Thursday, November 10, 2011

සම්බුද්ධ ශ්රා වකයන් වහන්සේලා 1

සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා 1
ශ්‍රී ලංකාවේ පන්සල්වල බුදු ගෙය තුල බුදු පිලිමය  දෙපසින් වැඩ සිටින පිලිම වහන්සේලා දෙනමක් බොහෝ විට දැකිය හැක.  අතීත ශ්‍රී විභූතියත්, ශ්‍රාවක සංඝයා වහන්සේලා ජීවමානව වැඩ සිටින කල  බුදු රජාණන් වහන්සේට දැක්වූ අති මහත් ගෞරවයත් විදහා පාන මේ පිලිම වහන්සේලා දෙ අත් එක් කොට බුදු රජාණන් වහන්සේට වැඳගෙන  සිටිනු දැකිය හැක.    බුදු හිමි දකුණු පසින් සැරියුත් මහ රහතන් වහන්සේත්, වම් පසින් මහා මොග්ගල්ලාන රහතන් වහන්සේත්  ජීවමානව වැඩ සිටි කල මෙන් මෙසේ පිළිබිඹු වෙයි.   දහනව වැනි සියවසේ මුල භාගයේ සාංචි ස්තූපයේ කැනීම් සිදු කරන විට පාෂාණමය  කරඬු දෙකක් හමු විය.  උතුරු දෙසින් තිබූ කරඬුවේ මහා මොග්ගල්ලාන රහතන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාත් දකුණු දෙසින් හමු වූ කරඬුවේ සැරියුත් මහ රහතන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාත් වැඩ සිටි බව ශිලා ලිපි වලින් සනාථ විය. 

 අශෝක අධිරාජයා විසින් කිස්තු පූර්ව තුන්වන සිය වසේ ඉදි කරන ලද සාංචි ස්තූපය අබෞද්ධ පාලකයන් විසින් කිහිප වතාවක් ප්‍රහාරයන්ට ලක්කොට ඇත.   කාලය ගෙවී යද්දී රෝම අධිරාජ්‍යය ඇතිවී මුදුන් හිණි පෙත්තටම නැග යලිත් නැති වී ගියේය.  ග්‍රීසියේ ශ්‍රී විභූතිය අතීතයේ මතකයක් සහ නටබුන් වූ ගොඩනැගිලි කිහිපයකට පමණක් සීමා විය.   අභිනව ආගම් ගිනිදැල්වලින් හා රුධිරය තුලින් ඉතිහාසයේ සනිටුහන් විය. වාණිජ ව්‍යාපාර  පෙරදිගින් අපරදිගට ක්‍රමයෙන් සංක්‍රම්ණය විය.  බුදු දහම බිහි වූ රටෙන් බුදු දහම අමතක වී යද්දී, බුදු හිමි දේශනා කල 'සියලු දේ අනිත්‍ය ය' යන ධර්මයට අනුව අති උත්තම වූ මේ රහතන් වහන්සේලාගේ සිරුරුද,  ඒ ධර්මයට අනුව අනිත්‍ය වූවත්,  මේ ධාතූන් වහන්සේලා නිසොල්මනේ වැඩ හුන් සේක.  කට වචනයෙන් ප්‍රචලිත වූ බුදු දහම පසු කලෙක ග්‍රන්ථාරූඪ විය.  ත්‍රිපිටකය තරම් විශාල ආගමික සාහිත්‍යයක් වෙන කිසිම ආගමක නැත.  සැරියුත් මුගලන් යන නම් ථේරවාද බෞද්ධ රටවල් වල වෙන් කල නොහැකි තරමට එක් වී ඇත.  බුදු රජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක දෙනම වන සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා  සම්බන්ධයෙන් ත්‍රිපිටකයේ නොයෙක් තැන් වල සඳහන් වෙයි.  ත්‍රිපිටකයේ නොයෙක් නොයෙක් තැන් වල විසිරී ඇති සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා පිලිබඳ කථා පුවත් ඒකරාශී කොට වෙනම පලකිරීම වෙනුවෙන්,  ඒ භාරදූර කාර්යය ඉටුකල, මහනුවර උඩවත්ත කැලේ සංඝරාමයේ වැඩ විසූ  අපවත් වී වදාල ජර්මන් ජාතික ඥාණපොනීක ස්වාමීන් වහන්සේට අපි කෘතඥතාවය පල කරමු.   

මේ සටහන් පෙල ඥාණපොනීක හිමියන් විසින් රචනය කරන ලද කෘතියක් ආශ්‍රයෙන් සකස් කරණ ලදී.

බුදු රජාණන් වහන්සේගේ බුද්ධත්වයට ප්‍රථම රජගහ නුවර සමීපයේ කෝලිත සහ උපතිස්ස නම් වූ ග්‍රාම දෙකක් විය.  උපතිස්ස නම් වූ ග්‍රාමයේ සාරී නම් වූ බ්‍රාහ්මණ කුල කාන්තාවක්ද, කෝලිත නම් වූ ග්‍රාමයේ මොග්ගලී නම් වූ බ්‍රාහ්මණ කුල කාන්තාවක්ද විසූහ.  මේ පවුල් දෙක පරම්පරා හතක් පමණ කාලයක් එකිනෙකාට ලැදිව මිතුරුව විසුවෝය.  (සංයුක්ත නිකායේ චුන්ඩ සූත්‍රයට අනුව (47:13)මේ නාලාගම හෝ නාලක නම් වෙයි.  ඥාණපොනීක හිමියන්ට අනුව ඒ නම ඒ ග්‍රාමයට යොදන ලද්දා වූ වෙනත් නම්ක්ද විය හැක )  මේ බ්‍රාහ්මණ කුල කුමරියන් දෙදෙනාම එකම කාලයක ගැබ් ගත් බව ඉතිහාසය සඳහන් කරයි.  කාලයාගේ ඇවෑමෙන් බිහි වූ කුමරුවන් දෙදෙනා උපතිස්ස (සාරී නම් බ්‍රාහ්මණ කුල කුමරියගේ පුත්) සහ කෝලිත (මොග්ගලී කුල කුමරියගේ පුත්) වශයෙන් නම් විය.  එකල දඹදිව පැවතුනු සිරිත් වලට අනුව මේ කුමරුවන් දෙදෙනා එකල පැවති ශිල්ප ශාස්ත්‍ර මනා ලෙස ඉගෙන ගත්හ.  මේ කුමරුවන් දෙදෙනාට විශාල පරිවාර සේනාවක්ද විය.  එසමයෙහි රජගහ නුවර පැවැත්වුන එක්තරා උත්සවයෙකදී ඔවුන් දෙදෙනාගේම සිත් තුල විශාල වෙනසක් ඇති විය.  ඒ උත්සවයේ හාස්‍යජනකා සිද්ධීන් රඟ දැක්වුවද මේ කුමරුවන්ට කිසිම හාස්‍යයක් ඇති නොවීය.  වසර සියයක් වත් නොමැති මේ ජීවිතයේ හාස්‍යයට කිසිම කරුණක් නැති බවත් මෙයින් මිදීමට මගක් සෙවිය යුතු බවත් ඔවුන්ට වැටහුනි.  ඔවුන් දෙදෙනාම මේ පිලිබඳව සාකච්ඡා කොට රජගහ නුවර විසූ සංජය නම් වූ පරිබ්‍රාජකයා වෙත ගොස් පැවිද්ද ලබා ගත්හ.   ඒ කුමාරවරුන් දෙදෙනා සමග වූ පරිවාර කුමාරවරුන්ද පැවිදි වීමෙන් සංජය පිරිවැජියාගේ ප්‍රසිද්ධියද අධික විය.  නොබෝ කලකින්ම සංජය පිරිවැජියාගේ සම්පූර්ණ ධර්මයම මේ කුමාරවරු උගත්හ.  ඉන්පසු සංජය වෙත ගිය ඒ කුමාරවරු ඔබවහන්සේගේ ධර්මය මෙපමණක්දැයි සංජය ගෙන්ම විචාලහ.  සංජය ද තමා දන්නේ එපමණක් බව පිලිගත්තේය.  එයින් සෑහීමකට පත් නොවූ කුමාරවරු 'ගැලවීම' සොයා ගමින් ගමට යාමට තීරණය කලහ.  

 ඉතා දීර්ඝ කාලයක සිට සහෝදරත්වයෙන් බැඳුණු මේ දෙදෙනා, තමා සොයන්නා වූ 'ගැලවීම' ප්‍රථමයෙන් හමු වූ තැනැත්තා අනෙකාට  දැන්විය යුතුයයි කථිකා කර ගත්හ. 

 බුද්ධත්වයට පත් වූ පසු රජගහ නුවරට යලිත් වඩින බවට,   බුද්ධත්වයට ප්‍රථම බිම්බිසාර රජතුමාට වූ පොරොන්දුවක් අනුව, බුදු රජාණන් වහන්සේ ඒ දිනවල රජගහ නුවරට වැඩ සිටි සේක.  බිම්බිසාර රජතුමාගේ වේලුවනයේ,  උන්වහන්සේ රජතුමාගේ අනුග්‍රහයෙන් විසූ සේක.  ඒ අවස්ථාව වන විට ලොවට රහතුන් වහන්සේලා හැට එක් නමක් බිහි වී තිබුණි.  බුදු රජාණන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුතු අනුව, ඒ රහතුන් වහන්සේලා නොයෙක් දිසා වලට බුදු රජාණන් වහ්න්සේ විසින් පිටත් කර හරින ලදහ.  උන්වහන්සේලා අතර අස්සජි තෙරණුවෝද වූහ. 

'ගැලවීම' සොයා දඹදිව තලයේ ඇවිදින උපතිස්සට ශාන්තව වඩින්නාවූ අස්සසජි තෙරණුවෝ හමු විය.  උන්වහන්සේගේ ශාන්ත භාවයෙන් පැහැදුණු උපතිස්ස මෙවන් ශාන්ත භාවයෙන් යුතු පැවිද්දෙක් මීට පෙර මා දැක නොමැත.   මුන්වහන්සේ අර්හත් කෙනෙක් විය යුතුය  උන්වහන්සේ  කා යටතේ පැවිද්ද ලබා ඇත්දැයි මා විමසා සිටිය යුතුයැයි උපතිස්සට කල්පනා විය.    පිඬු සිඟා වැඩි අස්සජි තෙරුන් වහන්සේ දානය වැළඳීමට සුදුසු ස්ථානයක් සොයන බව දුටු උපතිස්ස, සිය තාපස අසුන අස්සජි තෙරුන් වහන්සේට පිලිගන්වා පානීය ජලයද පිලිගැන්වූ සේක. 

  ඉක්බිතිව “ .. ඔබගේ ගමන ශෝභනය, සිරුර පියකරුය... ඔබගේ ගුරුවරයා කවරෙක්දැයි විචාලේය.   

“…ශාක්‍ය වංශයෙන් පැවතෙන්නාවූ,  නමුත් ශාක්‍ය වංශය හැරදමා පැවිදි වූ ලොව්තුරු බුදු රජාණන් වහන්සේ මාගේ ගුරුවරයාය...  මා අනුගමණය කරන්නේ උන්වහන්සේගේ ධර්මයය... අස්සජි තෙරණුවෝ පිලිතුරු දුන්හ.  

“..ඔබගේ ගුරුවරයා දේශනා කරන්නේ කුමන අන්දමේ ධර්මයක්ද?...” උපතිස්ස පෙරලා විචාලේය.
  මේ ප්‍රශ්නයත් සමගම අස්සජි තෙරුන් මඳක් කල්පනා කාරී විය.  මේ තාපස වරු බුදු රජාණන් වහ්න්සේගේ ධර්මය පිලිනොගනිති..  ඒ නිසා මෙසේ පිලිතුරු දුන්හ. 

“…මමද මේ සසුනට නවකයෙක් වෙමි.  උන්වහන්සේගේ ධර්මය මට දීර්ඝ වශයෙන් විස්තර කිරීමට අපහසුය….”

  උපතිස්ස එයින් සෑහීමකට පත් වූයේ නැත.  

" මිතුර, මගේ නම උපතිස්සය.  ඒ ධර්මය වටහා ගැනීම මා සතුය.  ඔබට හැකි අන්දමට වචන සියයකින් හෝ දහසකින් මට ප්‍රකාශ කල මැනව...

 මදක් කල්පනා කල අස්සජි තෙරණුවෝ පාලි ගාථාවකින් බුදු රජාණන් වහන්සේගේ හේතුඵල දහම උපතිස්සට මේ අන්දමට ප්‍රකාශ කලේය

යේ ධම්මා හේතුප්පභවා
තේසම් හේතුම් තථාගතෝ ආහ -
 තේසංචා යෝ නිරෝධෝ
ඒවම්වාදී මහා සම්ණෝ තී

. බුදු රජාණන් වහන්සේගේ ධර්මය මෙසේ සම්පිණ්ඩනය කොට දේශනා කලහ.  

(පසු කලෙක මේ ගාථාව බෞද්ධ සාහිත්‍යයේ ඉතා ප්‍රසිද්ධ ගාථාවක් විය.  සැරියුත් මහ රහතන් වහන්සේට බුදුදහම හඳුන්වා දුන් ගාථාව ලෙසටත් අස්සජි තෙරණුවන්,  සැරියුත් මහ රහතන් වහන්සේගේ ගුරුවරයා සිහිවීම පිණිසත් මේ ගාථාව ප්‍රමුඛ ස්ථානයක් ගනියි.)

     ප්‍රථම පේලි දෙක ශ්‍රවණය කිරීමත් සමගම උපතිස්ස සෝථාපන්න විය. අවසන් පද දෙක ශ්‍රවණය කලේ සෝථාපන්න වූ ශ්‍රාවකයෙකු ලෙසිනි.  උපතිස්ස ප්‍රීතියෙන් පිනා ගියේය. 

ඒ ප්‍රීතියත් සමගම, “..පින්වත් තෙරණුවන් වහන්ස, මම ඒ ධර්මය කෙබඳු දැයි වටහා ගතිමි.  මේ ශ්‍රාස්තෘන් වහන්සේ දැනට කොතනක වැඩ සිටිත් දැ යි අස්සජි තෙර්ණුවන්ගෙන් විචාලේය. 
 
“..උන්වහන්සේ වෙළුවනයෙහි වැඩ සිටින සේක..” යැයි අස්සජි තෙරණුවෝ ප්‍රකාශ කලහ.  

“..එසේ නම් ස්වාමීනි, ඔබවහන්සේ කැමති පරිදි වඩිනු මැනැවි.  මම මගේ මිතුරු කෝලිතට 'ගැලවීම' හමු වූ විගස ඔහුට දන්වන බවට ශපථ වීමි.  ඔහුට දන්වා මම ඔබගේ ශාස්තෲන් වහන්සේ හමුවීමට යන්නෙමැ…”යි වදාලහ.  

උපතිස්ස අස්සජි තෙරණුවන්ගේ දෙපා මුල දණගසා නමස්කාර කොට කෝලිත සොයා පිටත්විය.  කෝලිත දුර එන උපතිස්ස දුටුවේය.  වෙනදා නැති ප්‍රීතිමත් ස්වභාවයක් මා මිතුරු උපතිස්ස කෙරෙහි ඇත.  සත්‍ය වශයෙන්ම හේ ගැලවීම සොයාගෙන ඇත. බව කෝලිතට සිතිණ.

  කෝලිත, ගැලවීමේ මාර්ගය මට හමුවිය..   වශයෙන් අස්සජි තෙරණුවන් හමුවීමේ විස්තරය පවසා අස්සජි තෙරුන් වදාල ගාථාවද ප්‍රකාශ කලේය.  ඒ ගාථාව සජ්ජායනාව අවසානයේදී කෝලිතද සෝතාපන්න විය.  කෝලිත, ප්‍රථමයෙන් අපි අපේ දැනට සිටින ගුරුවරයාට මෙපුවත පැවසිය යුතුය.  ඔහුත් කැමති නම් අපි ඔහුද බුදු රජාණන් හමුවට යා යුතුය...  මේ මිතුරන් දෙදෙන සංජය හමුවට ගොස් අස්සජි තෙරුන් හමු වීමත් බුදු රජාණන් වහන්සේ හමුවට යන බවත් පවසා සංජයටත් පැමිණෙන ලෙස අයැද සිටියෝය.  නමුත් සංජය ඊට එකහෙලාම විරුද්ධ විය.   

මෙතෙක් සසර  පුරා අනේක කල්ප ගනනක් සැරිසැරූ මේ මිතුරන් දෙදෙනා,  සංජයගේ විරුද්ධත්වය මධ්‍යයේ, මේ අවසන් භවයේ බුදු රදුන් හමුවට පා නැගූවෝය.   

ඊළඟ කොටස ලඟදීම...

4 comments:

පොඩිගමයා said...

ගාථාවේ අර්ථයත් ලීවවා නම් තවත් හොඳයි.

Chanaka Aruna Munasinghe said...

@ පොඩිගමයා

ගාථාවේ තේරුම:

හේතුවෙන් උපදින යම් ධර්මයක්‌ වේද, එහි හේතුව තථාගතයන්වහන්සේ වදාළහ. ඔවුන්ගේ යම් නිරෝධයක්‌ වේද, එයද වදාළහ. මහා ශ්‍රමණ තෙමේ මෙබඳු වාද (දේශනා) ඇත්තේය

මෙය හේතුඵල ධර්මය ( පටිච්ච සමුප්පාදය ) - ගැන ඉතාම ලුහුඬින් (abstract) කීමක්.

සරත් ගුණතුංග said...

චානක පුතේ අඩුව පිරෙව්වාට බොහොම පින්.

පොඩිගමයා said...

ඔව් ඔව් පටිච්චසමුප්පාදයම තමා (උදාහරණ නැතිව නය ක්‍රමයට) කියල තියන්නෙ. ප්‍රඥාවන්තය නිසා ඉවර කරන්නත් කලින්ම වටහ ගත්ත ගත්ත බවනේ කියන්නෙ.