Friday, February 3, 2012

මරීනා මරීනා


සියත FM එකේ සතියේ දවස් වල රෑ 10 ට මම කැමතිම ගී 10 කියල ප්‍රෝග්‍රෑම් එකක් යනවා. ටිකක් හරි ඇසූ පිරු තැන් ඇති කෙනෙක් ආව දවසකට, බොහොම චමත්කාරජනක පැයක් ගෙවාගන්න පුළුවන්. 

පහුගිය දවසක මේකට ආව තරුණ සංගීත අද්‍යක්ෂක වරයෙක්. වැඩ කාරයෝ ප්‍රසිද්ධ වෙන්නේ නැති නිසා මට මෙයාගේ නම නම් මතක නැහැ දැන්. මේ තරුණ සංගීත අද්‍යක්ෂක වරයා අංක එකට තෝරපු ගීතය ගැන කියපු දේ මට මතක හැටියට මෙන්න මෙහෙමයි:


"බයිලා කාරයෝ කිව්වහම අපිට හිතෙන්නේ බොහොම පහල මට්ටමක අධ්‍යාපනයක් තියන නිකම්මු කොටසක් කියල."

"දැන් කාලෙ බයිලා කාරයෝ එහෙම වෙන්න පුළුවන්. එත් මම මේ අංක 1 ට තොරන ගීතය ගායනා කරන M.S. ප්‍රනාන්දු ගායකයා බොහොම පොත පත පරිශීලණය කරපු, සමාජය වගේම සංගීතය ගැනත් බොහොම දේවල් දන උගත් කෙනෙක්. මේ ගීතය අහනකොට අපිට මැවෙනවා සම්පූර්ණ චිත්ත රූපයක්."

"ගීතය පටන් ගන්නකොට MS කියාගෙන යන හෑල්ල -දෙවන යුද්ද කාලෙ ලාංකික තරුණයෙක් මෙක්සිකෝවට ගිහින් එහෙ තරුණියක් සමග හාද වෙන හැටි,
යුද්දේ අවසානයේ තරුණය අපහු එන්න තනියම නැවට නැගල තමන්ගේ පෙම්වතියට සමු දෙන හැටි එහෙම වචනයෙන් වගේම සංගීතය පැත්තෙන් උනත් මේ ගීතයට යොදාගෙන තියෙන්නේ පුදුමාකාර විදිහට."


ඊට පස්සේ අපේ නිවේදකයා පොඩි ගිටාර් ඛණ්ඩයක් වාදනය කරලා පෙන්නනවා.

"මෙන්න මේ වගේ මෙක්සිකන් මියුසික් රිදම් එකක් තමයි මේ ගීතයේ බැක්ග්‍රවුන්ඩ් එකේ යන්නේ.."

මෙහෙම විස්තරෙකට පස්සේ වාදනය වෙන්නේ MS ගේ 'මරීනා මරීනා' කියන සින්දුව. අවාසනාවකට වගේ මියුරු ගී සහ සිංහල juke box එකේ විතරයි මට මේ සින්දුව හොයාගන්න පුළුවන් උනේ. එක නිසා මෙතනට ඒ සින්දුව ඔබාගන්න විදිහක් නැහැ.

සින්දුවට කිව්වට, ඇත්තටම බොහොමයක් මැක්සිකන් ගෑනු අය ඇහැට කනට පෙනෙන ඇත්තෝ. කළු කොන්ඩේ එක්ක අපේ ලංකාවේ කෙල්ලන්ගේ පෙනුම තියන නිසා ලංකාවේ කොල්ලන්ගේ හිත යන එක පුදුමයක් නෙමේ. හැබැයි මේ ලස්සන තියෙන්නේ බොහොම ටික කාලයයි. මෙක්සිකානු කෙල්ලෝ ගොඩක් අඩු වයසෙන් ළමයි හදන්න පටන් ගන්නවා. ළමයි හතර පහක් වත් පවුලක ඉන්න ඕනේ කියල පොඩි කාලේ ඉඳලම කවුරු හරි තෙලක් බෙදනවද දන්නේ නැහැ. ළමයි හම්බ උනාට පස්සේ මේ ගොල්ල තමන්ගේ ලස්සන ගැන වැඩිය මහන්සි වෙන්නේ නැහැ. හරියට අපේ අය වගේම තමයි.
 
මැක්සිකන් කාරයෝ සැරට කන්න රුසියෝ කියල ප්‍රසිද්දයි; අපිත් ඉතින් හොඳට මිරිසට කන කට්ටියනේ.  අපි වගේම තමයි ඒ කියන්නේ... මේ ගොල්ල ගාව නානාප්‍රකාර මිරිස් ජාති තියනවා. මාළු මිරිස් වල සයිස් එකේ ඒවා වගේම නයි මිරිස් වගේ ඒවත්. බුරන බල්ලා හපා නොකයි වගේ ලොකු මිරිස් වැඩිය සැර නැහැ. jalapeno (හැලපිනියෝ; ඔව් 'ජල පෙනෝ' නෙමෙයි; අපේ දෙමළ සොයුරන් 'බයන්න' වෙනුවට 'පයන්න' කියනවා වගේ මැක්සිකන් කස්ටියත් 'ජයන්න' වෙනුවට කියන්නේ 'හයන්න' ලු).  කියන මිරිස් තමයි එදිනෙදා පාවිච්චි කරන්නේ. හරියට අපිට අමු මිරිස් වගේ.

බීම අතින් උනත් මෙයාල අපිට දෙවෙනි වෙන්නේ නැහැ. අපේ ජාතික පානය අරක්කු වගේ මේගොල්ලන්ගේ ටකීලා කියල බීමක්. ඒක හදනවා කියන්නේ පතොක් ගස් වලින් ලු. හැබැයි මේක බොන විදිහේ පොඩි වෙනසක් තියනවා. අපි නම් අරක්කු ටික කටට හලන්නේ සෝඩා හරි මොනවා හරි පැණි රස එකක් එක්ක කලවම් කරලනේ. මෙයාල වැඩිය කැමති තක්කාලි යුෂ එක්ක මික්ස් කරගන්න. එකට මිරිස් සෝස් ටිකකුත් දානවා තියනවා නම්!

ඊගාවට මියුසික්. අපේ තියන 4-4, 6-8 බීට්ස්ම තමයි මේ ගොල්ලත් ගහන්නේ. ඒ ගැන නම් ඊට වැඩිය කියන්න දැනුමක් මට නැහැ. 

තවත් බොහොමයක් දේවල් වලින් මේ මැක්සිකන් අය අපිට සමානයි. එත් මේ දේවල් දැනගන්න එකදාස් නවසිය බර ගණන් වලදී MS කියන සින්දුව ලියපු කවුරු හරි වගේම මියුසික් දාපු එක්කෙනත් හොඳට දැනගෙන ඉඳල තියනවා. සතියකට දෙකකට වත් මේ අය මෙක්සිකෝවට ගොඩ බැහැල වත් ද?

දැන් පේනවනේ; ඒ කාලෙ හිටිය බයිලා කාරයොත් සැහෙන්න බහුශ්‍රුතයෝ...

2 comments:

  1. සහෝ ඉන්නෙ මෙක්සිකෝවෙවත්ද?

    ReplyDelete
    Replies
    1. මැක්සිකොවටත් වැඩිය දුරක් නැහැ මම දැන් ඉන්න තැන ඉඳල. එක නිසාම ගොඩක් මැක්සිකන් කට්ටියව දකින්න කතා කරන්න හම්බ වෙනවා. කොහොමත් මේ පළාත කාලෙකට කලින් මැක්සිකොවට අයිතිය තිබිල තියෙන්නේ. සුද්දෝ මානව හිමිකම් බොහොම හොඳට රැකගෙන මේවා තමන් සතු කරගෙන තියනවා දැන්!

      Delete