Wednesday, October 12, 2011

වහා අවසන් කළ යුතු ප්‍රචණ්ඩ සංස්කෘතිය..


ප්‍රචණ්ඩත්වය අපේ පරම්පරාවේ කිසිවෙකුටත් අළුත් අත්දැකීමක් නොවේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ නිදහසින් පසු බිහි වූ සෑම රජයක්ම ප්‍රචණ්ඩත්වය අඩු වැඩි වශයෙන් භාවිතා කළ බව නොරහසකි. එපමණක් නොව ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය කරණය කිරීමටත්, එය විඳ දරාගෙනම ජීවත් වීමටත් සාමාන්‍ය ජනයාට බල කෙරෙන සමාජ දේශපාලන වාතාවරණයක් දීර්ඝ කාලයක් මුළුල්ලේ අත් විඳීමටත් තරම් අපි අවාසනාවන්ත වීමු. එකිනෙකා කෙරෙහි කිසිදු ගරුත්වයක් නැති මුග්ධ ජන කොට්ඨාසයක් බවට අපව ක්‍රමයෙන් පත් කර ඇත්තේ මේ දීර්ඝ කාලීන ප්‍රචණ්ඩත්වයයි.
ප්‍රචණ්ඩත්වය කාට එරෙහිව යොදා ගත්තද එය වැරදි පූර්වාදර්ශයකි. වඩාත් ඈත අතීතයට නොගොස් 70 දශකයෙන් මෙපිට ගැන පමණක් කථා කළත් ප්‍රචණ්ඩත්වයෙන් තොර දිනක් සොයා ගැනීම කිසිවෙකු නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගන්නාක් වැනි දුර්ලභ ක්‍රියාවකි. ජාතියක් වශයෙන් අප විසින් සිදු කළ නොසලකා හැරීම්, සමාව දීම්, සාධාරණීකරණය කිරීම් නිසා කෙමෙන් වැඩුනු ප්‍රචණ්ඩ සංස්කෘතිය දැන් ඇත්තේ සමාජයේ ඉහල ස්ථරයන් රිදවන මට්ටමේය. මෙයට මීට වඩා වර්ධනය විය හැක්කේ මට පෙනෙන හැටියට නම් රටේ නායකත්වයට එරෙහිව පමණි.
1970 වන විට පීඩනයට පත්ව සිටි උගත් ගැමි තරුණයන් සහ ගොවීන් ඇතුළු පීඩිත පන්තියේ කැකෑරෙමින් තිබූ ප්‍රශ්න සිය වාසියට හරවා ගත් ජනතා විමුක්ති පෙරමුණ මෑත ඉතිහාසයේ සමාජ හෘද සාක්ෂිය දැඩිව කම්පනයට පත් කළ ප්‍රචණ්ඩ දේශපාලන රැල්ලක් ආරම්භ කළ විට එවක රජය කළේ ඊට කිසිසේත් නොදෙවෙනි වන සේ එම ප්‍රචණ්ඩත්වය සමාජයට මුදා හැරීමයි. සමාජයේ කාලයක් තිස්සේ නොසලකා හරිමින් තිබූ ප්‍රශ්න ඔඩු දුවන ලද පිළිකාවක් බවට පත් වන තෙක් බලා සිටීම නිසාම මීලඟ ප්‍රචණ්ඩ කැරැල්ල ආරම්භ වූයේ උතුරු නැගෙනහිර දමිළ ජනයා අතරිනි. 71 කැරැල්ලේ දී එයට එක්වූවන්ට එරෙහිව මුදා හරින ලද ප්‍රචණ්ඩත්වය ඊය වඩා සිය දහස් ගුණයකින් වැඩි කොට දමිළ බෙදුම්වාදය විසින් සහ එයට එරෙහිව මුදා හරින ලදි. මේ ප්‍රචණ්ඩත්වය නිමවීමට වසර 30ක්ම ගත වෙත්දී ඒ හා සමාන තවත් ප්‍රචණ්ඩත්වයක් විවෘත ආර්ථිකයත් සමගම 1977 සිට සමාජය වෙළා ගෙන තිබේ.
71 කැරැල්ල ඇතිවෙද්දී කැරැල්ලට සහාය දුන් පිරිස් තමන් මුහුණ පා සිටින දුක්ඛිත තත්ත්වය හා අපේක්ෂා භංගත්වය ගැන හද සසළ වන සුළු කතාන්තර කියමින් ප්‍රචණ්ඩ දේශපාලන ගමන සාධාරණය කරන අතර තුරේ 2/3 ක බලයක් ඇති ආණ්ඩුවකට එරෙහිව කොල්ලන් කිහිප දෙනෙක් විසින් කළ නොපනත් කමට දඬුවම් දීම සාධාරණ යැයි කියමින් කැරැල්ලට එරෙහි ප්‍රචණ්ඩත්වය ද සාධාරණී කරණය කරනු ලැබිණ. 88-89 යුගයේ වූයේද මේ ටිකමය. 1970 දශකයේ අග භාගයේ සිට එල්.ටී.ටී.ඊ ය විසින් සිදු කළ ප්‍රචණ්ඩ ක්‍රියා දමිළ ජන සමාජය සහ ඇතැම් දකුණේ කොටස් සාධාරණීකරණය කළේ දමිළ ජනයාගේ සාධාරණ අයිතීන් ගැන සිංහල බහුතරයක් ඇති රජයන් නොසලකා හැර ඇති බව කියමිනි. 1983 දී කොළඹ සහ තවත් නගර කිහිපයක වූ ලජ්ජා සහගත ජාතිමාමකප්‍රචණ්ඩ ක්‍රියා සාධාරණී කරණය කරන ලද්දේ මිය ගිය හමුදා සෙබළුන්ටද නිග්‍රහ කරමිනි. 2009 දී යුද්ධය අවසන් වූයේ සාමයෙන් නොව යුද්ධයෙනි. යුද්ධයම ප්‍රචණඩත්වයකි. අඩු ගණනේ ඒ වන විට රට මුහුණ පා තිබූ අවදානම ගැන සලකා අපි සියල්ලෝම එම ප්‍රචණ්ඩ යුධ විසඳුම සාධාරණීකරණය කළෙමු.
1977 දී හඳුන්වා දුන් විවෘත ආර්ථිකයත් සමග එකිනෙකා මරා ගන්නා ආර්ථික යුද්ධයක් ඇති වූ බව අපි සැවොම දනිමු. මේ ආර්ථික අවස්ථා වල ඇති නීත්‍යානුකූල භාවය හෝ එයින් ඇති වන ප්‍රතිවිපාක ගැන නොසලකනු ලැබූ අතර තමතමන් ට ලැබුණු අවසථා ආරක්ෂා කර ගැනීම සඳහා එකිනෙකා පරයා ප්‍රචණ්ඩත්වය යොදා ගනු ලැබූයේ පාතාල,කප්පම් කල්ලි හරහාය. තමන්ට ලැබෙන ඡන්ද ගණන ගැන පමණක් සිතූ අවස්ථා වාදී දේශපාලඥයෝ වැඩෙමින් පවතින ප්‍රචණ්ඩත්වයට ආශිර්වාද කලහ. මේ මහා ප්‍රචණ්ඩතවය සෑම විටම පාවිච්චි කරණ ලද්දේ සමාජයේ බලයක් නැති, හඬක් නැති මිනිසුන්ට එරෙහිවය. ඒ නිසා නීතිය ආරක්ෂා කරන ඉහල නිලධාරීන්, දේශපාලනඥයන් හා ඔවුන් සමග යම් යම් සම්බන්ධ කම් පවත්වා ගැනීමට හැකියාව තිබූ සමාජයේ මධ්‍යම පන්තියට අයත් පිරිස් මේ ප්‍රචණඩත්වය දෙස බලා සිටියේ මන්දෝතසාහීවය.
මධ්‍යයම පන්තියට ඇහැරුණේ මෙම නව ප්‍රචණඩත්වය සිය නිවෙස් බලා පැමිණි පසුවයි. සමාජයේ මෙතෙක් වැදගත් තනතුරු දැරූ අධිකරණ විනිශචයකාරවරුන්, නීතීඥයන්, වෛද්‍යවරුන් ,ගුරුවරුන් වැනි විවිධ තරාතිරම් වල අයට එරෙහිව ප්‍රචණ්ඩත්වය එල්ල වන විට ඔවුන් මේ දේශපාලන රැල්ල වෙනස් කිරීම සඳහා ඉදිරිපත් වූහ. 94 දී සිදුවූයේ මෙයයි.
