Friday, June 15, 2012

ජනපති ආරක්ෂකයෙකු හා ගැ‍ටුනෙමි.


සිසිද්ධිය වුණේ මීට අවුරුදු දෙකකට විතර කලින්. මං කැම්පස් ඇවිල්ලා අවුරුද්දකට කිට්‍ටු වෙලා. මං පොඩි කොම්පියුටර් කෑල්ලක් බලන්න කියලා බම්බලපිටියේ යුනිටි ප්ලාසා එක පැත්තට ගිහින් එන ගමන්. 

ගිනි කාස්ටකේ තැම්බි තැම්බි මොර‍ටුව බස් එකක නැග්ගෙ ආපහු බෝඩිමට එන්න. බස් එක සුපුරුදු පරිදි කොට කොට එන්න පටන් ගත්තා.ගිනි දවල් හින්දා වෙන්න ඇති බස් එකේ සෙනග සෑහෙන්න අඩුයි.මන් බස් එකේ මැද හරියේ හිස් අසුනක් ගාවට ගිහින් ජනේලෙ අයිනෙ වාඩි වුණා.ඒත් එක්කම ඊට ඉස්සරහා හිස් අසුනෙ තිබුණු දෙයක් දැකලා මාව ඉබේටම නැගිට්‍ටුනා. 

මෙන්න බොලේ ඉස්සරහා සීට් එකේ සීට් එකයි ජනේලෙ පැත්තයි අතර නොකියා ෆෝන් එකක් වැටිලා.බස් එක මැද හරියෙම මොකෙක්වත් නෑ.ෂුවර් එකට කාගෙ හරි ෆෝන් එකක් බස් එකේ හැලිලා. බල බල ඉඳලා බෑ.මං සු‍ටුස් ගාලා ෆෝන් එක ඇහිඳ ගත්තා.තව විනාඩියක් ගියා නම් මොකෙක් හරි ඔය සීට් එකට ඇවිත් ඕක ගන්නවා.

කවුරුවත් මං ඒක ගන්නවා දැක්කෙත් නෑ.ඒක නිසා මං බයක් සැකක් නැතුවම බස් එකේම ඉඳන් ඒක අත පත ගාන්න ගත්තා.බලන්න දෙයක් නෑ.ගන්නකොටම මිස් කෝල් 24යි. 


මනුස්ස හිතේ කැත කම එවෙලේ මගේ හිතෙත් ඇති වුණා. මං ඉක්මනට ෆෝන් එක ඕෆ් කලේ, අයිතිකාරය කතා කරයි කියන බයට.බෝඩිමට ගිය මං යාලුවොන්ට විස්තරේ කියපුවම උන් කට ඇරගෙන අහගෙන උන්නා.

"ෂෙහ්...උඹටමනේ ඕව අහුවෙන්නෙ" එකෙක් එහෙම කිව්වා.

ෆෝන් එක දැන්ම ඔන් කරනවද, සිම් එක ගලවලා දානවද කියලා මං මීළඟට කල්පනා කළා. ඒත් මේක කාගෙ හරි ෆෝන් එකක්නේ.දැන් පණ දාගෙන හොයනවා ඇති.මිස් කෝල් 24කුත් තිබ්බනේ.මගෙ හිතේ හොඳ අර්ධය නරක අර්ධයත් එක්ක තර්ක කරන්න ගත්තා. 

මගේ ෆෝන් එක නැති වුණානම් මට කොච්චර දුකක් දැනේවිද? මේ මොහොතෙත් අයිතිකාරයා ෆෝන් එකට කෝල් ගන්නවා ඇති.ෂිහ්... මං ෆෝන් එක ඕෆ් කරපු එක වැරදියි.අයිතිකාරය හොයලා මේක දෙන්න ඕනා.ඒක ලොකු පිනක්. මගේ හිතේ හොඳ අර්ධය ජයග්‍රහණය කළා.

තව තව ප්‍රමාද නොවුණු මම ඉක්මනින් ෆෝන් එක ඔන් කළා.මං හිතුවා හරි.මෙන්න කෙළවරක් නැතිව Alearts. ඒත් මං තව ටිකක් බලාගෙන හිටියා, ෆෝන් එකට කෝල් එකක් එනකම්.මං හිතුවා හරි.මෙන්න ෆෝන් එක vibrate වෙන්න පටන් ගත්තා. "Malli" කියලා නම්බර් එකකින් කෝල් එක ආවේ.එහෙනම් මේ අයියගේ ෆෝන් එක වෙන්න ඕනා.

"හෙලෝ..!!!" මං බොහොම සෙමෙන් දුරකතනය ආන්සර් කළා.

අනික් පැත්තෙන් කිසිම සද්දයක් නෑ.මං කියන්නෙ මොනවද කියලා එහෙන් සාවදානව අහගෙන ඉන්න බව මට තේරුණා. අහා...මුන් හිතනවා ඇති මං ෆෝන් එක දෙන එකක් නෑකියලා.මට පුංචි හිනාවක් ගියේ ඉබේටමයි.

"හලෝ....කවුද මේ?" මං ආයෙමත් ඇහුවා.

"හ...ලෝ....ඔ..යා..ට.. ඔය... ෆෝන් එක.... කොහෙන්ද කියනවද?"
කාගෙද පිරිමි කටහඬක් ඒ පැත්තෙන් ඇහුණා.මේ ෆෝන් එක නැති වුණ කෙනා බව මට තේරුණා.

"හ්ම්...ඔයාගෙද මේ ෆෝන් එක?"

"ෆෝන් එක මගේ අක්කගේ.එයා අතින් නැති වෙලා."

"කොහෙදිද නැති වුණේ?"

"බස් එකේ වෙන්න ඕන.එයා ගෙදර ආවම දන්නෙ ෆෝන් එක නෑ කියලා..."

"ඔයා කොහෙද කියන්නකො ඉස්සෙල්ලා." මං එහෙම ඇහුවා.

"අපි දෙහිවල. ඔය ෆෝන් එක ආපහු දෙන්න පුලුවන්ද....? ඕක නැතුව මුකුත්ම කරගන්න විදිහක් නෑ"

"බය වෙන්න එපා.මං ෆෝන් එක දෙන්නම්.හැබැයි ඔයාට මොර‍ටුව කැම්පස් එක ළඟට ඇවිත් ගෙනියන්න වෙනවා.මට දැන් නම් දෙහිවල එන්න විදිහක් නෑ."

"හරි හරි...ඒකට අවුලක් නෑ.මං එහෙනම් එතනට ඇවිත් කෝල් එකක් දෙන්නම් මේකට."

"හොඳයි..." 
එහෙම කියලා මං කෝල් එක කට් කළා.

මගේ හිතට අමුතුම සැහැල්ලුවක් දැනුණා. මිනිහත් බොහොම වැදගත් විදියට කතා කළා.ආවම දෙන්න ඕනා.එහෙම හිතාගෙන මං නාගන්න කියලා රෙදිත් අරගෙන බාත් රූම් එක පැත්තට ගියා.යනකොට දෙන්නෙක් නානව.කයියක් ගහගෙන මාත් නාන පොට් එකට සෙට් වුණා. විනාඩි 10ක් විතර ගත වුණා.කාමරෙ හිටපු යාලුවෙක් මං අහුලපු ෆෝන් එකත් අරන් දුවගෙන ආව.

"සම්ප‍තෝ...මෙන්න අර ෆෝන් එකට කෝල් එකක්..."

"ආ ඒ පාර මොකාද...?" 
එහෙම කියපු ගමන් වතුර පිසදාගත්තු මං ෆෝන් එක දිහා බැලුවා.නොදන්න නම්බරයක්.ආන්සර් කරලා කියන්න ඕනි අයිතිකාරය නැහැ,පස්සෙ ගන්න කියලා.නැත්තන් ඉතින් මුල ඉඳන් අගට කතන්දරේ කියල මගෙ හක්ක තමා පනින්නෙ.

"හලෝ..."මං ආන්සර් කරලා ඇහුවා.

"ආ....හලෝ, මම ජනාධිපති ආරක්ෂක අංශෙ වැඩ කරන්නෙ.මගේ ෆෝන් එක නැති වුණා.කොහොමද මට දැන් ඕක ලැබෙන්නේ?" 
එහා පැත්තෙන් බොහොම සැර පරුෂ විදියට කතා කළා. මට නිකන් කරකවලා අත හැරියා වගේ වුණා.යකෝ එතකොට දැන් ටිකකට කළින් කතා කලේ බහිරවයද? පෙනේද මුගේ සද්දෙ? මූ ජනාධිපති ආරක්ෂක අංශෙ නෙවෙයි, FBI එකේ වුණත් මං ළඟට කතා කරලා නොදුන්නොත් කොහොමද ෆෝන් එක ගන්නේ? ඔන්න ඉතින් මේ ජනාධිපති ආරක්ෂකයා මගේ යකාත් ලාවට ඇවිස්සුවා.

