Friday, February 24, 2012

සංසාර ස්මරණ වර්තමානයට කැඳවීම

ප්‍රතිගමණ චිකිත්සාව වූ කලී පූර්ව කාල අවධියකට රෝගියා ‍රැගෙන ගොස් ඔහුගේ වර්තමාන ජීවිතයට තවමත් නිෂේධනාත්මක ව බල පාන්නා වූ ද ඇතැම් විට ඔහුගේ රෝග ලක්ෂණ වල මූල සාධකය විය හැක්කා වූ ද ස්මරණයන් නැවත ආවර්ජනය කරන්නා වූ මානසික ක්‍රියා දාමයකි. මෝහනය මනසේ සවිඥානික බාධකයන් ලුහු පරිපථ කොට මේ තොරතුරු අනාවරණ කර ගැනීමට මඟ සලසයි. මේ බාධකයන් අතර සිය පූර්ව ජන්මයන් පිළිබඳ සවිඥානික ව සිහිපත් කිරීමට මඟ අවුරණ ඒවා ද වෙයි.

අතීතයේ ලද වේදනාත්මක අත්දැකීමක් චිත්ත වේගාත්මක ව සජීව කරණය කොට ප්‍රතිරංගනය කිරීම සඳහා කෙනකු තුළ ඇති වන පාලනය කල නො හැකි පෙලඹීම විස්තර කිරීම සඳහා ‍ෆ්‍රොයිඩ් යොදා ගත්තේ “පුනරාවර්තන බලාත්කරණය” යන නම යි.

කීර්තිමත් බ්‍රිතාන්‍ය මනෝවිශ්ලේෂකයකු වූ අර්නස්ට් ජෝන්ස් සිය මනෝ විශ්ලේෂණය පිලිබඳ පත්‍රිකා (1938) නම් ප්‍රකාශනයෙහි පුනරාවර්තන බලාත්කරණය නිර්වචනය කෙළේ “සුඛ-වේදනා දෘෂ්ටි කෝණයෙන් බලන කල එ සේ කිරීමෙන් ලැබෙන කිසිදු ප්‍රයෝජනයකින් තොරව පෙර අත්දැකීම් හා සිදුවීම් යළි යළිත් සිහි කිරීම සඳහා යමකු තුළ අන්ධ ලෙස ඇති වන ආවේගාත්මක පෙළඹීම” වශයෙනි. මේ චර්යාව කෙතරම් හානිකර හෝ විනාශකාරී වුව ද එය යළි යළිත් සිදු වීම පාලනය කර ගත නො හැකි අතර යමකු තුළ ඇති අධිෂ්ඨානය හා ආත්ම ශක්තිය මේ ආවේගයන් පාලනය කර ගැනීම සඳහා ප්‍රමාණවත් නො වේ.

ව්‍යසනකාරී තත්වයක දී අත් විඳි මුල් චිත්තවේගීය කම්පනය සවිඥානික මනසට කැඳවා එය භාව විරේචනාත්මක ක්‍රමයකට මුදා හරිමින් (චිකිත්සකයන් විසින් මෙය අපසර්ජනය නමින් හඳුන්වනු ලබ යි) එ මඟින් ඉපිද වූ හැඟීම් හා උගත් පාඩම් සමෝධානය කර ගැනීම වඩාත් ප්‍රතිඵලදායී බව ෆ්‍රොයිඩ් සොයා ගත්තේ ය. නිපුණ ප්‍රතිකාරකයකු විසින් මෝහන ප්‍රතිගමණ ප්‍රතිකාරය සිදු කරණ අවස්ථාවේ දී පළමු ව රෝගියා සම්මෝහ තත්වයකට රැගෙන ගොස් අදාළ සිදුවීම නිරාවරණය කර ගැනීම සඳහා ඔහුට අවශ්‍ය මෙවලම් සපයා දෙනු ලබ යි. බොහෝ විට මේ සිදුවීම හමුවන්නේ රෝගියාගේ ළමා වියේ දී ය. මේ සම්මත මනෝ විශ්ලේෂණ සිද්ධාන්තය යි.

එහෙත් මා කැතරින්ට ප්‍රතිකාර කළ අවධියේ දී සොයා ගත් පරිදි ඇතැම් අවස්ථා වල සිදු වන්නේ මේ මුල් චිත්ත වේගීය කම්පනය වඩාත් ඈත අතීතයට එ නම් පූර්ව ජන්මයන් කරා විහිදී යාම යි. මා විසින් හඳුනා ගනු ලැබූ පරිදි, ප්‍රතිකාර කළ රෝගීන්ගෙන් සියයට හතලිහකට පමණ සිය ජීවිතයේ වූ සායනික ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා පූර්ව ජන්මයන් කරා රැගෙන යා යුතු විය. සෙසු පිරිසෙන් බොහොමයකට ප්‍රතිඵල අත් කැර ගැනීම සඳහා මේ ජීවිතයේ ම මුල් අවධියක් කරා ප්‍රතිගමණය කිරීම පමණක් ප්‍රමාණවත් වී ය.

No comments:

Post a Comment