Main image

5/09/2012

නව පරපුර ටැලෙන්ට් නැද්ද? නැත්නම් ප්‍රවීණයන් කුහකද?

නව පරපුර ටැලෙන්ට් නැද්ද? පසුගිය දිනක තවත් බ්ලොග් එකක තිබුන ලිපියකින් මෙවැනි අදහසක් මතුකර තිබුණා. ඇත්තටම දැන් තරුණ පරපුර සංගීතයේ ස්වර නිසි ලෙස හඳුනාගෙන නැද්ද නැත්නම් ටැලෙන්ට් නැද්ද?

මම නම් හිතන්නේ මේක තනිකරම බොරුවක් බවයි. පහුගිය කාලයේ ටී වී වල තිබුණ සුපර් ස්ටාර් තරඟ දිහා හොඳින් බලා ගෙන හිටිය නම් මේක තේරුම් ගන්න තිබුණා. ඒ වේදිකාවල මොන තරම් දක්ෂතා තියෙන කොල්ලො කෙල්ලෝ හිටියද. සිරස සුපර් ස්ටාර් පලමුවන අදියරේ හිටපු ෂිහාන්, අමිල පෙරේරා පසුකාලයේ හිටපු සුරේන්ද්‍ර, දුමාල්, පොල්ගහවෙල ශානිකා වගේ අය මොන තරම් ටැලෙන්ට් ද?

ඒත් ඒ ටැලෙන්ට් එක එළියට ආවත් ඉදිරියට ගියේ නැත්තේ ඇයි. මම නම් හිතන්නේ ප්‍රවීණයන්ගේ අතදීමක් නොමැතිකමයි. මට හොඳට මතකයි එක සුපර් ස්ටාර් වටයකදී ආපු සුජාතා අත්තනායක, ඇන්ජලීන් වගේ අය ශානිකා අදහාගන්න බැරි තරමට හොඳින් ඒ අයගෙම ගීත ගායනා කරනකොට මේ අය ඉරිසියාවේ පැලුනා. කිසිම වෙලාවක ගායනය හොඳයි කිව්වේ නැහැ. තව උත්සහ කරන්න කියල තමයි කිව්වේ. මේක පැහැදිලිවම ඉරිසියාව. තවත් වෙලාවකදි වික්ටර් රත්නායක කිව්වා චින්තිගේ දිව කපන්න ඕනේ කියලා. එක්දාස් නවසිය හැත්තෑ ගණන් වල කියපු ගීත තාමත් පට්ට ගහ ගහ ඉන්නවා ඇරෙන්න වික්ටර් රත්නායක මොනවද තරුණ පරපුරට කරලා තියෙන්නේ. තමනුත් අලුත් ගීත කියන්නේ නැතුව අලුතින් එන අයගෙත් කකුලෙන් අදින එක තමයි මේ ප්‍රවීණයන්ගේ ක්‍රමය.

තවත් තර්කයක් තමයි මේ කාලේ සින්දු මෙලෝ රහක් නැහැ, ඉක්මනට අමතක වෙනවා කියන එක. (මේ තර්කය ගැන ලස්සනට විග්‍රහ කරල තිබ්බා කලින් බ්ලොග් එක ලියපු සහෝදරයා) මමත් පිළිගන්නවා මෙලෝ රහක් නැති ගායකයෝ ගීත ගායනා කරන්න බැරි ගායකයොත් මේ අතර ඉන්නවා. අර චිලී, අශාන්ති, කොරින්, සුරේනි වගේ මෙලෝ රහක් නැති ගායකයො ගැන නෙවෙයි මම කතා කරන්නේ. මම කතා කරන්නේ රූකාන්ත ගැන. මතකද රූකාගේ ‘දිගන්තයේ වගේ ගීතයක්. මම හිතන්නේ රූකාගේ හැකියාව සම්පූර්ණයෙන්ම එතන තියෙනවා. ‘සඳ පිණි දියේ වගේ ගීතයක් කියද්දි මුළු ඕඩියන්ස් එකම හොල්මන් වෙලා බලා ඉන්නවා. මට මතකයි හොටෙල් එකක මේ ගීතය කියද්දී ජර්මනියේ ඉඳලා ආපු මියුසික් ඩිරෙක්ට කෙනෙක් හොල්මන් වෙලා බලාගෙන ඉඳලා, “උඹලගෙ රට පුන්චි වුනත් ටැලෙන්ට් එක පුන්චි නැහැ කියපු විදිහ. එහෙමත් නැත්නම් රූකාගේ සඳේ ඔබ වගේ ගීතයක් ලස්සන නැද්ද? ඔය කියන තරම් ඉක්මනට අමතක වෙනවද? කිසිම මියුසික් එකක් නැතුව රූකා ‘සුවඳ දැනී දැනී ගීතය ගායනා කරනව අහල තියෙනවද?
ඊළඟට මම කතා කරන්නේ ආත්මා ලියනගේ වගේ ගායකයෙක් ගැන. ආත්මා සින්දු කියනකොට ඇස් දෙක වහගෙන බොක්කෙන්ම සින්දු කියනකොට ඉරිසියාවේ පුපුරපු ප්‍රවීණයෝ කිව්ව මිනිහා කුඩු ගහල තමයි සින්දු කියන්නේ කියල. ආත්මා කුඩු නෙවෙයි මොනවා ගැහුවම මොකද සින්දු ලස්සනනම්? එහෙනම් බෙග් මාස්ටර් මල් ගහලා බොදු බැති ගී කිව්වහම හොඳ වෙන්නේ කොහොමද? මම අහන්නේ ආත්මාගේ ‘කඳු පාමුල වගේ ගීතයක් ලස්සන නැද්ද? බොක්කටම වදින්නේ නැද්ද? ඒ ගීතය වික්ටර් රත්නායක කිව්වනම් අද මොකද වෙන්නේ? ආත්මාගේ අළුත්ම ගීතය “ආයෙමත් ආදරෙන්“ වගේ ගීතයක් අහන් ඉන්න බැරිද?

