Thursday, August 25, 2011

නාම රූප පච්චයා සලායතනං ... පටිච්ච සමුප්පාදය 5


නාම රූප පච්චයා සලායතනං ... පටිච්ච සමුප්පාදය 5

අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !

විභංග ප්‍රකරණයේ මෙසේ සඳහන් වෙයි.  ".. තත්ථ කතමං නාමරූප පච්චයා සලායතනං ? චක්ඛායතනං, සෝතායතනං, ඝාණායතනං, ජිව්හායතනං, කායායතනං, මනායතනං, ඉදං වුච්චති නාම රූප පච්චයා සලායතනං..."

එහි තේරුම මෙසේය. "... චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, ජිව්හායතනය, කායායතනය, සහ මනායතනය යන් මේ හය නාමරූප නිසා හට ගන්නා ආයතන වේ.."     වෙනත් අන්දමකට මේ ගැඹුරු දහම ප්‍රකාශ කරන්නේ නම්,  සිතත්, භෞතික ද්‍රව්‍යත් (Mind and matter ) නිසා ආයතන හය උපදියි.  (පූජ්ය මහාසි සයදෝව් හිමිපාණෝ - dependant origination page 60) මෙතැන සිත කියන්නේ වේදනා, සංඥා, සහ සිතිවිලි වශයෙන් දත යුතුය.  රූප ලෝකයේ ජීවින් ආයතන හය මගින් දැකීම, ඇසීම ආදී  වූ  එක් එක් විඤ්ඤාණය උපදවා ගනිති.  මේ ආයතනයෝ කියන්නා වූ දේවල් ඒ ආයතන වලට දැනෙන්නාවූ සංඥා හේතුවෙන් චිත්ත-චෛතසිකයෝ ඇති කොට  ගෙන සසර දික් කරති.  නාම රූපයන් හේතු කොට ගෙන කාම ලෝකයෙහි ආයතන සයම පහල වෙයි.  නාමරූප නැත්තේ නම් ඒ ආයතතන වලද පහල වීමක් නොමැත්තේය.  චක්ඛු විඤ්ඤාණය තනිවම නොඋපදියි.  ඒ සඳහා තවත් දෑ අවශ්‍යය.  පූර්ව කල්පනයක් ලෙසට මනසිකාරයද, දකින වස්තුව උදෙසා ඵස්ස හෙවත් ස්පර්ශයද ඒ දෙස බලා සිටීමේ චේතනාවද ( volition ) අවශ්‍යය.  මේ නිසා, වෙනත් වෙනත් ධර්මතාවයන්ගේ ඇතිබව "සහජාත පච්චයා වශයෙන් හඳුන්වනු ලැබේ.  මිනිස්සු හතර දෙනෙක් විසින් එසවිය යුතු විශාල වස්තුවක් එක මිනිසෙකු විසින් එසවිය නොහැකි සේ මේ බව තේරුම් ගත යුතුය.   

සාමාන්‍යයෙන් මෙය වටහා ගැනීම් තරමක් දුෂ්කරය.  උත්පෝත්පාදනය වන අන්දමට, අණ්ඩජය, ජලාබුජය, යන දෙකොටසට ප්‍රතිසන්ධිය සමගින්, කායායතනය සහ මනායතනය යන ආයතන දෙක පහල වේ.  ප්‍රතිසන්ධිය සමග පහල වූ මේ කුඩා රූප පිණ්ඩය, ක්‍රමයෙන් වැඩෙන්නට පටන් ගනී.  ඒ රූප පිණ්ඩය වැඩෙන්නා සේම ඇස්, කන් , නාසා දිව යන මේ අවයවයෝ පහල වෙති.  ඒ අවයව පහල වීමත් සමගම ඒ ඒ අවයව වලට අනුරූප වන පරිදි ආයතනද පහල වෙයි.  රූපය නොමැති නම් මේ ආයතන වලට පහල වීමට විධියක්ද නැත.  එමනිසා ආයතන වල ඇති වීමට හේතුව රූපයම වන්නේය.  ඉතා කුඩා කොස් ගැටයක් කපා පරීක්ෂා කොට බැලුව හොත් එහි ඇට හෝ මදුලු වෙන් වශයෙන් දකින්නට නොලැබෙයි.  ගෙඩිය වැඩෙන කල්හි කොස් ඇට, කොස් මදුලු වශයෙන් වැඩෙන බව පැහැදිලිවම දත හැක.  එසේම කුඩා ඇට්ටිගෙඩියක කටුවය, පොල් මදය කියා දෙයක් දැකිය නොහැක.  කල් යාමේදී පොල් ගෙඩිය වැඩෙනු සමගම කටුව , පොල් මදය වශයෙන් බෙදී වෙන් වෙන් වශයෙන් හඳුනා ගත හැක.  සංසේදජ, ඕපපාතික සත්වයින්ට උත්පත්තිය සමග සියලුම ආයතනයෝ පහල වෙති.  ඉන්පසු නාමරූපයන් නිසා ඒවා ජීවත් වන කාලය මුලුල්ලෙහි නැවත නැවත පහල වෙයි. 

