Followers

Tuesday, October 4, 2011

මඟ අතරමඟ . . .



වෙලාවටත් කලියෙන් නැගිටින එක පුරුද්දක් කරගත්ත මම සුපුරුදු විදියටම පරක්කු වෙලා අදත් ඇඳ පැලඳගෙන දුවනකොට කෝච්චිය මට ඔලොක්කුවටම වගේ කොක් හඬලාගෙන ඇවිත් ස්ටේශමේ නතර කළා . පිස්සු බල්ලෙක් එලෝගෙන  ආපුගානට දුවගෙන ආපු මම කෝච්චිය අද්දනකොටම එල්ලුනේ නොනැවතුන හතියකුත් එක්කමයි . වෙලාවට සීසන් . නැතිනම් මෙහෙමවත් එනවා බොරු . කෝච්චියට එල්ලුනු ස්ටයිල් එක හරි නැතිවදෝමන්දා ලග උන්නූ මැදිවියේ උන්දැලා දෙන්නෙක්ගේ රැවුම් මැද්දේ මම හිනාවකුත් දාගෙනම හිටපු දෙතුන් දෙනෙක්වත් තල්ලු කරගෙන නයා හුඹහට ඇදෙන ගානට කිටි කිටියේ තදවුණු පෙට්ටියේ මැද්දට යන්න ට්‍රයි එකක් දීලා පළවෙනි පොල්ල ලගින් එල්ලුණා . 

දහසකුත් එකක් වැඩ ඔළුවේ තියාගෙන ගෙදරින් පිටවුණාට දැන්නම් ඒ මොකක්වත් හිතේ නෑ . කොහෙද , කෙල්ල වගේ ඇන්ටි කෙනෙක් එනවනේ තුරුල්වෙන්න . මැරීගෙන ජැකකට සෙට්වෙන අංකල්ට ශේප් එකේ ඉඩදීලා මම අනික්පැත්ත හැරුනේ අපිට ඕවා කැප නෑ කියන්න වගෙයි . සමහර විට අංකල්ගේ තල්ලුවට මම පොඩ්ඩක් ඔරෝලා බලපු නිසාද කොහෙද ලග උන්නු නංගිටත් වැඩේ තේරිලා වගේ සිරික්කිය දැම්මේ නිකන් අයියා හරි බෝදිසත්වයා කියන්නා වගෙයි .

ගම්පහෙන් ගොඩවුණු ගමන කෝච්චිය පිලිවෙලින් හැම ස්ටේශමකම කොට කොටා ඇවිත් දෙමටගොඩට කිට්ටුකළා . බොහොම අමාරුවෙන් එල්ලිලා හිටපු මමත් අමාරුවෙන් වගේ දොර ලගට යන්න පොඩි ට්‍රයි එකක් දුන්නා .

" කොහෙද ඕයි යන්නේ . . . ? " 

අර මුලින් හේත්තුවෙන්න ආපු මැදිවියේ ගෑණු කෙනාගේ හඬින් මාව උඩ විසිවුණා .

" මේක කෝච්චියක බස් එහෙක ගෑණියෙකුට යන්න නෑ එනවා ඇගේ ඇතිල්ලෙන්න . " 

දැං ඉතිං මොකද කරන්නේ . වඳින්න යනවා තියා හිතුවෙවත් නැති දේවාලයක් ඉහේ කඩා පාත්වෙන්නයි යන්නේ . බෙල්ලෙන් පටන් ගත්තා දාඩිය බින්දුවක් පිට දිගේ බේරෙනවා මට හොදටම දැණුනා . එහෙන් මෙහෙන් ගෑණු මිනිස්සුත් ඔරෝනවා . සමහරු හිනාවෙනවා . මම කර කියාගන්න දෙයක් නැතුව ලවක් දෙවක් නැතුව බනින දිහා තක්බීරිවෙලා බලාන හිටියා . 

" මේ ගෑණියේ , නිකං බොරුවට කෑ ගහන්න එපා . මම බලාගෙන උන්නේ සේරම . මේ ළමයගේ ඇගේ ඇතිල්ලෙන්න ගියේ තමුසේනේ . "

ඔන්න ඔහොම පටන් ගත්තේ නැත්ද අර ජැකට එන්ටර් වුණු අංකල් . යාන්තන් ඇඟට ලේටිකක් ඉණුවා . දෙන්නගේ වාදේ ජයට ගියා . දැං මම පැත්තක දෙන්නා මරාගන්නවා . කරුමෙක මහත කියන්නේ දෙමටගොඩ ස්ටේශමට ඔන්න මෙන්න තියලා මේ අටමගලේ සිග්නල් නැතුව නැවැත්තුවා . එකම කාලගෝට්ටියයි . කිටි කිටියේ හිරවුණු තරමට සෙනග පිරවුණු කෝච්චි පෙට්ටිය දැං පොර මඩුවක් වගෙයි . වටේ කට්ටියත් ගේමට එන්ටර් වෙලා . ගෑණු මිනිස්සුන්ට බනිනවා . මිනිස්සු ගෑණුන්ට බනිනවා . එකම විජ්ජුම්බරයයි . කෝකටත් කියලා සබෙන් වෙන්වුණු මම ආයෙමත් මැද පොල්ල අල්ලගත්තා . විනාඩි 10 විතර නවත්තලා තිබුණු කෝච්චියත් හෙමින්සැරේ ඇවිත් දෙමටගොඩ නතර කළා . පොරකකා බහින මිනිස්සු දිහා මම ඔහේ බලන් උන්නා . සමහරු මට බහින ගමන් නක්කලේට හිනාවුණා . මට යන ගමනත් එපා වුණා . මදැයි දෙයියනේ කියලා ජොබ්කට්ටක් හොයාගන්න ඉන්ටර්විව් යන්න එළිබැස්සා . මූඩ් අප්ශට් . දැං ගියත් වැඩක් නෑ . කොටුවටම යනවා කියලා හිතාගෙන මම එහෙම්මම හිටියා .

" ඕවා ගණන් ගන්න එපා අයියේ . . . "

කරකෝලා අතැරිලා උන්නු මට උඩ විසිවෙන්න ගියේ පුංචි නිමේශයක් විතරයි . ඒපාර මොකද්ද කඩාපාත්වෙන්න යන්නේ කියලා නොහිතුණාම නොවෙයි . ඒත් ඉතිං ගවුම් කෑල්ලක් දැක්කහම අපි කවුරුත් බටර් වගේ උණු වෙනවනේ . ඇත්තටම මම හිනාවුණා . ඒත් , ඒ හිනාව ස්තූතියකටද නැතිනම් කතාවකට මුලපුරන්නද කියලානම් මට හරි හැටි තෝරාගන්න බෑ . ඒත් කොහොමෙන් කොහොමහරි අපි අතර ලොකු කතාවක් ඇතිවුණා .

" මොනවා කරන්නද නංගි . මිනිස්සුන්ගේ හැටිනේ . අපේ අය කරන දේවලුත් එක්ක බලපුවාම එක පැත්තකින් ඒ ගෑණුකෙනා එහෙම හිතන එක සාදාරණයි . "

මමත් ඉතින් අර අපේ පුරුද්දක් වුණු අනුන් වැරදී , තමන් හරි කියන තියරිය දාලා මමත් බොසත් චරිතයකට ආරූඩ වුණා .

" ඒක නම් ඇත්ත . ඒත් අයියෙ  මෙතන නම් මේ ගෑණු කෙනාගෙ වැරැද්ද . නිකන් නේ ඔය මරාගත්තේ . . . " 

ටික ටික මරදානටත් කිට්ටු කරනවා . එතනින් එහාට කරුණු කාරනා නොතිබුනෙන් මම සද්ද වහලා හිනාවක් දැම්මා කතාව අහවරයි කියන්න වගේ . ඇය කරුණාවන්ත යැයි මට හිතුණා . අවංක , බොරු ආටෝප නැති නිර්ව්‍යාජ කෙල්ලෙක් කියලා හිතුණා . මං මගේම හිතට තට්ටු කළා . එයාගේ ඇස් දෙක දිහා සමාදියකට සමවැදුනා වගේ බලාගෙන හිටියා . ලස්සනමත් නෑ . ඒත් කැත කෙල්ලෙකුත් නෙවෙයි . ඒ වෙනකොටත් මගේ හිත ඇය ගැන සිත් ඇද බැඳ ගෙන ඉවරයි .

" ඒ , මගේ පර්ස් එක නෑ . . . " 

දොර ලග උන්නු මනුස්සයා කලිසම වටේට අතගගා අල්පෙනෙත්තක් හොයන්නා වගේ පර්ස් එක  හොයන්න ගත්තා .

" මිනිහාගේ පර්ස් එකට වැඩේ දීලා වගෙයි . "

මම එයාටත් ඇහෙන්න කිව්වා . එයා මුකුත් කිව්වේ නෑ . ඔහේ බලාගෙන හිටියා . අහින්සක විදියට හිනැහුණා .

" මගෙත් පර්ස් එක නෑ . . . "

තවෙකෙක් සෙවිල්ල ඇරඹුවා .

" අනේ මගේ පර්ස් එක . මගේ හෑන්ඩ් බෑගයේනේ තිබුනේ . . . " 

ඒ ගැහැණු කෙනෙක් . 

කෝකටත් කියලා හෙමින්සිරුවේ මමත් පිටිපස්සේ සාක්කුව පැත්තට අතගෙනිච්චා . මට දැණුනේ සාක්කුවවත් පර්ස් එකවත් නෙවෙයි . අතක් . . . එහෙම්මම අල්ලගත්ත අත්දෙක අතනෑරම මෙන්න පොකට් කාරයෙක් යැයි හඬගෑයෙමි . මගේ පර්ස් එකටත් විදගෙනම මරදාන දුම්රිය ස්ථානයෙන් බැසීමට තැත් කළ හොරාව මගේ දෑතටම හසුවී හමාරයි . වටේම උන්නු සෙනග රොත්තම හොරාට ගහන්න , බනින්න , ඇදගෙන යන්න එකම එක පොරයක . හොරාගේ බෑගයෙන් පිරිමි පර්ස්  4 කුත් ගැහැණු පර්ස් එකකුත් තිබුණා . . .

මම මගේ පසුම්බිය තව ටිකක් සාක්කුවේ පතුලටම තදකළා . ඒක නැතිවූණානම් ගෙදර ගිහින් හමාරයි . අත තිබූණු සංතකයම වුණු රු 50 තිබුනේත් ඒකෙම නිසා . 

මම හොරාගෙන් මුකුත්ම ඇහුවේ නෑ . ඒත් , හොරා ගොඩාක් දේවල් කියපු එකම කෙනා මමම වුණා . ඒ කෙල්ල මුවින් නොදෙඩූ හින්දා කාටවත්ම මුකුත් නොතේරෙන්න ඇති . ඒ හැඬුම්බර මූණ මට ආයේ ආයේ පේනවා වගෙයි . 

" මට සමාවෙන්න මහත්තයෝ , මේක තමා මගේ රස්සාව . . . ඒ මගේ අම්මයි තාත්තයි  " 

මේ ඇය කිසිලෙසක මුවින් නොදෙඩූ මගේ සවනත රැවු පිළි රැවු දෙන වචන ටිකයි . ඒ ඇස් තවමත්ම මා හා කතාකරන බැවු දැනුඳු මෙන් දැනෙයි . නොසරුප් වදන් වැලක් සමගම දුම්රිය පොලිසියේ නිලදාරීන් ඇයව ඇදගෙන ගිය හැටි වේදිකාවේ බංකුවක හිඳ මම ඔහේ බලාගෙන හිටියා . ඒ ඇස් කියවලා ඉවරයක් කරන්න මම තවමත් උත්සහ කරනවා . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට . . .