Monday, September 19, 2011

තණ්හා පච්චයා උපාදානං .... පටිච්ච සමුප්පාදය 9


තණ්හා පච්චයා උපාදානං .... පටිච්ච සමුප්පාදය 9

අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !

පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙනුත්, ප්‍රතිලෝම වශයෙනුත් මෙනෙහි කරන බුදු රජාණන් වහන්සේ, තණ්හාව හේතුපාදක කොටගෙන උපාදානය උපදින බව අවබෝධ කල සේක.  තණ්හාව නිරුද්ධ වූ කල උපාදානයද නිරුද්ධ වන බව උන්වහන්සේ පැහැදිලිවම දුටු සේක.  උපාදාන යන වචනය උප යන්නෙන් ඉතාමත්, අධික වශයෙන් යන තේරුමද, ආදාන යන වචනයෙන් බඳා අල්ලා ගැනීම, එහි බැස ගැනීම යන අර්ථයද ගෙන දෙයි.  සිතේ හට ගන්නා වූ යම් ස්වභාවයක්, හෝ යම් ධර්මයක් යම් කිසි දෙයක්, කෙනෙක් තදින් අල්ලා බඳා ගනියිද, එය උපාදානය වශයෙන් හැඳින්වෙයි.  එය කොටස් හතරකට බෙදා දක්වා ඇත.  

1.කාමුපාදානය

2.දිට්ඨිඋපාදානය

3. සීලබ්බත උපාදානය

4. අත්තුවාද  උපාදානය යනු මේ හහරයි.

තෘෂ්ණාව දුරු නොකල සෑම කෙනෙකුටම ආශාවන් ඇති  වේ. මේ ආශාවන් නොයෙක් අන්දමට වර්ගී කරණය කල හැක.  අඹු දරුවන්, නෑදෑයින්, හිත මිතුරන් ආදී පුද්ගලයන්ද, ඇත් අස් ගව අදී සත්වයින්ද, ආහාර පාන ගෙවල් දොරවල් ඉඩ කඩම් ආදී පණ නැති වස්තූන්ද, කෙරෙහි ඇති වන, මේවා මට අවශ්‍යමය යන අධික තණ්හාව කාමුපාදානය වශයෙන් හඳුන්වනු ලැබේ.    ස්ත්‍රී පුරුෂ දෙපක්ශයම විරුද්ධ පාර්ශවයට ඇලුම් කරති. ආකර්ශනයක් දක්වති.   මේ දෙපක්ශයම ඇඳුම් පැලඳුම්, රන් රිදී ආභරණ,  යාන වාහන මිල මුදල් ආදී දේවල්, වලට ඇල්මක් දක්වති.  එක් එක් පුද්ගලයාගේ ඇල්ම ඒ පුද්ගලයාගේ ව්‍යක්තය (persona ) අනුව වෙනස් වේ.  සමහරු මඳ ඇල්මක් දක්වන අතර සමහරු විශාල කෑදර කමක් දක්වති.  ඒ ඔවුනොවුන්ගේ කර්මයේ ස්වභාවයයි.  වෙළඳ පොලේ ඇති වෙළඳ භාණ්ඩ නිපදවන්නා එක් එක් පුද්ගලයාගේ අභිලාශයන්ගේ තරම අනුව  ඒ ඒ භාණඩ විකිනෙන අන්දමට ඒවා සකස් කරති.  ඒ ලෝකස්වභාවයය.  වෙළෙන්දාට අවශ්‍ය,  භාණ්ඩ සැපයීමේ ආශාව නොව , ඒ භාණඩ විකිනීමෙන් ලැබෙන මුදල් වැඩි වැඩියෙන් උපයා ගැනීමේ ආශාවය.  .  මෙසේ බලන කල ලොව සියල්ලම විශාල වංචාවක් පසුපස දුවන බව පෙනෙයි.    මිහිරි ශබ්ද ද එසේමය.  සමහර  සංගීතමය ශබ්ද, මියුරු වාදන, ඇසූ විට එය නැවත ඇසීමට ආශාවක් ඇති වේ.  ගොරහැඬි නාදයක් ඇසූ විට ඒය කෙරෙහි කෝපයක් ඇති වේ.  සුවඳ විලවුන් ගැල්වීමෙන් ඒ සුවඳ විඳින්නා ආස්වාදයක් ලබයි.  ඒ සුවඳ ගල්වන ලද තැනැත්තා/තී කෙරෙහි පවා ආශාවක් උපදී.  සුවඳ විලවුන් ගැල්වීමෙන් ඒ සුවඳ පමණක් නොව, සිය පෞරුෂත්වයද වඩාත් ආකර්ශණීය වෙන බව නොරහසකි.  රසැති ආහාරවල රසය පමණක් නොව, එය පිලිවෙල කරන්නා ගැනද ප්‍රසාදයක් ඇති වේ.  රසයක් මතුවේ.  ස්පර්ශයද මේ ගනයට අයත්ය.  ස්පර්ශය නිසා ඇතිවන ආශාවන් ඒ මුලු සිරුරම අයිති කර ගැනීම දක්වා විහිද යයි.  දුම් පානය සහ මත්පැන් භාවිතය පුරුද්දක් බවට පත් වී ජීවිතයත්, මිල මුදලුත් සිය පවුල ආදී සියලු දේත් සියල්ල නැතිවෙන තරමටම උග්‍ර විය හැක. 

බීජයක් පැලවෙන කල්හි එය ඉතා පහසුවෙන් නසා දැමිය හැක.  එය මුලිනුපුටා දැමිය හැක.  එය කල් ගත වීමෙන් ලොකු මහත් වී විශාල ගසක් බවට පැමිනෙයි.  එවිට ඇතෙකුට වුව සොලවන්නට නොහැකි විය හැක.  තෘෂ්ණාවද එසේමය.  ප්‍රථමයෙන් උපදින තෘෂ්ණාව එතරම් ප්‍රබල නැත. පහසුවෙන් නැති කර දැමිය හැක.  නමුත් බලවත් වූ කල මුල් දසත ඇදී ගිය ගසක් මෙන් නැති කරලීම අපහසුය.  බලවත් තෘෂ්ණාවක් උපන් විට එය විනාශ කර ලීම එතරම් පහසු නැත.  නන්ද කුමරුන්ගේ තෘෂ්ණාව දුරු කරලීමට බුදු රජාණන් වහන්සේට පවා වෙහෙසීමට සිදු වුන බව අපට බෞද්ධ සාහිත්‍යයෙන් පෙනෙයි.  යම් අරමුණක නැවත නැවත තෘෂ්ණාව බලවත් වුවොත් එය වඩ වඩා බලවත් වීම අනිවාර්ය්යෙන්ම සිදුවන්නකි.  යම්කිසි භාණ්ඩයක් ප්‍රථම වරට දුටු කල්හි එය ලස්සනය, මනහරය, ප්‍රියංකරය ආදී වශයෙන් සිතුවිලි (සංස්කාර ) උපදී.  නැවත නැවතත් ඒ අරමුණ කරා සිත දුවන කල්හි එය අයිති කර ගැනීමේ ආශාව උපදී.  එය අන්‍යයන්ට අයිති නොවී සතු කර ගැනීම ආරක්ෂා කර ගැනීම වශයෙන් උපාදානය උපදියි.   සූදුව, මත්පැන්, ලිංගික ආශාවන්, ආහාර, මිලමුදල් ආදී ලෞකික දේ පිලිබඳ අසීමිත ආශාවන් හට ගන්නේ මෙසේය.  ප්‍රථමයෙන් උපදින්නේ වෙදනා පච්චයා තණ්හා පමණය.  ඒ අර්මුණ දැඩි ලෙස බඳා ගැනීමෙන් එහි බැස ගැනීමෙන් තණහා පච්චයා උපාදානං පහල වේ. 

දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, සහ අත්ත වාදුපාදාන වශයෙන් තුනක් සඳහන් වුවද, ධර්මයක් වශයෙන් ඒ එකක් වශයෙන් සැලකිය හැක.  ඒ තුනේම උපත දෘෂ්ටිය මත රඳා පවත්නා හෙයිනි.  දෘෂ්ටිය වශයෙන් හඳුන්වන්නේ  දෙයක්, යම්කිසි විෂයයක් පිලිබඳව තමා දරන මතය හෙවත් දැකීමයි.  දෘෂ්ටිය හෙවත් දැකීම දෙයාකාරය.  ඒ සම්‍යක් දෘෂ්ටිය ( සම්මාදිට්ඨි ) සහ මිථ්‍යා දෘෂ්ටිය (ම්ච්චා දිට්ඨි ) වශයෙනි.  සම්මා දිට්ඨි නම් යම්කිසි දෙයක ඇති සැටි ඒ ආකාරයටම දැකීමය.  ඒ දෙයම වෙනස් අන්දමට දැකීම්ට මිච්චා දිට්ඨියයි කියනු ලැබේ.  ඇති දෙයක් නැති සැටියට දැකීමත්, නැති දෙයක් ඇති සැටියට දැකීමත් යම්කිසි හේතුවක් නිසා සිදුවන්නක් වෙනත් අන්දමකට දැකීමත් මෙ ගණයට අයත් වේ.  සමහරු පිනට දීම හෙලා දකිති.  එයින් සිදුවන වැඩක් නැතැයි සිතති.  දන් දීමෙන් ඒ දෙන තැනැත්තා ගේ සිත පිරිසිදු වේ.   පිරිසිදු සිතින් දානමය කටයුතු වලට සහභාගි වන්නෝ දිව්‍යමය භවයන්හි උපත ලබති.  භාවනා කොට අභිඥා ලත් භවතුන්ට මේ බව සිය ඤණයෙන්ම දැකිය හැක.  අභිඥා නැති වුවත් භාවනාවේදී චිත්ත ඒකග්‍රතාව හොඳින් වඩන විට එබඳු දසුන් දුටු අය පිලිබඳව මෑත අතීතයේ බුරුමය සහ තායිලන්තය වැනි රටව්ලින් වාර්තා වී ඇත.  අශ්‍රද්ධාවන්තයින් මේ කරුණු පිලි නොගන්නා අතර ඔවුන්ට දහම් ඇස පහල කරවීමටද අපහසුය.   සමහරු කර්මයක් හෝ කර්මයක විපාකයක් පිලිගන්නේද නැත.  ලෝකයේ ජීවත්වන බොහො දෙනෙක් අද පංචේන්ද්‍රියයන් පිනවීමට වෙහෙස දරත්.  එය ජීවත් වීමේ පරමාර්ථය ලෙස දකින්නෝද බෞද්ධයන් අතර ඇත.  ඔවුන් සාරධර්ම අප්‍රිය කරති.  ඔවුන්ගේ ද්‍රව්‍යමය භෞතික දියුණුවට බාධාවක් ලෙසට සාරධර්ම දකිති.  අද ලොවේ ඇති ඉතාමත් කනගාටුදායක දෙයක් වන්නේ දෙමාපියන්ට නිසි සැලකිල්ලක් නොදැක්වීමයි.  සමහර ගුරුවරු පවා, දරුවන් උපන්නේ මාපියන්ගේම සතුට නිසා මිස, ඔවුන්ට ඉපදීම්ට තිබූ අවශ්‍යතාවයක් නැති බව පවසමින් දෙමාපියන්ට නොසලකා හැරීමට උල්පන්දම් දෙති.  බටහිර රටවල් වල මහලු අයට ඇත්තේ ඉතාමත් දුක්ඛිත ජීවිතයකි.  ඔවුන්ගේම දරුවන් ඔවුන්ට පිටුපා ඇත.  දෙමාපියන්ගේ අගය බුදු රජාණන් වහන්සේ නිරතුරුවම ප්‍රකාශ කොට ඇත.  සමහර අය ඇසට පෙනෙන්නා වූ මනුශ්‍යයින් සහ සතුන් හැර වෙනත් භවයන් ඇති බව නොපිලි ගනිති.    බුදු දහමේ සත්‍ය තාවය තර්කයකින් හෝ බුද්ධියෙන් විස්ඳිය නොහැක.  ඒ සඳහා අභිඥා සහිත විදර්ශනාවක් අවශ්‍යය.  බුදු රජාණන් වහන්සේ  ජීවත් වූ කාලයේද අජිත කේසකම්බල නමින් පව් පින් නොමැත, සතෙක් මැරීමෙන් සිදුවන දෙයක් නැත, එය කෙසෙල් ගසක් කැපීම හා සමානයයි පැවසූ පුද්ගලයෙක් විය.  බුදු රජාණන් වහන්සේගේ ධර්මයට අනුව 'මම' මගේය' කියා කිසිවෙක් නැත.  බුදු රජාණන් වහන්සේ යම් අවස්ථාවල 'මම' යන වචනය භාවිතා කොට ඇත.  උන්වහන්සේගේ දේශනා දෙයාකාරය.  එකක් සම්මුති සච්ච වශයෙන් හැඳින්වේ.  එනම් සාමාන්‍ය භාවිතයේ පෘතග්ජනයින්ට තේරුම් ගත හැකි වචන භාවිතාවය.  අනෙක පරමාර්ථ (පරමත්ත ) සච්චයයි.  එනම් පරම සත්‍යයයි.  පරම සත්‍යයට අනුව.  සත්වයෙක්, ආත්මයක්, හෝ වෙන අන්දමේ පිරිමියෙක් හෝ ගැහැනියක්ද නැත.   
 සත්‍ය වශයෙන් නැත්තා වූ 'මමය' මගේය, මගේ ආත්මයය වශයෙන් හඳුනා ගෙන එය කෙරෙහි තදින් බැඳී, එය කෙරෙහි තණ්හා උපදවා ගෙන සිටීම අත්ත උපාදානයයි. 
 සැප දුක් විඳිමින් සිතමින්, කියමින්, උපදින්නා වූ නොයෙක් නොයෙක් සන්තානයන්ට වහල් වෙමින්, අධිපති කම් කරමින් පවත් වන්නා වූ දෙයට ආත්මයයයි කියනු ලැබේ.   බුදු රජාණන් වහන්සේ 'මම' යයි සම්මත දෙය ඒ ඒ කොටස් වලට බෙදා බැලූ විට එය නාම රූප යන කොටස් දෙකට බෙදිය හැකි බව අවබෝධ කරගත් සේක. ඒ නාම යනු වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාණ වශයෙන් කොටස් හතරකට බෙදිය හැකි බව දුටු සේක. ඒ සියල්ල අතට හසු නොවන, ඇසට නොපෙනෙන මනෝමය කොටස් බව වටහා ගත යුතුය.  රූප යනු මේ ශරීරය බවත්, එහි අඩංගු ආපෝ, තේජෝ, වායෝ සහ පඨවි යන මහා භූත සතර පමණක් බවත් 'මම'ය මගේය කියා කිසිවක් නැති බවත් පැහැදිලිවම අවබෝධ කර ගත් සේක.  මේ බව පැහැදිලි කිරීමක් වශයෙන් රේරුකානේ නාහිමියෝ මේ උදාහරණය දක්වා ඇත.  සාමාන්‍ය ව්‍යවහාරයේ අපි ගඟ වශයෙන් ගලා යන විශාල දිය පහරකට නම් තබමු.. ඒ අදහස අනුව ගඟ යනු, ජලය නම් කලයේ තිබෙන ජලයත් ගඟ විය යුතුය.    ජලය ගලා යන බිම ගඟ නම් ජලය නැති බිමත් ගඟ විය යුතුය.  එගොඩ ඉවුර හෝ මෙගොඩ ඉවුර ගඟ නම් අනෙක් බිම් කඩවලුත් ගඟ විය යුතුය.  මෙසේ බලන විට ගඟ යනු අපේම සිතේ පවතින්නක් මිස සත්‍ය වශයෙන් පවතින්නක් නොවේ.    

