Sunday, June 3, 2012

මොරටුව සරසවිය - එල්ලේ ක්‍රීඩාව සහ සහෝදරත්වය.

වසරක් පාසා පැවැත්වෙන අන්තර් විශ්වවිද්‍යාලයීය එල්ලේ තරගාවලිය මෙවරද මහ ඉහළින් පැවතියේය. සෑම විශ්වවිද්‍යාලයක්ම පාහේජයග්‍රහණයේ බලාපොරොත්තු දල්වා සිටියහ.පසුගිය වසරේ එල්ලෙ ශූරයන් වූ අපට එය ‍රැක ගැනීමේ භාරදූර වගකීම පැවරී තිබිණ. මෙවර තරඟාවලිය පැවතියේ කොළඹ විශ්වවිද්‍යාලයේ බැවින් එහි වාසිය කොළඹට නො අඩුව ලබුනේය. දිවයින පුරා විශ්වවිද්‍යාල 14ක් තරඟාවලිය නියෝජනය කිරීමට නියමිත විය.



මොර‍ටුව, කොළඹ, ජ'පුර, කැළණිය, වයඹ, පේරාදෙණිය, රජරට, යාපනය, රුහුණ, සබරගමුව, නැගෙනහිර යන විශ්වවිද්‍යාල හඳුනාගත් දැවැන්තයෝ වූහ. 

සියලු විශ්වවිද්‍යාල ලහි ලහියේ තරඟාවලියට සූදානම් විය. මැයි මස 31 සහ ජුනි 1 දිනයන් පිරිමි එල්ලේ තරඟ සඳහාත් ජුනි 2,3 දිනයන් ගැහැණු තරඟ සඳහාත් වෙන් විය. 

තරඟාවලියේ පළමු දිනය උදා විය. මොර‍ටුව සරසවියේ එල්ලේ කණ්ඩායම නියෝජනය කිරීමට මාද වාසනාවන්ත වීමි. අප කණ්ඩායමේ සෑම දෙනා තුළම ජයග්‍රහනයේ බලාපොරොත්තු නො අඩුව තිබුණේය.
අප කණ්ඩායම ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් යුක්ත විය.ඉන් 16 දෙනෙකු වරකට ක්‍රීඩා  කළහ.

පොතේ පතේ පාඩම් වලින් හෙම්බත් වී සිටි මා මෙවර තරඟාවලියේදී ජීවිතයට ගත හැකි පාඩම් ‍රැසක් උගත්තෙමි. කණ්ඩායමක් යනු කුමක්ද, කණ්ඩායම් හැඟීම යනු කුමක්දැයි උගත්තෙමි. එක රෑනේ සගයෙකුට කරදරයක් වූ විට දැනෙන වේදනාව ඇති වෙන්නම වින්දෙමි.ජයග්‍රහණයේ සතුට මෙන්ම පරාජයේ ක‍ටුකත්වයද අත් වින්දෙමි.

තරඟ කාල සටහන අනූව අපට හිමිව තිබුණේ දවසේ 8 වන තරඟය හා 12 වන තරඟය ය. ‍රැස්ව සිටින්නන්ගේ ජය ඝෝශා මධ්‍යයේ තරඟාවලිය ඉදිරියටම ඇදී ගියේය.7 වන තරඟය ඇරඹුණු පසු ඊ ළඟ තරඟයට මුහුණ දීමේ සූදානමින් අප ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම වල යෙදුණෙමු. කණ්ඩායමේ නායක ජොන්ටි අයියා ඇතුළු පිරිස මී ළඟට කතා බහ සිදු කලේ තරඟ සැලසුම් පිළිබඳවය. 



මාගේ දකුණු අතේ තිබූ අබාධය හැරුණු කොට කණ්ඩායමේ සියල්ලෝම මනා කායික හා මානසික ශක්තියකින් යුක්ත වූහ.කෙසේ වෙතත් මා පළමු තරඟයට ක්‍රීඩා කළ හැකි තරමේ කායික යෝග්‍යතාවයකින් යුක්ත වූවෙමි.

අප විශ්වවිද්ය්‍යාලය හා රජරට විශ්වවිද්‍යාලය අතර තරඟය එලැඹිණි. පළමු තරඟය සඳහා ක්‍රීඩා කිරීමට මම, ජොන්ටි අයියා,කබ්බ අයියා,ගලා අයියා, සමීර,කිරා,රුක්ෂාන්, හේෂාන්, මන්දෙ,සාමි, මහේෂ්, වාසල, බුද්ධික, නක්කෙ, බණ්ඩා හා අජ්ජා අයියා පිටියට පිවිසියෙමු. තේමිය, ගමයා, සී.එස්. , සුභාෂ් අයියා, සුභාෂ් මල්ලී, ඩිලන්ක, අකිල, මලා හංසක,පිස්සා, ලැටා සහ අපේ කෙල්ලන්ගේ ටීම් එක අපට යෝධ ශක්තියක් වෙමින් අප පසුපසින් සිටියහ. ගමයාගේ අති දක්ෂ වෙදකම් හා තේමිය,සී.එස් , සුභාෂ් අයියාගේ සූක්ෂම නූල් සූස්තර හා නිරීක්ෂණ මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුය.

කාසියේ වාසිය දිනා ගත්තේ අපය. ජොන්ටි අයියා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඉතා දක්ෂ ලෙස පන්දුවට පහර දුන් අප කණ්ඩායම පන්දු 40 ක් තුළදී ලකුණු 8ක් ලබා ගත්තෙමු. ඒ සඳහා සිය මංගල තරඟයට සහභාගි වූ බුද්ධික මල්ලී ලකුණු 4කින් දායක විය. මා ද ලද පළමු පන්දුවෙන්ම ලකුණක් ගෙන දීමට සමත් වීමි.

අනතුරුව පන්දුවට පහර දීමට පැමිණි රජරට විශ්වවිද්‍යාලය ට ප්‍රභල තර්ජනයක් එල්ල කරමින් ඔවුහු 1 ලකුණකට සීමා කිරීමට අපට හැකි විය. අප ලකුණු 7ක් පහසු ජයක් අත් කර ගත්තෙමු.

දවසේ 12 වන හෙවත් අවසන් තරඟය අප හා යාපනය විශ්ව විද්යාලය අතර පැවැත්වීමට නියමිත වුවත් අයහපත් කාලගුණය හේතුවෙන් එය පසුදිනට කල් දමන ලදී.

නියමිත පරිදි අප පසුදින උදෑසන 7.30 වන විට යළි පිටියට අවතීර්ණ වූයෙමු. දිනයේ පළමු තරඟය අප හා යාපනය විශ්වවිද්‍යාලය අතර පැවැත්විණ.කවුරුත් බලාපොරොත්තු වූ පරිදි එම තරඟයද ජය ගැනීමට අපට හැකි විය.අප පන්දුවට පහර දී ලකුණු 7ක් ‍රැස් කළ අතර යාපනය විශ්වවිද්‍යාලයට ලබාගත හැකි වූයේ ලකිණු 5කි.

 පළමු වටයේ තරඟ නිමා වීමෙන් පසු A ඛාණ්ඩයේ පෙරමුණ ගැනීමට අපට හැකි විය. යාපනය සමග තරඟයේදී මාගේ දකුණු අත යළි ආබාධයට පත් වීම හේතුවෙන්  ඉන් අනතුරුව තරඟ වලින් ඉවත් වීමට මට සිදු විය. මී ළඟට එම වගකීම පැවරුණේ සුභාෂ් මල්ලීටය. 

අර්ධ අවසාන පූර්ව වටය ඇරඹිණ. හොඳම විශ්වවිද්‍යාල 8 ද්වන්ධ සටනකට යෙදීම ඇරඹියේය. මෙම වටයේදී විශ්වවිද්‍යාල 4ක් ඉවතට විසි වීමට නියමිත විය. 4ක් මී ළඟ වටයට සිදුසුකම් ලබති.අප දැඩි අධිෂ්ඨාන ශක්තියකින් මී ළඟ තරඟයට සූදානම් වීමු. 

අදාල තරඟය අප හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතර විය. සුපිරි සටනක් දැක බලා ගැනීමට විශාල පිරිසක් ක්‍රීඩාංගනය වටා ‍රැස් වූහ. මෙවරද කාසියේ වාසනාව අපටම විය. තීරණය පළමුව පන්දුවට පහර දීමටය. 
බොහෝ දෙනාගේ ජය ඝෝෂා මධ්‍යයේ තරඟය ඇරඹිණ. පේරේ ක්‍රීඩකයෝ අපට දැවැන්ත සටනක් දියත් කළහ. ගුවන දෙබෑ කරගෙන ඇදී ගිය පන්දු බොහොමයක් ඔවුහු සු‍රැකිව ‍රැක ගත්හ. ලද කුඩා හෝ අවසරයෙන් ප්‍රයෝජන ගත් අප සගයෝ කෙසේ හෝ ලකුණු 4ක් උදුරා ගන්නට සමත් විය. පේරාදෙණියට ජයග්‍රාහී ඉලක්කය වූයේ ලකුණු 5කි.

අපගේ පන්දු ‍රැකීමේ වාරය පැමිණියේය. සියලු දෙනා වටවී ලකුණු 4 ‍රැක ගැනීමට පිඹුරුපත් සැකසූහ.

"හැම එකාම උඩ කැච් ටික අල්ලන්න ඕනි, එකක්වත් බාන්න බෑ. මේක ෆයිනල් එක කියල හිතල සෙල්ලම් කරපන්.අවසාන බෝලෙ දක්වාම ගේම ඉවර නෑ." ජොන්ටි අයියා කියුවේ එසේය.
පේරා'ගේ පන්දුවට පහර දීමේ වාරය පැමිණියේය. ඔවුහු දැවැන්ත පහරවල් කරා යද්දී අපගේ ක්‍රීඩකයන් ගුවනේ පීනමින් උඩ පන්දු ‍රැක ගනිමින් ප්‍රතිවාදීන් එකා දෙන්නා හරවා යැවූහ. තරඟය ඉතා උනුසුම්ව ඇදී ගියේය.

තරඟයක් වෙනස් කිරීමට එක අත් වැරදීමක් ප්‍රමාණවත්ය. අපගේ පළමු අත් වැරදීම සිදු විය. පේරා ඔවුනගේ පළමු ලකුණ වාර්තා කරමින් නව පිබිදීමක් ලැබූහ. ඉන් අනතුරුව එල්ල වූ දැවැන්ත පහර කීපයකින් ඔවුහු සිය ලකුණු මට්ටම 4 දක්වා ඉහළ නංවා ගත්හ.
අවසන් වී ඇත්තේ පන්දු 26ක් පමණි.ජයග්‍රාහී ලකුණ වාර්තා කිරීමට ඔවුනට පන්දු 14ක් පමණ ඉතිරිව  කඩුලු 6ක් හෝ 7ක්  ඉතිරිව තිබුණි. අපගේ හද ගැස්ම වේගවත් විය. අතේ අමාරුවද නොතකා මා අපගේ සගයන් සමග උගුර ලේ රහ වනතුරු අපේ කණ්ඩායම දිරිමත් කරමින් කෑ ගැසුවෙමි. 

"ගේම් එක ඉවර නෑ.....මේ ලකුණ කොහොම හරි නවත්වන්න ඕනෑ....හැමෝම ගේමෙ හිටපල්ලා" ජොන්ටි අයියා සෙසු ක්‍රීඩකයින් දිරිමත් කරමින් කෑ ගැසුවේය. පන්දුවට පහර දෙන ප්‍රතිවාදී ක්‍රීඩකයා පසු පස පන්දුව රකිමින් (බයිස්) අජ්ජා අයියා හෙවත් මගේ කතා නායකයා සුවිශේෂී මෙහෙවරක් ඉ‍ටු කළේය. ඔහුට මුලු ක්‍රීඩාංගනය පුරා අප සෙසු සගයන් පන්දු රකින ස්ථාන මනාව දර්ශනය වූයේය. ඔවුන් නිවැරදි ස්ථාන වල ස්ථානගත කරවීමට අජ්ජා අයියා නිරන්තරයෙන්ම උත්සුක විය.

තරඟය කෙමෙන් කෙමෙන් ඇදී ගියේය.සියල්ලෝ දැඩි කැපවීමෙන් යුතුව පන්දු ‍රැක්කාහ.පේරා ක්‍රීඩකයන් එකා දෙන්නා ලකුණු නොලබා දැවී ගියහ. අවසානයේදී ඔවුහු කඩුලු දෙකක් පමණක් අතැතිව අවසන් පන්දු කීපයට මුහුණ දෙමින් සිටියහ.


ඉතිරිව සිටි පිතිකරුවන් දෙදෙනාගෙන් එක් අයකු දෙවන නැවතුමේ නැවතී සිටියදී අවසානයා පන්දුවට පහරදීමට ආවේය. අප කාගේත් හද ගැස්ම වේගවත් විය. පන්දු යවන්නා පන්දුව එල්ල කළේය. පිත්ත ඔසවා දැවැන්ත පහරකට මුල පිරූ ක්‍රීඩකයාගේ පිත්තේ යට අග්‍රයේ දැව‍ටුණු පන්දුව ට්‍රිප් වී අජ්ජා අයියා අත ‍රැඳුණේය.ඔහු එසේ දැවී යද්දී දෙවන නැවතුමේ ඉතිරි වී සිටි ක්‍රීඩකයා විදුලි වේගයෙන් තුන් වන නැවතුමද පසු කරමින් එළියට ඒමට උත්සාහ කළේ යළි පන්දුවට පහර දීමට අවස්ථාවක් ලබා ගැනීමටය. ඒ ක්ෂණයෙන් ක්‍රියාත්මක වූ අජ්ජා අයියා ඔහුව ද දවා ගැනීමට අධික වේගයෙන් ඔහු වෙත දිව ගියේය.

 ගත වූයේ නිමේශයකි. !!!

පන්දුවෙන් පහර දී එම ප්‍රතිවාදී ක්‍රීඩකයාද දවා ගැනීමත් සමගම වේගය පාලනය කරගත නොහැකිව අජ්ජා අයියා හා ප්‍රතිවාදී ක්‍රීඩකයා දරුණු ලෙස එකිනෙකා හා ගැ‍ටුණේය. අජ්ජා අයියාගේ හිසට දරුණු ලෙස පහරක් වැදී ඔහු එතැනම සිහි නැති වී ඇද වැ‍ටුණේය. සිදු වූ දෙයෙහි බරපතලකම එක් වරම නොතේරුණු අපි කෑ ගසමින් ප්‍රීති ඝෝෂා කරමින් අජ්ජා අයියා ලඟට දිව ගියෙමු.හෙතෙම ඇස් අඩවන්ව බිම වැටී සිටියේය.

"අජ්ජා අයියේ අජ්ජා අයියේ නැගිටපන් බන්.උඹ නියමෙට කළා.මැච් එක ඩ්‍රෝ උණා.නැගිටපන් අයියේ....අජ්ජයියේ.....!!!

මා ඇතුලු පිරිස කෑ ගසමින් ඔහුව වට කරගත්තේ ඔහුට සිහිසන් බව පවා නොදනිමිනි. නමුත් තත්වය හිතුවාට වඩා බරපතල බව අපට ඒත්තු ගියේ බලා ඉද්දිම වාගේ ඔහුගේ නළල පුවක් ගෙඩියක් තරම් ඇතුලට නෙරා ගිය බැවිනි. ඔහුට දරුණු පහරක් වැදී ඇති බව අපට තේරුම් ගියේය. අපේ සහෝදර සගයාට කරදරයක් වේදෝයි බිය වූ කණ්ඩායමේ ක්‍රීඩකයන් මහ හඬින් හඬන්නට වූහ.



"යකෝ,මූට අමාරුයි.ඉක්මනට ඉස්පිරිතාලෙට ගෙනියමු" කවුදෝ එකෙක් කෑ ගසා කීවේය.

අතේ වේදනාව තිබියදී අත කැඩුණත් කමක් නැතැයි සිතා මා අපගේ සගයා එක් පසෙකින් ඔසවා ගත්තෙමි.තවත් හතර පස් දෙනෙකුන් පැමිණ අජ්ජා අයියා ඔසවා ගත්හ.එතැන සිටි පුද්ගලයෙකු වහා කැබ් රථයක් පණ ගන්වා ගත්හ.හනිකට එහි දොර විවර කළ මා අජ්ජා අයියා ඊට ඇතුලු කරවීමට උදව් කළෙමි.


අපේ කණ්ඩායමේ කීප දෙනෙකු කැබ් රථයේ පසු පසට ගොඩ වෙද්දී අපගේ මොර‍ටුව සරසවියේ ක්‍රීඩා භාර 'ඔලිවර්' සර් ඉදිරිපස අසුනට ගොඩ විය.කැබ් රථය දූවිළි දෙබෑ කරගෙන විදුලි වේගයෙන් කොළඹ ජාතික රෝහල කරා ඉගිලි ගියේය. 

හදවතට දැනුණු හැඟීම කෙසේවත් වචනයෙන් විස්තර කළ නොහැක. මුලු ලෝකයම කඩා වැ‍ටුණා සේය. වසර ගණනාවක් පුරා අප සමග ක්‍රීඩා කළ අජ්ජා අයියා රෝහල් ගත කර ඇත.කණ්ඩායමෙ බොහෝ දෙනා පිටියේ වැතිරෙමින් හඬා වැලපුනහ.

"මට සෙල්ලම් කරන්න බෑ.මට අජ්ජව බලන්න යන්න ඕනෑ"

"අජ්ජා නැතුව කොහොමද අපි මෙතන සෙල්ලම් කරන්නෙ?...."

"ඒයි, ඉක්මනට කෝල් එකක් දීලා බලපන් අපේ අජ්ජට සිහිය ඇවිත්ද කියලා....."

මෙවන් කෑ ගැහිළි ඇඬිලි හැම මුවකින්ම පාහේ පිට විය. නොදැනුවත්වම වාගේ මාගේ දෑසද කඳුලින් තෙත් විය. අප මෙතරම් ලෙන්ගතුව එකට සිටියා නේදැයි හදවත පතුලටම දැණුනේය. සගයෙකුට කරදරයක් විය. ඔහු වෙනුවෙන් ක්‍රීඩාංගනයේ සිටි සෑම දෙනාම පාහේ දුක් විය.

"නැගිටපන් යකෝ..වැටෙන්න එපා උඹලා..." කොළඹ සරසවි ක්‍රීඩකයෙක් පැමිණ අප අස්වසන්නට වෑයම් කළේය.

"දැන් මොකද?සිහිය ඇවිත්ද? " තවත් සරසවියක අයෙක් ඇසුවේය...

 කණ්ඩායම් භේද,සරසවි භේද නොසලකා කවුරු කවුරුත් දුක් වූහ. පැයකට පමණ කාලයකට සියලු තරඟ නවතා දමන ලදී. 

මේ අතර අජ්ජා අයියාට සිහි ආ බවත්, කතා බහ කළ බවත් එක්ස්-රේ වගයක් ගත් බවත් ඔහුගේ තත්වය යහපත් බවත් දැනගන්නට ලැබුණි. මෙය අප සියලු දෙනාගේ මහත් අස්වැසිල්ලට හේතු විය. සිදු වූ දෙයට අපට කණගා‍ටුව පළ කළ සංවිදායක මණ්ඩලය තරඟාවලිය ඇරඹීමට සිදුවන බවත් අප යලි සම වූ තරඟය සඳහා පන්දු 15ක් ක්‍රීඩා කළ යුතු බවත් දන්වන ලදී.

"අපි අජ්ජා අයියා වෙනුවෙන් මේක දිනන්නම ඕනෑ" මා ඇතුලු ක්‍රීඩකයන් කිහිප දෙනෙක් අන් ක්‍රීඩකයන් දිරිමත් කළෙමු. 

මද සාකච්චාවකින් අනතුරුව අජ්ජා අයියාගේ අඩුව පිරවීමට C.S කණ්ඩායමට කැඳවන ලදී. තරඟාවලිය යළි ආරම්භ විය. පේරා යළි පන්දුවට පහර දීමට පිවිසියහ. ඉතා කැපවීමෙන් ක්‍රීඩා කළ අප ක්‍රීඩකයෝ ඔවුහු එක් ලකුණකට සීමා කළහ. ජයග්‍රාහී ලකුණු දෙක හඹා යාමට අප වැය කළේ පන්දු 3ක් පමණි. "මෝරා-පේරා" ද්වන්ධ සටන ඉන නිමා විය.

අප තරඟාවලියේ හොඳම කණ්ඩායම් 4ට තේරුණෙමු. තරඟයෙන් අනතුරුව පේරා ක්‍රීඩකයන් අපට සුභ පතමින් අජ්ජා අයියා වෙනුවෙන් කණගා‍ටුව පළ කිරීම ඇගයිය යුත්තේය. ඉතා සුහදව තරඟය නිමා විය.



තරඟාවලියේ හොඳම කණ්ඩායම් 4ට මොර‍ටුව(අපි) ,කොළඹ , රුහුණ හා කැළණිය තේරිණි. 

රුහුණ හා කැළණිය අතර අවසන් පූර්ව තරඟයෙන් කැළණිය ජයගෙන අවසන් තරඟයට තේරුණු අතර කොළඹ හා මොර‍ටුව තරඟයෙන් කොළඹ ජයග්‍රහණය කළහ. එහිදී අප කොළඹ කණ්ඩායම පන්දු 40ක් තුළදී ලකුණු 4කට නැවැත්වීමු.එහෙත් හොඳින් පන්දු ‍රැකි කොළඹ විශ්වවිද්‍යාලය අපගේ ලකුණු බොහොමයක් කපා හරිමින් අප කණ්ඩායම ලකුණු  2කට සීමා කරමින් අවසාන මහා තරඟයද ජය ගෙන කිරුළ හිමි කරගත්හ. 
2012 අන්තර් විශ්වවිද්‍යාලයීය එල්ලේ සංග්‍රාමය මෙසේ අවසන් විය. 

මෙහිලා එක දෙයක් විශේෂයෙන් සඳහන් කළ යුතුය. මේ තරඟාවලිය තුළ අප උගත් දෑ බොහෝය.කණ්ඩායමක් වශයෙන් එකමුතු කම හා බැඳීම මොනවට පැහැදිළි විය.සහෝදරත්වය හා කණ්ඩායම් හැඟීම බොක්කටම දැනුණේය. අප පරාජය වූයේ නැත.අප දිනාගත් දේවල් බොහෝය.  එල්ලේ තුළින් අප මිනිසුන් හරි හම්බ කළෙමු.මනුශ්‍යයන් හැදුවෙමු.මේ අවසානය නොවේ.

මී ළඟ එල්ලේ තරඟාවලිය ලබන වසරේ පැවැත්වෙන්නේ අප මොර‍ටුව සරසවියේය. අප ඒ දෙස බලාපොරොත්තු දල්වා බලා සිටිමු!!!

( ඡායාරූප - www.morasprit.com )

කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

4 comments:

  1. Ela bassa..ape ajja ayya wenuwen ubala hama ekama sahodarayo wage hitiya..ubala hama eka ganama adambarai..ubala aniwa next time cup eka gahanawa..eka sthirai..jaya wewa..!!

    ReplyDelete
  2. ඇස් දෙකට කඳුලු ඉනුවනෙ :)

    ReplyDelete
  3. එහෙමද යාළුවා? මේ සිදුවීම මතක් වෙනකොට අපි හැමෝටම දුකයි...

    ReplyDelete

උඩට යන්න මෙතන click කරන්න.