලිපිය වෙනත් අයට වෙනස්කිරීමට නොහැකි පරිදි නිර්මාණය කළ හැකිවීම.
  5.  තම ලිපි තුල වෙළඳදැන්වීම්(Google Adsense) ඇතුලත් කිරීමෙන් ආදායම් උපයාගැනීමට අවසරය.
  6.  එකම මාතෘකාව පිළිබඳ වුවද විවිධ ලේඛකයන් අතින් නිර්මාණයවුණු ලිපි.


මේ නිසා විකිපීඩියාවට කෙසේවෙතත් about.com, squidoo, hubpages වැනි වානිජමය අඩවිවලට සැලකියයුතු බලපෑමක් එල්ලවන බව සමහරෙක්ගේ මතයවිය.

Knol ප්‍රථමවරට මහජනයාට විවෘතවූයේ බීටා(beta) සංස්කරණයක් ලෙසින් 2008 ජූලි 23 දිනදීය. මාස හයක් පමණ ගතවත විට (එනම් 2009 ජනවාරි මස වනවිට) ලිපි 100,000 සීමාවට ලඟාවීමට ගූගල් නොල් සමත්විය. නමුත් අනුගමනය කරන ලද තරමක් ලිහිල් ප්‍රතිපත්ති යටතේ විවිධ අපහසුතාවන්ට මුහුණදීමට Google Knolට සිදුවිය. ප්‍රචාරණ කටයුතු, ස්පෑම් සඳහා නොල් යොදාගැනීම මෙන්ම පක්‍ෂපාතීත්වය, පුද්ගල මතවාද, විශ්වාසවන්තභාවය පිළිබඳ ගැටලු හේතුවෙන් එය මඩගොහොරුවක් බවට පත්ව ඇති බව සමහරෙක් කියා සිටියහ.

මහජනයා විසින් එක්කරනලද ලිපිවලට අමතරව විවිධ ක්‍ෂේත්‍රයන්හි විශේෂඥයන් අතින් නිමවූ සවිස්තරාත්මක ලිපි එක්කිරීමටද ගූගල් සමාගම පියවරගෙන තිබුණු අතර Knol ලිපි කෙරෙහි පක්‍ෂපාතීත්වය දැක්වීම නිසා Google සමාගමට නොයෙක් අප්‍රසාද පළවිනි.


කාලය ගතවෙත්ම අපේක්‍ෂා කල පරිදි දෙපයින් නැගී සිටීමට නොල් අපොහොසත්වී ඇති බව පෙනීයන්නට විය. ඒ අනුව 2011 නොවැම්බර් මස වනවිට ගූගල් සමාගම නොල් නවතාදැමීමට තීරණය කර ඇති බව ප්‍රකාශයට පත්කල අතර 2012 අප්‍රේල් මස 23 දින ගූගල් නොල් වසාදැමිණ. ලේඛකයන්ට තමතමන්ගේ නොල් ලිපි ලබාගැනීමට පසුගිය ඔක්තෝබර් 1 දින දක්වා අවකාශවෙන්කර තිබුණු අතර ඉන්පසු සියලු නොල් ලිපි ලේඛන අන්තර්ජාලයෙන් මකාදමනු ලැබීය. ලේඛකයන් තම ලිපි නැවත පලකිරීමට බලාපොරොත්තු වන්නේ නම් Annotum අඩවියට යොමුකිරීමට නිර්දේශ කර තිබිණ.

මෙයින් පෙනෙන්නේ දඩයම්කරු දඩයමක් වූ බව නොවේ ද

3 comments:

This comment has been removed by the author.

පට්ට ලිපියක් දිගටම කරගෙන යන්න

Comment එකක් දාන්න