ප්ලාස්ටික් පෙට්ටියට පෙර


වටපිටාවම වියලවමින් ඉර ඔලුවට ඉහලින් මුදුන්වෙලා කොළ හැලුණු ගස් අතු අඹරවමින් තෙත පොදක්වත් නැති හුළඟ හමාගෙන එන්නේ ගුරු පාරේ දූවිලිත් අවුස්සාගෙන.ඉඳහිට ගුරුපාර දිගේ අත්ට්‍රැක්ටරයක් රතුපාට දැල් ගෝනි පුරවාගෙන යන්නේ මහ සද්දෙට.ඒ එක්කම යන හිනාවෙන් පිම්බුණ මුහුණු ඇති ගොවි ගැමියන් මවන්නේ මේ කන්නයේනම් අස්වැන්න සාර බවක චිත්‍රයක්.ඈත අනන්තය දක්වාම විහිදුන වගාබිම්වල තවමත් ලහිලහියේ අස්වැන්න ගලවමින් ඉන්නේ. මේ වතාවේනම් මාස ගණනාවක දුෂ්කරක්‍රියාවට ලැබිය යුතු කෘතගුණ සැලකීම මහී කාන්තාව ඔවුන්ට දුන්නු හැඩයක් තමයි පෙනෙන්නේ.

ටවුමේ කල්මරා අල්ලගත්තු බස් එක මාව දමාගිය පාලු ඉසව්වේ ඉඳ කිලෝමීටර කිහිපයක පාගමනින් අලුත් සේවාස්ථානයට යමින්ගමන පලමුවතාවට මගේ හිතසටහන්වුණ දර්ශන පෙළ හිත ඇඳුණු සිනමාපටයක් වාගේම තවමත් මගේ හිතේ නොනැසී පවතින්නේ.එක යායට දිගහැරිච්ච,නැවුම් සුවඳ පතුරවමින් තිබුණු ගොවිබිම් මට මතක්වුනේ “පෙරලූ නැවුම් පස”. සරු අස්වැන්නක් නෙලාගන්න මේ මිනිස්සුන්ගේ අනුන්ට යටත් නොවී විඳින වාසනාවන්ත ජීවිතය ගැන ඇතිවෙච්චි ඉරිසියාකාරි හැගීමක් එක්කම මගේ හිතට ඊළඟට නැගුනේ වහබොන්නේත් බෙල්ලේ වැලලාගන්නෙත් මේ උදවියද කියන ගැටලුව.

අලුත් නැවතුමේ වැඩ ඇල්ලීමෙන් පස්සේ අහලපහල උදවිය ගණනාවක්ම එක්ක ඇදුනුම්කම් හැදුනේ ටිකදවසකින්ම.එයින් සමහරෙක් අපේ සමාගමේ වැඩකරන්න ආපු ගමේ උදවිය වෙච්චිකොට තවත් කොටසක් අපිට ඇතැම් ගොඩනැගිලිද්‍රව්‍ය සපයපු සැපයුම්කරුවන්. ඒවගේම මේ බොහොමයක් පොඩි බිම් කෑල්ලක්වත් වගාකරන උදවිය.

ලෝකයට වැඩිමනක් විවර නොවුණු මේ සරළ ගම්මානයේ ජීවන චක්‍රයේ හැම සිදුවීමක්ම අපිට එදිනෙදා දකින්නට ලැබුනා.සති කිහිපයක් ගතවුණු තැනදී සියලුම ළූණු අස්වැන්න ගලවා අහවරවෙලා.අපේ නවාතැනෙත් , වැඩබිමේත් දෙකේම වැඩකරමින් හිටි ධර්මසිරි පහුවෙනිදා නිවාඩුවක් ඉල්ලාහිටියේ ළූණු විකිණීමට දඹුල්ලට යන්නට.

“හා ,ධර්මසිරි ,බිස්නස් එක සාරයිද ?” පහුවෙනිදා මම ඇහුවා .
“අඩුවට තමයි ආර්ථිකේ ඉන්න වෙළෙන්දෝ ගන්නේ ,හැමතැනම ඔය ගණන් තමයි ,දෙන්න පුළුවන් ගණනට දීල ආවා .”
ඒ දෙන්න පුළුවන් ගණනට අස්වැන්න විකුණා තිබුනේ වැඩි මිලක් ලැබෙනකම් කල ගමන් කිහිපයක්ම අවසානයේදී

.
සමහර අතරමැදි වෙළෙන්දන් මිලදී ගැනීම් කලේ ගමටම ඇවිත්.කොයි හැටිවෙතත් ටික කාලයක් ගතවෙද්දී අස්වනු අලෙවිය ඉවරවෙගනයි යන්නේ.හැබැයි ඒ ධර්මසිරිලාගේ මිසක,අපිට වැලිත් පසුත් ප්‍රවාහනය කරපු නිලන්තලාගෙනම් නෙවෙයි..ගෙදර අට්ටි ගැසූ අස්වැන්න තවත් කාලයක් තියාගෙන හොඳ මිලකට විකුණන තාක්කල් දුවාගන්න නිලන්තලාට ආර්ථික හැකියාවක් තිබුනා.එත් ඒ මේ ගොවිපිරිසෙන් අතේ ඇඟිලි ගණනට වඩා අඩු ප්‍රමාණයකට.

ඊළඟට එළඹෙන්නේ ධර්මසිරිලාගේඅතේ මුදල් සංසරණය වෙන කාලය.ඒ නිසාමදෝ කොහේද අ පේ සමාගමේ වැඩ කිරීම නවතා දමා තිබුනේ.ඇතැම් විටෙක ගුරුපාරේ දූවිලි අවුස්සමින් අලුත ගත්තු චීන මෝටර් බයිසිකලය පිම්මේ පැදගෙන යන ධර්මසිරි අපිට සුළුමොහොතකට පෙනී නොපෙනී යනවා .

තවත් දින කිහිපයක් ඇවෑමෙන් අපේ වැඩබිම ඉස්සරහමතිබුණු පුංචි කඩපිල ළඟ නැගුනු මහත් ඝෝෂාව මොකද්දැයි අපි විමසා බැලුවා .මහා සද්දයක් නැගෙන “අජිත් මුතුකුමාරණගේ” මලක් ගැන කියන සින්දුවක් වාදනයකරමින් එතැන තාවකාලිකව විදුලිඋපකරණ විකිණීමක් පටන් අරන් තිබුනේ දඹුල්ලේ සිංගර් ආයතනයෙන්..නානාවිධ බඩුභාණ්ඩ අටෝරාශියක් අලෙවිකරමින් තිබුණු කඩපිලේ ගැමියන් එක්රොක්වී බඩුගනිමින් හිටියා.අත්ට්‍රැක්ටර් එතැන රැස්වී තිබුනේ ගන්නා භාණ්ඩ ප්‍රවාහනයට.

නිලන්ත වැලි ලොරියක් අරගෙන ආවේ ඔය අතරේදී .
“මේ හරියට ලයිට් නැතුවත් මිනිස්සු ඔය ෆ්‍රිජ් එහෙම ගන්නේ මොකෝ නිලන්ත ?”
“හැක් ,හැක් ,හැක් ”
ඒ හිනාව නිලන්තගේ සාමාන්‍ය කථාකරන පිළිවෙල.
“ඔය මිනිස්සු ඕවා අරන් ගෙදර තියාගෙන ඉන්නවා ,ටික දවසනෙ ,මාස හයක් යද්දී ඕවා කීයකට හරි අපිටම ගන්න පුළුවන් .”
“ඇයි හැමදාම එහෙම වෙනවාද ?”
“ඕක හැම අවුරුද්දෙම වෙන වැඩක්,ළූණු ගලවනකොට තමයි වැඩියෙන් මේ පලාතට ඔය බඩු එන්නේ.මාස හයක් යද්දී ඔය විකුණපු මිනිස්සුම ඕවා ආපහු අඩුවට ගන්න එනවා .ඔය අපේ මල්ලි ලලිතුත් ලීබඩු ගෙවන්න දෙන බිස්නස් එකක් කරන්නේ.”
“හැක්,හැක් ,හැක් ,අපිටත් ඔය මොනවා හරි අරගන්න බැරියැ.”

කිව්වත් වගේ මාස තුනක් විතර යද්දී ධර්මසිරි ආයෙත් වැඩ ඉල්ලගෙන ආවා.එයිනුත් මාසයක් විතර ගිය තැනදී මගෙන් ඇහුවේ අර චීන මෝටර්බයිසිකලේ විකුණනවා ගන්නවද කියලා .
“ඉතින් හදිස්සියේ ඕක ගත්තේ ඇයි ?කන්න දෙක තුනක් ගිහින් කීයක් හරි එකතුවුනාම හිමිහිට ගන්න තිබුනනේ .”
“නෑ ඉතින් මේ කාලෙටනේ ඕව එන්නේ ”
වැඩිදුර උත්තර නොදුන්නු ධර්මසිරි කලේ අමාරුවෙන් හිනාවෙවී ඉන්න එක විතරයි .

නිලන්තගේ අනාවැකිය වගේම ගමේ මිනිස්සු හයමාසයක් යද්දී ගත්තු බඩු ටිකටික විකුණන්න පටන් ගත්තා .ඒ සමහරවිටක නිලන්තලාටත්,තවත් විටෙක ආපහු සිංගර් එකටත්.වැඩිවැඩියෙන් අපේ වැඩබිමට වැඩ ඉල්ලාගෙන ගැමියන් එන්න පටන් ගත්තා .සුළු කාලයක් රජවුන ගොවියා ආපහු පුරුදු අසීරු ජීවිතයට වැටෙන්න පටන් අරන් තිබුනේ .

මේ ලෝකේ කාපු බිස්නස් කාරයන්ට අහුවෙන,එලියටවිවරනොවුණු ගමට කොටුවෙච්චි අහිංසක ගොවියා ගලවාගන්න කිසිම ආයතනයක් ඉදිරිපත් වෙන්නේ නෑ.හැටහුටහමාරක්වුන අමාත්‍යාංශ ,සංස්ථා ඇස්කන් පියාගෙන නිදිවැදලා ,පොඩි මගපෙන්වීමක් කළහැකිනම්ජීවන තත්වය තරමක් හෝ දියුණු කරගතහැකි මේ මිනිස්සු වාර්ෂික රැවටීම්වලට ලක්වෙද්දී. ඒ වෙනුවට රජය මැදිහත්වෙන්නේ ගෝනි වෙනුවට ප්ලාස්ටික් පෙට්ටි ගෙනඒම වැනි තමුන්ටත් කරළ පැහෙන වෙනත් පියවරවලට .

ඉතින් ප්ලාස්ටික් පෙට්ටියේ දමා ප්‍රවාහනය කරන්නට අස්වැන්න නෙලනා ගොවියා ආරක්ශාකරගතහැකිනම් සහ දැනුවත් කළහැකිනම් නීති වලින්
තොරවම ඔවුන් දවසක සුදුසු නිෂ්පාදන සඳහා ගෝනි අතහැර වඩා ඵලදායී ඇසුරුම්ක්‍රමවලට නිසැකයෙන්ම යොමුවෙනු ඇති.ධර්මසිරිලා ඒ තත්වයට ගොඩනැගීම වළක්වමින් ඇත්තේ කවුරු විසින්ද?

7 thoughts on “ප්ලාස්ටික් පෙට්ටියට පෙර

  1. මේ තත්වෙනම් ලංකාවෙ කොතනත් ඔහොමයි. උඩරට පැත්තෙ එළවඵ වගාවෙදිත් සිද්ධ වෙන්නෙ ඒ දේමයි. අස්වැන්න නෙලන කාලෙ වෙද්දි තුට්ටු දෙකට බස්සන්නෙ වෙළෙන්දො. ඒත් ඒ කාලෙටම ඒ පැත්තෙ සිල්ලර කඩේකවත්, කොළඹ මාර්කට් එකකවත් ගොවියගෙන් මිළදී ගන්න තුට්ටු දෙකේ මුදලට ආසන්න මිළකට නෙවෙයි අලෙවි වෙන්නෙ. මේක සම්පූර්ණයෙන්ම වෙළෙන්ඳන්ගෙ වැඩක්. සමහර වෙලාවට හිඟයක් මවා පාල ගිනි ගණන් කරන්නෙත් වෙළෙන්දො. පහුගිය සමයෙ එහෙම වුණා. ඒත් ඊට සාපේකෂව මිළදී ගැනීමේ සාධාරණයක් ගොවියට ලැබෙන්නෙ නෑ.
    අර කිව්වත් වගේ තව කවුරු හරි ආණ්ඩුවට හිතවත් වෙළෙන්දෙක්ට කීයක් හරි හොයාගන්න තමයි මේ ප්ලාස්ටික් පෙට්ටි කතාවක්. ඒව කුළියටත් දෙනව කියල තමයි කියන්නෙ.
    මහපොළොවෙ ලබු ඇටයක්වත් යට නොකරපු එවුන් තමයි මේ විදියට මහපොළො‍ව සරු කරන මිනිස්සුන්ව හූරාගෙන කන්නෙ. දැන්නම් ඉතින් මේවට පාලයන්ගෙන් විසඳුමක් බලාපොරොත්තු වීම විහිඵවක්. එහෙම පාලකයො මේ රටේ ඇතිවෙන්නෙ නෑ මේ ක්‍රමය යටතෙ. එකම දේ හෙණ ගහපං කියල බලාගෙන ඉන්න එක විතරයි.

  2. මේ ලියපු සිදුවීම සහතික ඇත්තක් කියලා මම අත්දැකීමෙන්ම දන්නවා. උතුරු මැද ගොවි ජනතාව විතරක් නෙමෙයි. ධීවර වෘත්තියේ යෙදෙන්නන් වගේම විදේශ රැකියාවන්ගේ නියුක්තව පැමිණෙන ඇතැමුන්ගෙත් ආර්ථීක රටාව මේක තමයි.
    මේ ගැටළුව එක් අතකින් හරි මානුෂීකයි. විද්‍යුත් මාධ්‍ය මගින් විසිහතර පැයේ වපුරන පාරිභෝජනවාදී ජීවන විලාසිතා තමන්ගෙ සිහින බවට පත්කරගත් මේ මිනිස්සු මාස කිහිපයක් ගිනි අව්වෙ කරවෙලා අන්තිමට ලබාගන්න විමුක්තිය තමයි ඔය බාල වර්ගයක (ලොකුවට පේන) විද්‍යුත් උපකරණය/ ස්වර්නාභරණය හෝ යතුරුපැදිය.

    ඇත්තම කතන්දරේ නම් ගොවිතැන ආරම්භයේ ඉඳන්ම බීජ වලින්/පොහොර/කෘෂි රසායන වලින් ගොවියාව ගසාකන බහුජාතික සමාගම් අන්තිමේදී ගොවියා තම ශ්‍රමය වෙනුවෙන් ලබාගන්නා නොවටිනා සොච්චමත් තොරොම්බල් හීනයක් පෙන්නලා ගසා කනවා.

  3. ඕක හරි යන්න ඕනේ ගොවින් අතර බිහිවන විවිධ යුනියන් තුලින්. ලෝකේ ඕනෑම රටක අන්ත ධනවාදී රටක පවා තියෙනවා ගොවි සංවිධාන. බයි නේචර් ගොවීන් නුගත් හා මැටි අදහස් දරන්නන්. ඔවුන් එකා එකා ගොඩ දාන්න අමාරුයි. ඔවුන් මෙහය විය යුත්තේ සංවිධාන වී ගැටළු විසඳ ගන්න.

    අස්වැන්න අතිරික්ත පාලනය, රක්ෂණය, විකුණා ගැනීම විතරක් නොවේ කොමෝඩිටි මාකට් පවා බිහි කල හැකියි. පිටරට වල එව්වා කර ගන්නේ ගොවි සංවිධාන විසින්. මෙහෙ තමයි පෝර කෝට්ටේ ඉඳං මහජන මුදලින් ගොවියා ගොඩ දාන්නේ.

    හැබැයි ඒ ගොවි සංවිධාන නිල් රතු කොළ වෙලා බැහැ. ලංකාවේ ටිකක් හරි සංවිධානාත්මක විදිහට තම වෘත්තීය ගැටළු විසඳා ගන්නේ දොස්තර සංවිධානයයි, කොන්දොස්තර [ගැමුණු] සංවිධානයයි. කරන දේ වලට එකඟ නොවුනත් නිර් දේශපාලන යුනියන් හැටියට පැවතීම ගැන සතුටුයි.

  4. @“`Outsider“`-
    ඇත්ත මචං උඩරට එලවලු ගොවියාටත් තියෙන්නේ ඔය හෙනේ තමයි.

    @ Charmi-
    මේක බිත්තර වී මුදලටම ගන්න වෙලා තියෙන කාලයක්.මොකද දැන් පාවිච්චි කරන බීජ වලින් අස්වැන්න නෙලුවට පස්සෙ ,ඒ අස්වැන්නෙන් බිත්තර වී හදන්න බෑ.ජාන වෙනස් කරලා තියෙන්නේ.ඒ ලාභයට අමතරවයි ඔය බහුජාතික සමාගම් අහිංසක ගොවියාට හීන විකුණන්නේ.

    @ Sujeewa
    ඔවුන්ට යූනියන් හදාගන්න තියන අවස්ථාව අති සීමිතයි.ඒවා නැතුවා නෙවෙයි.ඒත් බලවත් වෙච්චි දේශපාලනයේ හෙවනැල්ලෙන් මිදිලා ස්වාධීන වීම හරි විරලයි.

ගල්ද මල්ද සමසිතින් පිළිගනිමී. වාරණ නොමැත.