Thursday, September 27, 2012

තේ කොළ සහ කොළ තේ


ශ්‍රී ලාංකිකයන් හැටියට අපි හැම දෙනාම තේ හැදීමට සහ තේ බීමට ඉතාමත් දක්ෂයින්. එහෙත් Green Tea එහෙමත් නැත්තම් හරිත තේ ගැන අපි කතා වෙන්න පටන් ගන්නේ මෑතක පටන්. මේ ලිපිය හරිත තේ පිළිබඳව හෝ එහි ගුණ දොස් විස්තර කරන ලිපියක් නම් නොවේ. ඒ ගැන ඔබලා බොහෝ දෙනෙක් දැනටමත් දන්නවා ඇතැයි මා සිතනවා. මේ ලිපියෙන් මා අරමුණු කරගන්නේ රසවත් හරිත තේ කෝප්පයක් සාදාගන්න ආකාරය පිළිබඳව කුඩා උපදෙස් කිහිපයක් ලබාදීමයි.
එහෙත් හරිත තේ යනු කුමක්ද යන්න පිළිබඳව කුඩා හෝ විස්තරයක් නොකලොත් මේ ලිපිය සම්පුර්ණ නොවේ යැයි කියා මා සිතන නිසා ඒ ගැන කුඩා විස්තරයක් මෙසේ ඔබට ඉදිරිපත් කරන්නම්.

හරිත තේ අප සාමාන්‍යයෙන් බොන කළු තේ එහෙමත් නැත්තම් Black tea වලින් වෙනස් වන්නේ කළු තේ මෙන් හරිත තේ දළු ඔක්සිකරණයකට ඉඩක් ලබා නොදීම නිසයි. කලු තේ නිෂ්පාදනය කිරීමේදී තේ දළු ගොඩ ගසා ඔක්සිකරණය වීමට ඉඩ ලබදීමෙනුයි එහි ඇති දුඹුරු පැහැය ලබාදෙන්නේ. එහෙත් එසේ ඔක්සිකරණයට ලක් නොකරන නිසා හරිත තේ කොළ පැහැයෙන් එසේත් නැත්තම් හරිත පැහැයෙන් යුක්තයි. මේ හේතුව නිසාම එහි අඩංගු වන ස්වභාවික ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයත් සාමාන්‍ය තේ වලට වැඩ වැඩියි. හරිත තේ වල ඇති ලෙඩ රෝග වැළක්වීමේ ගුණය ගැන ඉහලින්ම කතා වන්නේත් මේ හේතුව නිසාමයි.

ඉහත කුඩා විස්තරයෙන් පසුව අපි දැන් බලමු ප්‍රනීත හරිත තේ කෝප්පයක් සාදාගන්නේ කෙසේද කියා. ඉතාම විද්‍යාත්මකව හා සාම්ප්‍රදයනුකුලව හරිත තේ සකස් කරන සංකීර්ණ ක්‍රම ඇතත් මා මෙහිදී සරල සැමට පහසුවෙන් කල හැකි මා විසින්ද අතහදා බලා සාර්ථක වූ ක්‍රමයකට ඔබගේ අවධානය යොමු කරන්නට මා කැමතියි.


 
 
 
 
1. ඉතා ඉහල මට්ටමේ ඉහල මිලගණන් වලට අලවි වන හරිත තේ නිෂ්පදන ඇතිමුත් සාමාන්‍ය අපට වුවත් එය දෙයාකාරයෙන් මිලදී ගත හැකියි. ඒ තේ දළු ලෙස හෝ තේ බෑග් ලෙස සකසා. තේ කොළ ලෙස ලබාගන්නා හරිත තේ වඩාත් ප්‍රනීත වුවත් තේ බෑග් වල ඇති පහසුව නිසා බොහෝ දෙනා එය මිලදී ගන්නට පෙලබෙනු දකින්නට පිළිවන්. කෙසේ හෝ සපයා ගත්තේ තේ කොළ නම් තේ හැන්දක ප්‍රමාණයක්ද තේ බෑග් නම් එක බෑගයක් ද තේ කෝප්පයක් සෑදීම සඳහා අපට අවශ්‍යයි.

2. මීළඟට උණු වතුර සපයා ගත යුතු අතර මෙහිදී සැලකිලිමත් විය යුතු වන්නේ නිසි උෂ්ණත්වයේ පවතින ජලය සපයා ගැනීම පිළිබඳවයි.හරිත තේ සඳහා නිසි උෂ්ණත්වය තේ වර්ගයෙන් වර්ගයට වෙනස් වුවත් සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 70 ත් 80 ත් අතර උෂ්ණත්වයක් මේ සඳහා සෑහේ. කිසි විටෙක උතුරන ජලය මෙහෙදී යොදා නොගැනීමට වගබලා ගත යුතු අතර එසේ වුවොත් සිදුවන්නේ තේ දල්ලෙහි අඩංගු ටැනීන් නම් සංයෝග නිදහස් වීම නිසා තේ බඳුන තිත්ත රසයකින් යුක්ත වීමයි. අප බොහෝ දෙනා හරිත තේ අතහරින්නට ප්‍රධාන හේතුවත් මෙයයි. නිසි උෂ්ණත්වයෙන් යුතු උණු ජලය සපයා ගන්නට ක්‍රම දෙකක් ඇත එකක් නම් උෂ්නතවමානයක් මගින් නිසි ප්‍රමාණය තීරණය කිරීමයි. අනෙක නම් මාද අනුගමනය කරන පරිදි හිතේ මිම්මට ජලය උණු කිරිමයී. ජල බඳුන උතුරාගෙන එන විට පළමු බුබුල නැගෙන අවස්ථාවේ එම ජලය ගැනීම මවිසින් සිදු කරන අතර ජලය නැටූ පසු එය විනාඩි කිහිපයක කාලයක් විවුර්තව තබා උණුසුම අඩුවූ පසු ගැනීමත් කල හැකිය.

3. මෙසේ සකස් කරගත් උණු ජලය තේ කෝප්පයකට දමා එයට තේ කොළ තේ හැන්දක ප්‍රමාණයක් හෝ තේ බෑග් එකක් දමා පියනකින් වසා තත්පර 30ත් විනාඩි 3ත් අතර කාලයක් තබා ගත යුතුයි. මෙම කාලය තේ වර්ගයෙන් වර්ගයට වෙනස් වන අතර සාමාන්‍යයෙන් තේ කොළ එසේ තබා ගත යුත්තේ තේ බෑග් වලට වඩා අඩු කාලයක්. මෙය කිහිප වරක් කර අත්දැකීමෙන් නියමිත පදම සකසාගත හැකිය.
ඉන් පසු තේ බෑගය ඉවත් කර හෝ තේ දළු පෙරා පසෙකින් තබාගන්න. හේතුව පසුව කියන්නම්.

4. දැන් මෙය පානය කල හැකියි. ඔබට අවශ්‍ය නම් සිනි එක්කර ගත හැකි වුවත් වැඩි ප්‍රමාණයක් එක් කිරීම මගින් තේ වල සැබෑ රසය මැකී යන්නට ඉඩ තිබේ. තේ හැන්දක් හෝ ඊට අඩු ප්‍රමාණයක් සෑහේ.

5. පෙරදී පසෙකින් තබාගත් තේ බෑගය හෝ තේ කොළ වලට නැවත වරක් පෙර පරිදිම උණු ජලය දමා තවත් කිහිප වාරයක් රසවත් තේ කෝප්ප සාදාගත හැකි නිසා ඔබගේ පසුම්බියටත් එය පහසුවක් වේවි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...