Monday 29 August 2011

මිලානෝ හීතලට මගෙ සිහින ගල් විණ...



ප්‍රාර්ථනා කරන ලද ජීවිතයත්., ගත කරන ජීවිතයත් ගැන මහා කළකිරීමකින් යුතුව මං ආයෙත් ලියන්න ගන්නවා. වරින් වර නතරවුණ ලිවීම ආයෙත් පටන් ගන්න කාලය ඇවිල්ලා කියලා මට හිතෙනවා.
ග්‍රීෂ්ම කාලය නිසාවෙන් පාලුවට ගිය මිලානෝ නගරයත්..,මා වටා දැනෙන පාලුවත්., හුදෙකලාවට ගිය වීදියක ගුප්ත නිහඬ බවත් මාව ආයෙත් ලිවීමකට පොළඹවනවා......
      මං මාවම විච්ඦේදනය කරන්න උත්සහා ගන්නවා. ඒක අමාරු වැඩක්... මුළු ආත්මය පුරාම දැනෙන්නෙ මහා හිස් බවක්. වසාගත්තු හිත්වලින්., සින්තටික් හිනාවන්ගෙන් පිරුණු යාන්ත්‍රික සමාජය තුළ මට දැනෙන්නෙ මහා වෙහෙසක්., කළකිරීමක්...
මං ඉතාලියට සංක්‍රමණය වෙලා වසර හයක් ගතවෙන මේ මොහොතෙදිත් මං ලංකාවෙ සුවඳකටත් ආදරය කරනවා.. හැබැයි ඒක මහා දේශප්‍රේමී හැඟීමකට වඩා බොහොම නිදහස්.., සෞන්දර්යවාදී, පෞද්ගලික හැඟීමක්.  ජීවිතයේ ලස්සන, වැදගත් කාලපරිච්ඡේද ගතවුණු වටපිටාවන් වලට අපි ස්වභාවයෙන් ඇළුම් කරනවා. ඒක පුදුමාකාර ළෙන්ගතුකමක්....
කොහොමවුණත් හෙට දවසෙදි මං ලංකාවට පය ගහපු දවසකට ඉස්සර සොඳුරු හෝරාවන් ගතවුණු වටපිටාවන් පසුකරගෙන යද්දි මගෙ හිතට තියුණු වේදනාවක් දැනෙන බවනම් මං දන්නවා.
    උපේක්ෂාව...........
            මං උපේක්ෂාවෙන් ජිවිතය දිහා බලන්න උත්සහා කරනවා.. ඒත් යථාර්තය මං සාමාන්‍ය පෘථග්ජන සත්වයෙක්.. බොහොම හැල හැප්පීම් වලට ලක්වුන., තැළුන., පොඩිවුණ, දුක්වුණු., සතුටු වුණ ජීවිතයෙන් ලබාගත්තේ කුමක්ද..? (අනන්ත අත්දැකීම් සමුදාය හැර). ඒක ලොකු ප්‍රශ්නාර්ථයක්..??? ජීවිතයෙන් ලබාගත්තේ කුමක්ද? ලබා ගතයුත්තේ කුමක්ද? ඒවා මට කවදාවත් උත්තර නොලැබෙන., මට නිතර හමුවෙන ප්‍රශ්ණ.
      "ලබාගැනීම්., ලුහුබැඳ යෑම් වලින් තොරව බොහොම සැහැල්ලුවෙන් ගලාගෙන යා යුතු සෞන්දර්යාත්මක ගමනක් ජීවිතය.."ප්‍රශ්ණ වලට උත්තර හොයන්න බැරි නිසාවෙන් මං ජීවිතය එහෙම නිර්වචනය කරනවා.. ඒත් මේ මොහොතෙදිත් මගේ හිත යම් යම් දේවල් ලබා ගැනීමේ අශාවෙන් පෙළෙනවා., සමහරක් දේ පසුපස හිත ලුහුබැඳ යනවා..
මේක මහ වංචාවක්..! මට මං තුළ පුද්ගල චරිත දෙකක් ජීවත් වෙන බව දැනෙනවා.
pub එකක යාළුවොත් එක්ක දොඩමළු වෙමින් එක චරිතයක් ක්‍රියාශීලී වෙද්දි., අනෙක් චරිතය දෙනෝදාහක් සෙනඟ මැද හුදෙකලාවෙම කවියකට පද අහුලනවා. මා තුළ ජීවත්වෙන ඒ පුද්ගල ආත්ම දෙකම මේ ජීවිතය තුළ තෘප්තිමත් නෑ..
බොහොම උද්‍යෝගීව ගලාගෙන ගියපු ජීවිතය මේ තරම් dull වෙයි කියලා මං කවදාවත් හිතුවෙ නෑ.
මං වටේට දැනෙන පාළුව, තනිකම මකාගන්න මං හිතට එන හැම මනෝවිකාරයක්ම ලියන්න උත්සහා ගන්නවා .
මට අන්ධකාරය මැදින් සහන් ආලෝකයක් පේනවා..! මං ඒ ආලෝකය දෙසට පියවර තබන්න උත්සහා ගන්නවා. ඒත්.., මේ මූසල පාළුවටත්, අන්ධකාරයටත් මං ආදරය කරනවා. මේ හැම දෙයක් විසින්ම මට කුමක් හෝ දෙයක් උගන්වමින් පවතිනවා..
මරදානෙ ජනාකීර්ණ වීදි., ලාබ සයිවර් කඩ.., ආනන්දය., මාතර සෙන්ට්‍රල් එක., බම්බලපිටියෙ අවන්හල්, මහජන පුස්ථකාලය, මාතර බස් නැවතුම්පොළ., නුගේගොඩ වලේ කඩේ., අමාගෙ තරු ඇස්... මේ හැම දෙයක්ම මගේ විශ්ව විද්‍යාලයන්.
වේදනාත්මක මතකයක දැවටිලා ඒ අතීතය අදටත් මට මුණගැහෙනවා..
ඇති වෙමින්., නැති වෙමින් පවතින ලෝකයක ජීවිතය ගැන ඇති කරගත යුතු බලාපොරොත්තුව කුමක්ද..?
වෙලාවකට හිතෙනවා මේ ශිෂ්ඨාචාරයෙන් පැනලා යන්න., මේ මහා රැවටීමට., මේ භෞතිකයට සමුදෙන්න. හිපියෙක් වෙලා ජීවිතේ පුරා රස්තියාදුවෙ යන්න හිතෙනවා මට...! ඒක මං පොඩි කාලෙ ඉඳන් දැකපු හීනයක්. මට ජීවිතය ගැන, ලෝකය ගැන කළකිරීමකට වඩා තියෙන්නෙ විවේචනයක්. මේ ඊනියා civilization එකත් එක්ක., මේ system එකත් එක්ක එකඟවෙන්න බෑ මට....
කොතනින් හරි ජීවිතය පටන් ගන්න ඕනි....!
             හෙට අළුත් දවසක්... මං ඒක විශ්වාස කරනවා.... .... ....
   so., I'm finding neverland........!

No comments:

Post a Comment