Sunday, October 31, 2010

නොඇසූ කන් වලට - අපිළිවෙලට කියැවීම - 02 කොටස






කොට බිත්තියෙන් එපිටට
රැගෙන යමු රධී................

(මේ කියැවීම "උරෙයිප්පු සාප්පාඩ" කෘතියේ 'හිඳිනා රධී' සටහන පිළිබඳවයි)




"හිදිනා රධී......." අවසන ඇති සටහනට අනුව එය ලියා ඇත්තේ 2009 මැයි 22 වනදාය. ලේඩි රිජ්වේ ළමා රෝහලේ දරුවන් සමඟ සිටි හුදෙකලා මව්වරුන් වෙනුවෙනි‍. සමහරවිට මෙතැනදී දරුවන් සමඟ සිටීම යනුවෙන් සන් කරනු ලබන්නේ සැමියන් හෝ අන් කිසිවෙක් නොමැති වීම විය හැකිය. නොඑසේ නම් උතුරින් හෝ නැගෙනහිරින් පැමිණි මව්වරුන්ට බටහිරදී කිසිවෙක් නොමැතිවීම විය හැකිය. කෙසේ වෙතත් අප මෙතැනදී අවධානය යොමුකල යුත්තේ දරුවන් ඇතිව හුදෙකලා වීම හා දරුවන් නැතිව හුදෙකලා වීම අතර ඇති වෙනසට හෝ හිඩැසට යයි සිතමි.

එතැනින් අපට දරුවන් ඇතිවත්, දරුවන් නැතිවත් හුදෙකලා වීමේ ගැඹුරු ආගාධය තුළින් මතුවෙන අමනුස්ස වෙස් ගත් මනුස්ස විලාපයේ දෝංකාරය භුක්ති විඳිය හැකිය. කණ වැකෙන හඬ රැව් පිළිරැව් දෙමින් කණ් අඩිය මත නටත් නම් සුරාමතින්, කෙඳිරිල්ලක බිඳක් තබා ක්ලේමෝ එකක හෙණ හඬ පවා නිච්චියටම නොඇසෙනු ඇත. ඔබ නොදන්නවාට එම විලාපයේ දෝංකාරය අසමින් තලු මරමින් රස විඳින්නට පුරුදු වූ වෘක රැළකි.  ඔවුන් තම දිවියේ සිතූ පැතූ සම්පත් පහළ කරගත හැකි ඇලඩින්ගේ පහන ආගාධයේ පහළ කෙළවරින් එතුළට වැටී ඇති අඩිපාර ඔස්සේ ගමන් කොට තම සුරතට ගෙන පිස, දූලි පිසදා බොහෝ දේ මතුකොටගෙන හමාරය. තවත් පිස දැමීමට ධූලි ඉතිරි වී නැත. සියල්ල සුන්නද්දූලි කොට ඇතතවත් මතුකර ගැනීමට කිසිත් ඉතිරි වී නැත. රන් බිජු දමන කිකිළිය බිත්තර පිටින්ම මරා දමා ඇත.

රන් බිජු දමන කිකිළිය..........!
මේ විසල් නගරයේ
තනිවී
හුදෙකලා වී
හිඳිනා රධී.......
තුරුළු කොට ගෙන දරු තිදෙන
කොට බිත්තියෙන් එපිට ට
බැලුම් හෙලන්නේ
කවුරුන් එනතුරු ද?”
               (හිඳිනා රධී - පි. 19)

මේ හිඳිනා රධී...... උතුරෙ ගැහැණියද, දකුණේ ගැහැණියද, නැත්නම් බටහිර ගැහැණියද? මේ එක තැනකට හෝ කොටුකල හැකි ගැහැණීයකැයි නොසිතමි. හැම තැනකදීම කොටුකර ඇති ගැහැණිය යැයි සිතමි. නගරය විසල් වන්නට වන්නට හුදෙකලාව තීව්ර වී ඇත. මේ යුද්ධයේ ප්රතිඵලම පමණක්ද? හඬන්නට උරහිසක් උවමනා උන් එකෙක් දෙන්නෙක් හොයන්නට මොනතරම් අමාරුද? ගැහෙනවා එක දිගට දිගු පෝලිමක්, ඉමක් කොනක් නොපෙනෙනා තරමට.

ඉඳින් රධී.........,
දොඩන්නට බසක් නැති
අසන්නට ඉස්පාසුවක් නැති
"මිනිසුන්" සිටිනවා මෙහි.......
නිමක් නැති.

දොඩන්නට බසක් ඇති 'කුමාරිට' 'නොඇසූ කන් වලට' 'උරෙයිප්පු සාප්පාඩ' වලින් පටන් ගෙන ක්ෂණයකින් නම පවා අමතකව, ස්වයං රැකියාවක් විදිහට දේශයේ උරුමය රකින කිරල කිරි නිෂ්පාදනය කිරීමේ ආදීනව ගැන "දොඩන" ඇත්තියක හමුවී නොමැතිද? එසේත් නැත්නම් දුව ශිෂ්යත්වයෙන් පාස් කර ගැනීමට සියළු වෙර යොදා මාර යුද්ධයක නියැලෙන මවගේ විලාපයෙන් පටන් ගෙන ක්ෂණයෙන්ම ටෙලි පෙම්වතෙකු ගැන දොඩන ඇත්තියක හමුවී නැත්ද? මේ දෙඩීමයි, රධීගේ නොදෙඩීමයි අතර වෙනස කුමක්ද? නැවතත් මේ වෙනස තුල පිපෙන, පරවෙන, මැලවෙන, පරවෙන මනුස්ස සිතිවිලි වියලි මල් පෙත්තක් මෙන් පාවී යනවා විය හැකිය.

ඒත්.......
කුමාරි
ඇයි මේ ඇත්තියන්ගෙන්
නොඇසූවේ;
"ඇත්තටම
උඹ
ගලක්වත්ද?...."
අපි කියමුද
රධීට,
පනින්නට කියා
මිදුලට.........
හමුවනු ඇත
ගෝණි ගණන්
රධී පැටව්
ලස්ස ගණන්.

ඔවුන්ටත් දොඩන්නට කිසිවක් නැත. අසන්නට ඉස්පාසුවක්ද නැත. මිනිසුන් යන්නට ඉතිරිව ඇති එකම සාක්ෂිය නිහඬ විලාපයම පමණී. විලාපය නිහඬව හඬ නගන විට එය අමනුස්ස විලාසයක් ගනී. ඉතින් එය තවත් නම් දරා සිටිය නොහැක.  හඬගා හඬන්නට ඉස්පාසුවක්ද නැත. තරමටම වැඩ. මේ අමනුස්ස විලාපය නගන සොහොන් භූමියෙන් තරමකට හෝ මිදෙන්නට, අප වෙනුවෙන් වෙනත් පිරිසක් කඳුළු හෙලන්නේ නම් එය කෙතරම් සහනයක් වනු ඇද්ද? එවිට අප ඔවුන් ගැන යයි සිතා, සෝ සුසුම් මැද කඳළු වැල් හෙලන්නට හැකිවනු ඇත. නිසැකවම අපටත් සහනයක් ලැබෙනු ඇත.
කුමාරි අන්තිමට මෙහෙ කිව්වත්........

අඩුගානෙ
හෙලාපන්
එකම එක කඳුලක්.........
එතකොට
හැකිවේවි අපටත්
හෙලන්නට සුසුමක්
උඹේ කඳුල වෙනුවෙනුත්."
              (හිඳිනා රධී - පි.21)

දහස් ගණනක් ගන්ධබ්බයන් සැරිසරන, ඇඟිලි ගහන්නට ඉඩක් නැතිව කිටි කිටියේ තෙරපෙන පාළු සොහොන් බිමක සිටිනා අපිට, අපගේ ආත්මයේ අන්තිම හුස්ම පොද රැකගැනීම වෙනුවෙන් රධී ගෙන් කඳුලක් බලාපොරොත්තුව, වෙඩිඋණ්ඩ වරුසාවකින් නහවා නුඹලාව දිය කරන්නට නොගත් උත්සාහයක් නැත.
එහෙම කරලත් මුන් කඳුලක් හෙලන්නේ නැති හැටි. මුංගේ කටේ පිට්ටුද? ඇස්වල මැලියම්ද? දැන්වත් අපි ගැන හිතපල්ලකෝ බං. හෙලපං කඳුලක්. මෙච්චරකල් දැඟලුවේ ඒකට. එතකොට අපිටත් පුළුවන් හෙලන්නට කඳුලක්.

දැන්වත් අපිට නිදහස දියව්....!!!

(හිඳනා රධී චිත්රය අකුරු සෙලවීමකට ලක්කර ඇත. ගලක්, කඩතොළු වූ ගලක්, වෙඩිවැදුන ගලක්, වෙඩි වරුසාවකට මැදිවුනු ගලක්, කටු කම්බි වලින් මායිම් කල ගලක්, රධීගේ තෙරක් නොපෙනෙනා හුදෙකලාවටත්, නොසෙල්වෙන දෙතොල් වලටත්, බොඳ නොවෙනා ඇස්ගෙඩි වලටත් නිශ්චිත අර්ථ සම්පාදනය කර ඇත. අකුරු පුළුල් කිරීමට වඩා, වඩ වඩාත් පටු කිරීමට එය හේතු වුවත්, වඩාත් නිශ්චිත අදහසක් සන්නිවේදනය කිරීමේ ලා එය ඉවහල් වී ඇති බවෙකි.)

-ප්රදීප් ජයරත්න

(මගේ උපන් දිනේ මැයි 22 දා මය. හරී සන්තෝෂයි.)
 

'නොඇසූ කන් වලට' කෘතිය පිළිබඳව ලියැවුන වෙනත් ලිපි.


කුමාරිගේ වරද “පිරිමි විශ්වාස කිරීමයි.” - (මරුවා)
'නොඇසූ කන් වලට' අපිළිවෙලට කියවීම......01 කොටස - (ප්‍රදීප්)
දෙමළ මළගෙදර අඬන සිංහල කුමාරී  - (මරුවා)
නො ඇසූ කන් වලට - (ඩෝසන්)

1 comment:

Anonymous said...

niyama livillak.kaviyak wagemai.niyamai.habai kumarige kaviya kiyawan nathuwa tikak read karanna amrui.aththatama adahasak ganna amarui.