Monday, February 27, 2012

දියරෙද්දෙන් බෙල්ල කැපීමට පෙර....

0 comments
මානව හිමිකම් වෙස් මුහුණුකරුවන්ගේ ජිනීවා බලහත්කාරය ….

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව 27 වනදායින් ඇරඹී මාර්තු 23 දක්වා මුළු දීමට නියමිතය. පසුගිය වාරයන්ට වඩා මෙම සමුළුව රටක් වශයෙන් අපට තීරනාත්මක වන්නේ මෙවර ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සමුළුව හරහා සම්මත කර ගැනීමට ඇමරිකාව පෙරටුකරගත් බටහිර රටවල් සහ ඔවුන් සමග එක ගෙයි කන කොටි ත්‍රස්තවාදයේ ඉතුරු බිතුරු කල්ලිය වන කොටි ඩයස්පෝරාව අර අඳිමින් සිටින බැවිනි.(පාරභෞතික සිහින රාජ්‍ය ආදී සෙල්ලම් ගෙවල් තැනීම හැර මේ ඊනියා ඩයස්පෝරාවට තනිව කල හැකි යමක් නැත.කොටි සංවිධානයට මෙන්ම මේ කොටි ඩයස්පෝරාවටද ඇති එකම සරණ බටහිර සරණ පමණි ) .2009 දී මෙලෙසම ගෙන ආ යෝජනාව වැඩි චන්දයෙන් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුවත් මෙවර ඇමරිකාව එලිපිට පොරපිටියට පැමිණ ක්‍රියාත්මක වනු පෙනේ.
 

මෙහිදී ප්‍රධාන වශයෙන් අපට නැගෙන චෝදනාව නම් අපගේ රටේ මානව හිමිකම් 'ප්‍රශස්ථ' මට්ටමකට ගෙන ඒමට රජය අපොහොසත් වී ඇති බවය.මාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආදිය අතුරු මුහුණතේ දැක්වුවත් ඇත්තෙන්ම යටින් ඇත්තේ තිස් වසරක යුද්ධය අවසන් කිරීමේදී ඔවුන්ගේ බාධා කිරීම් නොසලකා ක්‍රියා කිරීමයි.කෙටියෙන් කිවහොත් බටහිර මතයට සමගාමී නොවී කොටි ත්‍රස්තවාදය සමග අතරමැදි සමාදානයකින් තොරව ත්‍රස්තවාදයට එයට තේරෙන භාෂාවෙන් පිලිතුරු දීමේ වරදය. එමගින් ඔවුන්ගේ බලපෑමට හසු කර ගැනීමට භාවිතා කල ඉත්තා දාන් පෙතෙන් ඉවත් කිරීමය.මේ ගන්නට සැරසෙන්නේ ඒ වාඩුව බව දැන් දැන් හොඳින්ම පැහැදිලිය.

ඊනියා මානව හිමිකම් බෝඩ් ලෑලට මුවා වී මෙලෙස රටවල් වල අභ්‍යන්තර ගැටළුවලට සෘජුව ඇඟිලි ගැසූ ඇමරිකාව විශේෂයෙන් පසුගිය දශකය පුරාවට පමණ ලෝකය පුරා ඉතිරි කර ඇත්තේ අසරණ කම ,  මරණය සමග ලේ පැල්ලම් පමණි.'මානව හිමිකම්' යන්නට ඇති අර්ථකතනය වෙනස් කල යුතු තරමට ඇමරිකාව ප්‍රමුඛ බටහිරයන් එය නිරුවත්ව කෙලෙසා හමාරය.

