Wednesday, December 14, 2011

වල්මත්වූවෝ

මීට දශක කිහිපයකට පෙර සිංහල සිනමා වංශකථාවේ පිටු අතරට එක් වූ එක්තරා ජනප්‍රිය චිත්‍රප‍‍ටයක් ලෙස "වල්මත්වූවෝ" හඳුනාගත් අප අද එවන් සිනමාවක් ගොඩනැගෙන්නේ නැතත් මුළු මහත් සමාජයම "වල්මත්වූවන්" ලෙස හඳුනාගත හැක.

සියල්ලම පැටලී සියලු දෙනාම පැටලී ඇත. පැටලි පැටලී ජීවිතය ලෙහා දමන්නේ යැයි කියමින් තව තවත් පටලා ගනිමින් සිටී. පොඩි එකා පාසල් යන්නේ ඉගෙන ගන්නටය. මා පිය බලා‍පොරොත්තුව හොඳ එකෙකු කිරීමටය. ඒ සමග සමාජය සමග පටලා ගන්නා මාපියන් කෙසේ‍ හෝ තම දරුවන් පැටලීමෙන් වළක්වා ගැනීමට පොරකති. ඔවුන්ට උගන්වති. රස්සා සොයා දෙති. රස්සා හොයාගන්නා දරුවා සල්ලිද හොයාගනී. පැටලීමෙන් බේරීමට එකම විසඳුම මුදල්ය. පාසලෙන්, විශ්ව විද්‍යාලයෙන් එසේත් නැත්නම් ගෙදරින්, සමාජයෙන් නිතරම කීවේ රැකියාවක් කරන්නටය. රැකියාව කරන්නේ මුදල් සෙවීමටය. මුදල් අවශ්‍ය හොඳ ආතල් ජීවිතයක් ගත කිරීමටය. ඉතින් වසර ගණනක් මුදල් වියදම් කරමින් අධ්‍යාපනය ගෙන නැවත මුදල් සොයා ආතල් එකේ සිටී. අන්තිමේදී ආතල් ‍එකේ සිටීමට වසර ගණනාවක් වැය කොට හමාරය. ඇත්තටම අවසාන ඉලක්කය මුදල් සෙවීම නම්, නිදහසේ ආතල් ජීවිතයක් ගත කිරීම නම් වසර ගණනාවක් අධ්‍යාපනය හැදෑරීමේ ප්‍රතිඵලයක් ඇත්ද? අධ්‍යාපනය නැතත් මුදල් සෙවිය නොහැකිද? ඒ සඳහා විශ්ව විද්‍යාල, A/L, O/L අවශ්‍යමද? මාර්ටින් වික්‍රමසිංහලා, මක්සිම් ගෝර්කිලා වැනි ලොව ප්‍රකට පුද්ගලයන් පාසල් ගියේ 2ට, 3ටය. සමාජය තව තවත් සංකීර්ණත්වයට වැටෙමින් වල්මත් වෙමින් තිබේ.

රැකියාව කරන කෙනාද රැකියාව කරන්නේ තෘප්තිමත්ව ද යන්න ගැටළුවකි. අවශ්‍ය මුදල්ය. මුදල් සෙවීමට නොකරනා ඉටි ගෙඩියක් නැත. කොළඹ, අනුරාධපුර, යාපනය, වව්නියාව, මාතර, හැටන් මේ කොහේ හිටියත් මොනවා කළත් හොයන්නේ මුදල්ය. අවුරුදු 20 ක් හිටියත්, 50 ක් හිටියත්, 75 ක් හිටියත් කර ඇති ප්‍රධාන වැඩේ මුදල් සෙවීමය. අනුරාධපුර පදිංචි එහෙත් කොළඹ රැකියාව කරන කෙනෙකු රැකියාවට තම නිවසේ සිටම යන්නේ නම් නිවසින් පිටවිය යුත්තේ පාන්දර 3.00 ට පමණය. ඔහු 3.00 ට පිටත්වීමට 2.00 ට අවදි විය යුතුය. නැවත ආපසු ඒමට 5.00 ට පිටත් වුවද නිවසට එනවිට රාත්‍රී 10.00 වත් වනු ඇත. ඔහුගේ මුළු ජීවිතවම හෙම්බත් වී ඇත. එක් දිනක් රාජකාරියට යන ඔහු ඊළඟ දිනයේ පිටත්වන්නේ ඔහුගේ කරුමයට, දෛවයට ඔහුව භාර කරමිනි. ඔහු ළඟ තෘප්තිය වෙනුවට ඇත්තේ විඳවීම පමණකි. රැකියාවේ වැටුප් ලැබෙන්නේ 8 - 5 සේවයට පමණි. එසේ හෙයින් පාන්දර 2.00 සිට ඔහු රැකියාව වෙනුවෙන් කරන කැපවීමට පාලනාධිකාරිය මුදල් ගෙවන්නේ ද නැත. ඔහුට හිමිවන සහනයක් ද නැත.

මේ පටලැවිල්ල චක්‍රීයය. පියාගෙන් පුතාට, පුතාගෙන් ඉදිරියට ලෙස මෙය චක්‍රීය වෙයි. රැකියා නොකිරිම හෝ අධ්‍යාපනයක් නොලැබීම මේ සඳහා එකම පිළියම යැයි අපි කිසිවිටෙකත් නොකියන්නෙමු. සොරකම් කිරීම, මංපැහැරීම,මිනීමැරීම් ද අපි ‍ප්‍රතික්‍ෂේප කරමු. Super Star, Dance Star වීම ද මීට ඇති එකම විසඳුම යැයි පැවසීමට තරම් අපි නිවට ද නොවන්නෙමු.

අවුරුදු ගණනාවක ඉතිහාසයේ අපට කොහේ හෝ වැරදී ඇති බව නම් නිසැකය. මුදල් යනුවෙන් අන්තර් මාධ්‍යයක් අප හඳුනාගත් දා සිට මෙම පටලැවිල්ලේ ආරම්භය ලියැවී ඇති බව ද නිසැකය. එකල භාණ්ඩ හුවමාරු ක්‍රමය ජීවිත අවුල් කළේ නැත. ජීවිත පටලැව්වේ ද නැත. එහෙත් අතෘප්තිමත් මිනිසා එකිනෙකා පරයාමේත්, අතිරික්ත ධනය ඉපැයීමේත් සිට මේ වියවුල ආරම්භ වන්නට ඇතැයි සිතිය හැක. එසේනම් අප කල්පනා කළ යුත්තේ කුමක්ද? මුදල් නම් අන්තර් මාධ්‍යය නැතිකොට නැවත භාණ්ඩ හුවමාරු ක්‍රමය වෙත යාමද? නැත. කිසිසේත්ම නැත. ලංකාවේ කෝටි 2 ක ජනතාවට ඇති ප්‍රධානතම ගැටළුව කුමක්දැයි ඇසුවොත් පිළිතුර වන්නේ ජීවිතය යන්නයි. මුදල් සොයන්නේ කෙසේද යන්නයි. අප හැමෝටම ‍පොදු වූ ගැටළුව මෙයයි. අප පොදු ගැටළු වලට පිළිතුරු සෙවිය යුත්තේ පොදු භාවයකිනි. එහෙත් අප එම පොදුකම අත්හැර ඇත. ඒ වෙනුවට ස්වාර්ථකාමී ලෙස සමාජයේ පැටලෙමින් අප අප‍ වෙනුවෙන් පමණක් පිළිතුරු සෙවීමට මහන්සි ගනී.

අප වල්මත් වී ඇත්තේ එතැනිනි. පොදු ගැටළුවට පිළිතුරු සෙවිය හැක්කේ පොදුකම තුළ පමණකි. එහෙයින් අප උත්සාහ ගත යුත්තේ වල්මත් වූවන් සොයා සංවිධානය කිරීමය. එය ගොවියාගේ සිට, කම්කරුවාගේ සිට, තරුණ, ශිෂ්‍ය මේ හැමෝටම පොදුය.

0 comments:

Post a Comment