Thursday, July 5, 2012

The Way the Cookie Crumbles - බිස්කට් ඇඩ් එකක් නෙමේ


ඕනැම කෙනෙක් යම් භාෂාවක් ඉගෙන ගන්න පටන් ගනිද්දී මුලින්ම හදාරන්නේ සරල යෙදුම්. අදහස් ප්‍රකාශ කිරීමේදී අවශ්‍ය වෙන මූලික වචන සහ වාක්‍ය තමයි ඒ ගණයට වැටෙන්නේ. ඒත් දැනුම ටික ටික වැඩි වෙනකොට අපට දැන ගන්න ලැබෙනවා යම් අදහසක් එළිදක්වන්න පාවිච්චි කරන්න පුළුවන් විවධ ආකාර. ඒ අතර තියනවා සම්ප්‍රදායික යෙදුම් (idiomatic expressions) යනුවෙන් හැඳින්වෙන ලස්සන කියමනුත්. නමුත් මේවගේ අර්ථය නම් ඇතැම් වෙලාවට කෙලින්ම පෙනෙන අදහසට වෙනස් වෙන්න පුළුවන්.

අනිත් ඕනෑම භාෂාවක වගේම ඉංග්‍රීසීයෙත් තියනවා මේ ආකාරයේ ලස්සන යෙදුම්. (එවැනි දේ ගැන අපි සමහර කලින් ලිපිවලත් කතා කළා මතක ඇති.) මේවා දැන කියා ගන්න එක දෙආකාරයකින් වැදගත් වෙන්න පුළුවන්. එයින් එකක් තමයි ඒවා ඇහෙන, දකින අවස්ථාවල තේරුම පටලවා නොගැනීම. භාෂා ප්‍රවීණයන් මෙවැනි යෙදුම් නිරායාසයෙන් පාවිච්චි කරනවානේ.

අනිත් අතින් යම් අදහසක් සාර්ථකව ප්‍රකාශ කරන්න තමන්ටත් ඒවා ප්‍රයෝජනයට ගන්න පුළුවන්. නමුත් මෙතැනදීසැලකිලිමත් වෙන්න ඕනැ තවත් කාරණාවක් තියනවා. ඇතැම් සම්ප්‍රදායික ප්‍රකාශ උවමනාවට වඩා භාවිතා කිරීම නිසා ඒවාගේ නව්‍යතාවය හීන වෙලා, රසය ගිලිහී ගිහින් තියනවා. (එවැනි යෙදුම් "clichés" යනුවෙන් හඳුන්වනු ලබනවා.) ඒ නිසා යෝග්‍ය තැන්වලදී අර්ථ රසය වැඩි කරන්න යොදා ගන්නවා හැර, මෙවැනි කියමන් දැනගත් පමණින් ඕනෑවට වඩා භාවිතය සුදුසු නැහැ.

කෙසේ නමුත් ප්‍රායෝගික ජීවිතයේ හමු වෙන මෙවැනි යෙදුම් කීපයක් ගැන අපි අවධානය යොමු කරමු.
  
1. the way the cookie crumbles

"යමක් සාමාන්‍යයෙන් සිදු වෙන ආකාරය" යන අදහසින් මෙය කියවෙනවා (එම ආකාරය වෙනස් කළ නොහැකි බවත් එහි ගම්‍ය වෙනවා).

That's the way the cookie crumbles; you've got to accept it.
එහෙම තමයි වැඩ සිද්ධ වෙන්නේ. අපට ඒක පිළිගන්න වෙනවා.

2. the lie of the land [BrE] / the lay of the land [AmE]

"භුමිය පිහිටා ඇති ආකාරය" යන සාමාන්‍ය අර්ථය වගේම, "යම් දෙයක පසුබිමේ ස්වරුපය" යන ව්‍යංගාර්ථයෙන්ද මෙම යෙදුම භාවිතා වෙනවා (එවැනි ස්වරුපයක්‌ තේරුම් ගැනීමේ අවශ්‍යතාවය දැක්වීමේදී බොහෝ විට හමු වෙනවා). 

I'm still trying to get/understand the lie of the land in this company.
මම තවමත් මේ සමාගමේ වැඩ සිද්ධ වෙන විදිහ තේරුම් ගන්න උත්සහ කර කර ඉන්නේ.

3. when it comes to the crunch

"අමාරු අවස්ථාවකදී" යන අර්ථය මෙහි ගැබ් වෙනවා.

She's the person we always consult when it comes to the crunch.
වැඩක් හිර වෙනකොට අපි හැම වෙලාවෙම උපදෙස් ගන්නේ එයාගෙන් තමයි.

4. get down to brass tacks

"යමක වැදගත් හෝ ප්‍රායෝගික කොටසට අවධානය යොමු කරනවා" වැන්නක් මෙසේ පවසනවා.

Now that we understand the problem in general, it's time for us to get down to brass tacks.
දැන් අපට ප්‍රශ්නේ ගැන සාමාන්‍ය අවබෝධයක් තියන නිසා වැඩට බහින්න වෙලාව හරි.

5. go the extra mile

"තමන් කළ යුතුම දේවලට අමතරව තවත් අවශ්‍ය දේ නොපැකිළව කරනවා" යන්නට මෙසේ කිව හැකියි.

Anybody expecting to get promoted soon should be prepared to go the extra mile in their work.
ඉක්මනින් උසස් වෙන්න කැමති කව්රුත් රස්සාවේ ජාම් බේරගන්නවට වැඩි යමක් කරන්න ලෑස්ති වෙලා ඉන්න ඕනැ.

6. go out on a limb

මෙයින් "අවදානමක් ගන්නවා" යන්න නිරුපනය කෙරෙනවා.

You can't always play it safe; sometimes you have to go out on a limb.
හැම  වෙලාවෙම පරිස්සමින් වැඩ කරන්න බැහැ. අවදානමක් ගන්න වෙන වෙලාවලුත් තියනවා.

7. get the hang of something

මෙම යෙදුමේ ඇත්තේ "යමක් කරන ආකාරය පුරුදු වෙනවා" යන අදහස.

It's not difficult to use that software once you get the hang of it.
ඒ මෘදුකාංගය පාවිච්චි කරන එක අමාරු නැහැ ඒකට පුරුදු වුණාම.

8. have one's head in the clouds 

"අදාළ නොවන හෝ ප්‍රායෝගික නොවන අදහස් දරනවා" වැනි අදහසක් මෙයින් කියවෙනවා.

Though she's very bright, she has her head in the clouds.
එයා ගොඩක් දක්ෂ වුණාට එයා හිතන විදිය ප්‍රායෝගික නැහැ.

9. be under a cloud
මෙයින් අදහස් වෙන්නේ "නරක නාමයක් ගෑවී තියෙනවා" වැන්නක්.

Those two are under a cloud after organizing the strike.
වැඩ වර්ජනය සංවිධානය කරලා ඒ දෙන්නා ටිකක් කැපිලා ඉන්නේ.

10. pull one's weight

මේ මගින් අදහස් කෙරෙන්නේ "තමන්ගේ වැඩ කොටස ඉටු කර කරනවා" යන්නයි.

All the members of team are expected to pull their weight in solving this problem.
කණ්ඩායමේ  හැම කෙනාම මේ ප්‍රශ්නේ විසඳද්දී තමන්ගේ කොටස කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

11. throw one's weight around/about

මෙම  යෙදුමෙන් දැක්වෙන්නේ "තමන්ගේ ලොකුකම පෙන්නන්න හදනවා" වැන්නක්.

It's not easy to work with him because he likes to throw his weight around.
එයා තමන්ගේ ලොකුකම පෙන්නන්න හදන හින්දා එයා එක්ක වැඩ කරන්න ලේසි නැහැ.

12. throw/put one's weight behind something

"යමකට තමන්ගේ සම්පුර්ණ සහාය ලබා දෙනවා" යන  අදහස මෙහි තියෙනවා.

If the director decides to throw his weight behind this project, it'll make things easy for us.
අධ්‍යක්ෂතුමා මේ ව්‍යාපෘතියට කර ගැහුවොත් අපට වැඩේ ලේසි වෙයි.

13. rock the boat

"ගැටළුවලට හේතු විය හැකි යමක් කරනවා" යන්න මෙසේ දැක්වෙනවා.

Don't rock the boat; just keep your mouth shut.
ප්‍රශ්න ඇති වෙන දේවල් කරන්න එපා. කට වහගෙන ඉන්න.

14. upset the apple cart
මෙසේ අදහස් කෙරෙන්නේ "හොඳින් කෙරී ගෙන යන දෙයක් අවුල් කරනවා" යන්නයි.

Everything is running smoothly right now; we don't want anybody to upset the apple cart.

දැනට  හැම දේම හොඳින් කෙරී ගෙන යනවා. අපි කැමති නැහැ කව්රුවත් මේක අවුල් කරනවට.

15. if the worst comes to the worst / if worst comes to worst [AmE] / if worse comes to worst [AmE]

මෙම යෙදුම ගැනෙන්නේ "අන්තිම අසීරු තත්වයක් ඇති වුණොත්" යන්න පැවසීමටයි.

They're thinking of leaving the country if the worst comes to the worst.
අන්තිම  අමාරු තත්වයක් අවොත් රටෙන් පිට වෙන්න ඒ අය කල්පනා කරනවා.

(Image credit: Vegan Feast Catering)


6 comments:

  1. thanks.. mula idanma okkoma balanna one

    ReplyDelete
  2. මේව ආධුනිකයෙක් සෑහෙන්න හිර වෙන තැන්. නොදන්න කමට කෝකත් ශබ්දකෝෂයෙන් හොයන නිසා සම්පූර්ණයෙන්ම වෙනත් අර්ථයක් තේරුම් යන්න පුළුවන්!

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත. දැනුම තරමක් දියුණු වුණාම නම් මේ වගේ යෙදුම්වලත් අර්ථ දැක්වීම් තියන "advanced learner's dictionary" එකක් පාවිච්චි කරන්න පුළුවන්.

      Delete
  3. මම මගේ බ්ලොග් එකේ කතාවක් ලීවා..ඒකෙ දි භාවිත කරපු දෙයක් තමයි “සමණල්ලු බඩේ පියාඹනවා වගේ “ කියනෙක. එතනදි අදහස් දක්වපු කෙනෙක් කියල තිබ්බා. මෙහෙම.

    //ලස්සනයි එත් ඉතින් Butterflies in the stomach idiom එක මේකත් එක්ක එච්චර ගැලපෙන් නෑ වගේ කියල අමටනම් හිතුනේ.//

    කතාව එක්ක ඒකෙ ගැලපීම ගැන දැන ගන්න නම් මට මේ idiom එක ගැන දැන ගන්න වෙනවා.මට මතක් වුනේ සුජීව සර්.ඒ මදිවට සර්ගෙ පොස්ට් එකත් idiom ගැන.

    Butterflies in the stomach කියනෙකෙ පැහැදිලි කරල දෙන්න පුලුවන් ද සර්.

    ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසියෙන් "butterflies in the stomach" කියන්නේ යම් දෙයක් ගැන හිතේ ඇති වෙන චකිතයට.

      උදා:

      We all had butterflies in the stomach before the exam.

      Delete

ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුණා කියා හිතනවා. ඒ පීළිබඳ ඔ‍බේ අදහස් හා එහි අඩංගු දේ සම්බන්ධ ගැටළු මෙතන සඳහන් කරන්න.

Related Posts with Thumbnails