Sunday, March 18, 2012

කැන්ටිමක සිටි මිනිසුන් - La Gente En Cantina


දයල් බතී ලියා තිබු විවෘත ආපන ශාලාව ගැන කැම්පස් කතාව කියවීමෙන් පසුව මේ සටහන කිරීමට සිත් විය.

ඉස්කෝලේ යන කාලේ කැන්ටින් දෙකකිනුත්, ඊට පස්සේ මොරටුවේ වලෙන්, ගොඩෙන් මෙන්ම ගුලෙනුත්, ජපුරේ කැන්ටින් එකකිනුත්, පේරාදෙණියේ අක්බාර් ශාලාවේ කැන්ටිමෙන් මෙන්ම චමත්කාර වටපිටාවකින් යුතු වුස් (WUS) කැන්ටිම මෙන්ම කොළඹ ආර්ට් ෆැකල්ටි කැන්ටිමෙන් සහ මෙඩිකල් ෆැකල්ටි කැන්ටිමෙන්ද සැහෙන වාර ගණනක් ගොස් කා ඇතත් මගේ කැම්පස් ජීවිතයෙන් 40% පමණ කාලයක් ගතවුයේ විවෘත ආපන ශාලාව හෙවත් ඕපන් කැන්ටිමේය. 

දයාල් බතී ට මෙන් ජැකා ලා තරම් ප්‍රසිද්ද පුද්ගලයින් නැතත් මටද අපූරු මිනිසුන් මේ කැන්ටිමේදී මුණ ගැසී තිබේ.

මුල දවස් වල මම කැම්පස් එකට එන්නේ ආර්ට් ෆැකල්ටිය පැත්තෙන් තියන ගේට්ටුවෙන්. ඒ දවස් වල ICT එකට අලුතෙන් කෑල්ලක් හදනවා. එකේ වැඩ කරන මේසන් බාස්ලව පේනවා.
උදේ පාන්දරම යන්නේ open එකට. කට්ටියත් එක්ක කයියක් ගහගෙන මොනවා හරි කොටාබාන ගමන් කවුදෝ වයසක මනුස්සයෙක් කැන්ටිමේ පෝලිමේ.

කලිසමේ එක කකුලක් අඩියක් එකහමාරක් විතර උඩට නමාගෙන, අනිත් කකුල හරියට දිගට තියනවා.


කකුල් දෙකේ සෙරෙප්පු දෙකක්. ෂර්ට් එකේ එක පැත්තක් යට කරලා අනිත් පැත්ත උඩින් වැටිලා. මුහුණ පුරා රැවුල වැවිල. අතේ පොඩි වෙච්ච සිලි මල්ලක මොනවදෝ තියනවා. 

කවුන්ටරේට සල්ලි දුන්නහම කැෂියර් කොලුවා දෙනවා පොඩි සිලි උර දෙකක්. එකක එළවලු රොටියක්, අනිකේ ප්ලේන් ටී එකක්.

"අලුතෙන් හදන බිල්ඩිමේ වැඩ කරන මනුස්සයෙක් වෙන්න ඇති..."

මට එහෙම හිතුන විතරක් නෙමෙයි කියවුණා.

"පිස්සුද යකෝ; ඒ අපේ අබේසිංහ සර් නේ!"

මගේ සගයෙක් කියනවා...
 
ශුද්ධ ගණිතය උගන්වන ගණිත අංශයේ ජේෂ්ඨතම ආචාර්යවරයෙක් මේ. ආචාර්ය මහාචාර්ය පට්ටම් නැති නිකම්ම නිකම් අබේසිංහ උනාට ගණිතය ඉගෙනගත්තු හැමෝම එතුමාට ගරු කරේ හරියට වැඩේ කරන ගුරු දෙවියෙක් නිසයි. කැන්ටිමට වෙන කිසිම ආචාර්යවරු එනවා මම දැකල නැහැ, අබේසිංහ සර් ඇරෙන්න. හැමදාම අබේසිංහ සර් අවේ ගියේ බස් එකේ. අර සුපුරුදු පොඩි වෙච්ච සිලි මල්ලත් වරදින්නේ නැහැ. 

කැම්පස් එකෙන් අයින් වෙලා අවුරුදු කීපයකින් ආරංචි උනා අබේසිංහ සර් ව බම්බලපිටියේදී කෝච්චියකට හැප්පුනා කියල. ඒ අනතුරෙන් එතුමාගේ අතකට බරපතල හානි සිදු උනා. පස්සේ බොහොම දුක් විඳලා එතුමා මිය ගියා. කිසිදා එතුමාගෙන් ගණිතය ඉගෙන ගෙන නැතත් හැමෝම වගේ මමත් එතුමාට නිවන් සුව පතනවා..
 
මේ බතීගේ වචන එතුමා ගැන නොදන්නා කෙනෙකුට පැහැදිලි චිත්‍රයක් මවයි:
"අබේසිංහ සර් මිය ගියා අන්තිම අහිංසකයෙකු ලෙස මීට වසර දෙකකට පමන පෙර. මට මතකයි බුලර්ස් පාරේ බස් නැවතුම පලේ මිටි කොන්ක්‍රීට් කනුව මත වාඩිවී බසය එනතුරු බිම බලා සිටිනා අබේසිංහ සර්. මාත් පසෙක මගේ බසය එනතුරු."


දවල්ට කන වෙලාවට කැන්ටිමේදී දකින අමතක නොවෙන චරිතයක් තමයි වතුගල අයියා. රැලි වැටුන දිග කොණ්ඩය සහ රැවුල දකිනකොට මතකයට එන්නේ හේනානිගල ආදිවාසියෙක් ව. එත් පුදුමෙකට වගේ කැන්ටිමේ කන හැමෝම කාල ඉවර වෙලා තමන්ගේ ඉඳුල් පිඟාන මේසේ උඩ තියල ගිහින් අත හොදගනිද්දී වතුගල විතරක් පිඟානත් අරගෙනම ටැප් එක ලඟට යනවා. 

මුලින්ම කරන්නේ තමන්ගේ පිඟාන හෝදන එක. ඊට පස්සේ අත හෝදගෙන පිඟාන කැන්ටිමේ බත් බෙදන පැත්තෙන් ගිහින් තියනවා. එතකොට හිතෙන්නේ කැන්ටිමේ කන එකම ශිෂ්ට සම්පන්න මනුස්සය වතුගල විතරක් බවයි. 

වසර 3 - 4 ක ජෙෂ්ටයෙකු වූ වතුගල ඔවුන්ගේ කණ්ඩායමේ හැමදාමත් බැජ් ටොප් බව බොහොම ඉක්මනින්ම දැනගන්න හම්බ උනා. ඔවුන්ගේ උපාධි ප්‍රධානෝත්සවයේදී ජාතික ඇඳුමෙන් සැරසී ඊට සහභාගී වූ එකම කෙනා වතුගල කියල ආරංචි උනා. පළවෙනියට නම කතා කරලා වේදිකාවට ගොඩවෙද්දී ශාලාවේ පොඩි සූවක් ගියාලු. ඒ වතුගලව දැකල නැති අනිත් පීඨ වල සිසුන්ගෙන්. එත් ඊට පස්සේ වතුගලගේ නම නැවත නැවතත් කියමින් ඔහුට වේදිකාවෙන් බසින්නට නොහැකි වී තිබෙන්නේ එම වසරේ වැඩිම පදක්කම් සහ සහතික හිමි සිසුවා ලෙසටයි.

ඕපන් එක තියෙන්නේ කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එක හෙවත් ක්‍රීඩාපිටිය අද්දර. උදේ පාන්දරින්ම කැන්ටිමට අවොත් දකින්න තියන දර්ශනයක් තමා මේ ක්‍රීඩා පිටියේ කඩුළු මතින් දුවන්නට පුහුනුවෙන උස කළු හාදයෙක්. මේ තමයි කුලාන්. 

මේ වෙනකොටත් කඩුළු මතින් දුවන විශ්ව විද්යාල ශූරතාවය හිමිකරගෙන හිටිය කුලාන් හැමදාම උදේ 7.30 වෙනකොට පුහුණුවීම් පටන්ගත්ත. බොහොම මහන්සියෙන් තමන්ගේ පුහුණුවීම් කරන කුලාන්, පුහුණුවෙන් පස්සේ කැන්ටිමට ඇවිත් කෙහෙල් කොලේ ඔතපු මහා විසාල බත් එකක් කනවා. 

තමන් කරන දේ බොහොම කැපවීමෙන් කරන කුලාන් දක්ෂ උනේ ක්‍රීඩාවට විතරක් නෙමෙයි. පළමු වසරේදී බැජ් ටොප් හෝ ඊට ආසන්නම වෙන්නත් කුලාන්ට පුළුවන් උන බව මතකයි. පසුව ගණිත විශේෂ උපාධිය සම්පූර්ණ කරපු කුලාන් මේ වෙනකොට කැන්ගරු දේසේ තමන්ගේ ආචාර්ය උපාධියත් ඉවර කරලා ආචාර්ය වරයෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම තමා පිටියේ තරඟ වලින් තවමත් සුද්දන් අතරේ පළවෙනියට මේ කළු අස්සයා එන්නේ අපේ රටට ආඩම්බරයක් දෙමින්.

ඊළඟට කියන්න යන්නේ පිස්සා ගැන. 

කැම්පස් එකේ වැඩියෙන් හිටියේ මම වගේ සාමාන්‍ය තරමේ කට්ටිය තමා. ඉස්කෝල වල හිටිය හොඳටම වැඩ කරන එවුන් ටික මොරටුවටයි පෙරදෙණියටයි  ගියහම ඊට පස්සේ හිටිය පිස්සු නටපු average එවුන් තමයි කොළඹ සයන්ස් කරන්න එන්නේ. දෙය්යන්ගේ පිහිටෙන් කිසිම දෙසපාලනයක් කරන්න, රැග් කන්න ඕනේ වෙන්නේ නැති මේ ෆැකල්ටියේ තමන්ගේ පාඩුවේ තමන්ට කැමති දෙයක් කරගෙන ඉන්න පුළුවන්. අල්කෙමියගේ පොස්ටුවකට කොමෙන්ටුවක් දාපු කෙනෙක් අහල තිබ්බ රැග් එක කාපු නැති කෙනෙක් ඉදිරිපත් වෙන්න කියල. ඔන්න ඉන්නවා තොගයක්ම.

ඉතින් මේ වගේ ජනතාවක් අතරෙත් ඉන්නවා මෝටර් වගේම මීටර් කීපයකුත්. කුලාන් කියන්නේ අධ්‍යාපන වැඩ වලට මෝටරයක්. මේ අපහාසෙකට එහෙම කියන දෙයක් එහෙම නෙමෙයි. මීටරෙකුත් නොවන, මෝටරේකුත් නොවෙන මම වගේ අයට වැඩි දක්ෂ අයගේ එක කොට්ටාශයක් ගැනයි කිව්වේ. මට අධ්‍යපනෙත් වැඩිය බැහැ ක්‍රීඩාව කොහොමටවත් බැහැ.

මේ මීටර් අතරිනුත් මීටරේ තමයි පිස්සා. පිස්සට පිස්සා කියන්නේ ඌට පිස්සු නිසා. කොයි වෙලෙත් පිස්සු නටන එක තමයි කරන්නේ. මම හිතන විදිහට පිස්සාගේ මීටරේ උපතින්ම ආව එකක්. පැමිණීම ගණන් කරන අත්‍යවශ්‍යම දේශනෙකට ඇරෙන්න වෙන කිසිම දේශනෙකට පිස්සා යන්නේ නැහැ. හැම වෙලේම ඉන්නේ කැන්ටිමේ. ඒ ඉන්න ගමනුත් කරන්නේ මොකක් හරි පිස්සු වැඩක්. 

වාසනාවට මේ කියන කාලේ විභාග තියෙන්නේ අවුරුද්දට එක පාරක් විතරයි. ඉතින් අපිත් කැන්ටිමට වෙලා මොනවා හරි විකාරයක් කර කර දවසෙන් වැඩි කාලයක් ගත කරනවා. වෙලාව ලැබෙන විදිහට දේශන වලට ගොඩ වෙලා එන්න යනවා. මෙහෙම ඉඳල විභාගයක් ලං උනහම දෙලොව රත් වෙනවා. 