1994 දී මහ මැතිවරණයට ඉදිරිපත්වූ පොදු ජන එක්සත් පෙරමුණේ පොරොන්දුව වූයේ සාමය හා සමෘද්ධියයි. ජනයා රොද බැඳ ගෙන ඡන්දය පාවිච්චි කළේ සාමය හා සමෘද්ධිය වෙනුවෙනි. මෙතෙක් කල් ක්‍රියාත්මකවූ දූෂිත ක්‍රමය වෙනස් වනු ඇති බවත් සමාජය වඩාත් සාධාරණ හා ශිෂඨ සම්පන්න එකක් වනු ඇති බවත් පොදු ජනයා - විශේෂයෙන්ම මධ්‍යම පන්තිකයා විශ්වාස කළේය. නමුත් සිදු වූයේ කුමක්ද? එ.ජා.පයේ පාතාල හා කප්පම් කල්ලි වෙනුවට පොදු පෙරමුණට සම්බන්ධ පාතාල හා කප්පම් කල්ලි බිහිවීමයි. එ.ජා.ප යේ ජනාධිපතිවරණයකින් පත්වූ අවසන් ජනාධිපති වරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාතාල සබඳතා ගැන උදේ හවස රැස්වීම් වල කථා කළ පොදු පෙරමුණේ නායකයින් බොහෝ දෙනෙක් පාතාලය සමග සම්බන්ධතා පවත්වා ගත්තේ පවතින මැතිවරණ ක්‍රමය නිසා වෙන කරන්නට දෙයක් නැතැයි කියමිනි. වඩාත් ලජ්ජා සහගත කාරණය වන්නේ සෑම විටම මැර බලයට හා දූෂණයට එරෙහිව කථා කළ හා ඒවා නිසා වැඩියෙන්ම පීඩනයට ලක්වූ පොදු පෙරමුණේ ජනාධිපතිණිය ගේ ආරක්ෂක ඒකකයේ පාතාල සාමාජිකයින් සේවය කිරීමයි. එමෙන්ම ඇයගේ පාලන කාලය අවසන් වූ පසුව ඇයට එරෙහිව වංචා දූෂණ චෝදනා එල්ල කොට ඇය දඩයකටද යටත් කරනු ලැබුවාය.
පොදු පෙරමුණු රජය විසින් සිදු කළ යුතුව තිබූ කිසිදු ප්‍රතිසංසකරණයක් සිදු නොවීමට ප්‍රධාන හේතුවක් වූයේ රජය වෙනස් වීමත් සමග පාට මාරු කරන ලද දේශපාලනඥයන් නිසාය. එයට පෙර රජයයන් යටතේ විවිධ අපචාරයන් සම්බන්ධව හා පාතාලය සමග සබඳතා පැවැතිවීම පිළිබඳව චෝදනාවට ලක්වූ අවස්ථාවාදීන් රැසක්ම හෙමින් සීරුවේ එයට එක්වූ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තුළ වූ නිද්‍රාශීලී ප්‍රතිපත්තියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලාක්ෂණිකවූ අළුත් කුණු ගොඩවල් දෝතින් බදා ගැනීමේ පුරුද්ද නිසාත් සාධාරණ අදහස් ඇති ජනයා බලාපොරොත්තුවූ දේට හාත්පසින්ම වෙනස් මගකට එම රජය යොමු විය. නිමා වේ යැයි සිතූ ප්‍රචණ්ඩ සංස්කෘතිය දළුලා වැඩෙමින් පෙර නොවූ විරූ ලෙස වර්ධනය වූ මේ අවධියේ සිදු වූ තවත් අතිශය ජුගුප්සාජනක සිදුවීමක් නම් එතෙක් මහත් ගෞරවයට හා පිළිගැනීමට ලක්ව තිබූ අධිකරණයද ප්‍රචණ්ඩත්වයේ හා දූෂිත හස්තයෙන් කිළිටි වී යාමයි. මෙතෙක් කල් මහජනයා අතර තිබූ මතය වූයේ තමන්ට යම් අසාධාරණයක් සිදු වේ නම් අධිකරණය ඉදිරියේ දී තමනට යම් සහනයක් ලැබේ ය යන්නයි. එසේ වුවද එවක රාජ්‍ය නායිකාවගේ සම්පූර්ණ ආශිර්වාදය යටතේ පත්වූ අගවිනිසුරුවරයා මෙරට ඉතිහායේ වැඩියෙන්ම චෝදනාවන්ට හා විවේචනයන්ට ලක්වූ අගවිනිසුරුවරයා බවට පත්විය. රටේ නායිකාව පමණක් නොව අධිකරණයේ නායකයාද ප්‍රචණ්ඩ කාරී දූෂිත පිරිස් වලට අනුබල දෙන තැනට වැටුණු කළ රට ගැන කුමන කථා ද?
2005 දී මහින්ද රාජපක්ෂ මහතා බලයට එන්නේ මෙවැනි පසුබිමක් රටේ තිබියදීය. ඉතා සුළු බහුතරයකින් ජනාධිපතිධූරයට පත්වූ එතුමාට තිබුණේද සුළු බහුතරයක් සහිත පාර්ලිමේන්තුවකි. මෙම කාලයේ රට මුහුණ දුන් අභියෝල හමුවේ එන ඕනෑම කෙනෙක්ගේ සහයෝගය ලබා ගැනීම පිළිබඳව අප තුළ විරුද්ධ තාවයක් නැත. නමුත් දැන් තත්ත්වය වෙනස් වී ඇත. මහින්ද රාජපක්ෂ මහතා දෙවන වර ජනාධිපති ධූරයට පත් වන්නේ ඉතා පැහැදිළි බහුතරයක් ද සමගය. දැන් පාර්ලිමේන්තුවේ පමණක් නොව පළාත් පාලන ආයතන වලද 2/3කට වැඩි බලයක් සහිත ශක්තිමත් රජයක් පවතී. ආරක්ෂාවට ගෙවල් වල සුනඛයන් ඇති කිරීම සාමාන්‍ය යෙන් කරන දෙයක් බව සැබෑය. නමුත් සුනඛයා සපා කයි නම් ඌ බැඳ තැබීම ගෙහිමියාගේ වගකීමයි. මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව සඳහා පාතාල නායකයින් හෝ චන්ඩින් අවශ්‍ය නොවේ. මේ වන විට එතුමාගේ ජනප්‍රියතාවය ඇත්තේ ඉහලම අගයකය. එසේ නම් දැන් සිදු කළ යුත්තේ පාතාලය මර්ධනය කිරීම සහ එය සමග සම්බන්ධතා ඇති පුද්ගලයින්ට දඬුවම් කිරීමය. මේ සඳහා ගත් කාලය නම් හොඳටම වැඩිය.  මා එසේ පවසන්නේ වෙන කිසිවක් නිසා නොව මේ ප්‍රචණ්ඩත්වය දැන් එයට එළඹිය හැකි උපරිමය කරා එළඹී තිබීම නිසාය.
අපි සැවොම සාමාන්‍ය ජනතාවෝ වෙමු. අපට යමක් සිදුවුව හොත් යන්නට වන්නේ ගමේ පොලිසියටය. එතැනින් යමක් සිදු නොවුව හොත් පළාතේ ඒ.ඇස්.පී මහතාටත් එතැනින් එහාට යන්නේ නම් පළාත භාර නියෝජ්‍ය පොලිස් පතිතුමා ලඟටත් යන්නට සිදු වන්නේ සාමාන්‍ය ජනයා වන අපටය. ඒ අතරින් මා පසුව කී නිලධාරීන් දෙදෙනා ලඟට යන්නේත් යමක් කමක් දන්නා යම් බලයක් ඇති අයෙකි. ජනාධිපතිතුමාගේ උපදේශක වරු සමාන්‍ය ප්‍රශ්නයකට යන්නේ ගමේ පොලිස් ස්ථානාධිපතිතුමා ලඟට නොවේ. බොහෝ විට ඔහු පටන් ගන්නේම නියෝජ්‍ය පොලිස්පතිතුමෙකුගෙන්ය. නවතින්නේ පොලිස්පතිතුමා ලඟින් නොව ජනාධිපතිතුමා ලඟිනි. එතරම් බලවත් පුද්ගලයෙකුටත් ප්‍රචණ්ඩත්වයෙන් බේරෙන්නට බැරිනම් අහිංසක අප ගැන කවර කථාද
දැන්වත් මේ ඝාතන සංස්කෘතිය හා පාතාලය හා බැඳුනු උප සංසකෘතීන් විනාශ කළ යුතුය. නැතිනම් ආසියාවේ චිකාගෝව කොළඹ නගරය වන දිනය වැඩි ඈතක නොවේ

1 comment: