නීතියේ යුවතියට උන්ගා බුන්ගා කිරීම >> Gang Raping the Lady Justice

නීතියේ යුවතිය ගණිකා වෘත්තියේ යෙදවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇත්තේ ලැජ්ජා සහගත ඉතිහාසයකි. ජේ. ආර් ජයවර්ධන විසින් ස්වකීය පාදඩ බලකාය යොදවා විනිසුරුවරුන්ගේ නිවෙස් වලට ගල්මුල් ප්‍රහාර එල්ල කරවීම, දේශපාලන එදිරිවාදීන්ගෙන් පළිගැනීමට අධිකරණය යොදා ගැනීම හා චන්ද්‍රිකා බණ්ඩාරනායක – සරත් එන් සිල්වා දෙපල එක්ව සිදුකල අවිනීතකම් වැනි ක්‍රියා හේතුවෙන් රටේ නීතියට හා අධිකරනයට සිදුවූ හානිය අතිමහත්ය.

රටේ නීති තනන්නන් හා විධායකය වැරදි පූර්වාදර්ශයන් දීම ඉතාම බරපතල තත්වයක් වන්නේ මෙමගින් රටේ සාමාන්‍ය ජනතාවට නීතිය පිලිබඳ වන විශ්වාසය බිඳ වැටීමය. මෙහි ඍජු බලපෑම වන්නේ, ඕනෑම මොහොතක තමන් ගලවාගැනීමට දේශපාලන හස්තයන් පවතින බව දන්නා පාදඩයින්, නීතිය බල්ලාට දමා අපරාධ කිරීමට පෙළඹීමය. තවද නීතිය පිලිබඳ මහජන විශ්වාසය බිඳවැටුනු විට, කල දුටු කල නීතිය හැසිරවීම හා සැකකරුවන්ට දඬුවම් දීම අවේගශීලී ජනතාව තමන් වෙත පවරාගැනීමයි. මේ කිසිවක් රටක ඉදිරිගමනට සුභදායි නැත.

වසර ගණනාවකට පෙර, නීතියේ යුවතියගේ හිරි ඔතප් බිඳීමට තැත් කිරීම්, අපහරණය කිරීම් හා දූෂණය කිරීම් මට්ටමේ වූ ක්‍රියාකාරකම් මේ වන විට ඇයව සමූහ දූෂණයට ලක් කරන මට්ටමට පැමිණ තිබීම සංවේගජනකය.

මේ සඳහා ආසන්නතම උදාහරනය, රජයේ සමාගමක ලිපිලේඛන කූඨ ලෙස සකස් කරමින් යකඩ ටොන් එක්දහස් අටසිය ගණනක් ලබාගැනීමේ වංචාවේ ප්‍රධාන සැකකරු වන සුධර්මන් රදලියගොඩගේ නම හා ඔහුට එරෙහිව වූ සාක්ෂි, එම නඩුව කොටුව අධිකරණයෙන්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මාරු වන විට අතුරුදහන්ව තිබීමයි! සංවේගජනකම කරුණ මෙය හුදෙකලා සිදුවීමක් නොව, එවැනිම පිළිකුල් සහගත සිදුවීම් පෙලක පුරුකක් පමණක් වීමය.

– ස්ත්‍රී දූෂක කුඩු ජාවාරම් කරුවන්ව නීතියට ඉහලින් හිඳුවා ඔවුන් ලවා රටේ ආරක්ශාව නිරීක්ශනය කරවීම
– ඇසින් දුටු සාක්ෂි තිබියදී, චන්දන කත්‍රිආරච්චිට එරෙහි මිනී මැරුම් චෝදනා ඉවත්කර ගැනීම.
– සුසන්ත පුන්චිනිලමේ/මහින්ද රත්නතිලක වැන්නන්ගේ සියලු අපරාධ චෝදනා පිල් මාරු සමග අහෝසි කර්ම කරවීම
– මැරවින් සිවලා ලවා රටේ සම්මත නීති තඹයකට මායිම් නොකරන කැළෑ නීති රජකරවීම
– සහ දරුණු සාපරාධී අපරාධ හේතුවෙන් නීතිය මගින් වරදකරුවන් කල පුද්ගලයින්ව විධායක බලතල යටතේ මුදා හැරුනු සිද්ධීන් මේ අතරින් ප්‍රධාන තැනක් ගනී.

