Friday, September 21, 2012

'චාරිකං ගාමංච ෆන් අභය භූමිං' - අපේ උඩවලවේ චාරිකාව

හායි ගයිස්, ඇක්චුවලි මම මේ ලියන්නෙ අපි ගිය සතියෙ ගියපු පට්ටම පට්ට fun ට්‍රිප් එකක් ගැන. මේක බලන උඹලටත් මේ ජාතියෙම ට්‍රිප් එකක් යන්න ආස හිතෙන එක මට හොඳටම සුවර්.මක්කටැයි තව කතා...මෙන්න කතාව.

ට්‍රිප් එක ගියේ අපේ IronOne කොම්පැනි එකේ training ඉන්න අපි 15 දෙනා තමයි. අපි කිව්වෙ මම,මාලක,පැතුම්, වාස්,සංඛ, අකිල,අරුණ,මාධව,විසිත,ශාක්‍ය ,මංජුල හා කෙල්ලොන්ගෙන් හසිනි,බුද්ධි,සඳරේඛා සහ මාධවී තමයි.

ට්‍රිප් එක ගියේ උඩවලව, ඇඹිලිපිටිය හා ඒ අවට ස්ථාන කීපයක. මගේ වාස භූමිය ඇඹිලිපිටිය නිසා ට්‍රිප් එක සංවිධානය කිරීමේ භාරදූර වගකීම පැවරුණේ මට.ඔන්න දවස් ගාණක් මහන්සි වෙලා ට්‍රිප් එක arrange කරගත්තා.

පළමු දවස
01. බෝපත් ඇල්ල (උදේ ආහාරය එතැන)
02.රත්නපුර සමන් දේවාලය.
03.කොස්වැටිය සමනල පුදබිම
04.දිවා ආහාරය - ඇඹිලිපිටිය සැනාරා රෙස්‍ටුරන්ට්
05.මඩුවන්වෙල වලව්ව
06.ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව - ක්‍රීඩා කිරීම/ නෑම / බෙලිමල් සමග හකුරු / ඉරිඟු
07. රාත්‍රී ලැගුම් ගැනීම (බකිංහැම් මාළිගාවේ හෙවත් අපේ ගෙදර)

දෙවන දවස

01.උඩවලව ජාතික වනෝද්‍යානය - සෆාරි - උදේ ආහාරය කැළෑව තුළ
02. අලින්ට කිරි දීම නැරඹීම
03. දිවා ආහාරය - වැව් මාළු බුෆේ
04. නෑම - සුදුගල ජලාශය(කොස්වැටිය-පල්ලෙබැද්ද)
05. ආපසු ඒම

ඔන්න ඉතින් වැඩ කටයුතු සංවිධානය වුණේ ඔහොමයි.

උදේ 5.15 ට විතර මොර‍ටුව කැම්පස් ළඟින් පිටත් වුණු අපේ සෙට් එක මාවත් දාගෙන 5.45 විතර මහරගමින් ගමන ආරම්භ කළා. උදේ 7.30 විතර වෙනකොට  අපි කුරුවිට බෝපත් ඇල්ල ගාවට ළඟා වුණා. කුරුවිට නගරයට ඇවිත් කිලොමීටර 3ක් 4ක් වගේ ඇතුලට යනකොට බෝපත් ඇල්ල නැවතුම් පොළ හමුවෙනවා.


ඇතුල්වීමේ ස්ථානය

වාහනෙන් බැහැලා අපි ඇතුල්වීමේ දොර‍ටුවෙන් රුපියල් 20 tickets අරගෙන අදාල තැනට ගියා. බෝපත් ඇල්ලට යන්න තියෙන්නේ දනහිස ගාවට විතර වතුර තියෙන පුංචි ගඟක් තරණය කරලා.අපි ඉතින් කන්න ගෙනා කෑමත් අරන් ඒ ගඟ එගොඩවෙලා ඇල්ල ළඟට කිට්‍ටු වුණා.


ගංඟා තරණය

ඇත්තටම බෝපත් ඇල්ල මාරම ලස්සනයි. උඩ ඉඳලා පහලට කඩා වැටෙන වතුර පාර සුදු පාට දුමක් වගේ වටේම පැතිරිලා ගියා. එදා තරමක් වැස්ස දවසක් නිසාත්, වෙනදාට වඩා වතුර වැඩි බව පෙනුණු නිසාත් බොහොම පරිස්සමින් ගලෙන් ගලට අඩිය තියමින් දිය ඇල්ල ළඟටම ගියා. එතැනට ගිය අපේ සෙට් එක මෙලෝ සිහියක් නැතුව ෆොටෝ ගහනවා.  මේ තියෙන්නෙ අපේ කැමරා වලට හසුවුණු ඒ දර්ශන වලින් කීපයක්.


දියඇල්ල පාමුලට 


සුන්දර බෝපත් ඇල්ල

ඉතින් මෙහෙම ඉඳලා අපි ඒ සුන්දර දිය ඇල්ල ගාවදී සකස් කරගෙන ගිය උදේ ආහාරයත් ගත්තා.
ආයෙමත් පොද වැටෙමින් වැස්සක් එන ලකුණු පෙනුණු නිසා අපි තවත් වෙලා ප්‍රමාද නොවී බෝපත් ඇල්ල ළඟින් පිටත් වුණා.


මේ ඉන්නේ අපේ කොම්පැනි අංගනාවෝ (හරි වදේ එයාලගේ පොටෝ බ්ලොග් එකේ දාන්ට කියල)

මී ළඟට අපි ගියේ රත්නපුර සමන් දේවාලයට. එයට තරමක් ඈතට දිවුණු ඉතිහාසයක් තියෙනවා. නඩේ ගුරා කියන හැටියට එහි ඉතිහාසය මෙසේය.

"දඹදෙණි යුගයේ රජකම් කල පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ සෙනවියෙකුවු ආර්ය කාමදේව, රත්නපුර ප්‍රදේශයට මැණික් ගැරිම සදහා පැමිණ ඇත.
මැණික් ගැරිම සාර්ථක වුවහොත් දේවාලයක් ගොඩ නගා සුමන සමන් දිව්‍යරාජයාගේ ප්‍රතිමාවක් එහි තැම්පත් කරන බවට ඔහු දිවුරා ඇති අතර ඔහුගේ අපේක්ශාව ඉටුවිමෙන් පසුව ඔහු විසින් පොරොන්දුවු පරිදි දේවාලයක් කරවා ඇත.
1505දි පෘතුගිසින් විසින් එම දේවාලය විනාශ කර එතනම ශාන්ත සැල්වදෝර් නම් පල්ලියක් ඉදිකර ඇත.
ඉන් පසුව වසර 1660දි දෙවන රාජසිංහ රජතුමා ව්සින් එම පල්ලිය විනාශ කර නැවත දේවාලය ඉදිකර ඇත. වර්ථමානයේ දක්නට ලැබෙන්නේ එම සමන් දේවාලයයි."



රත්නපුර සමන්  දේවාලය

ඉතින් සමන් දේවාලය වැඳපුදා ගත් අපට එහි තිබෙන වැඩෙන ගල් පැළයත් දැකබලාගන්න හැකි වුණා. එම ගල් පැළය හෙවත් ගල කාලයත් සමග ගසක් ලෙස වැඩෙන්නේලු. එය ඇත්තටම ඇඟිල්ලක් තරම් සිහින්ව අඩි කීපයක් උසට වැඩී තිබුණා. මේ තියෙන්නේ ඒ ගල් පැළය තමා. (ඡායාරූපය හිමිකම www.nadegura.com)


ගල් පැලේ

මී ළඟට ආයෙමත් වෑන් එකට නැගගත් අපි ඇඹිලිපිටි පැත්තට පිටත් වුණා. ඒ යන අතර සිංදු කියමින් විහිලු තහලු කරමින් ගිය ගමන ඇත්තටම රසවත්.

අපේ මී ළඟ නැවතුම්පළ වුණේ රත්නපුරේ සිට පැයක් පමණ ගියතැන හමුවන 'සමනල පුදබිම'.


සමනල පුදබිම

එතැන නම් කාටත් වගේ අලුත් තැනක්. මෑතකදී ඉදිකිරීම අරඹපු සමනලපුදබිම පිහිටා තියෙන්නෙ රත්නපුර-ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය අයිනෙම තමයි.පල්ලෙබැද්ද නගරය පහු කළාම ඕන්නම් විනාඩි 10ක් යාවි. මෙතැන හරිම ලස්සනට හදල තියෙන රහතන් වහන්සේලාගේ පිළිම රාශියක්ම තියෙනවා.


ඉදි කරමින් පවතින රහතන් වහන්සේලාගේ පිළිම

පොඩි කඳුමුදුනක වගේ පිහිටලා තියෙන නිසා උඩට නැග්ගම ඈත පරිසරය ගොඩාක් ලස්සනට පේනවා. ටිකක් විතර මහන්සි වෙලා හිටපු අපි සමනල පුදබිමේ සිසිල් සුළඟ විඳිමින් ගෙනාපු පොඩි පොඩි කෑම ජාති එහෙම කාල මීළඟට කෙළින්ම ඇඹිලිපිටි බලා පිටත් වුණා.


ඈත පේන්නේ මෙහෙමයි 

ඒ අතරමග තිබෙන තැඹිලි ,දිවුල්, කොමඩු වගේ පළතුරු කඩ දැකපු අපේ අංගනාවො සෙට් එකට තැඹිලි බීමේ දොළදුකක් ඇති වුණා. ඉතින් වාහනේ නවත්තලා අපි රසම රස තැඹිලි වලින් ගමන් මහන්සිය සෑහෙන දුරට නිවා ගත්තා.


"" තැඹිලි බීමේ දොළදුකක් ඇති වුණා"

අපේ දිවා අහාරය සඳහා නැවතුපළ වුණේ ඇඹිලිපිටියේ 'සැනාරා ගිමන්හල' හෙවත් 'සැනාරා රෙස්‍ටුරන්ට්' එක. ඒක මෑතකදි ඇඹිලිපිටියෙ ඉදි කළ ඉතාමත් ලස්සන ස්වාභාවික පරිසරයක පිහිටි සුන්දර ස්ථානයක්.

වෙල්යායක් මැද ඉදිකරන ලද ගිමන්හල ඉදි කරල තියෙන්නෙ එතැන තිබුණු විශාල ගස්වත් කපා ඉවත් නොකර.ගස් කීපයක්ම වහල තුලින් උඩට වැඩී තිබීම නිසා එහි අලංකාරය තවත් වැඩියි. ඉතින් එතැනින් අපේ සෙට් එක බුෆේ බත් ඇතිවෙන්න කෑවා.


දවල්ට කාපු ලන්ච් එක 

ඉතාමත් රසට උයලා තියෙන කෑම වල ගාණත් පහසුයි. චිකන් සමග රයිස් ඇන්ඩ් කරී ඇති තරම් කන්න රුපියල් 200 යි. ගෙනියන්න ගන්නවනම් 150යි. එළවලු කෑම බුෆේ නම් 130යි. ඉතින් අපි හැමෝම අපිම බෙදාගත්තු බත්පතේ රස වින්දෙ හරිම සතුටින්.

කාල බීල ටිකක් කතා බහ කරකර එතැන ඉන්නත් කිසිම බාධාවක් නෑ. එතැනම තියෙන කුඹුරෙන් හමාගෙන එන සිසිල් සුළඟ නිසා දැනුනු සනීපෙත් කියල වැඩක් නෑ.හැමෝම කතාවුණේ එතැන හදල තිබුණු විදිය හරිම ලස්සනයි කියලා...

මී ළඟට අපි මඩුවන්වෙල වලව්ව බලන්න යන්න පිටත් වුණා. ඒකට ඇඹිලිපිටියෙ ඉඳන් විනාඩි 30ක් විතර පනාමුර පාරෙ යන්න වෙනවා.හරියටම කිව්වොත් කිලෝමීටර 25ක්. මෙතන අපේ ට්‍රිප් එකේ fun වැඩිම තැන් වලින් එකක්. මඩුවන්වෙල අදිකාරම ගැන නොදන්න පොඩි එකෙක්වත් නැහැයි කියල මං හිතන්නෙ. කස්ටියගෙ දැනගැනීමට පොඩ්ඩක් විතර කියන්නම්.


මඩුවන්වෙල වලව්ව 

"මඩුවන්වෙල මහා දිසාවගේ මුත්තාගේ යුගය ක්‍ර.ව. 1700 පමණ තෙක් දිව යයි. දිසාවගේ මුත්තා 11 වන විමලධර්ම සුරිය රජුට ආයුධ සපයා ඇත. ඔහු වික්‍රමසිංහ විජේසුන්දර ඒකනායක නම් අයෙකි. ඔහුට කොඩිතුව්ක්කු නම් නිලනාමය රජු වෙතින් ලැබී ඇත. මඩුවන්වෙල නින්දගම ඔහුවෙත ලැබුනේද විශේෂ හේතුවක් මුල්කරගෙනය. එනම් විමලධර්මසූරිය රජු දඩයමේ ගිය ප්‍රදේශය සූරියකන්දය.

මෙම ප්‍රදේශයේ ගෝනෙකු සිටින බව රජුට ආරන්චි විය. මෙම ගෝනා පන පිටින් අල්ලා ගෙනවිත් දෙන කෙනෙකුට ගම්වරයක් පිරිනම්නේයයි රජු දැන්ම් දුන්නේය.

මෙහිදී මෙම ගෝනා ඇල්ලීමේ අභියෝගය භාරගැනීමට කොඩිතුවක්කු නිලමේ ඉදිරිපත් විය. ඔහු සුදු ගෝනා පනපිටින් අල්ලා රජුට භාරදීමේ කටයුත්ත ඉටුකිරීමේන් අනතුරුව මහත් ප්‍රීතියට පත් රජු මඩුවන්වෙල නින්දගම සන්නසකින් ඔහු වෙක භාර දෙන ලදී.