යම් කෙනෙක් මේ පංචස්කන්ධයට ආශාවක් ඇල්මක් දැක්වුවහොත්, එය මගේය, මගේ ආත්මයය වශයෙන් තෘෂ්ණාවක් උපදී.  මේ දෘෂ්ටිය සත්කාය දෘෂ්ටිය  හෙවත් සක්කාය දිට්ඨි වශයෙන් හැඳින් වේ.  සක්කාය දිට්ඨිය නැති වූ විට සියලුම දෘෂ්ටි දුරු වන්නේය.    මේ අතර අබෞද්ධ වූ සමහරු 'පිරිසිදු' බව ලබා ගැනීම පිණිස නොයෙක් නොයෙක් ව්‍රත සමාදන් වී සිටිති.  දඹදිව මෙවන් අය තවමත් සිටිති.  ඔවුන් එක් එක් ව්‍රත සමාදන්ව, සුනඛ, ගව ආදී සතුන් අනුකරණය කරති.  ගවයා අනුකරණය කරන්නේ ගෝව්‍රත නමි.  සුනඛයා අනුකරණය කරන්නෝ කුක්කුර ව්‍රත නම් වේ. ඔවුන් එයින් බලාපොරොත්තු වන්නේ ශුද්ධ්ත්වයයි.   මෙය මිථ්‍යාවකි.  සීලබ්බ්බතුපාදනය කියන්නේ මෙයටය.

තව කොටසක් ලඟදීම....


No comments: