Monday, June 4, 2012

Google, Motorola සමාගම මිලදී ගත්තේ ?

පසුගිය මැයි මාසයේ මැද භාගයේ දී ලෝකප්‍රකට මෝටරෝලා මොබිලිටි සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 12.5ක මුදලකට මිලදී ගැනීමට Google සමාගම කටයුතු කළේය. Google සමාගම් ඉතිහාසයේ වැඩිම වියදමක් දරා කළ ආයෝජනය මෙම ගණුදෙනුව ලෙස සැලකේ.


මෝටරෝලා සමාගම ලොව ප්‍රමුඛතම ජංගම උපාංග සමාගමකි. ඇමරිකානු එක්සත් ජනපදය තුළ ආරම්භවූ එයට වසර 80ක් ඉක්මවූ ඉතිහාසයක් ඇත. ලොව ප්‍රථම ජංගම දුරකථනයේ නිෂ්පාදකයා ලෙස සැලකෙන්නේද මෝටරෝලා සමාගමයි. මෑතකාලීනව වෙනත් ජංගම උපාංග නිෂ්පාදකයන් හා පැවති තරඟකාරී තත්වය යටතේ විශාල පාඩුවක් විඳදරාගැනීමට මෝටරෝලා සමාගමට සිදුවිය. එය මුල් කරගනිමින් 2011 වසර මුල් භාගයේදී මෝටරෝලා සමාගම දෙකඩවිය. ඒ Motorola Mobility හා Motorola Solutions යනුවෙනි. එමගින් Motorola Solutions සමාගම ලාභලැබීමට සමත්වුවත් ජංගම උපාංග නිෂ්පාදන අංශය වන Motorola Mobility සමාගම තවත් අර්බුදයට ලක්විය. මේ අනුව එම සමාගම මිලදී ගැනීමට Google සමාගම තීරණය කළේය. ඒ සඳහා ගූගල්හි වත්මන් විධායක අධ්‍යක්‍ෂධූරය හොබවන ලැරි පේජ් විශාල උනන්දුවක් දැක්විය.

Larry Page
මාධ්‍යට අදහස් දැක්වූ ඔහු නුදුරු දිනකදීම අන්තර්ජාලය භාවිතයටගන්නෝ බහුතරය ජංගම උපාංග ඇසුරින් ප්‍රවේශවන්නන් වනුඇති බවට ඉඟිකළේය. ජංගම දුරකථන ක්‍ෂේත්‍රයට වඩවඩාත් සමීපවීමට ගූගල් සමාගම කටයුතු කරමින් සිටින බව මින් හැඟෙන්නේ නොවේද.


Android 

ආරම්භයේ පටන් Google සමාගමේ ප්‍රධාන ආදායම් මාර්ගය දැන්වීම්කරණයයි(online advertising). දැනටත් ඔවුන්ගේ ආදායමෙන් 95%කට අධික ප්‍රතිශතයක් ඉපැයෙන්නේ එලෙසිනි. 2005 වසරේ දී බංකොලොත්භාවයට පත්වන්නට ගිය Android Inc. සමාගම මිලදී ගැනීමෙන් පටන්ගත් ගූගල් සමාගම මේවන විට සැලකෙන්නේ ලොව විශාලතම ජංගම දුරකථන මෘදුකාංග නිෂ්පාදකයා ලෙසය. ආදායම් මාර්ගයක් ලෙස Android යොදා නොගත්තේය. ලෝකයේ වෙනත් ජංගම දුරකථන නිෂ්පාදකයන්ට නොමිලේම වාගේ යොදාගැනීමට එය වෙන්කළේය. ප්‍රතිඵලය වූයේ Android ඉතා සීග්‍රයෙන් දියුණුවීමයි.


Android ප්‍රචලිත්වය හමුවේ මෑතභාගයේ සිදුවූ සුවිශේෂ සිදුවීමක් නම් මෘදුකාංග සමාගම් කීපයක් Android මෙහෙයුම් පද්ධතියට සීමා පැනවීමට උත්සහදැරීමයි. Oracle, Apple හා Microsoft සමාගම් මින් ප්‍රමුඛත්වය ගත්හ. ඒ ඔවුනොවුන් හිමිකාරීත්වය දරණ පේටන්ට්පත්‍ර උල්ලංගනය කිරීම් Android තුළ සිදුවී ඇති බව දක්වමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇන්ඩ්‍රොයිඩ් වෙත නොයෙකුත් නීතිමය බාධක එල්ලවීමක් සිදුවුණා. ඉදිරියට තවතවත් නීතිමය බාධක එල්ලවීමෙන් ආරක්‍ෂාවීමට ගූගල් සමාගම ගත් පියවරක් ලෙස ද මෝටරෝලා මොබිලිටි සමාගම මිලදී ගැනීම දැක්විය හැකියි. මන්දයත් ඒ සමගම මෝටරෝලා සමාගමේ 17 000කට අධික පේටන්ට් සංඛ්‍යාවක හිමිකාරීත්වය Google සමාගමට පැවරෙන බැවිනි.


තරඟකාරීත්වය සහ ප්‍රතිවාදීන්

ගණුදෙනුව සමග ලොකයේ ජංගම දුරකථන නිෂ්පාදකයන් අතර දෙගිඩියාවක් ඇතිවිය. ඒ Android පිළිබඳවයි. ගූගල් සමාගම ජංගම උපාංග නිෂ්පාදනයට පැමිණීමත් සමග දැන්දැන් Android දියුණුකිරීමට දායක වූ වෙනත් සමාගම් තරඟකාරුවන් බවට පත්වී හමාරයි. එයට ප්‍රතිචාර දැක්වූ Google සමාගම සෙසු සමාගම් වලට දන්වා ඇත්තේ Android වලට විශේෂ වැඩපිලිවෙලක් යෙදීමට තමන්ගේ අදහසක් නැති බවයි. මේ පිළිබඳ ගූගල් සමාගමේ සැබෑ අදහස කුමක් වුවත් මීළඟ වසර 5 ගෙවෙනතෙක් Android නිදහසේ පවත්වාගෙනයාම අනිවාර්ය වේ: ඒ මෙම ගණුදෙනුවට බලපෑ කොන්දේසියක් හේතුවෙනි.


ආයෝජකයන්ගේ මතය

මෝටරෝලා සමාගම මිලදී ගැනීමත් සමග සිදුවූ තවත් සිදුවීමක් නම් ගූගල් සමාගමේ කොටස් වෙළඳපලේ යම් පසුබෑමක් දක්නට ලැබීමයි. ගූගල් සමාගමගත් පියවර වෙත ධනාත්මක ආකල්පයක් දැකිවීමට බොහෝ ආයෝජකයන් මැලිවීම මීට හේතුවයි. මෝටරෝලා සමාගමේ පාඩුලැබීම ගූගල් සමාගම මත පැටවීම ඊට හේතුවයි. අනෙක්අතට, මෝටරෝලා සේවක පිරිස සුරැකීමේ වගකීමද Google සමාගම වෙත පැවරී තිබේ.


සමස්ථයක් ලෙස ගත්විට ජංගම උපාංග ක්‍ෂේත්‍රයට වඩවඩාත් සමීපවීමට Google මානබලමින් සිටියි. එම ක්‍ෂේත්‍රයේ ප්‍රධාන ප්‍රතිවාදියා වන Apple සමාගමට වඩාත් හොඳ තරඟයක් දීම ගූගල්හි අපේක්‍ෂාවයි. උපාංග නිෂ්පාදනයට ගූගල් සමාගම අතගැසුවේ ඒ නිසා නොවේද? නමුත් අතුරුප්‍රතිඵලයක් ලෙස මෙතෙක් සිටි හිතමිතුරනුත් තරඟකරුවන් බවට පත්වී හමාරයි. ලෝකය විමතියෙන්....

8 comments:

අද වෙනකන් ගූගල් පාඩු ලබන දේකට ආයෝජනය කරලා නෑ මම දන්න විදියට. මේකත් බලමු. ලොකු වෙනසක පෙරනිමිත්තක් වගේ සමහරවිට..

This comment has been removed by the author.

ya api balamuko mokada wenne kiyala

මම නම්.. හිතන්නේ Google ල කිසිදෙයක් ආවට ගියාට කරන්නේ නෑ නේ.. බලමු බලමු.. අපිත් ජීවත් වෙනව නේ

ගුගල් සමාගම කාලයක් තිස්සෙ බලන් හිටියේ ඇපල් එකට කෙලින්න.බලමු මේ පාරවත් හරියයිද කියලා?

ගූගල් තමයි ගූගල්

RC

ගූගල්ල ඉඳල හිටල අමුතු වැඩ කරනවනෙ. කොහෙද තිබ්බ Android inc කියල පොඩි කොම්පැණියක් කඩා වැටෙන කොට ගත්ත හින්ද තමයි මේවෙන කොට ලෝකයේ ජනප්‍රියම මොබයිල් OS එක විදිහට Android කියල එකක් තියෙන්නෙ.

Motorola එක ගත්තෙත් කවුරුත් නොහිතපු විදිහට. ලැරි පේජ් විධායක අධ්‍යක්‍ෂධූරය ගත්තවිතරයි.. Googleලට ඉලක්කයක් නෑ කියලයි ගොඩක් අයගෙ අදහස. එක අතකින් ඒක පට්ටපල් ඇත්ත.... ගූගල්ල කරන්නෙ ඇඩ්වටයිසින්. අවුරුද්දකට $ බිලියන 30ක් 40ක් ලාභ උපයන කොම්පැණියෙ ආයෙ ගොඩනගන්ඩ දෙයක් ඉතුරුවෙලා නෑ. නිකං ඉන්ඩ බැරුවට වෙනවෙන ක්‍ෂේත්‍රවලටත් අතගහනව කියලයි ආයෝජකයො කියන්නෙ.

මොනවඋනත් Google තමන්ගෙ ආධිපත්‍ය තවදුරටත් විශාලකරමිනුයි ඉන්නෙ. ලාභ අලාභ කොහොමඋනත් තාක්‍ෂණයට නම් සෑහෙන තල්ලුවක් ලැබේවි...

හොද ලිපියක් , ස්තූතියි , දිගටම කරගෙන යමු

Comment එකක් දාන්න