මූ හිතන්න ඇති මං එහෙම ඇහුවම බයේ ගැහි ගැහි "අනේ බුදු මහත්තයෝ ෆෝන් එක දෙන්නම්..." කියයි කියලා. මට ඉතින් හොඳ සුද්ද සිංහල වදන් දෙක තුනක් මතක් වුණත් කට පියාගෙන හිටියේ මූ තව මොනවද කියන්නෙ බලන්න.

"මගේ ෆෝන් එක නැති වුණා.ඕක කොහොමද මට ලැබෙන්නෙ...? 
මූ ආයෙමත් මගෙන් අහනවා.

"ආ...එන්නකො එහෙනම් මොර‍ටුව කැම්පස් එක ගාවට..මං දෙන්නම්..." 
හිතේ තියෙන කේන්තිය යටපත් කරගෙන මං එහෙම කිව්වේ මේ මහා ජනපති ආරක්ෂකයාගේ මූණ පොඩ්ඩක් දැක බලාගැනීමේ මහඟු අවස්තාව උදා කරගන්න.

"හරි.ඔහොම ඉන්න.මන් තව ටිකෙන් කෝල් එකක් ආයෙ ගන්නම්..."
එහෙම කියපු පුද්ගලයා ෆෝන් එක කට් කළා.

දැන් මගේ යාලුවො කටත් ඇරන් බලන් ඉන්නවා ස්ටෝරිය අහන්න. මං ඉතින් විස්තරේ කිව්වට පස්සෙ අපෙ බෝඩිමේ ෂර්ලොක් හොල්ම්ස්'ලා අතර ඇති වෙච්ච අවසන් නිගමනය මෙකයි.

කෙල්ලගෙ අතින් ෆෝන් එක නැති වුණා.කෙල්ල හොඳටම කලබල වුණා.ගෙදර ඇවිත් මල්ලිටයි දන්න කියන සමීප අය කීප දෙනෙකුටයි මේ සෑඩ් ස්ටෝරිය කියනවා.ඔය අතර එකෙක්  ඩයල් එක වෙන්න හිතාගෙන කොන්ත්‍රාත්තුව බාරගන්නවා. පොර කල්පනා කරලා කරලා ජනපති ආරක්ෂකයෙක් බවට පත් වෙනවා.කෙල්ලගේ මල්ලිත් ෆෝන් එක හොයන්න දිගටම ට්‍රයි එක දෙනවා.මල්ලි ඉස්සර වෙනවා.මල්ලි මට කතා කරලා ෆෝන් එකේ වැඩේ ගොඩදාගෙන කැම්පස් එක පැත්තට එන්න පිටත් වෙනවා.ඕක දන්නෙ නැති අර ජනපති ආරක්ෂකයා සිය වීරක්‍රියාව අරඹනවා.පොරත් මං ඉන්න ඉසව්ව දැනගෙන ජයග්‍රාහී විලාසෙන් කෙල්ලට නිව්ස් එක දෙන්න හිතාගෙන අපේ දුරකතන ඇමතුමට සමු දෙනවා.

ඔය අතර කෙල්ලගේ මලයාගෙන් නැවත දුරකතන ඇමතුමක්.මං ආන්සර් කළා.

"හෙලෝ..."

"ආ...මායි මගේ යාලුවෙකුයි මේ මග එන ගමන්.කැම්පස් එක ගාවට ආවම හරිද?"

"ආ...පොඩි ප්‍රශ්ණයක් තියෙනවා.දැන් මේ ෆෝන් එක තමන්ගෙ කියලා වෙන කෙනෙකුත් කතා කළා.දැන් මේක ඇත්තටම කාගෙද කියලා බලන්න වෙනවා.ඒක නිසා එයත් එනකම් ෆෝන් එක දෙන්න බෑ..."

"තව කෙනෙක් කතා කළා....? කවුද කතා කළේ?"

"ජනාධිපති ආරක්ෂක අංශෙ කෙනෙක්.ෆෝන් එක එයාගෙලු..."

"මොකක් !!! ......මට එයා කතා කළ නම්බරේ කියන්න පුලුවන්ද?"

මං ඉතින් පොර කතා කළ නම්බරේ ප්‍රකාශයට පත් කළා.මඳ වෙලාවක් ගත වුණා. කෙල්ලගේ මලයා විසින් අදාල වීර පුරුෂයාව හඳුනාගත් බව මට තේරුණා. එම වීර පුරුෂයාව දැක බලා ගැනීමේ බලවත් දොලදුකක් මටයි මගේ යාලුවො ටිකටයි ඇති වුණා.

"මං ඔයාට උදව්වක්නෙ කරන්නේ.මටත් උදව්වක් කරන්න පුලුවන්ද.....?" 
මං ඇහුවා.

"ආ ...මොකක්ද"

"මට පොඩි වැඩක් කරගන්න තියෙනවා.ඒක අර ජනාධිපති ආරක්ෂක්ට ලේසියෙන්ම කරන්න පුලුවන්.බැරිද එයාවත් එක්කගෙන එන්න...?"

කොහොම කොහොම හරි කෙල්ලගේ මලයයි තව උගේ යාලුවෙකුයි කැම්පස් එක ලඟට ඇවිත් අපේ බෝඩිමත් හොයාගෙන ආවා. මුන් දෙන්නා වැඩි වයසක් නෑ වගේ. ඔන්න මගේ යාලුවො ටිකයි මායි දෙන්නා ඉන්ටර්වීව් කළා.

"කෝ..අරයත් එක්ක ආවද...?"

මෑන්ස්ලා දෙන්නා මූණට මූණ බලාගත්තා.

"නෑ...අපි දෙන්න විතරයි ආවේ...එයා කියපුව ගණන් ගන්න එපා"

"මං දැන් ෆෝන් එක නුදුන්නොත් මොකද කරන්නෙ?"

දෙන්නා සද්ද නෑ.මුන් දෙන්නයි.අපි මෙතන 4ක් 5ක් ඉන්නවා. මං තව ටිකක් ඇඟට ගට අරගෙන සිංහ සෙය්‍යාවෙන් කතා කළා.

"ඇයි මිනිහා හිතලද මං බය වෙලා ෆෝන් එක දෙයි කියලා....?"

"අපි හිතුවෙම නෑ ෆෝන් එක ලැබෙයි කියලා.වෙන කෙනෙකුට හම්බුණානම් ඕක ලැබෙන්නෙ නෑ.එහෙව් එකේ ඔයාට එහෙම කතා කළ එක වැරදි තමයි.ගණන් ගන්න එපා මචං.සොරි ආ...."
කෙල්ලගෙ මලයා කටහඬ අවදි කළා.

අර වීර පුරුෂයගෙ වීරක්‍රියා වලට මුන් දෙන්නව මඩවලා වැඩක් නැති බව අපට තේරුණා.ඒක නිසා කට්ටියත් එක්ක ‍ෆිට් එකේ පොඩි කයියක් ගහලා දුරකතනය කෙල්ලගෙ මලයට මං දුන්නා.අපිට සෑහෙන්න ස්තුති කරපු ඩබල අතට අත එහෙමත් දීලා අපේ වාසස්තානෙන් නික්මෙන්න සැරසුණා.

"පුලුවන්නම් අර මෑන්ස්ට වෙලාවක මේ පැත්තෙ ඇවිල්ල යන්න කියන්න...ලොකු උදව්වක්." 
මං ප්‍රතිඋපකාරයක් ඉල්ලා හිටියා.

හ්ම්ම්.....අවුරුදු දෙකකුත් වුණා.අදාල වීර පුරුෂයා තාම නම් ආවේ නෑ.
කොහොම කොහොම හරි ජනාධිපති ආරක්ෂක සමග ගැටෙන්න තිබුණු චාන්ස් එක ඔන්න ඔය අන්දමින් නැති වෙලා ගියා....මං තාමත් හැන්දෑවට වැට ළඟට වෙලා ඈත බලාගෙන ඉන්නෙ එයා එයි කියලා...:D

(දෛවයේ හැටි...රුවන්වැල්ලෙ හෙම්මාතගම මළගෙදරක ගියපු මම ඔන්න තව ෆෝන් එකක් ඇහිඳිනවා...ඒකත් මරු ස්ටෝරිය. මී ළඟ එපිසෝඩ් එක ඒක.....)




කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

2 comments:

  1. Digatama liyanna api asawen kiyawanawa oyage blog....
    Era

    ReplyDelete
    Replies
    1. Bohoma sthuthi. Dan sahenna kalekin liyanna beri unaa weda nisa... Apahu liyanna patan gannam. :)

      Delete

උඩට යන්න මෙතන click කරන්න.