Wednesday, December 21, 2011

ස්ත්‍රිය

ඇය අවශ්‍ය වන්නේ යහන් ගතවීමටය. ඇය අවශ්‍ය වන්නේ තමන්ගේ දේපල බාර දීමට සුදුසු අයෙකු බිහි කරවා ගැනීමට‍ය. ඇය අවශ්‍ය වන්නේ කුස්සියේ අඩුපාඩු මගහරවා ගැනීමටය. ඇය අවශ්‍ය වන්නේ මැතිවරණ වේදිකා වල සිහින මවන්නන්ගේ "ඡන්ද" නමැති අස්වැන්න නෙලීමටය. වත්මන් සමාජයේ ස්ත්‍රියගේ අස්ථානය එවැන්නකි. එය වමටද, දකුණටද එකසේ පොදුය. එසේ නම් ඇය දේශපාලනික කිරීම දේශපාලනය කළවුන් මගහැර ඇත.

ඇත්තෙන්ම කැරළි ගැසීමට, අරගල කිරීමට ඇයට අයිතියක් නැද්ද? ඇයට ‍දේශපාලනය කිරීමට අයිතියක් නැද්ද? මේ වර්තමානයේ සමාජ ව්‍යාපාර‍යක් ඉදිරියේ පවතින බරපතල ගැටළුවක් බව අපේ විශ්වාසයයි. ස්ත්‍රියකගේ අදේශපාලනික ජීවිතය දේශපාලනික වංචාකරුවන්ගේ commision එකට යටත් විය. විශේෂයෙන්ම පසුගිය සමයේ වමේ වේදිකාවේ ඇය සිටියේම නැත. අපට කල්පනා වන විදියට පුරුෂ මූලික සමාජයේ බලපෑම එබඳුය. පුරුෂ මූලික සමාජ මනෝභාවය පසුගිය සමය පුරා වමද ආක්‍රමණය කර තිබිණි.

අද ලංකාවට ආදායම් උපයන මාර්ග අතුරින් වැඩිම ආදායම් උපයන මාර්ග වන්නේ විදේශ සේවා හා ඇඟළුම්ය. තවද ගෘහ‍ සේවය තුළ ආර්ථික ගණන් බැලීමක් ඇත්තේම නැත. එසේ හෙයින් සමාජය ඇය අත්හැර ඇත. ස්ත්‍රිය තවමත් සමාජයේ දේශපාලනික සාධකයක් බවට පත්ව නැත. ස්ත්‍රිය උත්කර්ෂයට නංවන්නේ ලිංගිකත්වය තුළ මිස ඇයගේ ස්ත්‍රීත්වය තුළ පැන නැංවූ දේශපාලනික භාවිතාවන් මත නො‍වේ.

එසේ හෙයින් වමට පැවරෙන ඓතිහාසික කාර්යභාරයක් ඇත. දේශපාලනික ගොඩනැංවීමෙන් විතැන් වූ ස්ත්‍රිය නැවත දේශපාලනික කිරීම අද දවසේ වමට පැවරෙන ප්‍රමුඛතම කාර්යභාරයක් වනු ඇත. සමාජ විමුක්තිය යනු පිරිමියාගේ විමුක්තිය පමණක් නොවන නිසා ඇය පිළිබඳ වූ දේශපාලන සංවාදයක් අවැසිය. ඒ සමගම ඇය සමාජයේ දෙවැන්නිය බවට පත්වීම වැළැක්විය යුතුය. දේශපාලනික ක්‍රියාකාරීන්ගේ මෙන්ම දේශපාලනික ව්‍යාපාරයන්ගේද චලනයන්ය ඍජුවම බලපෑ ස්ත්‍රිය නිර්මාණශීලී සමාජයක් බිහි කිරීම උදෙසා සංවිධානය කිරීම නව වමේ දේශපාලන ව්‍යාපාරයට වහ වහා අවැසිය.

0 comments:

Post a Comment