Saturday, December 3, 2011

වේදනාවෙන් විනෝද වීම

සිරිල් අයියා කියන්නේ මට හමුවුණු මිනිස් චරිත වලින් අමුතුම තාලේ මිනිහෙක්. සිහින් සිරුරක් ඇති මුහුණ පුරා ගණ රැවුලක් වැවී ඇති හතලිස් විය පසු කළ ඔහු චාම් මිනිසෙකි. නූතන සේරිවාණිජ චරිතය සිහි කරමින් Fancy කඩයක සේවය කරන සිරිල් අයියා කාන්තාව ‍කොටස් කර විකිණීමට දක්‍ෂයෙකි. ඒ ඔහු අතින් කාන්තාවකට අවශ්‍ය මාල, වළලු, කරාඹු, මුදු, චේන්, බ්‍රෙස්ලට්, ක්‍රීම්, ලිප්ස්ටික්, ෆේෂ් වොෂ් ආදී සියල්ලක්ම විකිණෙන නිසාය.

ඔහු සමග පැයක් කතා කළ විට සිනහව වාවාගත නොහැකිය. එපමණටම ඔහු විනෝදකාමියෙකි. එමෙන්ම සිදුවීම් තුළ ඇති මිනිස් ගති සොබා මෙන්ම සිදුවීම් සිදුවීමට බලපෑ හැකි වස්තු බීජයන් ගැන ද විහිළුවෙන්ම පැහැදිලි කරයි.

සිරිල් අයියා දිනක් රාත්‍රී නින්දේ සිටින විට නැගලා යන බජව්වක් ඇසී ඊට කන් දී සිට ඇත. හතරදෙනෙකු මහා රාත්‍රියේ බජව්ව පටන් ගෙන ඇත. ගුණපාල, රත්නේ, පුංචයියා හා උක්කුවා පදමට ගසා ලීටර් 20 බැරල් දෙකක් පළු යන තුරු පහර දෙමින් ජෝති හා කපුගේ ජීවමාන කර ඇත. සිරිල් අයියා ද සිංදු කාරයෙක් බැවින් ඔහුත් එයට සවන්‍ දෙමින් යහනේ සිට ඇත.

ගුණපාල අයියාගේ රැකියාව පොල් කැඩීමයි. ඔහු විවාහකයෙකි. දරුවන් සිව් දෙනෙකුගේ පියෙකි. ඉන්නේ පොල්අතු පැළකය. කන්නේ කොහේ හෝ කෙදිනක හෝ ‍පොල් කැඩුවහොත් පමණි. ඔහු‍‍ගේ බිරිඳ නිවසේ සිට දරුවන් රැකබලා ගනිමින් ගුණපාල අයියා ගෙදරට කන්න අරන් එන තුරු මග බලා සිටී. පොඩිඋන්ට හරියට අඳින්න ඇඳුමක් නැත. කන්න වීදුරු පිඟානක් නැත. නිදියන්න සිරි යහනක් නැත. මුළු ගෙදරටම ඇත්තේ ලෑලි වලින් වසා දැමූ කාමර දෙකක් පමණි. ඉන් එක කාමරයක් මුළුතැන්ගෙය ලෙස භාවිතයට ගනී. හඳ පායනා දවස් වල පොල් අතු වහ‍ලයෙන් ගුණපාල වෙත එබිකම් කරන සඳරැස් ඔහුට සිනහ වෙන්නේ අනුකම්පාවටද නැත්නම් අහවල් දේකටදැයි දන්නේ සඳරැස් ම පමණි.

පුංචයියාට දැන් වයස හතලිස් පහක් පමණය. විවාහ වී දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. එහෙත් ඔහුගේ ප්‍රියම්භිකාව ඔහු හැරගොස් දැනට වසර අටකි. ඒ පුංචයියාට හරි හැටි රැකියාවක් වත් දේ‍පොළක් වත් නැති නිසාවෙනි. පුංචයියාට සිටියේ රේණුකා හා මල්ලිකා යනුවෙන් ගැහැණු ළමයි දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා ද පුංචයියා හැර ගියේ සඳරැස් වැටි රාත්‍රියකය. ඔවුන් ගැන දන්නේ ද ඔවුන්ට පැන යාමට ඉඩ සැලසූ සඳරැස් ම පමණි. දැන් පුංචයියා තට්ට තනියම තමාගේ නිවසට වී ඔත්පල වූ අම්මා ද, මයිල් හැලී ගිය කෙසඟ බලු පැටවාද සමග ‍නිදහසේ කාලය ගත කරයි. කෙසේ හෝ කුලී රැකියාවක් සතියකට වරක් සොයා ගන්නා පුංචයියා ඉන් ලැබෙන මුදලින් අතේ සතේ නැතත් තමන්ට පුතේ කියන තම ආදරණීය මෑණියන් රැක බලා ගනිමින් ‍ජීවත් වෙයි.

උක්කුවා මේ ගම් පළාතේ කෙනෙකු ද නොවේ. තමන්ගේ ජාතකය ගැන වත් දන්නා පුද්ගලයෙකු නොවේ. ඒ පොඩි කාලේ සිටම අනුන්ගේ ගෙවල් වල ඉඳුල් කමින් හැදී වැඩුණු මිනිසෙක් නිසාය. ඔහුට අම්මා තාත්තා පිළිබඳ දැනීමක් නැත. ඔවුන් කවුරුන්දැයි උක්කුවා වත් නොදනී. දිනපතා අනුන්ගෙන් ගුටි කන, කඩපිල් ගානේ පීචං වෙන උක්කුවා රාත්‍රිය වන විට සූර් වන පදම සොයා ගනී. තමන්ගේ ජීවිත‍යේ අතීතය, වර්තමානය මෙන්ම අනාගතය ද කසිප්පු කාලකට යට කොට ඇති උක්කුවා මෙවැනි බජව්වකින් හැර ඔහුට කාලය ගත කර ගැනීමට වෙනත් මාර්ගයක් නොමැත. ඒ හෙට දිනත් ඔහුට දීර්ඝ, වෙහෙසකර, එපාම වූ ඒකාකාරී දිනයක් නිසාවෙනි.

රත්නේ ගොවිතැනින් ජීවත් වෙන්නෙකි. හේනේ පිටියේ මෙන්ම කුඹුරු ගොවිතැන ද කරන රත්නේ, උදේ සිට රාත්‍රී වන තුරාම මහ පොළොව පෙරළමින් ඒ සමග ඔට්ටු වෙයි. ඔහු‍ගේ ගෙදර සාමාන්‍යයෙන් දින දෙක තුනකට වරක් නිරාහාරව නොඉන්නේ නම් පුදුමයකි. ඒ නැති බැරි කම නිසාවෙනි. තියන තුට්ටු දෙක ‍පොළවට යට කළ ඔහු අස්වැන්න නෙලා ගන්නා තුරු ‍ජීවිකාව ගැට ගසා ගන්නේ යාන්තමිනි. තම දරුවන්ට චීස් බටර් දීමට නොහැකි වුණත්, ඇන්කර් හෝර්ලික්ස් නැති වුණත් කහට උගුරක් හෝ තම දරුවන්ට කෙසේ හෝ ලබා දීමට උනන්දු වන්නේ හිත පුරාම පීතෘ ‍ස්හේහය තිබෙන නිසාය.

ඉතින් ජාතකයක් නොමැති උප්පැන්නයක් නොමැති, එහෙත් අපගේ ජාතකය විමසන වර්තමාන කසිකබල් සමාජය, අප හැමෝගේම ජීවිත අභියෝගයට ලක් කරමින් ඇත. සෑම අයෙක්ම මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් පවුල් සංස්ථා බිඳ වැටී ඇත. බිරිඳ හා ස්වාමි පුරුෂයා අතර අධ්‍යාත්මක සබඳතාවය බිඳ වැටී ඇත. තියන වුන් තව තවත් ඇති හැකි අය කරන, නැති වුන් නැත්තටම නැති කරන වත්මන් සමාජය, කුඩා දරුවෙකුගේ ජීවිතය දිය පහරක සඟවා ගන්නේ මේ සමාජයේ කුරිරු බව අපට කියා දෙමිනි. කැලණි ග‍‍ඟේ පාවී ගිය අමිල සඳරුවන් වැනි දරුවන් හෙට තවත් තැනකින් මතු වීමට ඉඩ ඇත.

පව්කාරයින්ට ගල් ගැසීමට ඉගැන්වූ මේ සමාජය, මාලනී පුෂ්පලාතාලාටත් වට කොට පහර දීමට පෙළඹී සිටී. හුදෙක් මාලනීලාගේ වැරැද්දක් ලෙස දකින මිනිසුන්ට අවබෝධ නොවන්නේ, වර්තමානයේ පාලකයන්ගේ තකතීරු පාලනය ගැන නොවේද? කිරිපිටි පැකට්ටුවකින් 100% ක් බදු අය කරන විට, කහකුඩු කිලෝව රුපියල් 800 පන්නන විට, සුදුළූණු කිලෝව රුපියල් 400 කට වත් ගන්න බැරි කොට, රත්නෙලා පුංචයියලා වේදනාවෙන් විනෝද වනවා ඇරෙන්න වෙන නම් කුමක් කරන්න ද? මැති ඇමැත්තෝ ලක්ෂ ගණන් මාසිකව උපයද්දී උක්කුවාලා ගුණපාලලා දිනකට රුපියලක් ඉපයීමට කොපමණ වෙහෙසක් දැරිය යුතුද? රත්නෙලාට ද ගුණේලාට ද ලක්ෂ ගණනින් නැතත් ජීවත් වීමට ඇති පදමින් ඉපයීමට සමාජය ඉඩ ලබා දෙන තුරු රේණුකාලා මල්ලිකාලා බිහි වනු ඇත.

එතෙක් පුංචයියලා, ගුණේලා, රත්නෙලා හා උක්කුවලා හෙට රාත්‍රියේත් තම වේදනාව සමගින් වේදනාවෙන් යුතුව විනෝද වනු ඇත.

1 comment:

  1. මේක මරු.... මීට කලිනුත් කියවලා තියෙනවා.... දෙවේලේ පෙනෙන නමුත් අපි නොදකින අමු ඇත්ත

    ReplyDelete