Monday, February 6, 2012

ගුරු ස්වාමිවරු

1979 මුල් භාගයේදී බරපතල හෘදයාබාධයකට ලක් වීමට පෙර මගේ පියා ඉතා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කෙළේ ය. එ කල ඔහු ගේ වයස අවුරුදු හැට එකකි. හෘදයාබාධයෙන් ඔහුගේ දිවි ගැලවුණත්, එය ඔහුගේ හෘද බිත්තියට පිලිසකර කළ නො හැකි හානියක් කෙළේ ය. ඔහු මිය ගියේ ඉනුත් අවුරුදු තුනකට පසුව යි. මෙය සිදු වූයේ කැතරින් හා මා අතර වූ ප්‍රථම හමුවට මාස නමයකට පමණ කලිනි.

මගේ පියා ආගම දහමට ලැදි වූ අයකු වුව ද එය බොහෝ විට ආමිස පක්ෂයට මිස ආධ්‍යාත්මික පක්ෂයට බර වූවක් නො වී ය. ඔහුගේ හීබ්‍රෑ නාමය වූ අවුරෝම් යන්න එහි ඉංගිරිසි පර්යාය නාමය වූ ඇල්වින් යන්නට වඩා හොඳින් ඔහුට ගැලපුණේ ය. ඔහු ගේ මරණයෙන් මාස හතරකට පසු අපේ දියණිය ඇනී ඉපදුණු අතර ඈට නම් තැබුණේ ඔහු ගේ නම ආශ්‍රයෙනි.

දැන් මේ 1982 වර්ෂයේ මගේ අඳුරු නිසංසල කාමරය තුළ දෙසවන් අගුළු වටවන සුළු ගූඪ අභිරහස් සත්‍යයන් සමුදායක් මා මත පතිත වෙමින් පැවතිණ. ආධ්‍යාත්මික සාගරයක රැලි මත පිහිණමින් මම ඒ දිය කඳට ඇලුම් කරන්නෙක් වීමි. මගේ දෑ‍තේ රෝමෝද්ගමනය වී තිබිණි. කැතරින්ට මේ තොරතුරු දැන ගන්නට මඟක් නො වී ය. ඒ පිළිබඳ සොයා බලන්නට මූලාශ්‍රයක් ද නො වී ය. මගේ පියා ගේ හීබ්‍රෑ නාමය... කෝටියකින් එක් අයකුට පමණක් වැළ‍‍ඳෙන දුර්ලභ සංකුලතාවයකින් මිය ගිය පුතා... දියණිය ගේ නම් තැබීම... ඒ සියල්ල පමණට වඩා බෙහෙවින් ම වැඩි විය. පමණට වඩා නිශ්චිත විය. පමණට වඩා සත්‍ය විය. මේ අවිදග්ධ රසායනාගාර ශිල්පිනිය ලෝක විෂය ඉක්මවා ගිය දැනුම් ප්‍රවාහයක ප්‍රණාලිය වූයේ කෙසේ ද? ඇයට මේ සත්‍යයන් නිරාවරණය කළ හැකිනම් එහි වැඩි දුරටත් ඇත්තේ මොනවා ද? මට වඩ වඩාත් දැන ගැනීමට අවශ්‍ය විය.

“කවුද ඔතැන ඉන්නේ” මම ඇසීමි. “කවුද ඔබට මේවා කියන්නේ”

“ගුරු ස්වාමිවරු” ඈ කෙඳිරුවාය. “ගුරු ආත්මයන් මට කියන්නෙ... ඔවුන් කියන‍වා ද්‍රව්‍යමය ලෝකයේ ‍මම අසූ නම වතාවක් ජීවත් වී ඇති බව. ”

කැතරින් මේ කාරණා දැන නො සිටි වග ද ඇයට ඒ ගැන දැන ගැනීමට මඟක් නොවූ වග ද මම දැන සිටියෙමි. නිව් ජර්සි හි දී මිය ගිය මගේ පියාගේ භූමදානය සිදු ‍කැරුණේ උතුරු නිව්යෝක් හි දී ය. ඒ සම්බන්ධයෙන් අවමංගල්‍ය දැන්වීමක් හෝ පළ වූයේ නැත. ඇඩම් මිය ගියේ මීට දශකයකට පමණ පෙර සැතපුම් එක් දහස් දෙසීයකට පමණ දුරින් පිහිටා තුබූ නිව්යෝක් නගරයේ දී ය. ‍ෆ්ලොරීඩාවේ වූ මගේ සමීපතම මිතුරන්ගෙන් ඇඩම් ගැන දැන සිටියේ අතලොස්සක් දෙනා පමණි. මරණයට හේතුව දැන සිටියේ ඉනුත් කිහිප දෙනෙකි. මා සේවය කළ රෝහලේ කිසිවෙක් ඒ ගැන දැන නො සිටියේ ය. මගේ පවුල් ඉතිහාසය ගැන දැන ගැනීමට ද කැතරින් හට කිසි දු මඟක් නො වී ය. එහෙත් ඈ නිසැකව ම සඳහන් ‍කෙළේ ඇල්වින් යන ඉංගිරිසි අනුවාදය නොව ඇව්රොම් යන මූලකෘත නාමය යි.

මගේ විශ්මය ක්‍රමයෙන් දිය වී යන්නා හා ම මම නැවත වරක් විද්‍යාත්මක ක්‍රමයට පුහුණු කරණු ලැබූ ආධානග්‍රාහී මනෝචිකිත්සකයා බවට පත් විමි. මම පොත් හල් ද පුස්තකාල ද පීරමින් වැඩිදුර විස්තර සොයන්නට පටන් ගතිමි. මෙහි දී පුනර්ජන්ම ස්මරණ සේ ගම්‍යමාන වන විස්තර ප්‍රකාශ කළ කුඩා ළමුන් ආශ්‍රයෙන් සිදු කළ ආචාර්ය ඉයන් ස්ටීවන්සන් ගේ විශිෂ්ඨ පර්යේෂණයන් මට හමු විය. මේ පර්යේෂණ ගැන පොතේ පසු පරිච්ඡේදයක දී කෙටියෙන් සාකච්ඡා කිරීමට මම අදහස් කරමි. එ සේ ම මට හමු වූ තොරතුරු අතර සම්මෝහ නිද්‍රාව හා යමකු ගේ උප විඥානය පූර්ව ජන්ම ස්මරණ කරා රැගෙන යා හැකි වෙනත් ශිල්ප ක්‍රම භාවිතා කරමින් පූර්ව ජන්ම ප්‍රතිගමණය සිදු කළ චිකිත්සකයින් කිහිප දෙනකුගේ ප්‍රසිද්ධ කරන ලද පර්යේෂණ වාර්තා කිහිපයක් ද විය. දැන් මට අවබෝධ වී ඇති සැටියට නම්, වෘත්තීය ජීවිතයට හා කීර්ති නාමයට කැළැලක් වෙතැයි බියෙන් සිය පර්යේෂණ ප්‍රතිඵල ප්‍රසිද්ධ නො කොට තබා ගෙන සිටින චිකිත්සකයෝ බොහෝ දෙනෙක් සිටිති.

මගේ Many Lives, Many Masters කෘතියේ සවිස්තර ව දක්වා ඇති පරිදි කැතරින් ඇගේ පූර්ව ජන්මයන් රාශියක සැරි සැරූ අතර ඉන් මැ සුවපත් වූවා ය. සිත් තුළ මුල් බැසගත් මරණය පිළිබඳ බියෙන් ද ආඝාතකර රෝග ලක්ෂණ වලින් ද මුළු මනින් ම මිදුණු ඕ ප්‍රීතිමත් හා ප්‍රමෝද ජනක ජීවිතයක් ඇරඹුවා ය. සවිඥානික මනස අභිබවා පවතින්නා වූ මතකයේ හා පෞරුෂයේ යම් කොටසක් කායික මරණය ද ඉක්මවා ‍නොනැසී පවත්නා බැව් ඈ දැන් දනී.

No comments:

Post a Comment