Sunday, February 5, 2012

ඇඩම්ගේ මරණය

“ඔබේ පියා මෙහි ඉන්නවා... ඒ වගේ ම ඔබේ කුඩා පුතාත් ඉන්නවා. ඔබේ පියා කියනවා ඔබ ඔහු ව හඳුනා ගනීවි කියා, මන්ද ඔහුගේ නම ඇව්රෝම් නිසාත් ඔබේ දුවට නම් තැබුවේ ඒ නමින් නිසාත්. ඔහුගේ මරණය සිද්ධ වුණේ හෘදය වස්තුව නිසා යි. ඔබේ පුතාගේ හෘදය වස්තු‍වත් වැදගත්... ඒ මන්ද එය කුකුළු පැටවකුගේ මෙන් දුර්වල නිසා. ඔහු ආදරය නිසා ම ඔබ වෙනුවෙන් විශාල පරිත්‍යාගයක් කළා. ඔහුගේ ආත්මය ඉතා උසස් එකක්. ඔහුගේ මරණය දෙමාපියන්ගේ ණය බර අඩු කළා. ඒ එක්ක ම ඔහුට ඕනෑ කළා වෛද්‍ය විද්‍යාවට යා හැකි දුර මෙ පමණයි එහි විෂය පථය බොහොම සීමා සහිත යි කියන කාරණය ඔබට පෙන්වන්ට.”

කැතරින් කථාව නතර කළා ය. මම හිරි වැටී ගිය මනසින් යුතුව නිහඬ බව තුළ ගිලී කිසිවක අක් මුල් සොයා ගන්නට බැරි ව තතනමින් සිටියෙමි. කාමරය තුළ හිම මෙන් සීතලක් දැනිණ.

කැතරින් මගේ පෞද්ගලික ජීවිතය ගැන දැන සිටියේ අල්ප වශයෙනි. යටි ඇන්දේ යන්තමින් මෝදුවී එන කිරි දතක් පාමින් ප්‍රීතිමත් මුවින් සිනා සෙමින් සිටින දියණියගේ ළදරු වියේ ඡායාරූපයක් මගේ මේසය මත වී ය. ඊට යාබද ව තිබුණේ පුතණුවන්ගේ ඡායාරූපය යි. ඒ හැරුණු කොට මගේ පවුල හෝ ‍පෞද්ගලික ජීවිතය ගැන කැතරින් කිසිවක් දැන සිටියේ නැත. සාම්ප්‍රදායික මනෝ චිකිත්සක ශිල්ප ක්‍රම ගැන මම හොඳින් හදාරා සිටියෙමි. ප්‍රතිකාරකයා යනු රෝගියා විසින් මුදා හරින සිතිවිලි, ආකල්ප හා හැඟීම් අතුරාලීම සඳහා සැකැසූ හිස් ඵලකයක් විය යුතු බව පොදු පිළිගැනීම විය. එ විට ප්‍රතිකාරකයාට කරුණු විශ්ලේෂණය කොට රෝගියාගේ මනස නමැති රංග භූමිය විශාලනය කොට නැරඹිය හැකි වූයේ ය. මම කැතරින් සම්බන්ධයෙන් ද මේ ප්‍රතිකාරාත්මක පරතරය හැම විටම පවත්වා ගතිමි. ඈ මා පිළිබඳ දැන සිටියේ ඇගේ මනෝ වෛද්‍යවරයා වශයෙන් පමණක් වූ අතර මගේ අතීතය හෝ ‍පෞද්ගලික ජීවිතය ගැන කිසිවක් දැන නො සිටියා ය. යටත් පිරිසෙයින් මගේ කිසි දු අධ්‍යාපනික සහතික පත්‍රයක් හෝ කාර්යාලය තුළ ප්‍රදර්ශනය කොට නො තිබිණ.

මා ජීවිතයේ අත් දුටු දරුණු තම ඛේදවාචකය වූ යේ 1971 මුල් භාගයේ දී සිදු වූ කුලුඳුල් පුතු ඇඩම් ගේ අනපේක්ෂිත මරණය යි. මිය යන විට ඔහු ඉපදී යන්තම් දින විසි එක පිරුණා පමණි. නිවෙසට රැගෙන විත් දින දහයකට පමණ පසු ඔහුට ශ්වසන අපහසුවක් ද දරුණු වමනයක් ද හට ගත්තේ ය. රෝග විනිශ්චය අතිශයින් ම බැරෑරුම් එකක් වූ අතර ඔවුන් අපට කීවේ එය “කර්ණිකා ආවාර විකෘතිය සහිත පූර්ණ අනියම් පුප්ඵුසීය ශිරා අපවහනය” බවත් “එය උපත් කෝටියකින් එකක දී පමණක් දක්නට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක්” බවත් ය. හෘදය වෙත ඔක්සිජනීකෘත රුධිරය ගෙන යන පුප්ඵුසීය ශිරාව මං මුලාව ගොස් හෘදය තුළට වැරැදි පසින් ඇතුළු වී තිබිණ. එය ඔහුගේ හෘදය කණපිට හැරවූවාක් බඳු අතිශයින්ම දුර්ලභ අවස්ථාවක් විය.

වික්‍රමාන්විත විවෘත හදවත් සැත්කමින් පලක් නො ලද ඇඩම් දින කිහිපයකට පසු මිය ගියේ ය. අපි මාස ගණනක් පුරා ශෝකයෙන් වැළපුණෙමු. අපේ ප්‍රාර්ථනා හා සිහින සියල්ල පුපුරා බිඳ වැටී තිබිණ. ඉන් වසරකට පසු උපන් දෙවන පුතු ජෝඩාන් තුවාල වූ අපේ හදවත් මත තවරා ලූ චන්දනාලේපයක් විය.

ඇඩම්ගේ මරණය සිදු වූ කාලයේ මම වෘත්තියක් ලෙස මනෝවිද්‍යාව තෝරා ගැනීම සම්බන්ධයෙන් අතීරණාත්මක ව වැනෙමින් සිටියෙමි. මගේ සීමා වාසික වෛද්‍ය පුහුණු කාලය ප්‍රසන්න එකක් වූ අතර එහි නේවාසික තනතුර සඳහා ද මට ඇරයුම් ලැබී තිබිණ. ඇඩම් ගේ මරණයෙන් පසු මගේ වෘත්තිය විය යුත්තේ මනෝවිද්‍යාව බවට මම දැඩි තීරණයක් ගතිමි. මහා තාක්ෂණ හරඹ, දැනුම් අටෝරාසියක් පිරිවරා ගෙන සිටියත් මගේ අසරණ දරුවා ගලවා ගන්නට අසමත් වූ ඊනියා නූතන වෛද්‍ය විද්‍යාව කෙරේ මා තුළ වූයේ කෝපයකි.

No comments:

Post a Comment