සිරස සුපර් ස්ටාර් වලින් ආපු අමිල පෙරේරා මතකද? ඒ කටහඬට කේමදාස මාස්ටරුත් හොල්මන් වුනා. අමරසිරි පීරිස් ගේ ළඳුනේ ගීතය ඊටත් වඩා හොඳින් අමිල කිව්වා. මාස්ටර් කිව්වා මාස්ටර්ගේ ඊළඟ චිත්‍රපටියට අනිවාර්්‍යෙයන්ම අමිල ව ගන්නවා කියලා. අමිලගේ අවාසනාවට ද අපේ අවාසනාවටද දන්නේ නැහැ මාස්ටර් අපෙන් ඈත් වුනා. දැන් අමිල කෝ. ඇයි අර ප්‍රවීණයන්ට බැරි අමිලට පොඩි හෙල්ප් එකක් දීල තවත් අමරසිරි කෙනෙක් කරන්න?

අමල් පෙරේරා ගේ ‘මල් පිට මල් ගීතය ලස්සන නැද්ද, කසුන්ගේ ‘පාවෙලා යන්න,‘හසඟනාවියේ වගේ ගීත, සුරේන්ද්‍රගේ ‘පායන්න සඳ මීදුමේ,‘දෙතොල් තෙලි තුඩින්, ‘වැහි පබලු වගේ ගීත මෙලෝ රහක් නැද්ද? හැමදාම පිස්සු කෙලින චින්තිගේ, රයිනි එක්ක කියන ‘තරුමිණි ගීතය සිංහල ගීත වල තියෙන ඒකාකාරී බව නැති කරල නැද්ද?

අපි තාම අහන්න ඕනෙ වික්ටර්ගේ ‘ස‘ ප්‍රසංගයේ හැත්තෑ ගණන් වල පට්ට ගහපු සින්දු ටිකයි, ඇන්ජලීන්ගෙ, ලතාගේ එකම තාලයේ යටි ගිරියෙන් කියන සින්දු ටිකයි එහෙමත් නැත්තං අර සනත් නන්දසිරි සීයගේ මෙලෝ රහක් නැති සින්දු ටිකයි විතරද? මෙච්චර බෞද්ධ ගායකයෝ ඉන්න රටේ එකෙකුට බැරි වුනා මතක තියෙන බෞද්ධ ගීතයක් කියන්න. ඒකත් අපිට කරල දුන්නේ වෙනත් ජාතිකයෙක් වුන බෙග් මාස්ටර්.
ගුණදාස කපුගේ මහත්තයා විතරයි බොක්කෙන්ම නවකයෙකුට තැනක් දුන්නේ. නවකයන්ට හයියක් දුන්නේ. කේමදාස මාස්ටර් වුනත් පොඩ්ඩක් ඒ පැත්තට බර වුනා. පොඩි එවුන්ට තැනක් දුන්නා. හොඳට සින්දුව කියන්න පුලුවන් එකා ලොකු වුනත් පොඩි වුනත් මිනිහට තැන දුන්නා. අමරදේව මාස්ටර් ඒ විදිහට නොකළත් මම දන්න විදිහට නවකයෙක් එතුමාගේ ගීත ගායනා කළත් යම් තරමක සතුටකින් හිටියා. අනිත් ප්‍රවීනයෝ ගැන නම් කියලා වැඩක් නැහැ. අලුතින් ආපු පොඩි කොල්ලො බිමට දාන්නම තමයි බලන්නේ.

කේමදාස මාස්ටර්ගේම ගෝලයෙක් වුන අමරසිරි පීරිස් මහතා වුනත් මේ ළගදි ඉදලා ගීත මංකොල්ලයක් ගැන අඩන එක ගැන වුනත් මට තියෙන්නේ දුකක්.

හැත්තෑ ගණන් වල ඉඳලම අපේ රටේ මේ ප්‍රශ්ණේ තිබුණා. ඉන්ද්‍රාණි පෙරේරා වගේ ගායිකාවක් ස්ටේජ් එකේ හිටගෙන මයික් එක අතට අරගෙන සින්දු කියනකොට මේ ප්‍රවීණයෝ කිව්වේ මයික් එක අතට අරන් සින්දු කියන්නේ රස්තියාදු කාරයෝ කියලා. නිහාල් නෙල්සන් බයිලා පටන් ගන්නකොට මේ අයට උණ ගත්තා. කොහොමහරි කකුලෙන් ඇදලා වට්ටන්න හැදුවා. අද වුනත් නිහාල් නෙල්සන්ගෙන් ඇහුවොත් කියයි ඒ කාලෙ තිබුණ ප්‍රශ්ණ. හැබැයි නිහාල් මේ ප්‍රවීණයන්ට ඇට්ටි හැලෙන්න දුන්නා. ඒ කාලෙ නිහාල් නෙල්සන් කියන්නේ කැසට් පිට කැසට් ගහපු වැඩකාරයෙක්. 

අපේ රටේ මේ ප්‍රවීණයෝ කියන සෙට් එක හැමදාම ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ. ජාත්‍යන්තර සංගීතය අපිට දෙන්න මොනවද කරල තියෙන්නේ? අපේ සංගීතය ජාත්‍යන්තරයට අරන් යන්න මොනවද කරල තියෙන්නේ?
ඒ ආර් රහුමාන් වගේ සංගීත වේදියෙකුගෙන් ඉගෙන ගන්න වෙනවා කොහොමද ජාතික සහ සංස්කෘතික වටිනාකම නැති කරගන්නේ නැතිව ජාත්‍යන්තර සංගීතය අපේ කරගන්නේ කියලා.

භාතිය සන්තුෂ් අපේ සංගීතය ජාත්‍යන්තරයට අරගෙන ගියාම කිව්වේ ඕව සින්දුද ඇයි අපේ ජාතික අභිමානය කනව නේද කියල. එහෙනම් ඒ අයගේ ගීත ඇයි ජාත්‍යන්තරයට අරගෙන ගියේ නැත්තේ. ඒවා උන් අහන්නේ නැති නිසා. භාතිය සන්තුෂ් ගේ හැකියාව නම් ඒ තරම් නැති බව මමත් පිළිගන්නවා. ලොකයේ දියුණුවෙන සංගීත සම්ප්‍රදායත් එක්ක තාමත් පරණ හනමිටි සංගීතය ගලපන්න බැරි නිසා. භාතිය සන්තුෂ් දෙන්නා හින්දි වලින් සින්දු කියලා සී ඩී එකක් කරලා ඉන්දියාවේ විකිණුවා. අපේ එක ප්‍රවීණයෙකුට පුලුවන් උනාද උන්ගේ එක ගීතයක් වෙන රටක මිනිහෙක් සල්ලි දීලා අහන තත්වෙට පත් කරන්න? මේ ප්‍රවීනයෝ ජාත්‍යන්තර සංගීතය තියා අපේ රටේ තියෙන ජන ගීයවත් අදුනන්නේ නැහැ. රංවල මහත්තයා අපේ ජන ගීය අරගෙන, තරුණ කොල්ලෝ කෙල්ලෝ පුහුණු කරලා ප්‍රසංගයක් කරලා අපිව හොල්මන් කරා, ඒ වෙනකම් අපි දැනගෙන හිටියේ නැහැ අපේ ජන ගී මෙච්චර ලස්සනයි කියලා. එදා ඔය ප්‍රවීණයෝ කව්රුත් කට ඇරියද. රංවල මහත්තයට සපෝට් එකක් දුන්නද? උන්ට උණ ගත්තා උන්ගේ සින්දු අහන්නේ නැති වෙයි කියලා.

මමනම් හිතන්නේ මෙතන සම්පූර්ණයෙන්ම තියෙන්නේ නවකයන්ගේ අදක්ෂකම නෙවෙයි, ප්‍රවීණයන්ගේ කුහක කම. මේ තරුණ කොල්ලන්ට කෙල්ලන්ට උඩට එන්න පුලුවන් වුන දාට ඔය ප්‍රවීණයන්ගේ සින්දු එකෙක්වක් අහන්නේ නැහැ. ඒක හොදටම විශ්වාසයි. මේ කොල්ලෝ කෙල්ලෝ එක්ක තරග කරන්න බැරි නිසාම තමයි උන්ට උඩට එන්න දෙන්නේ නැත්තෙත්. ප්‍රවීනයෝ මොනවා කිව්වත් රූකා, ආත්මා, උරේෂා, කසුන්, ෂිහාන්, භාතිය, සන්තුෂ්, දුකා, සුරේන්ද්‍ර වගේ අය නිසා තමයි අපි තාමත් ලංකාවේ සින්දු අහන්නේ.

8 comments:

  1. ඕක අළුත් පරණ කියල බෙදන්න හරිම අමාරුයි මචං. අළුත් පරණ කියල නෑ හැමෝම හොඳ නිර්මාණ කරල තියෙනව වගේම චාටර් නිර්මාණත් කරල තියෙනව. අනික චිලී, අශාන්ති, සුරනි, කොරින් කියන්නෙ මෙලෝ රහක් නැති අය නෙවෙයි. කොරින් කියන්නෙ වර්තමාන පරම්පරාවෙ කෙනෙකුත් නෙවෙයිනේ...

    ලොකුම අවුල තමයි මිනිස්සු පුද්ගලයන් වන්දනා කරන එක. වික්ටර් මොකක් කිව්වත් ඒක පට්ට! සුරනි මොනව කිව්වත් ගූ 7. එහෙම හරි යන්නෙ නෑ නේද? වික්ටර්ගෙත් මෙලෝ හරක් නැති සින්දු කොයි තරම් තියෙනවද? අපි ඒව අහලවත් නෑ ජනප්‍රිය නැති නිසා.. ඒ එක්කම සු‍රනිගෙ 'හොරුහින් බලන්න' සුපිරි සින්දුවක්නේ... ඉතිං අපි ගායක ගායිකාවො අනුව සින්දුවලට කැමති වෙන්න ගියොත් අපි ලොකු අමාරුවක වැටෙනවා :D

    ReplyDelete
  2. මේ මාතෘකාව හැමදාම හරි ආන්දෝලනාත්මකයි... මෙහෙමයි මචෝ, ගීතයක රස වර්ග දෙකක් තියනවනේ.. ශබ්ද රසය, අර්ථ රසය කියලා.. අපි මිනිස්සු නිසා වැඩියම ඇදෙන්නේ ශබ්ද රසය කියන දේට.. ශබ්ද රසය තිරිසන් රසයක් කියලත් මම අහල තියනවා.. අර්ථ රසය ගැන කියනවනම්, සින්දුවක පද රචකයෙක් කියල එකෙකුත් ඉන්නවා.. අර්ථ රසය දැනවීම තියෙන්නෙ උගෙ අතේ.. මමත් කාලයක් ශබ්ද රසයෙන් සතුටු උනා.. ඒත් එක කේස් එකක් නිසා ටිකක් අර්ථ රසය විඳින්නත් අවුරුදු දෙකකට විතර කලින් ඉඳන් පුලුවන් උනා.. අදටත් මම ශබ්ද රසය විඳිනවා.. ඒත් අර්ථයක් තියන සින්දුවක් ඇහුව වගේ සතුටක් දැනෙන්නෙනම් නෑ මට.. මෙතන අවුල ගොඩක් වෙලාවට ගායකයගෙ නෙමේ... සින්දුවෙ වචන වලයි, සංගීතයෙයි.. දැන් අපි කොහොම පාවිච්චි කරත් ඉස්සර මියුසික් පාවිච්චි කරේ හිත නිවෙන්න භාවනාවක් විදියටයි.. මන්දා මේ කොම්පියුටර් වලින් හදන හෝ ඉලෙක්ට්‍රික් ඉන්ස්ටෘමන්ට් වලින් එහෙම දෙයක් වෙනවද කියලා.. ඒත් මම හැම විදියෙම සින්දු අහල තියන නිසා කියන්නම් මම අවංකවම දැන් හිතනවා ඉස්සර වගේ මම දැන් සංගීතය විඳවන්නෙ නෑ විඳිනවා කියලා... අවුරුදු දෙකකට කලින් නම් මේකට මගෙ අතින් මේ වගේ කොමෙන්ටුවක් වැටෙන්නෙ නෑ කීයටවත්.. මොකද මම ඒ වෙනකොට කරේ සංගීතය විඳවපු එකයි කියල මට හිතෙනවා.. ඒ දවස් වල මම අන්තවාදියෙක්.. මියුසික් නම් සද්දෙ විතරයි වගේ හිටියේ.. ඒත් දැන් එහෙම නෙමෙයි.. මේක මෙහෙමයි.. අපි හැමෝගෙන්ම බැනුම් අහන චින්ති උනත් හිත නිවෙන මියුසික් වලින් සමාජෙට හානියක් නැති සින්දුවක් කිව්වොත් ඒ සින්දුව අහල රස විඳින්න මම කීයටවත් ලැජ්ජ වෙන්නෙ නෑ.. ඒත් මේ කසුන් කල්හාර.. මාලනී බුලත්සිංහල නෝනගෙ පුතා.. අඩුම ගානෙ මිනිහගෙ සින්දු වලින් සමාජෙට හානියක් වෙන්නෙ නෑ.. පුදුම දක්ෂයෙක්.. උපරිම හැකියාවක්, කට හඬක්.. මීදුම් දුමාරයේ සින්දුව අදටත් මාව ලස්සන හීන ලෝකෙකට ගෙනියනවා.. හොර නැතුව ස්වභාවික බොක්ස් ගිටාර් එකෙන් දාපු මියුසික් වල තියන ලස්සන.. ඇස් පියාගෙන විඳින්න පුලුවන්.. නදීක ගුරුගේ.. හිම වැස්ස සින්දුව අහල තියනවද?? බලන්න හැකියාව.. අර්ථ රසයක් නම් ඒකෙ තියනවද මන්දා.. ඒත් ඒ ස්වභාවික සංගීතෙ අහල නම් මට පිස්සු නොහැදුනා විතරයි.. හැබැයි මචෝ... උඹ මේ හැම දේම ගැන කියන්නෙ වික්ටර් රත්නායකගෙ හිත මිතුරු සුලඟ, තනි තරුවේ(මේක කියන්න නම් ලොකු හැකියාවක් අනිවාර්යයි ), හුරතලේට කවි කියමින්, වගේ සින්දු ටික අහල නැතුවනම්, විඳල නැතුවනම් අවංකවම කියන්නෙ... මේ මාතෘකාව ගැන කතා කරන්න එපා මචං.. අමරසිරි පීරිස්ගෙ ලඳුනේ, සෝමතිලක ජයමහගෙ හැමදාමත් යාලුවේ, මේවගේ සින්දුවල අර්ථය නිසා සින්දුව නම් මැරෙනකං එපා වෙන්නෙ නෑ.. ආත්මගෙ රණබිම සින්දුවට මම ආසයි.. ඒත් අර්ථ රසයක් නිසා නෙමෙයි.. මොකද ඒක විශේෂ හැකියාවක්.. ප්‍රශ්නෙ මෙතනයි.. උපරිම හැකියාවන් තියන තරුණ ගායකයො ගොඩක් තමන්ගෙ හැකියාව දිය කරන්නෙ මුදල් හෝ ප්‍රසිද්ධිය බලාපොත්තුවෙන්.. අර්ථවත් දෙයක් නිර්මානය වෙන්න තියන බාධාව එතනයි.. මෙතන මම කෙනෙක් ගැන නොකිය හිටියා.. මේ මුලු ලෝකෙන්ම අර්ථවත් ගීත වැඩිම ගානක් කියපු අපේ රටේ අසහාය ගායකයා.. එතුමා ගැන නොකියන්නෙ ඕක මෙතන කියන්න ගත්තොත් මේක දික් වෙන තරම මට හිතා ගන්න බැරි වෙන නිසා.. අන්තිමට එකක් කියන්නම්.. වික්ටර් රත්නායකගෙ හැකියාව ගැන අඩු තක්සේරුවෙන් කතා කරන්න නම් උඹටවත් මට වත් බෑ මචං.. කසුන් කල්හාරගෙවත් වික්ටර් රත්නායකගෙවත් හැකියාවන් සංසන්දනය කරන්න තරම් දැනීමක් මට තාම නෑ.. ඒත් දැනට මම දන්න සංගීතෙ හැටියටනම් කොහොමටවත් ඒ හැකියාව අවතක්සේරු කරන්න කාටවත් බෑ..
    ඒක නෙමේ මොකද බොල මේ මාස ගානකට සැරයක් පෝස්ට් දාන්නේ.. වෙලාව හදාගෙන දිගටම ලියමු නේද??

    ReplyDelete
    Replies
    1. බට්ටා,

      ස්තුතියි අදහස් දැක්වීමට. නමුත් මගේ උත්සාහය වුනේ ප්‍රවීණයන්ගේ ගීත වැඩක් නැහැ කියන එක නෙවෙයි. නව පරපුර මොනවා හරි කරපුවාම ඇයි මේ තරම් කුහක වෙලා ගරහන්නේ කියන එකයි

      Delete
    2. ම්ම්.. එහෙම වෙනවද?? මම දන්න හැටියට නම් කලාකරුවො කියන්නෙ ඔබ, මම, අපි බ්ලොග් කාරයො වගේම නිහතමානී පිරිසක්.. ඒ අතර කුහකයන් නැතුවම නෙමේ... ඒත් බහුතරය නිහතමානීයි.. ඒක මගේ අදහස.. නව පරපුර අර්ථවත් දෙයක් කරනවනම් ඔවුන් ඒක හෙළා දකියි ගරහයි කියල මම හිතන්නෙ නෑ.. ඇත්තටම චින්ති කියන්නෙ හොඳ හඬක් තිබුණට සමාජයට හානියක් කරන මිනිහෙක්...

      Delete
  3. ඇයි නවකයින්ට බැරි තනියම වික්ටර් ල වෙන්න..
    මේ ලොකෙ කවුරුත් කාටවත් අත දෙන්න ලැස්තිවෙල නෑ සහෝදරයා..
    මං උනත් ගායකයෙක් උනානං මගේ සිංදු වෙන එකෙක් කියනවට ආස නෑ..
    මොකද මං තමා දන්නෙ මගේ සිංදුවක් මගේ නම ජනප්‍රිය කරගන්න මං කාපු කස්ට...
    සුපර්ස්ටා වලිං හොඳ කටහඩවල් ඉස්සරහට ආව වෙන්න ඇති..ඒත් හොඳ මේ ප්‍රවාහයට ඇතුල්වෙන්න තරං ශක්තිමත් පොරවල් බිහිවෙලා තියෙන්නෙ ෂිහාන් විතරයි...
    ෂීහාන් පරණ සිංදුවක් ඇල්ලුවත් පස්ට ලස්සනයි....
    මං හිතන්නෙ තමුන් කට්ට කන්න ඕනි හොඳට..එතකොට තමා තැන ලැබෙන්නෙ..කවුරුත් බන්දේසියෙ තියල දෙන්නෙ නෑ...
    යම් පුද්ගලයෙක් ලංකාවෙ කලාව පැත්තට එනවනං..එහිදි එන ආර්ථික සහ අනෙක් ගැටලුවලට විසඳුම් ඔහු ලඟම තියෙන්න ඕනි...

    වික්ටර් කියන්නෙත් අනූ ගනන්වල ඔපන් ස්ටේජ් වලට බහින්න වුන කෙනෙක්..
    මං නං පුද්ගලිකව ආස කවුරු හරි අතදෙනකං බලං ඉන්නෙ නැති හැකි පමණින් කවියක් කියන්න මියුසික් පාට් එකක් යූටියුබ් එකෙන් හරි ප්‍රසන්ට් කරන්න ට්‍රයි කරන අයට....
    එකපාර තරු ගොඩ දාන්න බෑ...
    චාමර, කසුන් කල්හාර , ෂසිකා නිසංසලා වගේ කස්ටියක් ඉන්නවා නෑම කියන්නත් බෑ...

    ReplyDelete
  4. @බට්ටා

    ලොවෙත් නැති කමෙන්ටුව මචෝ... ඔය ශබ්ධ අර්ථ රස දෙකම සින්දුව අනුව වෙනස් නිසා ගායක ගායිකාවො විධියට වෙන් නොකරගෙන අදාල නිර්මානය ඒකකයක් විධියට විඳින එක තමයි හරි කියල මටනං හිතෙන්නේ..

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ලංකාවෙ ඕනම ක්ෂේත්‍රයක ඉහලට යන්න අතහිත හම්බවෙනවා ගොඩාක් අඩුයි..ඉහලට යන්න හදන මිනිහව බිමට ඇදලා දාන්න තමයි බලන්නේ..ඒ දේ ඉතින් සංගීතයටත් පොදුයි..හැබැයි හැමකෙනෙක්ම එහෙම කරනවා කියලා මම හිතන් නෑ..යම් පිරිසක් තමයි ඔය දේ කරන්නේ ඒක ප්‍රවීනයෝ නවකයන්ට වගේම නවකයන් විසින් නවකයන්ටම කරන අවස්ථාත් තියෙනවා..ඒක නිසා එක කොටසකට ලඝුකොට දැක්වීම සාධාරනයි කියලා මම හිතන් නෑ....ඒ පිරිස උනත් මුලදි ඔය වගේ වැඩ කලාට කාලයක් ගියහම ඒ දේ ඉබේම නවතිනවා...කෙනෙක්ට පුලුවන්නම් ඒ මඩ ගැහිලි කුහකකම් එක්ක ඉස්සරහට යන්න ඒ මනුස්සයාව වට්ටන්න කිසිම කෙනෙකුට බෑ..amila chathuranga ගේ අදහස තුල ඒ දේ පැහැදිලිව සදහන් වෙලා තියෙනවා....වර්තමාන රියලටි සංගීත තරග එක්ක කැලේ පිපුන මල් කැලේටම පරව යා නොදි රැකගන්න යම් සාර්ථක උත්සාහයක් දරලා තිබෙනවා..කෙනෙක්ට දක්ෂතාවය තියෙනවනම් එහෙම නැත්නම් දක්ෂතාවය වර්ධනය කරගන්න ලොකු අවස්ථාවක් ඒකෙන් ලැබෙනවා..හැබැයි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ඉදිරියට යන එක සරලව කියනවනම් කට්ට කාගෙන ඉස්සරහට යන එක ඒ ඒ පුද්ගලයගේ වගකීමක්...තවදුරටත් කෙනෙක් අතදේවි කියලා ගෙදරට වෙලා හිටයොත් කවදාවත් ඉස්සරහට යන්න ලැබෙන් නෑ...බට්ටා ඉතා පැහැදිලි වගේම ප්‍රායෝගික විග්‍රහයක් මේ ලිපිය ගැන කරලා තිබ්බා..ඒ දේවල් වලට 100% එකගයි.. පෝස්ට් එක තුලින් මුලිකවම ගීතයක ශබ්ද රසය ගැන පමණක් කතා කරලා තියෙනවා කියන එක පැහැදිලියි..මමත් පෞද්ගලිකව ශබ්ද රසයට වඩා කැමති පුද්ගලයෙක් නමුත් නිර්මාණයක විටිනාකම වැඩිවෙන්නේ එහි ඇති අර්ථ රසයෙනුයි..වික්ටර් රත්නායක, නන්දා මාලිනි, සුජාතා අත්තනායක, ඇන්ජලීන් ගුණතිලක, ගුණදාස කපුගේ, අමරසිරි පීරීස්, ප්‍රේමසිරි කේමදාස, අමරදේව ශුරීන් මේ වගේ ප්‍රවීනයින් තමයි අපේ සංගීත ක්ෂේත්‍රය කියන මහා රුක්ෂයේ මුල්....නවකයින් මේ රුක්ෂයේ අතු.කොල, මල්...මුල් නැතුව ඒ ගසට පැවැත්මක් කොහෙත්ම නෑ..මුල් විතරක් තියෙන අතු කොල මල් නැති ගහෙනුත් වැඩක් නෑ....ප්‍රවීනයන් හා නවකයන් අතර වෙනස අහසට පොලොව වගේ මතුපිටින් අතගැවොත් ඒ වෙනස දකින්න බෑ..නවකයන් තමයි දවසක ප්‍රවීනයන් වෙන්නෙත් ඉතින් විය යුත්තේ නවකයන් ප්‍රවීනයන් සමග ගැටළු ඇති කරගැනිම නෙමෙයි.ඔවුන් හා එක්ව මේ මහා රුක්ෂය පෝෂණය කිරීමයි..ප්‍රවීනයන්ගේ ගිත නවකයන් ගැයිම ගැටළුවක් නෙවෙයි නමුත් වාණිජ පරමාර්ථ සදහා යොදා ගැනීම වැරදයි...බුද්ධිමය දේපල පනත යටතේ පවා එසේ යම් පුද්ගලයෙකුගේ නිර්මාණයක් අවසරයකින් තොරව භාවිතා කිරීමට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්..සරලවම නිර්මාණකරුවෙකුට තමන්ගේ හැම දෙයක්ම වෙන්නේ තමන් විසින් කරන ලද නිර්මාණයනේ.. ඉතින් ඒක හොර රහසේ අවභාවිත වීම සැබෑ අයිතිකරුට ඇත්තටම කනගාටුවක්...එයින් වෙන්නේ ඔවුන්ගේ නිර්මාණකරණයට ඇති උනන්දුව හීන හීම මිසක් තව තව වර්ධනය වීමක් නෙමෙයි...තව දෙයක් ලිපිය තුලින් අපේ සංගිතය ජාත්‍යන්තරයට නොයාම ගැන ප්‍රශ්නයක් මතුකරලා තිබ්බා..ප්‍රවීනයන් ජාත්‍යන්තරය තුල ජනප්‍රිය නොවන්නත් භාතිය සන්තුශ් වැනි නව පරපුරේ ගායකයින් එතනට යන්නටත් හේතුව විදිහට මම දකින්නේ මුල්‍යමය ගැටළුයි..ප්‍රවීනයන් යැයි නම පට බැදුනට ඔවුන් බොහෝ දෙනා කෝටි පති නෙමෙයි..වර්තමනෙයේ ජාත්‍යන්තර සංගීතය තාක්ෂණය හා බැදුන ඉතා දියුණු ක්ෂේත්‍රයක් එතනට යන්න ගිහින් ඒ මාකට් එක්ක කරට කර තරග කරන්න සෑහෙන මුදලක් වැය කරන්න ඕන...වේදිකාවක සිංදුවක් දෙකක් කිව්වට කැසට් පටයක් කලා කියලා ප්‍රවීණයන් අතේ මේ දේවල් වලට වියපැහැදම් කරන්න තරම් සල්ලි ඇති කියලා මම හිතන් නෑ...අනික රජයෙන් වත් මේ දෙවල් වලට කිසිම සහයෝගයක් ලැබෙනවා ඇති කියලා ම හිතන් නෑ..ඒත් එක්කම ප්‍රවීනයන් තමන්ගේ නිර්මාණ තුල ගුණාත්මක භාවය රුකගන්න රැප් කිරීම්, එක එක භාෂාවලින් වචන අහුලන් අචිචාරු ගීත සංස්කෘතියකට යාමට උත්සාහ දරන් නෑ..නමුත් භාතිය සන්තුෂ් ලාට එහෙම ප්‍රතිපත්තියක්, භාෂාවක්, සංස්කෘතියක් ඇති පුද්ගලයින් නෙමෙයි..ඔවුන්ට අවශ්‍ය විකුණා ගැනීමට යමක් කිරීමයි..වාණිජ කරණය තුල ඔවුන් වෙසෙසින්ම ලාභ ලබන්නන් වෙනවා..මොකද ශබ්ද රසය කෙසේ හෝ ග්‍රීක් වලින් හරි කියලා ගන්න පුලුවන්නම් අපේ අය තමන්ගේ අම්මට කුනුරපෙන් බනින සින්දුවක් උනත් උඩ පැන පැන නටලා අහයි...ඒ තමයි ඉතින් මාකටින්..භාතියලා ගීත මාකට් කරන්නේ...ඉතින් එහෙම තත්වයක් තුල ඔවුන්ට ජාත්‍යන්තරයට යාමට යම් ඉඩක් සකසා ගත හැකියි...හැබැයි ඉතින් ඉන්දියාවට ගිහින් හින්දි සින්දු කියලා විකුනනවා කියන්නේ හරියට මාලදිවයිනට කරවල යවනවා වගේ වැඩක්..ඒකනිසා වෙන්න ඇති එයාලා ක්‍රිකට් කණ්ඩායම හෙම යොදාගෙන මෙලෝ රහක් (ඉන්දියාවෙ මිනිස්සුන්ට නම් කොහෙමද දන් නෑ) නැති විකාර ටිකක් කරලා තිබ්බේ..ඇත්තටම අවශ්‍ය සහ විය යුත්තේ ඉන්දියවට ගිහින් හින්දි මාකට් කරනවට වඩා සිංහලෙන් ඔවුන්ට දැනෙන දෙයක් කිරීමයි..නමුත් ඉතින් එවැනි දෙයක් තව සෑහෙනක කාලෙකට වෙයි කියලා නම් හිතන්න අමාරුයි..එක රැයින් ජනප්‍රිය වෙන්න ගීත කරන්න දගලන පිරිසක් ඉන්න ලංකාවෙ සංගීතයේ අනාගතය තත්වයෙන් බාල අච්චාරු සංගීත සංස්කෘතියක් වෙයි කියලයි මටනම් හිතෙන්නේ...

    ReplyDelete