 II වන විමලධර්මසූර්ය රජු ලබාදුන් නින්දගමේ මේ ආකාරයට මෙම ස්ථානයේම වලව්ව සෑදිමට විශේෂ හේතුවක් වී ඇත. කැලයේ සිට හාවකු නරියෙකු පසු පස ලුහු බැද විත් මෙම ස්ථානයේදී හාවා නැවතී ඇත. ඉන් පසු නරියා බිය වී ආපසු කැලයට දිව ගොස් ඇත. ඒ ආකාරයෙන් මෙය ජය භූමියක් ලෙස සලකා වලව්ව ගොඩනැගීමට තීරණ කර ඇත.


මඩුවන්වෙල දිසාව උසින් ඉතා අඩු පුද්ගලයෙකි. වලව්ව ආලින්දයේ ලී කැටයම් වලින් අලංකාර කරන ලද රාමුවක් මත ඔහුගේ ජීවමාන ජායා රූපය තබා ඇත. ඔහුගේ උස අඩි 4 අගල් 08 ක් වෙයි. ඔහුට පමණක් සෑහෙන පරිදි වලව්ව තුල උළුවහු සියල්ල අඩි 05 පමණ වන සේ නිර්මාණය කර ඇත. 



මඩුවන්වෙල මහ දිසාව

එපමණක් නොව වලව්වට පිවිසෙන ගලින් නිමකල ප්‍රධාන තොරන් නිමවා තිබුනේද දිසාවේ අශ්වයාගෙ පිටින් පැමිණෙන විට නොවදින පරිදි වන අතර සුදු ජාතිකයින් පැමිණෙන විට හිස පහත් කර පැමිණිය යුතු අයුරින් මෙම සියළු තොරන් හා වලව්වේ උළුවහු සහ ඇතුළුවීමේ දොරටු සකසා ඇත. 

මඩුවන්වෙල දිසාව යනු කිසි දිනෙක ඉංග්‍රීසි ජාතිකයින් කිසිදු තැකීමකට ලක් ‍නොකල අයෙකි. හිරු නොබසින අධිරාජ්‍යයේ ඒකාධිපතිනිය වූ මහරැජිනගේ අනට කීකරු නොවු ඔහු ඇයට ගරු නොකලේය. 

වලව්වේ බිම් සැරසිල්ලට මහරැජින‍ගේ රුපය පෑගීමට සලස්වා ඇති අයුරු එයට කදිම නිදසුනකි. බිමට අල්ලා ඇති මාබල් අතරට පිඟන් කුඩුකර ඒවායෙන් ලබාගත් රැජිනගේ රූප මාබල් අතරින් අල්ලා එහි යන එන අයගේ පයට පෑගීමට සලස්වා ඇත. 


"  රැජිණගේ රුව පෑගීම පිණිස"
අධිරාජ්‍ය විරෝදී කැරලි සංවිධානය කල ඔහු ඉංග්‍රීසි ජාතීන්ට නොයෙක් විට පහර දීමටද පෙළඹී ඇත. ඉංග්‍රීසි ජාතිකයින් කීප විටක්ම පහර දි වලව්ව විනාශ කිරිමට උත්සහ කළද එවා ව්‍යර්ථ විය. ඊ‍ට ප්‍රතිචාර ලෙස දිසාව විශාල පිරිසක් සමග ගොස් කටුවන බලකොටුවේ ඉංග්‍රීසීන්ට පහර දී එහි ප්‍රධාන දොරටුවද ගලවාගෙන පැමිණ ඇත." (තොරතුරු ගත්තේ මෙතැනින් ) 


මඩුවන්වෙල වලව්ව තුළ අධිකරණ ශාලා, පිරිත් මණ්ඩප, නිදන කාමර, කෑම කාමර, අප්පුලා අශුද්ධව සිටින කාමරය, නාන කාමර, කොණ්ඩෙ පීරණ ස්ථානය, සිර මැදිරි ආදී වශයෙන් ස්ථාන විශාල ප්‍රමාණයක් තියෙනවා. මේවා බලලා අපි 4 ට විතර එතැනින් පිටත් වුණා.

අදට අපේ ගමන් බිමන් අවසානයි.අපි ඉතින් මී ළඟට ඇඹිලිපිටියෙ චන්ද්‍රිකා වැවට ගියේ පොඩ්ඩක් සෙල්ලම් කරලා නාගෙන කට්ටියත් එක්කම අපේ ගෙදර යන්න හිතාගෙන. ඇත්තටම වැව ළඟ හරිම විනෝදයි. weekend එක නිසා වෙන්නැති එදා සෙනඟත් ගොඩක්ම හිටියා.අපි ඉතින් team දෙකකට බෙදිලා cricket ගැහුවා. දෙයියනේ කියලා මම නායකත්වය දුන් පිළ ගහපු මැච් දෙකම පරාදයි. ගමටම ඇවිත් මට ගහල යන එක ලැජ්ජාවක් වුණත් එවෙලෙ කලුවර වැටෙමින් තිබුණු නිසා කාටවත් මගෙ මුහුණ පෙනුණෙ නෑ.

කොහොම කොහොමහරි අපි සෙල්ලම් කරලා ඇති වෙනතුරු වැවෙන් නෑවා. දැන් හොඳටම කලුවරත් වැටිලා.ඔය අතරේ මගේ ආදර කතාවේ නදී අපිට ගොඩක් උදව් කළා. ඇය අපිට ඒ වෙලාවේ බෙලිමල් සමග කිතුල් හකුරු ගෙනැවිත් දුන්නා. තම්බපු ඉරිඟුත් ඇය ගානෙම තමයි.

අපි බෝල ගහන අතරේ හොරෙන් ඉරිඟු කන කතුන් 
ඉතින් නාගෙන වැව් තාවුල්ලෙ  ඉඳගෙන අවට සුන්දරත්වය විඳිමින් තොල ගෑ බෙලිමල් කෝප්පෙ රසනම් කවදාවත් අමතක වෙන එකක් නෑ.

මේ එදා චන්ද්‍රිකා වැව ළඟ හැන්දෑව අපේ කැමරා වලට හසුවුණු අයුරු(අපේ කැමරාව කිව්වට හසිනිගෙ කැමරාවට)

සැන්දෑවේ වැව
අනේ මන්දා  :p
රෑ බෝ වුණු නිසා අපි ඉක්මනින්ම අපේ බකිංහැම් මාළිගාවට පිටත් වුණා. ගෙදර ගිහින් ඉතින් අපි විහිලු තහලු කරමින් කාඩ් ක්‍රීඩා කරමින් රාත්‍රිය විනෝදෙන් ගතකළා.

අපේ අම්මා ඉතින් අපි හැමෝටම බොහොම සතුටින් කන්න උයලා දුන්නා.පහුවදා උදේ පාන්දර 5ට අපි සෆාරි යන්ට පිටත් වෙන්න ඕනෑ නිසා අපි හැමෝම නින්දට ගියා.

සාමාන්‍යයෙන් වනෝද්‍යානයට සෆාරි යන්නේ උදේ පාන්දර. නැත්තන් හැන්දෑවේ. මොකද සත්තු කැළයෙන් එළියට වතුර බොන්න එහෙම එන්නෙ ඒ වෙලාවට නිසා. නැත්තන් වැඩිය සතා සීපාවා දැකගන්න අමාරුයි.ඉතින් මං මගේ යාලුවෙකුගෙ මාර්ගයෙන් සෆාරි යන්න අඳුරන කෙනෙකුගෙ  ජීප් දෙකක් සෙට් කරගත්තා.

සාමාන්‍යයෙන් එක ජීප් එකක 10 දෙනෙක් පමණ තමයි දාන්නේ.අපේ නඩේ 15 නිසා අපිට ජීප් දෙකක් ගන්න සිද්ධ වුණා. ජීප් එකක ගාස්තුව රුපියල් 3000 - 3500 අතර වගේ වෙනවා.(අපෙන් නම් අය කළේ 2700 ගාණේ.) සවාරි කාලය පැය 2ත් දෙක හමාරත් අතර වගේ.

ඉතින් ඔන්න අපි උදේ පාන්දරම උඩවලවට ළඟා වුණා.

උඩවලවෙදි අපි එනතුරු ජීප් දෙක මග බලාගෙන හිටියා.අපි ආපු ගමන්ම තවත් ප්‍රමාද නොකර ජීප් දෙක ගමන් ආරම්භ කරමින් උඩවලව වැවේ ඩෑම් එක දිගේ වනෝද්‍යානයේ පිවිසුම්  දොර‍ටු වෙත අපව ‍රැගෙන ගියා.

වැව් බැම්ම දිගේ 
එහිදී සෆාරි යන සංඛ්‍යාව හා ජීප් ගණන බලල වනජීවී එකෙන් අපට ගාස්තුවක් අය කළා. ගනණ වුණේ රු.1905ක්. වැඩි වෙලාවක් නොගොසින්ම අපි වනෝද්‍යානයට ඇතුලු වුණා. වර්ෂාව හිඟකම නිසා උඩවලවේ කැලය තුල දියකඩිති සියල්ලම පාහේ හිඳී ගිහින්. ඒ නිසා වෙනදාට වඩා සත්තු එහෙමත් අඩු වෙයි කියල තමා අපට කිව්වේ.

පිවිසුම
අපි වනයට ඇතුල් වුණාම ඇත්තටම සොබාදහමේ සුන්දරත්වය අපට සියැසින්ම දැකගන්න පුලුවන් වුණා. වනයට ඇතුලු වුණු අපි මුලින්ම දැක්කේ ඉතා අලංකාර මොණරුන්ව. ටික දුරක් යනකොට මොණරු ඉතා සුලබ දරශණයක් වුණා.

මොණරු 
මී ළඟට කැලේ සුලබව දැකිය හැකි වුණේ අලින්. සමහර තැන් වල අලින් හුදකලාවේ ආහාර ගනිමින් සිටියා. සමහර තැන් වල රංචු වශයෙන්. දම්වැල් යොදපු අලින් අලින් පෙරහැරේ දකිනව වගේ නෙවෙයි, කැලේ බොහොම නිදහසේ ඉන්න අලින් බලන එක අමුතුම සුන්දරත්වයක් වුණා.

තනි අලි 
තණ බිම් කරා
අපව නිරීක්ෂණය කරන අලියෙක් 
අපට බලන්න වටින දර්ශනයක් දු‍ටු සැනින් driver මලයා වාහනය නවත්තලා අපට photo ගහන්න අවස්ථාව ලබාදුන්නා විතරක් නෙවෙයි, සමහර දේවල් අපිට කියලාත් දුන්නා.

"ඔයාලා සත්තු දැක්කම වැඩිය කලබල කරන්න, සද්ද කරන්න එහෙම එපා. අලින් කලබල වුණාට කෑ ගහන්නත් එපා. වාහනෙන් බිමට එහෙම බහින්නත් එපා..." එහෙම කිව්වෙ මම කලින් කිව්ව driver මලයා.

ටික දුරක් ගිය අපට උදෑසන තණ කන්න ආපු මුව රංචුවක්ම මුණ ගැසුණා. උන් මිනිස්සුන්ට බොහොම බයයි.ඉතින් අපට ටිකක් ඈත ඉඳන් තමා උන්ව බලන්න වුණේ. මීට කළින් අපේ සෙට් එකේ බොහෝ දෙනෙක් සෆාරි ගිහින් නැති නිසා හැමෝටම ගොඩක් වටින අත්දැකීමක් වුණා.

තණ බුදින මුවන්
සොබාදහමේ හැටි!!!මී ළඟට අපට හමුවුණේ කැලෑව ඇතුලෙම මියගිය විශාල සතෙකුගේ ඇටක‍ටු විසිරිලා තියෙන තැනක්. හිතුණේ නම් ලොකු මී දෙනකගේ කියලා. මේ තියෙන්නේ ඒ පින්තූරේ තමයි.

කටු 
මී ළඟට ඈත ගසක තිබුණු වඩු කුරුලු ගෙවල් ‍රැසක්ම අපට පෙන්නුවේ driver මලයා තමයි. එක ගසක මෙතරම් වඩු කුරුලු කූඩු තියෙනව මං මීට කලින් දැකලම නෑ.

වඩු කුරුල්ලන්ගේ වැඩ 
වාහනේ drive කරන අතර එක පාරටම break කරලා,  මේ පුංචි කුරුලු බිත්තර පෙන්නන්න තරම් ඔවුන්ගේ ඇස් වනයට හුරුවෙලා කිව්වම මොකද හිතෙන්නේ?

කාගේද මේ බිත්තර?
දැන් ඉතින් අපේ කස්ටියට යකෙක් කන්න බඩගිනි. driver මලයා විශාල ගල් තලාවක් මත වාහනය නැවැත්තුවේ අපේ උදේ ආහාර විවේකය සඳහා. අපි ඉතින් ගෙදරින් ගෙනාපු ඉඳිආප්ප හා පාන් , පරිප්පුයි සම්බෝලයි එක්ක කෑවා.කැලේ ඇතුලේ කෑපු කෑමක fun එක නොදන්න කෙනෙක් නෑ මයි හිතේ.
අපේ සෙට් එක 
උදේ කෑමෙන් පස්සේ අපි ආයෙත් ගමන් ආරම්භ කළා. අපට යන අතරතුර තවත් සෆාරි ජීප් කීපයක්ම කැලෑව ඇතුලෙදි හම්බුණා. එතකොට වාහනේ නවත්තලා අතරමග සතුන් හිටි ස්ථාන ගැන අනික් වාහනෙන් අහල දැනගන්න එක driver ලගෙ සිරිතක්. driver මලයා එහෙම අපි හොඳට අඳුරන නිසා අපට හොඳ fun එකක් ලබාදීමේ වගකීම ඔහුට පැවරුණා.ඉතින් ඒ මලයාත් අපට වැඩි විනෝදයක් ලබාදෙන්න ගොඩක් මහන්සි වුණා.

අපි මී ළඟට ගියේ තරමක් සිඳී ගිය දිය කඩිත්තක් පැත්තට.

සිඳී ගිය ජලාශ 
එහිදී අපට කිඹුලෙකු දැක ගන්නත් හැකිවුණා. පසේ පාටම නිසා ඌව වෙන් කර හඳුනාගන්න අපට මුලදි ටිකක් විතර අමාරුත් වුණා.
කිඹුලා මල්ලි 
මී ළඟට අපේ වාහන දෙක තරමක් එරෙන වගුරු බිමක් හරහා ධාවනය කරද්දි අපි ලොකු අකරතැබ්බයකට මුහුණ පෑවා. ඉදිරියෙන් ගිය ජීප් එක කරදරයක් නැතුව ගියත් අපේ ජීප් එක වගුරු බිමේ එරුණා.ඉන් ගොඩ එන්න උත්සාහ කරද්දි අපි තව තවත් එරුණු එකයි වුණේ. ඒත් ඒකත් අපට බොහොම විනෝද ගෙන දෙන සිද්ධියක් වුණා.

'අපි එරුණා ' 
මී ළඟට අප කළේ පළමු ජීප් එකේ සහය පැතීම. driver මල්ලි විසින් ශක්තිමත් දැම්වැලකින් ජීප් දෙක ගැට ගැසුවා.ඊට පස්සෙ අපේ කස්ටිය දැම්ම තල්ලුවක්.

'සහයෝගෙන් අදිමු '
දෙතුන් පාරක් try කළාට පස්සෙ යන්තම අපේ ජීප් එක ගොඩ ආවා. කරුමෙක මහත!!! ඒ ගමන අපිව ඇදපු ජීප් එක මඩේ එරුණා. දැන් අපේ වාරය. අපේ ජීප් එක ගිහිල්ලා ගැහුවා අර එරුණු ජීප් එක ඉස්සරහින්. ඊ ළඟට ඉස්සෙල්ල වැඩේම කරලා බොහොම අමාරුවෙන් ඒ ජීප් එක ඇදලා ගත්තා.
හෝය්යා... :-)
ඔය විදියට බොහොම විනෝදෙන් අපි සෆාරියේ අවසන් හරියට එළඹුණා. ඒ අතරමග ගසක් යට දැකපු මේ තනිවුණු අලි පැටවා  ගැන අපිට ඇතිවුණේ හරිම දුකක්. පැටවා වරක් දෙවරක් අපේ ජීප් එක ළඟට ඇවිත් නැවත ගහ යටටම දුවලා ගියා.

කෝ පැට්ටෝ අම්මා ? 

සෙල්ලමටමයි හිත...
ඔය විදියට වනෝද්‍යානය තුළ ගත කළ අතිශය විනෝදජනක පැය 4ක නිමාවට එළඹියා. සාමාන්‍යයෙන් පැය 2ත් දෙක හමාරත් අතර කාලයක් යන සවාරිය පැය 4ක් විතර දීර්ඝ කළ driver මලයට තැන්කිව් වේවා. අපි වනයෙන් එළියට ඇවිත් වැව් බැම්ම දිගේ එනකොට මෙන්න මේ අලි මල්ලි පාර අයිනටම ඇවිත් අපිත් එක්ක සුහදව කතා කලා.. :p

Current වැටට බය වෙලාද ?
Current වැට තිබුණු නිසා අපේ එවුන් ටික බය නැතිවම අලියත් එක්ක photo ගැහුවා. අලියත් ලැජ්ජාවෙ ඇඹරෙමින් එක එක කෝණ වලින් ඡායාරූප සඳහා පෙනී සිටියා... :D

වෙලාව 11ට විතර වුණා. උඩවලවේ 'ඇත් අතුරු සෙවණ' තිබුණේත් ඒ ළඟමයි.එතන ඉන්නෙ අනාත වුණු අලි පැටවුන්. ඉතින් දවල් 12ට අලින්ට කිරි දෙන function එකත් බලලම යන්න අපි එතැනට ගියා. අලින්ට දෙන්නේ එසේ මෙසේ කිරි නෙවෙයි, ලැක්ටෝජන් 2 තමයි දෙන්නේ. ජොග්ගුවකින් එකක්ම දුන්නට හැබැයි දෙන කිරි ටික උන්ගේ කටේ ගෑවෙන්නවත් මදි.
අපි ඉතින් රුපියල් 20 tickets අරගෙන 12 වෙනකොට අලි පැටව් එනකන් බලන් හිටියා.හරියටම දවල් 12ට අසල කැලේ කොළ කකා හිටපු අලි පැටව් එක්කගෙන ආවෙ එයාල බලාගන්න හිටපු ඇත්ගොව්වා. දැන් අලි පැටව් ටික වැට ගාව පෝළිමේ ඉන්නවා.

වරකට දෙන්නා බැගින් කිරි බොන පෝළිමට එවනවා. තමන්ගේ අවස්තාව එනකන් අලි පැටව් බොහොම නොඉවසිල්ලෙන් තමයි ඉන්නේ.

දෙදෙනෙක් යති, දෙදෙනෙක් එති.
අලින්ට කිරි දෙන්නේ දිග බටයක් කෙළවරකට සවි කරපු පුනීලයක් කටට ගහලා. ඉතින් අලි පැටව් ඈත ඉඳන්ම හොඬවැල උස්සගෙන එන්නෙ කුක්කු බටේ කටට දාගන්න බලාගෙන.

"  හා...හා.. කිරි බීපු අය යනවලා..."
කුක්කු මදිද මන්දා...?
ඒ වැඩසටහනත් ඉවර වුණා. හොඳටම දවල් වෙලා.අපේ කස්ටිය ගියා සංඛපාල අසල වැව් මාලු බුෆේ එකකට.ගිහින් බඩ පිරෙන්න බත් කෑවා.

දැන් පුරා දින දෙකක් බොහොම විනෝදෙන්, සතුටින් හිටිය අපේ චාරිකාවේ අවසන් හරිය. ගෑණු ළමයින්ට එයාලගෙ ගෙවල් වලට යන්නත් තියෙන නිසා අපි කොළඹ එන්න පිටත් වුණා. ඒ එන අතරමග පල්ලෙබැද්ද හරියෙදි සුදුගල ජලාශයෙන් නෑවේ ඇඟේ පතේ මහන්සිය යන්නත් එක්ක.

ඉතින් හැන්දෑවේ 6.30 විතර වෙනකොට අපි කොළඹට ආවා. trip එක ගැන කියනවනම් හරිම විනෝදයි. ඉතින් ඒ පැත්තෙ නොගිය කෙනෙක් එහෙම ඉන්නවනම් ඔන්න දැන් යන හැටි දන්නවා. උදව්වක් එහෙම ඕනි වුණොත් මට කියන්ටකෝ... අපේ ගෙදර නවාතැන් දීම හැරෙන්න වෙන ඕනිම උදව්වක් කරන්නම්... :D ;p (විහිලුවට කිව්වෙ මෙයා)

සැමට ජය!!!

කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

8 comments:

  1. සිරා ට්‍රිප් එක බස්සෝ. හොඳම කෑල්ල මඩුවන්වෙල ගහේ සීන් එක තමයි. අදාළ බවලතුන්ගෙන් අහලා එකේ ෆොටෝ ටිකකුත් දාපන්.:D

    ReplyDelete
    Replies
    1. 4to නෙමෙයි බං වීඩියෝ එකම දැම්මනම් මාරු :P

      Delete
    2. පොඩ්ඩක් ඉවසලා හිටියනං... අද හෙටම ඒක දාල short film එකක trailer එකක් දෙන්නයි හිතං ඉන්නේ...:-)

      Delete
  2. මේක නම් සුපිරිම ආතල් එකක් ගත්තු ට්‍රිප් එකක්. මටනම් අර මඩුවන්වෙල වලව්වේ තිබ්බ ගහෙන් ගත්තු ආතල් එක තමයි no 01
    :P

    ReplyDelete
  3. ල්සසනටම ලියලා තියෙනවා. ගිහින් නැති නිසා බල්න්න යන්න හිතාගෙන හිටියෙ. යන්න ආසාව තවත් වැඩි වුනා මේක කියවලා ෆොටෝ බැලුවම. ගොඩක් සත්තු දැකල වගෙයි. ෆොටෝ ටිකත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ආ...වන වදුල, යමු යමු එහෙනං. මේ දෑස මක්කටෙයි මේවා බලන්නැතුව ඈ...:-D

      Delete
  4. oya trip eke giya than tikatama api giyaa meta avutudu 2kata vithara kalin, cmb vala idan giye api nam davasin aava habayi saman devale,bopath ella,samanalapuda biimata giye naaa

    ah bassa embilipitiyeda?
    apith oya pranthe thamaa

    ReplyDelete
    Replies
    1. ඈ... මඩයා ඇඹිලිපිටියේද හැබැට? කියන්ට එපැයි. කොයි හරියෙද දන්නෑ?

      Delete

උඩට යන්න මෙතන click කරන්න.