ඉරාකයේ පමණක් ඊනියා න්‍යෂ්ඨික අවි සෙවීමේ 'මානව ප්‍රේමයෙන්' යුතුව කල ආක්‍රමණය නිසා පමණක් එරට අහිමි වී නිරායුද සිවිල් වැසියන්ගේ මරණ සංඛ්‍යාව පමණක් ලක්ෂ හය ඉක්මවා ගොස්ය.එපමනක් නොව අරාබි වසන්තය හරහා ලිබියාව දක්වා දස දහස් ගනන් මිනිසුන් බලු කපුටන් සේ මැරී ගියේත් අද දක්වා අනවරතව මැරී යන්නේත් මේ මානව හිමිකම්,ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බටහිරයන් කල 'මහා පුණ්‍ය කර්මයට' පින් සිදු වන්නටය. ප්‍රජාතන්ත්‍රවාදය , මානව හිමිකම් වැනි මහේශාක්‍ය වචන අස්සේ සැඟවී එන්නේම ඔවුන්ටම උරුම තිරිසන් ම්ලේඡ්ඡත්වය සහ තාඩ බලහත්කාරය බව වටහා ගැනීමට ලොව පුරා ලක්ෂ සංඛ්යාත අහිංසකයන්ගේ ජීවිත වන්දිය හොඳටම ප්‍රමාණවත්ය. මානව හිමිකම් අහිමි වීම් ,ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වීම් වැනි අසාධාරණකම්වලට පිළිතුරු ලෙස ලැබී ඇත්තේ කාලකණ්නි අසරණබාවය සහ ජීවිත අහිමිවීම් පමණි. එදා තමන් අසාධාරණ යැයි සිතා එරෙහි වූ සමාජය නිදහස් සුරපුරක් යැයි සිතෙන තරමේ අවීචියකට තමන් අද වැටී ඇති බව දිනපතා කුඩුපට්ටම් වී අහිමිවන තම සමීපතමයන්ගේ මරණ හරහා ඒ මිනිසුන්ට ඒත්තු ගොස් ඇතිවාට සැක නැත. මවා පෙන්වූ වසන්තයේ මායාටව දෑස් අන්න්ධ වූ තරම වැටහෙන විට ප්‍රමාද වැඩිය. තමන් පෙලූ රකුසන්ටත් වඩා දස දහස් වරක් ගොරහැඬි ම්ලේච්ඡ තිරිසනුන්ගේ දියරෙද්දෙන් බෙල්ල කැපීමට තමන්ද හසු වී හමාරය. එයට එරෙහිවද ඒ ම්ලේච්ඡයන්ම සැපයූ උණ්ඩවලින් මලානික ,දියාරු සටනක් දීමට තැත් කලත් රකුසන්ගේ බලය හමුවේ එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව දැන් වන විට වැටහී ඇත.
 