මේ වගේ වෙලාවට පිහිටට එන්නේ කුප්පි. කවුරු හරි විෂය ගැන හොඳට දන්නා කෙනෙක් කට්ටියව කොහේ හරි තැනකට එක්කගෙන ගිහින් අවුරුද්දක් උගන්නන ඒවා එක දවසින් ප්‍රගුණ කරවන එකට තමයි කුප්පි කියන්නේ. 

පිස්සා මේ කුප්පි වලටත් එන එකෙක් නෙමෙයි. පිස්සා කරන්නේ තමන්ට ලියන්න තියන විෂයේ පොතක පිටු පෙරලගෙන යන එක විතරයි. විනාඩි 10 කින් පිස්සාට පුළුවන් ඕනෙම විෂයක් අපිට උගන්වන්න.
 
පරිගණක අන්සෙන් මේ කුප්පි වලට වැඩිහරියක් වග කිව්වේ ජාවා සම්පත්. එත් මේ විෂයේ ප්‍රයෝගික පරිෂණ තමයි වැඩියෙන් තියෙන්නේ. මේ වෙලාවට පිහිටට එන්නේ පිස්සා. 

මුල් වසර වල පිස්සා උදව් නොකරපු පරිගණක පැවරුමක් කරපු අය ඉන්නවා නම් ඒ අතේ ඇඟිලි ගානට කිව්වොත් වැරදි නැහැ. උදව් කරලත් ගොඩ දාගන්න බැරි කීප දෙනාට පිස්සාගේ ගෙදර පැවරුම දෙන්න තියන දවසට කලින් දවසේ මහා පැවරුම් රාත්‍රියක්, කෑමබීම නවාතැන් සමග. රෑ එළිවෙනකන් වගේම පහුව දා දවල් වෙනකනුත් හැමෝගෙම වැඩ කරන පිස්සා තමන්ගේ පැවරුම දෙන්න යන්නේ හවස 4 ට විනාඩි 5 කට කලින් දුවගෙන.

මහන්සි නොවී ප්‍රීතියෙන් කල් ගෙවීම පරම අරමුණ කරගත් පිස්සා ඒ විදිහට ඉන්න පුළුවන් තරම් කල් හිටිය. අන්තිමේ දැනට මාස කීපෙකට කලින් මට කතා කරපු වෙලාවේ කිව්වා පිස්සාගේ ආචාර්ය උපාධිය මීටත් වැඩිය අදින්න බැරි නිසා සම්පූර්ණ කරන බවත්, ඒ සමගම කුප්‍රකට ගූගල් නම් වැඩපොලෙන් රැකියා අවස්ථාවක් ලැබුන බවත්ය. 

වෙන කිසිවෙකු මෙසේ පැවසීනම් (වෙන කිසිවෙක් මේසේ පවසා නැත) මගේ ප්‍රශ්නය වනුයේ 

"සුබපැතුම්, කවදද වැඩ පටන්ගන්නේ?" යන්නයි. 

නමුත් පිස්සාට පිස්සු බැවින් මගේ ප්‍රශ්නය උනේ

"ඉතින් උඹ යනවද?" යන්නයි.

"ඔව් බන්, මේක මුන් ඉස්කොලෙටම ඇවිල්ල ඉන්ටෙව් කරලා ගත්තේ. වෙන ඒවාට යන්න මහන්සි වෙන්න බෑ, මේකට යනවා"

විමල් ඇමති තුමා කීවත් වැඩක් වන එකක් නැත. 'මට මෙතෙක් හමුව ඇති හොඳම මොළය' (මීට සමාන දෙයක් වරක් මහාචාර්ය V.K.සමරනායක ද පිස්සා ගැන පැවසීය!) වුවද පිස්සා පිස්සෙක් වීම නිසා ගූගල් එකේ වැඩට ගියේය. 

අනේ අපි නම් යයි ඕවයේ පස් පාගන්න!

43 comments:

  1. වතුගල සර් දැන්නම් කොන්ඩෙයි රැවුලයි කපලා. අපේ බැජ් පොටෝ එක ගහපු වෙලාවෙත් ජාතික ඇඳුම ඇඳගෙන තමයි ආවෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් මාත් දැක්ක මුනුපොතේ සර් කොන්ඩේ කපල තිබ්බ :D :D

      Delete
  2. හප්පා පිස්සට මොනවා කරයිද දන්නෑ විමල් මාමා දැනගත්තොත්.....

    ReplyDelete
  3. පිස්සාගේ ජොබට මුළු හදින්ම සුබපතනව.
    අවුරුද්දක් උගන්නන ඒවා එක දවසින් ප්‍රගුණ කරවන එකට තමයි කුප්පි කියන්නේ./: සහතික ඇත්ත, කුප්පියක් දාගත්තම ඕනි දෙයක් ඇගට පත්තියම් වෙනව.

    ReplyDelete
  4. Still running

    https://www.facebook.com/kulan.ranasinghe

    ReplyDelete
  5. ඒ සුන්දර අතීතය මට තාම හොඳට මතකයි. ආයෙත් කවදා හරි ඔය කැන්ටිමේ ප්ලෙන්ටියක් ගහන්න සෙට් වෙන්න ලැබෙයි කියල ප්‍රාර්තනා කරනවා. ඔය පිස්සා කියන හාදයා මටත් සෑහෙන්න උදව් කරල තියෙනව ප්‍රොජෙක්ට් වලදි. අපි පිස්සා කිව්වෙ ආදරේට. බුවයි "මස් අමිල" කියන ඩබල තමයි බෙස්ට් මේට්ස්ල මගෙ වෙඩිං එකෙ. අපි දැනගෙන හිටිය කවද හරි බුවා හොඳ තැනකට සෙට් වෙයි කියල. මස් අමිලත් ගණිත අංශයෙ දරුණු පොරක්. අබේසිංහ සර් සහ වතුගල අය්යල යුනි එකේ එක්ෂෙප්ෂනල් කේසස්. ලියන්න ගියොත් කාලෙ මදි, ඒක නිසා මෙතනින් නතර වෙනවා. අබේසිංහ සර්ට නිවන් සුව ලැබේවා!!!

    ReplyDelete
  6. Super stuff and well written . Congrats pissa.

    ReplyDelete
  7. @ කුලාන්:
    අප්පා කුලානුත් මේවා කියනවනවද?
    වැරදි හෝ සිත් රිදෙන දෙයක් අඩංගු නොවේයැයි සිතමි. එමෙන්ම මෙහි පැමිණීම ගැන ඉතා සතුටු වෙමි!

    @ අනෙකුත් සියලු දෙනාට:
    බොහොම ඉස්තුතියි ඔබගේ අදහස් වලට!

    ReplyDelete
  8. 'පාරදිගේ' ලියන සහෝදරය, දයල් බතී බ්ලොගයේ කලකට පෙර මා විසින් ලියන ලද ඒ ලිපිය ලියූ දිනවල හරියට කෙනෙකුගේ ඇසට අසු වූ බවක් පෙනුනේ නෑ. ඒත් මා සිතුවා ඔබ වැන්නකුගේ අවදානයට කවදා හෝ ලක්වේ වි කියා. එය සිදු උනා. ඉතින් සෑහෙන ෆිට් එකක් නාවා කිව්වොත් බොරුවක්.
    ඔබගේ බ්ලොගයත් කියවීමට ආස හිතෙන බ්ලොගයක්.

    ReplyDelete
    Replies
    1. දයල් බතී වැනි ප්‍රවීණයෙක් මෙහි පැමිණීමත් සතුටක්. ඔබගෙන් උගත් දේ බොහෝයි.

      Delete
  9. Very nice and true memories. All the things written here are very true. Good old golden days.....! Am sure writer should be a one from our senior batch! Nice stuff...

    ReplyDelete
  10. Good memories! Times were good when we didn't have to work :)
    Really enjoyed reading machan...

    ReplyDelete
  11. පාර දිගේ ලියන අයියා වෙතටයි,
    අහම්බෙන් මේක දැක්කේ අන්තර්ජාලයේ සැරීසරනකොට. ලස්සනට ලියවිලා තියන සිතුවිලි ගොඩක්. open canteen එකට හිත දිවගියේ මටත් නොදනුවත්වමයි. දැන් රටින් හැතැක්ම දහස් ගානක් ඇතින් හිටියත් ඒ open canteen එකේ ගෙවිච්ච කලයටනම් මමත් තවම ආදරෙයි. University එකේ rag එක තිබුනෙම නෑ කියන්නත් බැහැ. කුලාන් අයියා, menda අයියා, මලකඩ අයියා වගේ අය අපිව rag නොකලෙමත් නැහැ. එත් ඒකාලේ හරිම සුන්දරයි. විනාඩියකට හරි එක මතක් කරලා දුන්නට අයියාට තුති. දිගටම ලියන්න, අපි අසාවෙන් කියවනවා.

    චුටි කුකු (මේ නම මට දැම්මෙත් කුලන් අයියා, rag season එකේදී)

    ReplyDelete
  12. පාර දිගේ ලියන මල්ලිට ගොඩාක් පින්, හරිම ලස්සන අදහස් ටිකක් ගැලපුවට.

    Open කැනිටිම ගැන තියෙන මතකයට අපි කවුරුත් මේ තරම් හැඟීම්බර කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ එය අපි කාගෙත් ජීවිත වල සුන්දරම කාලෙදි හමුවෙච්ච සුවිශේෂ තැනක් නිසා වෙන්න ඇති.

    මේකට ආපු ගියපු සුන්දර මිනිසුන්ට අමතරව එයටම ආවේනික සංස්කෘතියකුත් තිබුන.

    Dean office එක පැත්තෙ කොටස posh පැත්ත. වරිගෙ නහගන්න ඕනෙ නැති නිසා, වැඩිපුර අර්ථදැක්වීම් වලට නොගිහින්, මේක ලියන මමත් වැඩිපුර හිටපු අනෙක් කොටසට දැනට posh නොවන පැත්ත කියල කියමු. ඊලඟට isotope එක ගාව තියෙන අපේ දෙමළ සහෝදර සහෝදරියන්ගෙ තම්ල්නාඩුව.

    කැන්ටිමේ පුටු දම්වැල් වලින් බැඳල. හරියටම ෂුවර් නෑ හොරකම් කරන නිසාද party දාන්න උස්සන් යන නිසාද කියල.

    උදේට්යි, හවසටයි නිතරම වගේ එක පුටුවක දෙන්නෙක් ඉන්නව. ගෑනු ලමයිනම V shape එකට. කොල්ලො එකෙක්ගෙ පිට උඩ අනෙක. පිට උඩ ඉන්න එකා බර වැඩි වෙන තරමට පුටුවට දෙයියන්ගෙම පිහිටයි. මේ නිසා පිට ඇන්ද නැති පුටු ඕනෙ තරම්.

    බීපු රුපියලේ ප්ලේන්ටි ප්‍රමාණයෙ හැටියට සීනි කිලෝ තුන හතරක් එක්ක ඔට්ටු වෙන්න ඉන්සියුලින් හදන්න අපේ අග්න්‍යාෂ වලට පුලුවන් ඇති. එදා මෙදා තුර කැනිටිමේ ප්ලේන්ටි ගහපු මල්ලිලට යෝධ බල යෝධ වීරිය ලැබෙන්න ඕනෙ අපේ ඉල්ලුමට සරිලන සැපයුමක් දුන්නට.

    යුනියන් එකට සම්බන්ද වෙලා හිටපු ඇත්තන් හැටියට බත් පත ගැන ඒ තරම් ගැටලු මතු නොවුනත් කැන්ටිමෙ බත් එක ගැන කතා නොකර කැන්ටිම ගැන කතා කිරීම හරියට විමල් ගැන කතා නොකර Google ගැන කතා කරනව වගේ වැඩක්.

    මහපොළ අරගත්තු ගමන් වැල්ලවත්තෙ beach එකේ රැල්ල පාගන්න ආසාවෙන් ඉන්න අපිට මාසෙ අන්තිමට අතේ පිච්චිය නැති වෙන එක අහන්න දෙයක් නෙමෙයි. එ කොහොම උනත් Hilton එකේ තර්ම් ගනන් නොවන කැන්ටින් බත් එක ගැටගහගන්න එක මහ අමාරු දේකුත් නෙමෙයි. කොච්චර ලාභ උනත් ව්‍යංජන දෙකක් සමග මස්, මාළු හෝ බිත්තර එක්ක හම්බුවෙන හරිම පෝෂ්‍යදායී ආහාර වේල මතක් වෙනකොට හරිම ආඩම්බරයක් හිතට දැනෙන්නෙ. ඒ ඕනෙම දේකට ඔරොත්තු දෙන උදරයක් අප සතුව තිබීම ගැන.

    බත් බෙදන කොලුවට රොටී හදන බාසුන්නැහැගෙන් වෙනම පුහුණුවක් ලැබෙනව යන්තම් පිඟාන වැහෙන්න බත් පත බෙදීමේ ක්‍රමවේදය ගැන.

    මාළු කපන මනුස්සයට වෙනම උපහාර කරන්න ඕනෙ අතේ ඇඟිලි ඔක්කොම තාම තියාගෙන ඉන්නවට. කුකුල් මස් කපන්නෙ නෑ.. කුකුල්ලු ටික කාමරේකට දාල අත් බෝම්බයක් ගහනව උයන්න කලින්.

    මට මතක විදිහට සිකුරාදටද කොහෙද ස්පෙෂල් බත්. ස්පෙෂල් කියන්නෙ හාල් කිලෝ 100 ට ග්‍රීන් පීස් ග්‍රෑම් 100 යි කහ පාට කලරිං බෝතලයයි.

    මේ බත් එකයි, ප්ලේන්ටියයි හවසට කන වඩේ එකයි එක්ක ආලෝක වේගයෙන් ගෙවිල ගිය ඒ සුන්දර කාලය ආයෙ අපෙ ජීවිත වලට එන්නෙ නෑ..ඒත් ඒ වගේ සුන්දර මතකයන් අපේ හිතේ තියෙන එක ගැන අපිට ආඩම්බර වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. මේ අපි කාගේත් ජීවිතය. බොහොම අපූරුවට ඒ මතකයන් අවදි කරලා තියනවා!

      Delete
  13. අයිය ලියල තියෙන සටහන කියවනකොට අපේ හිත ඒ ලස්සන campus කාලෙට දුවන්නේ තප්පරේට....
    ඒකාලේ open එකේ ප්ලේන් ටි එක වගේම අර පුංචි කිරි හට්ටිය, යෝධ බාල්දියකින් අරන් දෙන දෙහි හරි දිවුල් හරි බීම එක වගේම හොදි පොඩ්ඩක් එක්ක හම්බවෙන කොත්තු රොටියත් කොච්චර නැගල ගියාද? සල් ගහයට සාකච්චා රටේ ප්‍රශ්න නොවිසදුවට කොච්චර රසවත් සහ වෙන වෙන ප්‍රශ්න විසදලා ඇද්ද? තාමත් මතකයි රැග් කාලේ නුග ගහ යට බක චක්කරේ කියපු හැටි.. :)
    ඒවගේම කොටගල සර්ගේ "තැන්වැතියා" ගැන ඇතුළු දේශන තාම මතක් වෙනවා.... ground එකේ ලිඳ ලග තිබ්බ මගුල් ගෙවල් මතක් වෙද්දී තාමත් හිනා යනවා.....
    ඒකාලේ සුන්දර බව මතක් වෙනකොට තාමත් campus එකට යන්න ආස හිතෙනවා... අපිට පුරුදු මුණු දැන් නැති උනාට තමත් open එකට ගොඩඋනාම හිතට පොඩි උණුසුමක් දැනෙනවා...
    ඉතින් ආයෙත් ඒපැත්තේ ඉක්මනට යන්න තමයි බලාපොරොත්තුව...:)

    ReplyDelete
  14. Good one....it is obvious that Kula and Pissa were the best characters in UNI. Also there were worst characters.....whom got drunk, pissed and slept on the tables in Open Canteen. Nice memories…..I believe I am one of those (LOL)…..All the best of luck to all Alayo and Chi karayo. cheers

    ReplyDelete
  15. කොළඹ විශ්ව විද්‍යාලේ 'ජීව විද්‍යා පර්යේෂණයක' අතුරු පලයක් ලෙස බිහි වුනු 'සිපියෝ' ගැන කට්ටියට මතක නැද්ද? :D

    ReplyDelete
    Replies
    1. නරකද ඒ ගැන ලිව්වොත්? බයෝ කරපු කෙල්ලොත් එක්ක අපේ වැඩි ඇයි හොඳයියක් තිබ්බේ නැහැනේ. ඒ කෙල්ලෝ අපිට ගණන් උස්සලානේ හිටියේ.. :). ඉතින් වැඩිය දේවල් ආරංචි වෙන්නේ නැහැ.

      Delete
  16. http://www.facebook.com/groups/uocbloggers/

    මේකට එන්න. කැම්පස් එකේ බ්ලොග්කරුවන්ගේ සෙට් එක

    ReplyDelete
  17. we r familier with all the characters here... except pissa..anyway we were in 2004 batch of the science faculty.. didn't got an opportunity to learn from Abeysinghe sir...our immediate seniors were the last batch got that opportunity...still feel sorry abt it...just like this blogger we were the average guys of uni...and i think the Colombo science faculty is the best place for average guys like us...enjoyed the open canteen a lot...bot not LOST...;)

    ReplyDelete
  18. පිස්සා, කුලාන් වගේම ආසිරි, චූටි කුකු වගේ මම දන්නා අයත්, අනිත් මම නොදන්නා සහ නම සඳහන් නැති හැමෝටමත්; මෙහෙ ආපු අයටත්, ගොඩක් ඉස්තුතියි. ඕපන් කන්ටිමත් අනිත් කැන්ටින් වගේ ලොකු සමරු පොතක්. මේ හැමෝම මේ කැන්ටින් ඉතිහාස පොතේ පිටුවක් දෙකක් ලියපු අය; කැන්ටිමේ සාමාජිකයෝ, නළුවෝ. ඔබ නැති නම් කැන්ටිමක් නැත.

    ReplyDelete
  19. පාර දිගේ කරන වැඩේ නම් මරු... හැබැයි කරුනු හරියටම දන්නෙ නැති ඒවා නොලිය ඉන්නව නම් හොදයි. කුලාන් ක්‍රීඩාවට දක්ෂයෙක් බව ඇත්ත. හැබැයි කවදාවත් කුලාන් බැච් ටොප් කෙනෙක් වුනේ නැහැ. ඒවගේම අබේසිංහ සර්ගෙ හොද ගෝලයෙක් වුනෙත් නෑ...අමතක කරන්න එපා රත්නායක හිටියෙත් කුලාගෙ බැච් එකේ කියලා!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. නිර්නාමිකව, පැහැදිලි හේතුවක් නොදන්වමින් පුද්ගලයින්ට කරන චෝදනා ඉදිරිපත් කිරීමට මෙය ඉතාම සුදුසු ස්ථානයක් නොවන බැවින්, මෙම ප්‍රතිචාරය ඉවත් කරමි.

      Delete
  20. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. නිර්නාමිකව, පැහැදිලි හේතුවක් නොදන්වමින් පුද්ගලයින්ට කරන චෝදනා ඉදිරිපත් කිරීමට මෙය සුදුසු ස්ථානයක් නොවන බැවින්, මෙම ප්‍රතිචාරය ඉවත් කරමි.

      Delete
  21. ඔය කට්ටිය ඔක්කොම එක්ක හිටිය සුන්දරී කියල කාගේත් යාලුවෙක් .... දෙනදෙයක් කාල පාඩුවේ හිටිය ඒ කාලේ,, තාම ඉන්නවද දන්නේ නෑ

    ReplyDelete
  22. අප්‍රේල් 8 වෙනිදා මෙහි සටහන් තැබූ ඇනොනිමස් ලා තිදෙනා හෝ දෙදෙනා හෝ තනි පුද්ගලයා ගේ ප්‍රතිචාර පිළිබඳවයි. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සැමට සමාන බැවින් එම ප්‍රතිචාර එලෙසම තබමි. නමුත් අනෙක් අයගේ හිත සුව පිණිස මේ සටහන තබමි:

    1) මේ කඳුළු සලන්නේ රත්නායක වෙනුවෙන් නම්; රත්නායක යනු මේ ලිපියේ ඔහු ගැන සඳහන් නොවීම වැනි දෙකයි පනහේ කාරණා ගැන කරදර නොවෙන්නෙකි. ඔහු වැනි දක්ෂයෙකුට තමන්ගේ කාලය වැය කිරීමට බොහෝ වටිනා දේ තිබේ.
    2) මේ ලිපියේ අරමුණ, ලිපිය ලියු මාගේ ඉතා කුඩා මතක සටහනක් අවධි කිරීම පමණි. එසේ නොමැතිව කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ සිටි දක්ෂයන් ගැන සටහන් කිරීම නොවේ. කුලාන් ලාගේ පිස්සලාගේ බැජ් එකේ සිටි දක්ෂයන් ටික ගැන පමණක් සඳහන් කිරීමට ගියත් පිටු ගණනක් ලිවීමට සිදුවේ. රත්නායක ලා ගැන පමණක් නොව, එම වසරේ උසස්පෙළ ප්‍රතිඵලයෙන් ගණිත අංශයෙන් දිවයිනේ ඉහලම ලකුණක් ලබාගත් මිලන්තිලා ගැනත්, ඉනෝක පෙරේරලා වැනි ජීව විද්‍යා අංශයේ කැපී පෙනුන අය ගැනත් කේම්බ්‍රිජ් හි ශිල්ප දක්වන දුලිප්ලා ගැනත් සුරංග ලා, විරාජ් වෙල්ගම ලා ගැනත්, මේ වන විට ලොව නොයෙක් දෙස අධ්‍යාපන ආයතන වල මෙන්ම රැකියාවන්හි කැපී පෙනෙන ලෙස කොළඹ සරසවියේ මෙන්ම ලංකාවේ නාමයද ඉහලින් වජඹන මෙකි නොකී සියලු දෙනා ගැනත් කිසිම සඳහනක් නැත්තේ එබැවිනි.
    3) මේ ලිපිය මේ වන විට කියවූ හෝ අඩු ගන්නේ ඒ දෙස බැලූ හෝ ගණන 1200 ඉක්මවයි. මෙහි සඳහන් අය ගැන වැරද්දක් ඇසූ පළමු වර මෙයයි. අනෙක් කිසිවෙක් මෙපමණ කලක් මෙවැනි කිසිවක් නොපවසුවේ ඇයි?
    4) කුලාන් ගේ වැරද්දක් ඇතැයි මදකට පිළිගත්තත් වසර දහයකටත් එහා ගිය කුණු කන්දල් අවුස්සවමින් තවමත් විඳවන්නේ ඇයි? අසුචි වලක් ඇවිස්සීමෙන් දුගඳ හමයි. කොහොඹ ඇට පැල කර පැණි රස ඵලයක් භුක්ති විඳ නොහැකිය. අනාගතය ගැන සිතා කුමන බීජයක් වවන්නේදැයි තීරණය කරන්න. ලොවට ආලෝකයක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. "Anonymous: Apr 8, 2012 11:27 AM
      පාර දිගේ කරන වැඩේ නම් මරු... හැබැයි කරුනු හරියටම දන්නෙ නැති ඒවා නොලිය ඉන්නව නම් හොදයි. කුලාන් ක්‍රීඩාවට දක්ෂයෙක් බව ඇත්ත. හැබැයි කවදාවත් කුලාන් බැච් ටොප් කෙනෙක් වුනේ නැහැ. ඒවගේම අබේසිංහ සර්ගෙ හොද ගෝලයෙක් වුනෙත් නෑ...අමතක කරන්න එපා රත්නායක හිටියෙත් කුලාගෙ බැච් එකේ කියලා!"

      මේ උඩ තියෙන comment එක දැම්මේ මම. මල්ලිට සිංහල තේරෙනවා යයි සිතමි. සිංහල දන්නවා කියලා හිතනවා නම් ඒක ආපහු කියවලා බලන්න. මට රත්නායක වෙනුවෙන් කදුළු හලන්න ඕන කමක් නෑ. මම දන්න සිංහලෙන් කියන්න හැදුවේ බොරු ලියන්න එපා කියලා. මෙන්න මල්ලි ලියන තියන බොරු ඔයාගෙම ලිපියෙන්:
      "පළමු වසරේදී බැජ් ටොප් උනෙත් කුලාන්ම තමයි. පසුව ගණිත විශේෂ උපාධිය සම්පූර්ණ කරේ කලින් කියපු අබේසිංහ සර් ගේ හොඳම ගෝලයෙක් වෙමින්."
      සරලව කියනවා නම් මට ඕන වුනේ ඒ වැරැද්ද හදන්න. නිකන් පණ්ඩිත talks දෙන්නෙ නෙතිව වැරද්ද හැදුවනම් හොදයි නේද?

      Delete
  23. "Anonymous: Apr 8, 2012 11:27 AM
    පාර දිගේ කරන වැඩේ නම් මරු... හැබැයි කරුනු හරියටම දන්නෙ නැති ඒවා නොලිය ඉන්නව නම් හොදයි. කුලාන් ක්‍රීඩාවට දක්ෂයෙක් බව ඇත්ත. හැබැයි කවදාවත් කුලාන් බැච් ටොප් කෙනෙක් වුනේ නැහැ. ඒවගේම අබේසිංහ සර්ගෙ හොද ගෝලයෙක් වුනෙත් නෑ...අමතක කරන්න එපා රත්නායක හිටියෙත් කුලාගෙ බැච් එකේ කියලා!"

    මේ උඩ තියෙන comment එක දැම්මේ මම. මල්ලිට සිංහල තේරෙනවා යයි සිතමි. සිංහල දන්නවා කියලා හිතනවා නම් ඒක ආපහු කියවලා බලන්න. මට රත්නායක වෙනුවෙන් කදුළු හලන්න ඕන කමක් නෑ. මම දන්න සිංහලෙන් කියන්න හැදුවේ බොරු ලියන්න එපා කියලා. මෙන්න මල්ලි ලියන තියන බොරු ඔයාගෙම ලිපියෙන්:
    "පළමු වසරේදී බැජ් ටොප් උනෙත් කුලාන්ම තමයි. පසුව ගණිත විශේෂ උපාධිය සම්පූර්ණ කරේ කලින් කියපු අබේසිංහ සර් ගේ හොඳම ගෝලයෙක් වෙමින්."
    සරලව කියනවා නම් මට ඕන වුනේ ඒ වැරැද්ද හදන්න. නිකන් පණ්ඩිත talks දෙන්නෙ නෙතිව වැරද්ද හැදුවනම් හොදයි නේද?

    ReplyDelete
    Replies
    1. එතකොට කවුද අයියේ ඉතින් ඔය කියන බැජ් එකේ ටොප් එහෙම උනයි කියන්නේ?

      Delete
    2. කුලාන්ගෙ බැච් එකේ බැච් ටොප් ජයම්පති රත්නායක. මල්ලි කරන වැඩේ හොදයි... ඔහොම යං... පොඩ්ඩක් තදවුනේ කුලාන් Junior බැච්වල හිටිය අයට කියපු බොරු මල්ලි ඒ විදියටම දාල තිබ්බ නිසා.

      Delete
    3. අන්තිම ෆයිනල් එකෙන් බැජ් ටොප් උනේ රත්නායක බවට නම් මට කිසිම සැකයක් නැහැ. නමුත් පළවෙනි අවුරුද්දේදී කුලාන් බැජ් ටොප් වෙච්ච බවට සෑහෙන මතකයක් තියනවා. ඒ වගේම නිර්නාමිකව නොමැතිව මේ කට්ටියව හොඳින් දන්නා, ඒ කාලයේ කුලාන් එක්ක එකට ඉගෙනගත්තු (ගණිත අංශයේ නොවන) කීප දෙනෙකුගෙන්ම මේ ගැන සොයා බැලුවත් මේ කාරණාව වැරදියි කියල තහවුරු කරගන්න බැරි උණා. නමුත් පුස් කාපු මගේ මතකය වැරදි වෙන්න පුළුවන්. ඒක නිසා මම ඒ කොටස කාටවත් අසාධාරණයක් නොවෙන විදිහට වෙනස් කරා.

      කුලාන් අබේසිංහ සර් ගේ හොඳම ගෝලයෙක් උනාද නැද්ද කියන්න නම් මම අවංකවම දන්නේ නැහැ. අන්න එක නිසා ඒ පේලියත් අයින් කරලා දැම්මා. හැබැයි විශේෂ උපාධියක් කරනකොට ඒ අංශයේ ඉන්න ගුරුවරු කීප දෙනාගේ හොඳම ගෝලයෙක් වීම ඉබේම සිදුවෙන දෙයක්. අනික ඔය කියන කාලේ ගුරුවරුත් එක්ක ඇන කොටගත්තු අය ගැනත් ආරංචියක් නැහැ. ඒ අතින් බලනකොට ඒ පේලියේ වැරද්දක් මට පෙන්නේ නැහැ. නමුත් හරියටම නොදන්නා දේ ලියලා නොදන්නා අයගෙන් කතන්දර අහන්නේ මොකටද... කවුරු හරි ඒ කාලේ කුලාන් එක්ක ඉගෙන ගත්තු කෙනෙක්, තමන්ගේ නමින් ඉදිරිපත් වෙලා මේ කාරණා දෙක තහවුරු කරන්න පුළුවන් නම් අපි ලෑස්තියි.

      Delete
    4. I don't know how you guys define the "batch top" (as mentioned in my reply below). There are awards for each subject area maths, computer science, bio, etc and ONE overall batch (for the Most Outstanding Science Student) award and ONE university award (Student of the Year).
      ඔය උඩ නම නැතුව ලියන කෙනා කොහොම "බැච් ටොප්" rank කරනවද කියල මම දන්නෙ නැහැ. රත්නායක මගෙ හොඳ යළුවෙක්. අපි දෙන්නටනම් ටොප් කව්ද කියල ප්‍රශ්නයක් තිබ්බෙ නැහැ (probably the above one might have puzzle who's who).
      ඔය උඩ නම නැතුව ලියන කෙනා කොහොම ලිව්වත් අපි දෙන්නගෙ friendship එක නැතිවෙන්නෙත් නැහැ.
      අනික ඔයො පුද්ගලයා මම පල්ලෙහා juniors ලට බොරු කිව්ව කියන එක අහක් කරගත්තොත් හොඳයි මගෙ පහල තියෙන comment and other information කියවල. අනිත් අයගේ දියුණුව බලන් ඉන්න බැරිව හිටිය ඔය වගේ අය හැම තැනම ඉන්නව. ගෞතම බුදු රජාණන් වහසේටත් හිටිය එකේ අපිට ඉන්න එක අහන්න දෙයක්ය (තරහ ගන්න එපා මෙවා ලිව්වට, ඔහොම ලියන්නෙ නතුව වෙන ලියන්න ක්‍රමයක් නැහැ).

      Delete
  24. Kulan ayya wetha.... Kula ayya dannawane aththa. anika eya meka kiyawana kennekne dannako reply ekak aththama dala.

