Wednesday 31 October 2012

කිඹුලෝ, ඉස්සෝ සහ කෙල්ලෝ - Miami සටහන්

ගිම්හානයේ තිබ්බ සීතල බැහැල ගිහින් (ඔව් ඔව්! සීතල තමයි ) දැන්  සිසිරයේ සීතල එන්න පටන් අරං.  මේ වෙලාවට ගෙදර සීතලේ ඉන්නකොට පහු ගිය දවසක උණුසුම් දේශ ගුණයක් තිබ්බ නගරයකට  ගියපු ගමනක් ගැන ලියල දාන්න හිතුන. කිඹුලන්, ඉස්සන් සහ කෙල්ලන් මුණ ගැහුණු ඒ නගරය ඇමරිකාවෙ  ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මයාමි නගරය. නගරයට පය ගහල වැඩි වෙලාවක් යන්න කලින් තේරිච්ච දෙයක් තමයි මේ නගරයෙ මිනිස්සු, විශේෂයෙන් ගැහැණු කොච්චර දරිද්‍රතාවයකින් පෙලෙනවද කියන එක. ගොඩක් අය පරණ වෙච්ච,ඉරුණු,කෑලි හැලෙන ඩෙනිම් කොට ගහගෙන තමා එහා මෙහා ඇවිද්දෙ. තව සමහරු ලොකු ඇඳුම් ගන්න සල්ලි නැති නිසා වියත් දෙක තුනක් දිග රෙදි කෑලි යන්තම් ඇඟේ පටලගෙන. තවත් අය උඩට අඳින්න ඇඳුම් ගන්න බැරි නිසා යටට අඳින එව්ව පිටින්ම පාරෙ යනව. අපොයි දුකේ බෑ. දැන්අහන්න එපා ඒ දුප්පත් බවලතුන්ගෙ පින්තුරයක් වත් නැද්ද බලන්න කියල. විස්සෝප වේවි ඉන්න වෙලාවට කොහෙද ෆොටෝ ගන්න මතක් වෙන්නෙ?

 Miami Vice, Dexter  වගේ කතා බලපු අය දැකල ඇති මයාමි කියන්නෙ වෙරළාශ්‍රිත සුන්දර නගරයක්. අවුරුද්ද පුරාම පවතින උණුසුම් දේශ ගුණය නිසාත් සුන්දර වෙරල තීරය නිසාත් පදිංචියට මිනිස්සු එනව වගේම, සෑහෙන්න සංචාරකයන් මේකට ඇදිල එනව. මයාමි නගරයෙ ජනගහනයෙන් සෑහෙන ප්‍රමාණයක් දකුණු ඇමරිකානු සම්භවයක් ඇති අය. මේ නිසාම නගරයෙ හැම තැනකම ස්පාඥ්ඳ භාෂාව සෑහෙන්න භාවිත වෙනව. කොටින්ම දුම්රිය ස්ථාන, ගුවන් තොටුපළවල් වල කෙරෙන නිවේදන, උපදෙස් පුවරු, මේ හැම එකක් ම ඉංග්‍රීසි සහ ස්පාඥ්ඳ භාෂා දෙකෙන්ම තියෙනව. මෙහෙ ඉන්න Senorita ලත් ඔක්කොගෙම දකුණු ඇමරිකානු ලක්ෂණ හොඳට පේන්න තියෙනව. මම කල්පනා කලේ චාල්ස් ඩාවින් ගලපගෝස් ගිහින් එහෙ සත්තු දිහා බලන් ඉඳල පරිනාමවාදය ඉදිරිපත් කළා. පොර එහෙ යන්නෙ නැතුව මයාමි ආව නං මේ ගොල්ල පද්ද පද්ද යන හැටි බලන් ඉඳල මොන වගේ තියරියක් ලියවෙන්න තිබ්බද?

මයාමි වල වැඩිය දකින්න තියෙන දෙයක් තමා නා නා මාදිලියෙ නවීන බෝට්ටු. ගොඩක් දෙනෙකුට පවුද්ගලික බෝට්ටු තියෙනව වගේම සංචාරකයන් ට කුලියට දෙන එව්වත් සෑහෙන්න තියෙනව.

 

 ඔය අලුත් තාලෙ බෝට්ටු අස්සෙ මෙන්න මේක මූදෙ යනව දැක්කම මට ඇති උන චිත්තප්රීතිය හිතා ගත්තහැකි නෙ?


උඩට මිනී ඔලුව ගහපු කළු කොඩිය විතරයි අඩු!

මයැමි නගරයෙ තවත් ප්‍රසිද්ද තැනක් තමයි Everglades ජාතික උද්‍යානය. අක්කර පහළොස් ලක්ෂයක් විතර ලොකු මේ ජාතික උද්‍යානයේ වැඩි හරිය වගුරු බිම්. ඉතිං වගුරු බිම් ආශ්‍රිතව ජිවත් වන ජීව පද්ධතින් මේ ආශ්‍රිතව දැක ගන්න පුළුවන්. ඇතුල් වෙන හරිය මට මතක් කලේ  මාදු ගඟේ  කඩොලාන පරිසරය.




ඇතුල් වෙලා වැඩි වෙලාවක් යන්න කලින් අපි බලන්න ආපු යාලුවෙක් ඉස්සරහට එනව දැක්ක. මේ ඉන්නෙ එයා.




ටික  දුරක් යද්දී තවත් කෙනෙක් ඉන්නව.


මේගොල්ලොන්ව බලල, දවාලට කිඹුල් මසුත් කාල තමයි ආවෙ. මම හිතන් හිටියෙ කිඹුල්ලු ඝන පිට පොත්තක් තියෙන්න සත්තු කියල. නමුත් ඇල්ලුවහම හරියට දැනෙන්නෙ මාලුවෙක් ව අල්ලනව වගේ. කඩොලාන තියෙන හරිය පහු කලාම අපි ඇතුල් වෙන්නෙ අක්කර ගානක් විශාල වතුරෙන් යට වෙච්ච තණ බිමක් වගේ හරියකට.



සිතිජය වෙනකල් පේන්නෙ මේ වගුරු බිම


 මේ උද්‍යානය නරඹද්දී සතුන් බලනව වගේම හොඳ අත්දැකීමක් තමයි අපි යන බෝට්ටුව. Air Boat  කියල හඳුන්වන පිටි පස්සට ලොකු අවර පෙත්තක් හයි කරපු මේ බෝට්ටු වේගෙන් එහා මෙහා යනව දැක්කම මට මතක් උනේ Water World චිත්‍රපටිය.


වෙට්ටු දාල වංගු එහෙම ගන්නකොට මරු!


මයෑමි නගරයෙ තියෙන ආකර්ශනීය බව නිසාම ලෝකෙ ඉන්න ධනවත්, ප්‍රසිද්ධ පුද්ගලයන් මේ නගරයට ඇදෙනව. ගොඩක් දෙනෙකුට මේ නගරයේ ගෙවල් තියෙනව. ඒ වගේ 'තරු' රැසක ගෙ ගෙවල් තියෙන දුපතක් තමයි 'Star Island' එක. නමෙන් කියවෙනව වගේ මේකෙ වැඩියෙන්ම ගෙවල් අරං තියෙන්නෙ ප්‍රසිද්ද පුද්ගලයන්. බෝට්ටුවක ගිහින් ඒ එක එක අයගෙ ගෙවල් බලන්නත් පුළුවන්. හැබැයි ඉතිං ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය එක්කෙනෙක්වත් එලියට බැහැල අපිට පේන්න ඉන්නෙ නෑ. මග පෙන්වන්නා එක ගෙවල් පෙන්න පෙන්න, මේක අරයගෙ ගෙදර මේක මෙයාගෙ ගෙදර කියල කියනව. අපිත් ඉතිං හුම් !හුම්! කියල අහගෙන ඉන්නව. ඒක නිසා මේ පහල තියෙන පින්තුර වල තියෙන ගෙවල් වල අයිතිවාසිකම් ඔක්කොටම අන්තිමට ලුයන්නක් දාගන්න.

මේ තියෙන්නෙ ප්‍රසිද්ධ ගායිකාවක් වන Gloria Estefan ගෙ ගෙදර. 



මේත් ලෝකප්‍රසිද්ධ පුද්ගලයෙක් ජිවත් වෙච්ච නිවසක්. මේ ඇතුල් වෙන තැන. නිවස  තියෙන්නෙ තව ඇතුලට වෙන්න. මෙහි ජිවත් උන ඔහු  ගායකයෙක්වත්, ක්‍රීඩකයෙක්වත්, ව්‍යාපාරිකයෙක් වත් නෙවේ. ඔහු නම ගියපු අපරාධ කාරයෙක්! මේ Al Capone  ජිවත් වෙච්ච නිවස.



Star Island එකේ තියෙන ලොකුම නිවස තමා මේ. අයිතිකාරය බිලියනපතියෙක් වන දොස්තර පිලිප් ෆ්රොස්ට්. ඔහු ඖෂධසමාගම් මගින් දියුණු වුනු කෙනක්. මේ ගෙදර ඉස්සරහ දිගටම පාම් ගස් වවල තියෙනව.  මෙතන පේන්නෙ ටිකයි නමුත් ගස් 30 විතර දිගට හිටවල තියෙනව. හිතා ගත්තැකි නෙ ඉඩමෙ විශාලත්වය ? මේ ගස් දකුණු අප්‍රිකාවෙන් ආනයන කරපු එව්ව බවයි අපේ මග පෙන්වන්න කිව්වෙ. මේ ගෙදර තවත් හොඳට පේනව මෙතනින්. පිලිප් ෆ්රොස්ට් ට දරුවන් නැති නිසා ඔහුගෙ මරණින් පස්සෙ මේක ආණ්ඩුවට යන්න ලු ලියල තියෙන්නෙ. සන්දුක්කාරේ! 



මේ තියෙන්නෙ සුප්‍රසිද්ධ හොලිවුඩ් නිලියක් වෙච්ච එලිසබත් ටේලර් ජිවත් වෙච්ච නිවස.



Star Island එකේ ගොඩක් ගෙවල් ඉස්සරහ මේ වගේ බෝට්ටු නවත්තල තියෙනව.



ඒ වගේම මුහුදෙ යද්දී වටේටම මේ වගේ යාන්ත්‍රික බෝට්ටු වගේම රුවල් බෝට්ටුත් දැකගන්න පුළුවන්.





Forrest Gump චිත්‍රපටිය බලපු අයට මතක ඇති Bubba Gump Shrimp Company එක. චිත්‍රපටියෙන් පස්සෙ ඒකෙ අයිතිකාර පැරමවුන්ට් සමාගම ඒ නමින් අවන්හල් සමුහයක් විවුර්ත කළා. එයින් එකක් තියෙන්නෙ මයෑමි නගරයෙ.



 ඒකට ගිහින් රසබර ඉස්සො කෑම වේලක රහ බලන්නත් අමතක කලේ නෑ. කෑම නං හරිම රසයි. ආයෙත් යන්න ලැබුනොත් අනිවාර්යෙන් මෙතනට යනව කියල හිතාගෙන තමයි ආවෙ.








මයෑමි හරිම සුන්දර නගරයක් කියල මම කලිනුත් කිව්වනෙ. නගරය   ඈතට ලස්සනට දිස් වෙන්නෙ මේ විදිහට.





මේ රාත්‍රී කාලයට නගරය පේන හැටි.



මයෑමි ගැන ලියවෙන පෝස්ට් එකක බීච් එකේ ෆොටෝ එකක් නැත්තන් ඒක පරිප්පු නැති හෝටලේ වගේ. මේ තියෙන්නෙ මයෑමි මුහුදු තීරය.





ප.ලි.
ෆොටෝ ලොකු කරල බලන්න එව්ව උඩ ක්ලික් කරන්න. මේ පෝස්ට් එකට සමහර පින්තුර ලබා දුන් ග්‍රේ ට මගේ විශේෂ ස්තුතිය. මචං, උඹ සෑහෙන ගානක් දීල ගත්ත කැමරාවෙන් අන්තිමට බලන්න පුළුවන් ෆොටෝ එකක් ගත්ත එක ගැන අපි අවංකවම සතුටුයි!! 

20 comments:

  1. ආලවට්ටං නැතුව විස්තරය නියමෙට ලියලා තියෙනවා. තේරුම් ගන්න පහසු වෙන්න පින්තුරු දැම්ම එක ගැන මගේ ප්‍රණාමය. බලාගෙන යද්දි සංචාරක තොරතුරු වගේ වැදගත් දේවල් ලියන්නත් උඔට පුලුවන්නෙ....!

    හැබැයි එකක් දරිද්‍රතාවයෙන් පෙලෙන මියාමි ළඳුන්ගේ එක පොටෝ කෑල්ලක්වත් නොදැමීම ගැන මගේ බලවත් විරෝධය!

    ReplyDelete

  2. විස්සෝප කෙසේ වෙතත් කූඩාරන් ගහගෙන
    ඉන්න ඇති ඒකනෙ අපිට බලන්න එක
    පොටෝ කෑල්ලක් වත් ගන්න අමතක උනේ:D

    ReplyDelete
  3. //අපොයි දුකේ බෑ. දැන්අහන්න එපා ඒ දුප්පත් බවලතුන්ගෙ පින්තුරයක් වත් නැද්ද බලන්න කියල. විස්සෝප වේවි ඉන්න වෙලාවට කොහෙද ෆොටෝ ගන්න මතක් වෙන්නෙ?//

    හපොයි පව් දුකේ බෑ. කට්ටිය කටවල් ඇරගෙන බලා ඉන්න හැටි මැවිලා පේනවා වගේ. :D:D

    //මේ ගොල්ල පද්ද පද්ද යන හැටි බලන් ඉඳල මොන වගේ තියරියක් ලියවෙන්න තිබ්බද?//

    මේ ගොල්ලෝ ඒවා දැකලා මොන වගේ තියරි හැදුවද දන්නේ නෑ. :))

    ග්‍රේගේ පින්තූරු නම් ලස්සනයි තමයි. අර රාත්‍රී කාලයේ නගරය සෑහෙන්ට හොඳයි.

    කවුද අනේ ග්‍රේ කියන්නේ?

    ReplyDelete
  4. @බුද්ධි

    ස්තුතියි ස්තුතියි!! අපිටත් යමක් කමක් ලියන්න ඇහැකි නේ? ඔච්චරම විරෝධය පලකරන්න ඕනි නෑ. ඔය වැල්ලෙ ෆොටෝ එකෙත් ඉන්නව බවලත් උදවිය.

    @නිශ්

    හරි අව්ව බන්. කුඩාරමක් තියා කුඩයක් වත් තිබ්බෙ නෑනෙ! :D :D

    @පොඩ්ඩි

    අපි හදපු තියරි ලියන්න වෙනම පෝස්ට් එකක් ලියන්න වෙනව. ඔය රෑ ෆොටෝ ඒක ග්‍රේ ගෙ තමා. පොර දැන් බ්ලොග් ලිවිල්ල අත ඇරලා වගේ නෙ ඉන්නෙ.

    ReplyDelete
  5. ඔව් Miami Vice, Dexter වගෙ සීරීස් වලින් වගේම හුඟක් චිත්‍රපට වලින් අපි මයෑමි දැකලා තියෙනවා. නමුත් මේ හැම එකකටම වඩා විශේෂයක් මම උඹේ මේ පෝස්ට් එකේ දකිනවා මුහුදු. ඒක තමයි මයෑමි ගැන සිංහලෙන් ලියවෙච්ච ලිපියක පලවෙනි වතාවට මයෑමි කියන වචනයේ නිවැරදි උච්චාරණය සඳහන් වී තිබීම. අනිත් හැම තැනම මා දන්නා තරමින් ලියන්නෙ මියාමි කියලා. උඹ ඕක නෝට් කලාද? තව තියෙනවා ඔය වගෙ ගොඩක්.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  6. එන්නෙපා හරිද..... අපි CSI Miami බලලා බලලා ඕකේ ලස්සන හොඳට බලාගෙන ඉන්නේ..... හ හි...

    හොරු අපරාධකාරයෝ වැහි වැහැලා ඕකේ.... ගියොත් ආයිත් එන්න නෙවෙයි... හි හි

    මරු විස්තරේ මුහුදු...

    ReplyDelete
  7. බුරා තර්ජනය කලපාර බය වුනා නේද .

    පැහැදිලියි ලස්සනයි. චික් කිඹුල් මස් කෑවද.

    ඔහේ නේද අර කිඹුලන්ගේ පිටේ යන්න පුළුවන් . දුප්පත් ලලනාවෝ ගැන දුක හිතුන පාර දුකෙන් බලන් උන්න හැටි මවි පෙන්වා මටත් . ග්‍රේ ලිවිල්ල අතැරලා වත්ද . හැබැයි මට එයාව හමුවෙලා තියෙනවා . හිතන් උන්නේ වයසක සියෙක් කියල . බැලුවම කොලුවෙක් .

    ReplyDelete
  8. @බින්දි,

    හැබෑද? එයා සීයා කෙනෙක් නෙමේද? :D

    ReplyDelete
  9. දැක්කනේ, බොලාට පොඩි සත්තමක් දාන්ටම ඕන පෝස්ට් එකක් ලියවා ගන්ට.. :P

    ReplyDelete
  10. මට අර කෙල්ලෝ ගැන විස්තර කියද්දී ගොඩක් දුක හිතුනා.නැතිකමටනේ ඇඳුම් අඩුවෙන් අඳිනවා ඇත්තේ...

    මොනවා වුනාත් ලස්සන විස්තරයක් ලස්සන පින්තූර ටිකක්.

    ReplyDelete
  11. @Dude

    ඔය කියනකල් මටත් ඒක නිච්චියක් උනේ නෑ. ගොඩක් තැන් වල තියෙන්නෙ මියාමි කියල නේද? වෙන නගර වලට වඩා ඇත්තටම මෙහෙ නං ඒ කතා, චිත්‍රපටි වල දැකල තියෙනවට සමානයි කියල හිතුන.

    @හිරු

    අප්පා, මට ඒක අමතක උනානෙ. හැබැයි කාලයක් යද්දී ඒක එපා වෙනව නේද? අපරාධකාරයෝ කෙසේ වෙතත් ගොඩක් homeless මිනිස්සු ඉන්නව දැක්ක. හැබැයි නගරයෙ ඒක පැත්තක.

    @බින්දී

    කිඹුල් මස් කිව්වට සොසේජස්. මට නං නිකං චිකන් සොසේජස් වගේ තමා! මෙතන කිඹුල්ලු පිටේ යන්න නං තිබ්බෙ නෑ. කන්න විතරයි තිබ්බෙ. ග්‍රේ දැන් ලිවිල්ල අත ඇරලා වගේ තමා ඉන්නෙ.

    @පොඩ්ඩි,

    නංගි අපි තරුණ කොල්ලෝ හරිය ??? :D :D :D

    @බුරා

    පොඩ්ඩ පොඩ්ඩ ටික කාලෙක ඉඳන් ලිව්ව බන්. කම්මැලි කම නිසා ඉවරයක් කලේ නෑ.

    @අසරණයා

    ඒක තමයි. අපිටත් හරියට දුක හිතුන. ඒකනෙ පින්තුරයක්වත් ගන්න මතක නැති උනෙ!

    ReplyDelete
  12. චිත්‍රපටි වලින් විතරයි මියාමි යන්න වෙන එකක් නෑ ගිය උබලා මෙහෙම ලියන එකත් ලොකු දෙයක්

    ReplyDelete
  13. .- මයාමි ද? මම හිතුවෙ මියාමි කියලයි. පින්තූර ටික නම් අගෙයි.

    ReplyDelete
  14. බින්දී/පොඩ්ඩි
    අපි තරුණ කොල්ලෝ තමා... නාකි වෙන්න තමා හිතලවත් නෑ.. ඔය කෙස් ගහක් දෙකක් සුදු වුනාට.
    තැනිකියු වේවා! පින්තුර හොදයි කිව්වට. අපි ගත්තොත් ඉතින් එහෙම තමා

    මුහුදු
    ලියන්න වෙලාවක් නෑ බන්...උබම දන්නවනේ මට මේ දවස් වල මම කොච්චර බිසිද කියලා.

    කිබුල කියන තරම් නරක නෑ.. මම නම් වෙන ඩිෂ් එකකුත් කලින් දවසක කාල බැලුව. මාළු රසට ගොඩක් කිට්ටුයි. ඔය ඔස්ට්‍රේලියාව පැත්තෙත් තියනවා කියලා යාලුවෙක් කිව්වා. කාල බලන්න.
    අනික මයාමි වල කොක්ටේල් සාමාන්‍යයෙන් ගොඩක් හොදයි. අඩුගානේ මම බීපු තැන ටිකේ. ගැනත් සැහෙන්න සාදාරනයි..එක තැනක ඇරෙන්න..එතනට ගියේ පොඩි වැරදීමක් වෙලා. :)

    ReplyDelete
  15. @Dilan

    යන තැන් ගැන මොන මොනව හරි ලියන්න හිතුවට ගොඩක් වෙලාවට ඒකට වෙලාව ලැබෙන්නෙ අඩුවෙන්. පුළුවන් විදිහට ඉස්සරහටත් ලියන්නන්.

    @රතු රජරට

    ස්තුතියි! සමහර පින්තුර මගේ යාළුව ගත්ත එව්ව.

    @Grey

    ඇති යන්තන් උඹට බ්ලොග් බලන්න මතක් උනා. ඒකනේ බන්, මේ ගොල්ල හිතන් ඉන්නෙ අපි නාකියි කියලනෙ. :)

    ReplyDelete
  16. සිරාවටම මම මේ අපේ සමහර ජනමාධ්‍ය ඇමෙරිකාව දුප්පත් වේගන යනවා කිව්වට විශ්වාස කළේ නෑ බන්.. මම හිතුවෙ උන් ඊරිසියාවට බොරු කියනවා කියලා.. ඒත් ඉතින් උඹ දෑහින්ම දැකලා කිව්වම විශ්වාස නොකර කොහොමද ?

    කිඹුල් මස් රහද මචන් ? ලංකාවෙනම් මරන්න තහනම් නේද ?

    ඔය බෝට්ටු නම් මෙහෙත් සෑහෙන්න තියනවා බන්.. උන් ඒවයෙන් මොනවා කරනවද කියලා මට හිතා ගන්න බෑ.. නිකන් රවුමක් ගහලා එනවද දන්නෑ නේද ?

    ReplyDelete
  17. සෙන්නා,

    ඔව් බන්. එහෙ ගෑනු හරියට දුප්පත්. දුකේ බෑ. ආයෙ ගිහින් ඒ දුප්පතුන් බලල එන්න හිතෙනව. :D :D

    කිඹුල් මස් නිකන් මාළු රහක් තමා මට නං දැනුනෙ. අනික කෑවෙ බැදපුව. බදපුවම ඕන දෙයක් රහයි නෙ.

    ඒ air boat එකක් ගන්න හිතුන.

    ReplyDelete
  18. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  19. සා...මුහුදුත් ඇමරිකාවේද ඉන්නේ. ගිම්හානේ සීතලක් ගැන කියල තියන හින්දා ඉන්න පැත්ත හිතාගන්න ට්‍රයි කරාට හරි ගියේ නෑ නේ. ඇලස්කාවේද මන්දා :)

    අපිත් ෆ්ලොරිඩානම් ගියා. හැබැයි Miami ගියේ නෑ නේ. ඔර්ලන්ඩෝ වලින් නවතින්න උනා. දුක තමා. මේ ටික දැක්කම ඉතින් ගියා වගේ තමයි.

    ReplyDelete
  20. @ සයුරි

    හපොයි නෑ මම ඉන්නෙ රැජිනිගේ රටේ :). මයැමි නං ආයෙමත් යන්ඩ ලැබුනොත් යනව.

    ReplyDelete

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!