අප වඩාත් විචක්ෂණෂීලී විය යුත්තේ මෙබැවිනි.ශ්‍රී ලංකාවට විරුද්ධව මානව හිමිකම් සමුළුව හමුවට යෝජනාවක් ගෙන එන්නට බටහිරයන් දත කන්නේ මෙවැනි වටපිටවකය. මුලින් මෙලෙස මානව හිමිකම් සමුළුව හමුවට ගෙන එන යෝජනාව පසුව එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට ඉදිරිපත් කරන යෝජනාවක් ලෙසත් ඒ හරහා මෙරට සිදී වී ඇතැයි පැවසෙන ඊනියා මානව හිමිකම් අහිමිවීම් පරීක්ෂණයට ජාත්‍යයන්තර කල්ලියක් පත් කිරීමටත් එයට එරෙහි වන්නේ නම් සම්බාධක හරහා කෙමෙන් කෙමෙන් අවසානයේ හේග් නුවර අධිකරණය හමුවේ මෙරට යුද්ධය මෙහෙයවූ සේනාධිනායකයා ඇතුලු බලධාරීන්,නිළධාරීන් වැරදිකරුවන් කිරීමටත් යොමු වන බව පැවසීමට අංජනම් බැලිය යුතු නොවේ.ඒ අතරමගදී අවශ්‍යනම් කොටි බෙදුම්වාදී ඉල්ලීම් ඉටුවන සංශෝදන කරා රට තල්ලු කිරීමත් ඒ හරහා ඇති වන තත්වයන් ඔස්සේ තමන්ට හීලෑ පාලනයක් මෙරට ඇති කර ගැනීමත් අතුරු පල ලෙස බලාපොරොත්තු වනවා වන්නට පුළුවන. එය වැලකීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා උදම් අනන 2003 රෝම ප්‍රඥ්ඥප්තියට සම්පූර්ණයෙන් එකඟ නොවීම ප්‍රමාණවත් වේද? කොසොවෝ යුද්ධයේදී සිදුවූවා යෑයි බටහිරයින් පවසන යුද අපරාධවලට වරදකරු වූ සර්බියානු හිටපු ජනපති ස්‌ලොබොදාන් මිලසොවික්‌ගේ ක්‍රියාකලාපය ඇමරිකාවේ සිතුම් වලට අනුගත නොවීය. කොසොවෝ ත්‍රස්‌තයන්ට එරෙහි හමුදා මෙහෙයුම් නවත්වන්නට අපට මෙන් නොව නේටෝ ගුවන් ප්‍රහාර පවා එල්ල විය. ඇමරිකාව මිලසොවික් ට එරෙහිව වරෙන්තු නිකුත් කල අතර ඊලඟ මැතිවරනයෙන් පරාජය වූ මිලසොවික් අල්ලා එක්‌සත් ජාතීන්ට භාර දුන්නේය ඊලඟට පත්වූ ආණ්ඩුවයි. මිලසොවික්ට හේග් නුවර ජාත්‍යන්තර යුධ අධිකරණය නඩු පැවරූ යුධ අපරාධවලට වැරදිකරු වූ අතර සිරගතව සිටියදී 2006 දී හදිසියේ ඔහු මරණයට පත්විය.අද බටහිරයන් තැත් කරන්නේ මිලසොවික් සිද්ධියේ පුනරුපණයකටද?

ලංකාවට එරෙහි යෝජනා හමුවේ "ඔය යෝජනා ගේන්නේ නිකන්, ඇමරිකාව වගේ රටක් අපිට ලොකු හානියක් කරන්න එන්නේ නෑ.මොකද අපි වගේ පුංචි රටකින් එයාලට ගන්න දෙයක් නෑ.ඔන්න අඩු තරමෙ තෙල් වත් තිබුනනම් එහෙම වේවි" ආදී ලෙස අදහස් දක්වන්නන් බොහෝ දෙනෙක් ඊනියා දැනුවත් මිනිසුන් සිටින්නේ යැයි පවසන නගර ආශ්‍රිතව අපට හමුවේ . විශේෂයෙන්සයිබර් අවකාශයේ එවැන්නන්ගේ හඬ උස්ව නැගේ. මොවුන් බහුතරය 'ගොස්ප් අඩවි' වල 'දැනුම' තුලින් දේශපාලන විචාරකයන් වූවන් පමණක්ම නොවේ. අඪිරාජ්‍යවාදයේ ආර්ථික සංරචකය ගැන දාර්ශනික කතිකා වලට හවුල් වන මහා උගතුන්ද මේ අතර බහුලය. අධිරාජ්‍යවාදයේ දේශපාලන සංරචකයට එරෙහි නොවන මේ ප්‍රබුද්ධයන් එහි ආර්ථික බලහත්කාරය වියුක්තව ගෙන ගිරිය යටින් මොර දෙනු බොහෝ තැන්වල පෙනේ. 