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. සමාවෙන්න පරක්කු වුනාට. මෙහෙ වෙසක් එකට වැඩ කරපු නිසා මේක හරියට බලන්න බැරි වුනා. අපේ අම්ම එක්ක දැන් කතා කරද්දි තමයි කිව්වෙ කට්ටිය වාද කරගන්නව කියල. හිතුව තවත් පරක්කු නොකර කට්ටියටම ලියන්න.
    පාර දිගේ ලියපු කෙනා සහ ඒකෙ මගෙ (කුලාන්ගෙ ) බොරු ලියල තියෙනව කියල නමක් නැතුව ලියපු කෙනා වෙත: (මම මගේ පම්පෝරි ගහන්න නෙමෙයි පාර දිගේ අහපු නිසයි ලියන්නෙ )
    @ ඉස්සෙල්ලාම පාර දිගේ කෙනා වෙත: මම මේක කියවනකොට හරියට ආස හිතුන ඉස්සර තිබුණ සුන්දර මතකය අවදි වෙලා. ඒක තමයි ඔක්කොම කියවල ඉවර වෙලා කොමෙන්ට් එකක් දැම්මෙ. ඉතිරි ටික ඉතින් ඔය නමක් නැතුව ලියන කෙනාට තමයි. හිත රිදුනොත් සමාවෙන්න ඕනි.
    @ නම නැතුව ලියන කෙනාට: ඔයා ලියල තියෙනව මම පල්ලෙහා බැච් වලට බොරු කියල කියල. මම මොකටද බොරු කියන්නෙ? ඕනි කෙනෙක් දන්නව මම විතරයි ඒ 9 ක් ගත්තෙ කියල. රත්නායකත් මගෙ හොඳ යහලුවෙක්, එයාටත් තිබ්බ ඒ 8යි බී 1ක්. අපි දෙන්නට විතරයි ගණිත ප්‍රශ්න පත්‍ර 6ටම ඒ 6ක් තිබ්බෙ. තව ඒ ළඟ ළකුණු (ඒ 7 බී 2, ඒ 6 බී 3) ගත්ත ගොඩක් හිටිය. ඒ අයගෙ නම් තමයි අර උඩ මතක් කරල තියෙන්නෙ කොමෙන්ට් එකක. (I'll write the rest in English to save time.) We all were good disciples of Abeysinghe Sir. Not only me and Rathnayake, but also Dharmasena, Mas Amila, Kasun, Wachindra, etc. This is the summary, the clarification is below.
    How would you define a BATCH TOP? Is that based on the studies OR something else, OR both studies and some other extra curricular activities?
    I remember Rathnayake won Gold medals at the Graduation ceremony for mathematics (He's got First Class Hons). (I wouldn't like to mention below stuff but to clarify for para dige and other, I have to line up those.) In the same Graduation ceremony I won the Gold Medal for been the Most Outstanding Science Student (that is called Justin Samarasekara Award) This one for a student with First Class Hons + Extra curricular activities. This is out of the WHOLE BATCH (including both physical and bio students) not only for single subject area.
    NOW IT IS YOUR DECISION TO RANK WHO'S BATCH TOP OR ANY OTHER RANKING. I don't care as I know I was the Best Science Student.
    If you need more....
    Not only above, I was the STUDENT OF THE YEAR FOR 2003 at the SAME Graduation Ceremony. This award is for ONLY ONE STUDENT WHO IS BEST OVERALL AND IS OUT OF ALL THE FACULTIES AND DEPARTMENTS OF UNIVERSITY OF COLOMBO. සිංහලෙන්ම කියනවනම් මුලු විශ්ව විද්‍යාලයේම හොඳම ශිෂ්‍යයා.
    දැන් ඉතින් බැච් ටොප් කව්ද, කැම්පස් ටොප් කව්ද කියල ඔයගොල්ලොම තේරුම් ගන්න (I've already gain myself and know who am I). ඔය උඩ ලියපු Awards ගැන සැක නම් මෙන්න කැම්පුස් එකේ ලින්ක් එක (http://www.cmb.ac.lk, http://www.cmb.ac.lk/?page_id=6). ඒකෙ තියෙන contacts වලට කතා කරල 2003 ඔය උඩ කිව්ව Awards දින්නෙ කව්ද කියල confirm කරගන්න.
    තෙරුවන් සරණයි!
    Kulan (කුලාන්)

    ReplyDelete
    Replies
    1. Well said Kulan.

      මුලින්ම බොහොම ඉස්තුතියි කාරණාව ඉස්තිර කරපු එක ගැන.

      ඊගාවට සමාවෙන්න මෙච්චර කල් මොකුත් කියන්න බැරි වෙච්ච එක ගැන සහ, අහක යන කුණු ගොඩකට ඔළුව දාන්න සිද්ධ වෙච්ච එක ගැන.

      මම කලිනුත් කිව්වා වගේ මේ ලිපිය ලිව්වේ පරණ සොඳුරු මතකයන් ටිකක් එලියට දාන්න. එත් ඒ වගේ දෙයක් දිරවගන්න බැරි කෙනෙක් ඉඳියි කියල හිතාගන්න අමාරු උනා මුලින්ම. ඒ වගේම මගේ මතකේ මෙච්චරටම කසිකබල් වෙලාද කියල පොඩි සැකයකුත් අවා.

      අපේ සමහර දේශපාලකයෝ වගේ සරම කැහපට ගහගෙන තමන්ට ඕන කරන දේ කරවගන්න යන ශෛලියක කොමෙන්ටු දැක්කහම හිතට ආවේ තරහක් නෙමෙයි කණගාටුවක්. අනේ අපිත් මේ වගේ අය හිටපු තැන වල හිටියද කියල. එත් ඒ දවස් වලත් කැන්ටිමේ කොනක කල්ලි ගැහිලා හැම දේටම විරුද්ධ වෙච්ච කට්ටියකුත් හිටියනේ කියල හිත හදාගත්ත. හැබැයි ඒ අය උනත් මෙච්චර කලක් ගිහිනුත් මේ වගේ දේවල් කරයි කියල හිතාගන්න බැහැ!

      Delete
  27. uda anithima paragraph eke typo ekak, "කැම්පුස්" eka "කැම්පස්" wenna oni.

    ReplyDelete
  28. Kawuda pissa kiyanne, eyage nama mokak da?

    ReplyDelete