කුමන දේශපාලන පක්ශයක් යටතේ, කුමන රජයක් විසින් සිදුකලද හෙලා දැකියයුතු මෙවැනි ක්‍රියා හමුවේද අපගේ ජනසමාජයේ හැසිරීම සුපුරුදු පරිදිම ප්‍රාථමිකය. යම්කිසි අධ්‍යාපනක් ඇති පුදගලයන් පවා “මොනව උනත් යුද්දෙ දිනල දුන්න ආණ්ඩුවනෙ…” සහ “යූඇන්පී කාරයො ආවත් ඕකමනෙ කරන්නෙ…” වැනි තර්ක ඉදිරිපත් කරනු නිරතුරුව දැකිය හැක.

යුද්ධය දිනීම, ඕනෑම ජඩ වැඩක් සාධාරනීය කිරීමට ලබා දෙනලද සදාකාලික බලපත්‍රයක්ද? වෙනත් පැවති රජයක් හෝ අනාගතයේ පත්වන එජාප රජයක්ද [බොහෝ විට තවත් පරම්පරා ගණනකින් ;-)] වැරදි කරනු ඇති බවට කරන උපකල්පනය වර්තමානයේ වරදවා හැසිරීමට සමාවට කරුණක්ද?

යමෙක් වැරදි හැසිරීමක යෙදෙයිද, ඔහු තමාගේ කෙතරම් සමීපතමයෙකු වුවත්, ඔහු අතීතයේ කෙතරම් නිවැරදි දේ කර තිබුනත්, ඔහු කුමන තරාතිරමක පුද්ගලයකු වුවත්, ඔහු තමුන්ගේ පාක්ශිකයෙක් වුවත්; එම වරද හෙලා දැකිය යුතුය. එසේ නොවන තාක් කල්, කෙතරම් පාළම්, මහාමාර්ග, ක්‍රීඩාංගන හෝ වරායවල් ඉදි කළත්; තව තවත් ප්‍රපාතයකට මිස ඉදිරියට යා නොහැකිය.

නමුත් මෙරටේ සිදු නොවන්නේද එයයි.

සාම්ප්‍රදායික යූඇන්පී කාරයාට, කෙතරම් අමන ක්‍රියා සිදු කලද තමුන්ගේ පක්ශය ශ්‍රේෂ්ඨය, ඔවුන් බලා සිටින්නේ අලස රනිල් ඉවත්වී සජිත් එනතුරුය. (සජිත්ගේ දේශපාලන දැක්ම හා ප්‍රතිපත්ති වලින් ඔවුන්ට වැඩක් නැත.) මැතිවරණ සමයේ ජෙනරල් ෆොන්සේකාගේ අදේශපාලනික හා රාජ්‍යතාන්ත්‍රික නොවන කතාවල කිසිදු වරදක් ඔහුගේ පාක්ශිකයන්ට නොපෙනුනි. ජවිපෙ පාක්ශිකයන්ට තම පක්ශය පරමාදර්ශී වස්තුවකි. හෙළ උරුමයේ හොර උපාසකයින්ට හා ජාතික නිදහස් පෙරමුණේ වානර රැලට තමුන්ගේ රෙදි උස්සා ගෙන යකා නැටීමට අවශ්‍යවන්නේ තම පක්ශ වල ශ්‍රමණවේශ්ධාරියෙකුන් ලැබෙන සුලු ඉඟියක් පමණි.

මේ අයුරින්ම රාජපක්ශවාදීන්ට අනුව, වර්තමානයේ සිදුවන සියලු, දූෂණ, වංචා, අයථා මූල්‍ය ගනුදෙනු, මහා පරිමාන මුදල් නාස්ති හා අනේකවිධ ජඩකම් සියල්ලම යුද්ධයේ නාමයෙන් ඉවසාදරාගතයුතු කාරනාය.

එමනිසා අපගේ ජනසමාජය තුල මේ ආකාරයේ පිළිකුල්සහගත අවනීතියේ හැසිරිම් තව බොහෝ කාලයක් අත්විඳින්න සිදුවනු නොඅනුමාණය.


9 responses to “නීතියේ යුවතියට උන්ගා බුන්ගා කිරීම >> Gang Raping the Lady Justice

What do you think? Please leave a reply