තවත් කොටසකගේ අදහස නම් මෙය මේ ආණ්ඩුවේ හුදු ගැලවිජ්ජාව වෙනුවෙන් මේ අවසාන මොහොතේ ගැසූ තුරුම්පුවක් බවය. රටතුල කළමණාකරන ගැටළු හමුවේ කරවටක් ගිලී සිටින ආණ්ඩුව තම බල පැවැත්ම තහවුරු කර ගැනීමටත් ප්‍රතිවිරෝධතාවයන් සමනය සඳහා නැවත සුපුරුදු 'දේශප්‍රේමී' ආවේශයට ජනතාව පත් කිරීමට සැරසෙන බවය. එමගින් හේ හොස් ඇති ආණ්ඩුවේ දේශපාලන ගමන නැවත වටයකින් ශක්තිමත් කර ගැනීමට බවය. එම අදහස මතුපිටින් බැලූ කල යම් සත්‍යතාවයක් ඇතැයි පෙනුනත් බටහිරයන් මේ මොහොතේ ක්‍රියාකරන අති ක්‍රියාකාරී සහ ඉලක්කසහගත වැඩපිළිවෙළ හොඳින් නිරීක්ෂණය කල විට පෙනී යන්නේ එම මතය අතිශය දුර්වල සහ තම තමන්ගේ හෘද සාක්ෂිය රවටා ගෙන මේ බලහත්කාරයට එකඟ වීමට විරෝධාකල්පිකයන්ගේ මනස සකස් කගැනීමට ඉදිරිපත් කරන දියාරු අදහසක් බවය. (බටහිරයන්ගේ මේ අරභයා ක්‍රියාකාරීත්ව කෙසේද යන්න කිනීවා නුවර සමුළුව ආරම්භ වීමට පෙර සිටම පෙනී යයි.උදාහරණයක් ලෙස කුප්‍රකට දරුස්මාන් වාර්ථාව සැකසීමට උර දුන් සාමාජිකයකු දැන් පටන්ම සාමාජික රටවල් වලට 'තෙල බෙදීම' ආරම්භ කර ඇතැයි වාර්ථා වේ. )
 

මෙවැනි තත්වයක් හමුවේ මේ මොහොතේ සියලු දෙනා රට වෙනුවෙන් එක මතයක සිට ගැනීම හරහා සාමාජික රටවලට දිය හැකි පණිවිඩයක් තිබේ. එනම් රටක් වශයෙන් ත්‍රස්ත යුද්ධය වෙනුවෙන් සිදු කල කාර්යභාරය වෙනුවෙන් කිසිඳු අයුරක වැරදිකරුවකු වීමට අප සූදානම් නැති බවය.එය ජාත්‍යන්තරයට අපට දිය හැකි හොඳම පණිවිඩයයි.ශ්‍රී ලංකාව දෙසට මිත්‍ර පාක්ෂික රටවල අවධානය කෙලින්ම යොමු කරගත හැකි වන්නේ එවිටය.එසේ නැතිව බටහිරයන් ගේ මානව හිමිකම් කෙඳිරිය උන්ටත් වඩා උස් හඬින් මෙහි සිට නගන්නන්ගේ හඬ ඉස්මතු වුවහොත් සිදුවන්නේ එම මිත්‍ර පාක්ෂික රටවල මතය පවා යළි දෙවරක් සිතන තැනට වැඩ සැලසීමය. 
අනෙක් පසින් තර්ක කරන ආකාරයට එමගින් මේ මොහොතේ අසාර්ථකවීම් රාශියක් පෙන්නුම් කරමින් සිටින රාජපක්ෂ ආණ්ඩුව වක්‍රාකාරයෙන් ශක්තිමත් වීමක් බව අසත්‍යක් නොවේ. නමුත් ආණ්ඩුව ශක්තිමත් වේ යැයි කියා ඊට වඩා සිය දහස් ගුණයක බරපතල අවධානමකට රට ලක්වන්නට ඉඩ හැර නිකමුන් සේ කාලකණ්නි සතුටක් ලැබීම මුහුණ සමග තරහ වී නහය කපා ගැනීමට සමානය. ආණ්ඩු විරෝධයක් තිබීම අත්‍යවශ්‍යය. නමුත් එය පරාජ්‍ය විරෝධයෙන් පැහැදිලිව වෙන් කර ගත යුතුය.නමුත් අවාසනාවටදෝ අද වැඩිපුර සිටින්නේ ආණ්ඩු විරෝධීන් නොව. රටට එරෙහි ජුදාස්ලාය. මේ ජුදාස්ලා ආරක්ෂාව පතා සැඟවී සිටින්නේ වියුක්ත ආණ්ඩු විරෝධීන්ගේ සෙවනේය. ආණ්ඩු විරෝධීන් ඉදිරියට දමා මේ ඉලකයක් ඇති ජුදාස්ලා අසාර්ථක කරන්නට ,පලිගන්නට පාවා දෙන්නට සැරසෙන්නේ රටෙනි.ඒ වෙන කිසිවක් නිසා නොව තමන්ගේ ආශිර්වාදය ලද ත්‍රස්තවාදීන් නන්දිකඩාල්වල ගිල්වීමේ වරදටය. (මෙය හොඳින්ම නිරීක්ෂණය වන්නේ මෙම ජිනීවා මෙහෙයුමේ ප්‍රධාන කාර්‍යභාරයක් ඉටු කරන්නේ මෙරට සාම වෙළඳුන් වූ සරවනමුත්තුලා සහ මාධ්‍ය වෙළඳුන් වූ දේශප්‍රියලා වීමයි.)බටහිරයන්ගේ අභිලාෂය සමග මොවුන්ගේ අබිලාෂයන් ටක්කෙට පෑහේ. බටහිරයන්ගේ මතයට සමගාමී නොවී හිතුමතේට කොටි ත්‍රස්තවාදය පැරදවීමේ 'හිතුවක්කාරකමට' දඬුවම් කිරීම ඔවුන්ගේ අභිලාෂයයි. තමන්ගේ ඉත්තා වැනසීමේ 'පාපකර්මය ' වෙනුවෙන් සේනාධිනායකයා ඇතුළු ආරක්ෂක හමුදා නායකත්වය දංගෙට යවන තෙක් මෙම ලුහුබැඳීම අනවරතව පවතිනු ඇත.නමුත් "මේ වන්දිය ගෙවන්නේ මහින්ද රාජපක්ෂනේ.අපේ තෙල් ටිකේ මිල වැඩි කරපු ඕකට ඔහොම වෙලා මදි" යැයි සිතා කාලකණ්ණි සතුටක් ලැබීමට මිනිසත්කම කඳුලක් හෝ ඇති මිනිසුන්ට නොහැක්කේ මේ මිනිසුන් ජාත්‍යන්තරය හමුවේ වැරදිකරුවන් වී සිටින්නේ එලෙස සතුටු වන්නන් ඇතුලු සමස්ථ රටේම මරන බිය නැති කිරීමේ මහා පුණ්‍ය කර්මයට වන බැවිනි.
 

මේ අන්තර්ජාතික මෙහෙයුමට සමගාමීව තවත් පෙරමුණක් අරාබි වසන්තය පන්නයේ මෙහෙයුමකින් මෙරට බලය ඇල්ලීමේ සිහිනයක සිටිනු පෙනේ. මේ සිහින රැලි ගැන සිහින මවා ඒවාට ජය පතන්නේ මළ මිනී සහ විනාශයන් තුලින්ම දේශපාලන පැවැත්ම තහවුරු කරගැනීමට මාන වලන කල්ලි සහ ඊයේ පෙරේදා කපටී සූට් එක හැඳි දේශපාලන ළදරුවන්ය. මේ සියලු දෙනාට සිහින දැකීමට ඇති 'මානව අයිතියට' බාධා නොකරමින් සවිඥ්ඥාණික ජනයා රට හමුවේ මේ මොහොතේ ඇති අභියෝගය නිසි බරින් අවබෝධ කරගත යුතුය. කතිරයෙන් නම් මහින්දට එරෙහි වීමට එදා මහින්දට චන්දය දුන්නවුන් පවා අද සූදානම් වුවත් හේග් නුවර දංගෙඩියට දක්කන බටහිර ත්‍රාඩ බලහත්කාරයට එරෙහිව එක මතයකට පැමිණීමට එම ප්‍රතිවිරෝධතා බාධාවක් කරගත යුතු නොවේ.එය අපගේ යුතුකමයි-වගකීමයි.
 

කැලුම් නිරංජන
2012-02-25

0 comments: