Blogroll

Pages

Tuesday, June 12, 2012

අපේ ගමේ පරණ කෝට්

මිනිස්සු වයසට යනකොට පොඩි ළමයි වෙනවා කියල කියමන ඇත්තක් කියල සීයලා ආච්චිලා ඉන්න ඕනේ පොඩි එකෙක් පවා දන්නා දෙයක්. ඉතිං අපි පොඩි ළමයි එක්ක විහිළු කරනවා වගේ ගොඩක් වෙලාවට ඒ වැඩිහිටියන් එක්ක විහිළු කරලා ෆන් එකක් ගන්න ආසයි නේ. පොඩි ළමයි නම් තරහා ගිහාම අඩනවා ඒ වගේ වෙලාවට, ඒත් වැඩිහිටියෝ නම් ඒ වෙලාවට ජාතිය අමතනවනේ

කාලෙකට කලින් අපේ ගමේ හිටපු වැඩිහිටියෝ නෑ, අලුත් වැඩිහිටියෝ ඇතිවෙලා, ඒ අය අද නැත වෙන අය අද ඇත කාලය මැවූ වෙනසක අරුමේ.......

ඉස්සර අපේ ගමේ බේබද්දෝ ගොඩක් හිටියා, හවස් වැටෙනකොට කසිප්පු බීල කෑගහන,  මුළු ගමටම චැලේන්ජ් කරන තමන්ගේ මිනිහව එක්කන් යන්න ගෑනු පාරට බහිනවා, නැත්නම් ගෑනු දරුවා පාරට එන්නේ බීලා වීරයෙක් වෙලා ඉන්න තමන්ගේ තාත්තව ගෙදර එක්කන් යන්ට.

ඒත් දැන් එහෙම මිනිස්සු නෑ, වැදගත් විදිහට ගෙවල් වල ඉදන් බොන එවුන් ඉන්නේ, උන් බීලා ගමටම ඇහෙන්න කෑ ගහන්නේ නෑ. මම හිතන්නේ ගෑනි කියන එකක් අහගෙන ඉදලා නිදාගන්නවා ඇති. 

ඒ කාලේ අපේ ගමේ ජනප්‍රියම චරිතේ උනේ, කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන පාන්දර ජාමේ ගමේ තේ කඩේට ගොඩ වදින කළු කෝට් එකක් ඇදගත්ත මහල්ලෙක්. මීයෝ කාල වගේ තැනින් තැන හිල් වෙලා තිබ්බ කෝට් එකේ ඔහුට ඕනේ හැමදේම තිබ්බා. පනාව, බුලත් විට මල්ල, සල්ලි මඩිස්සලේ වගේම තව දේවල් එකේ දාගෙන හිටියා.
මේ හින්දා මුළු ගමම ඔහුව දැනගෙන හිටියේ පරණ කෝට් කියන නමින්, මම අදත් ඔහුගේ ඇත්ත නම දන්නේ නෑ. පරණ කෝට් යන නම ඒ තරම්ම ප්‍රසිද්දයි.

ඉතිං ඒ කාලේ අපේ ලොකුම විනෝදෙ තමා ඒ මනුස්සයාව අවුස්සන එක. කොල්ලෝ ටිකක් එකතු උනාම හැංගිලා ඉදන් පරණ කෝට් පරණ කෝට් කියල කෑ ගහනවා, ඔන්න ඔය වෙලාවට තමා මිනිහට මල පනින්නේ, තේ කඩේ බැංකුවක් මත වාඩිවෙලා පත්තරේ බලන මනුස්සයා හරමිටත් අරන් එලියට බහින්නේ ඔය වෙලාවට තමා, ළඟ පාතක කොල්ලෙක් එහෙම හිටියොත් හැරමිටි පාරක් කන එක නම් ෂුවර්, එහෙම නැති නම් ගලක් අරන් බැරි බැරි ගහන්නේ, උන්ගේ ජාතකේ මතක් කරලා දෙන ගමන්.

නැත්නම් කොල්ලෝ ටික එකතු වෙලා ෆ්‍රෙඩි සිල්වා  අපේ පරණ කෝට් ට හදාපු සින්දුව කියනවා, 
"පිත්තල බොත්තම් කැඩිච්ච මුලාදෑනි දුන්න කෝට්... පැරණ කෝට්....පරණ කෝට්......."
උඹලගේ අම්මලාට ............ යකෝ තොපිට ඕක විතරද කියන්න තියෙන්නේ කියල කොල්ලෝ පස්සේ පන්නනවා.

කොල්ලන්ට ඕක තරම් ෆන් එකක් ලොවෙත් නෑ. ගමේ කොල්ලෝ කුරුට්ටෝ පරණ කෝට් එනකම් මග බලාගෙන ඉන්නවා සමහර දවස් වල

කොහොම උනත්,  සක්කරයා කිව්වත් මිනිහා කෝට් එක ගලනවනවා නම් බොරු. කෝට් එක ගලවන්  ඉන්න පරණ කෝට් දැකලම නැති තරම්, කොහොම හරි දවසක් අපිට මිනිහාගේ කෝට් එක ගලවන්ට  ඕනේ උනා, මිනිහා කඩේට ආපු වෙලාවක කොල්ලෝ ටික කඩේට ගිහින් ආ සීයේ කියල මනුස්සයාට ගරු සරු ඇතිව කතා කරලා පැත්තකින් වාඩි උනා, වෙනදා කොලොප්පම් කරන කොල්ලෝ අද වෙනස් වෙලා මොකද කියල වගේ හිතන ගමන් මිනිහා පත්තරේ බලාගෙ හිටියා, ඔන්න ඔය අතරේ කොල්ලෙක් වතුර එකක් ගත්තා බොන්ට, බොන්ට කිව්වට බෝන්ටම නෙවෙයි. ඔන්න ඔය වෙලාවේ වෙන එකෙක් අරුගේ කොප්ප්ටේ ගැහුවා, පරණ කොටගෙ කෝට් එක දිහාවට වතුර විසි වෙන්න, වැඩේ හරි ගියා කෝට් එක තෙමුනා. අනේ සමාවෙන්න සීයේ මෙන්න මුන්ගේ වැඩ හින්දා තමා මේ ඔක්කොම කියලා කොල්ලෝ ටික එතනින් ගියා.

ඔන්න මිනිහට කෝට් එක ගලවන්ට උන වෙලාව, මිනිහා කෝට් එක ගලවලා වේලෙන්න දැම්මා. ඔන්න ඔය වෙලාවේ මිනිහා ටිකක් එහාට මෙහාට වෙනකම් ඉදල කෝට් එක ඉස්සුවා.


කාලයක් තිබ්බ ආසාවක් සැබෑ උනා වගේ කෝට් එකේ මොනවද තියෙන්නේ බලන්ට  පටන් ගත්තේ රස කෑමක් කන්න පොර කන එවුන් ටිකක් වගේ, සත දහයේ කාසි ටිකක්, පරණ පනාවක්, බුලත් විට මල්ල, සල්ලි පොට්ටනින්යිය, පොඩි පොකට් එකකුත් තිබ්බ, එකේ රුපියල් විස්සක්ම තිබ්බා.


කොහොම හරි කාටවත් ඒ දේවල් ගන්න ඕනෙකමක් තිබ්බේ නෑ, ඊළඟට මොකද වෙන්නේ කියල බලන්න ඕනේ වෙලා තිබ්බේ,


කෝට් එක නැති වෙලා කියල මිනිහා දැනගෙන තිබ්බා, හැමතැනම හොයනවා, කොල්ලෝ ටික මිනිහට පෙන්නේ නැති තැනකට වෙලා බලාගෙන හිටියා, පිස්සෙක් වගේ හැමතැනම කෝට් එක හොයනවා.


මම එතනට කිට්ටු කරා ටික වෙලාවකට පස්සේ, මිනිහා හොඳටම අඩනවා පොඩි එකෙක් වගේ. මම ඇහුවා මොකද සීයා කියල, කව්රු හරි මගේ කෝට් එක අරන්, ගත්තු එවුන්ට නම් හොදක් වෙන්න එපා. උන්ගේ කිරි අප්පුච්චිලාගේ වයසේ මනුස්සයන්ට මෙහෙම කරන එවුන්ට හොඳක් නම් වෙන්න එපා කියල මිනිහා දෙස් දෙවොල් තියන්න පටන් ගත්තා.


කරපු වැඩේ හොඳ නෑ කියල තේරුනා, මම අනික එවුන්ට කිව්වා, අන්න අරූ අඩනවා ඕක දැන් දෙමු කියලා. කොහොම හරි මිනිහට පෙන්නේ නැති වෙන්න ළඟ තිබ්බ ගහකින් කෝට් එක එල්ලලා කොල්ලෝ ටික ගෙවල් වලට විසි උනා.


පරණ කෝට් කෝට් එක ගලවලා ඉන්නවා දැකපු එකම දවස එදා, මිනිහට එක දැනුනේ හරියට ඇදුම් අදින්නේ නැතිව විලි ලැජ්ජාවේ ඉන්න මිනිහෙක් වගේ, පැය ගානක් යනකම් මිනිහා එලියට බැස්සේ නෑ, හැංගිලා වගේ තමා හිටියේ.
එදා පොඩි කාලේ ලොකු මිනිස්සුත් එක්ක විහිළු කරලා ගත්තු ඒ ආතල් ගැන දැන් නම් කිසිම සතුටක් නෑ.


පරණ කෝට් මැරිලා කියන ආරංචිය දැනගත්තාම ගමේ ලොකු පොඩි හැමෝම එක වගේ දුක් උනා. මැරිලා ඉන්න පරනකොට් ගේ මිනිය දැක්කට පස්සේ ඊටත් වඩා දුක හිතුනා, මගේ ජනප්‍රියම චරිතේ ඔය විදිහට අපෙන් සමු ගත්තා. ටික කාලයක් යනකම් ගමට, කොල්ලෝ කුරුට්ටන්ට ලොකු පාළුවක් දැනුනත් ඒ දේවල් දැන් අමතක වෙලා, දැන් ඒ සෙල්ලක්කාර කොල්ලෝ ඔක්කොම ගමේ වැඩිහිටි තරුණයෝ වෙලා.


අපි ගමේ දුවල පැනල, වතු වලට පැනල ඒවා පාළු කරලා, කොල්ලොත් එක්ක ගහගෙන, මිනිස්සුන්ට පද හදල වැඩිහියන්ගෙන් බැනුම් අහල, ගුටි කාල ගත කරපු ඒ ජීවිතේ දැන් කාලේ ඉන්න එවුන් ගත කරන්නේ නෑ. කොම්පියුටර් ඒකෙන ගේම් ගහන පොඩි කොල්ලෝ ටිකක් විතරයි ඉන්නේ දැන්. ඒ දේවල්  හොඳද නැද්ද දන්නේ නෑ, ඒ උනාට ඒ සුන්දර ළමා කාලේ දේවල් මතකෙට නැගෙනකොට අමුතු සුන්දර බවක් දැනෙනවා

1 comment:

  1. ඔය වගේ අපේ ගමේ චරිතයක් තමා කුලේ අංකල්. මෙන්න කුලේ අංකල්ගෙ කතාවක්.

    කුලේ මීයා විකුණන් කයි

    // කොම්පියුටර් ඒකෙන ගේම් ගහන පොඩි කොල්ලෝ ටිකක් විතරයි ඉන්නේ දැන්// පට්ට ඇත්ත.

    ජය !

    ReplyDelete