මේ ආයතන හයට හේතු, භාව  වශයෙන් පවසන්නේ නම් ඒ චෛතසිකයෝ පනස්දෙක වන්නේය.  චිත්ත චෛතසික දෙකෙන් සිත ප්‍රධාන තැනක් ගනියි.  නමුත් චෛතසික ධර්මයක්, අධික වේගයෙන්, අධික වීර්යයෙන්, අධික උත්සන්නත්වයෙන් උපන් කල්හි, ඒ චෛතසිකය නිසා ලක්ෂ කෝටි ගනන් සිත් උපදියි.  සත්වයින්ට හමුවන්නා වූ යම් අරමුණු නිසාද, සිදුවන්නාවූ ඇතැම් කරුණු නිසාද, සමහර විට අධික ඊර්ෂ්‍යාවෙන් යුක්තව බලවත් ලෝභයද උපදී. ද්වේශයද, මානයද, මෛත්‍රීයද, කරුණාවද, ශ්‍රද්ධාවද, ප්‍රඥාවද, ප්‍රීතියද උපදී.   තවත් චෛතසිකයෝද උපදී.  රාගය යනු ලෝභ චෛතසිකයේ ප්‍රභේදයකි.    ගෙයක් තුල වෙසෙන්නවුන් ගෙයින් පිටතට යාම් ඊම් කරන්නා වූද, පිටත සිටින්නවුන් ගෙතුලට යාම් ඊම් කරන්නා වූද ස්ථානයට අපි ද්වාරයයි කියමු.  ශරීරයද, ද්වාර සයක් ඇති ගෙයක් හා සමානය. හරීරය සැරසී තිබෙන්නේ මේ ද්වාර හයෙනි.   චක්ඛු, ශ්‍රෝත ආදී පිටත ඇති අරමුණු ඒ ගෙතුලට ගැනීමට උපකාර වන නිසා ඒ ආයතනවලට ද්වාරයයි කියනු ලැබේ.    එසේම ශරීරය වටිනා කමක් ඇති, ඇලුම් කල යුතු දෙයක් වී තිබෙන්නේද මේ ආයතන-ද්වාර නිසා සිතට උපදින්නා වූ සිතිවිලි (සංඛාරා ) නිසාය.  ආයතන-ද්වාර නැති කල්හි ශරීරය ක්‍රියා විරහිත වන්නේය.  මේ ආයතන එකිනෙකට සම්බන්ධයක් නොමැති වෙන් වෙන් වශයෙන් උපදින්නා වූ ධර්ම කොටස් වශයෙන් තේරුම් ගත යුතුය.  එසේ තේරුම් නොගත හොත් සිදු වන්නේ ඉමහත් වූ මුලාවකි. 

 සතර මහා භූතයන්ගෙන් උත්පාදනය වූ මේ ශරීරය තුල ආයතන හටගනියි.  ඒ ශරීරයත්, ආයතන හයත් එකක් හැටියට සලකා වැරදි දෘෂ්ටියකට, 'මමය',’ මාගේය’,’ මා සතුය’, වශයෙන් සක්කා දිට්ඨිය ඇතිකර ගැනීමෙන් නිවනට යා නොහැකිව  සත්වයා සසර පුරා සැරිසරයි.  බොහෝ දෙනෙකුට මේ බව පොත පතින් උගත හැකිය.  නමුත් අවබෝධයෙන් දකින තුරු එය පැහැදිලිව නොවැටහෙයි. 

චක්ඛායතනය නිසා 'මම දකිමියි' යන සක්කාය (සත්කාය ) දෘෂ්ටිය ඇතිවේ.

සෝතායතනය නිසා මම අසමිය යන සක්කාය දෘෂ්ටිය ඇති වේ.

ඝාණායතනය නිසා මම ආඝ්‍රාණය කරමියයි යන සක්කාය දෘෂ්ටිය ඇති වේ

ජිව්හායතනය නිසා මම රස විඳිමි යයි යන සක්කාය දෘෂ්ටිය ඇති වේ.

කායායතනය නිසා මම සුව දුක් විඳිමි යයි යන  සක්කාය දෘෂ්ටිය ඇති වේ.

මනායතනය නිසා මම දනිමි යයි යන සක්කාය දෘෂ්ටිය ඇති වේ. 

ආයතනයන් ආයතනයන් හැටියට දැකිය යුතුය.  එසේ නැතිනම් එය අපාය බීජයක් සහ සංසාර බීජයක් වන්නේය. පටිච්ච සමුප්පාදය දත යුත්තේ ඒ නිසාය.  

කෙසේ වුවද පටිච්ච සමුප්පාදය තේරුම් ගැනීම අපහසුය.  ආනන්ද තෙරුන් වහන්සේ සසර පුරා භාග්‍යවතුන් වහන්සේ සමග සැරිසරා ලද තියුණු නුවන නිසා එක වරටම ඒ ගැඹුරු දහම වටහා ගත්තේය.  ඒ නිසා උන්වහන්සේ බුදු රජාණන් වහන්සේ හමුවේම පටිච්ච සමුප්පාදය තේරුම් ගැනීමට පහසු දහමකැයි ප්‍රකාශ කල සේක. එය එසේ නොවන බව බුදු රජාණන් වහන්සේ පෙරලා පිලිතුරු දුන් සේක. 

ආනන්ද තෙරුන් වහන්සේ පදුමුත්තර බුදුන් සමයයෙහී  බුදු රජාණන් වහන්සේගේ සහෝදරයෙක්ව, සුමන නමින් යුතු කුමාරයෙක්ව ඉපදුනි.  ඒ සමයේ ඒ කුමාරයා ප්‍රාදේශීය රාජ තනතුරක්ද හෙබවීය.  එක්තරා කැරැල්ලක් සාර්ථක ලෙස මැඩ පැවැත්වීම පිලිබඳව සුමන කුමාරයා  රාජ්‍ය ගෞරව ලැබීය. තමන්ට කැමති දෙයක් ඉල්ලීමට වරය ලද සුමන කුමරා ඉල්ලා සිටියේ වස් කාලය පුරා වට පදුමුත්තර බුදු රජාණන් වහන්සේට උපස්ථාන  කිරීමේ වරයයි.   පදුමුත්තර බුදු රජාණන් වහන්සේ සුමන කුමරුගේ අනාගතය දිවැසින් දැක, ඒ කුමරුගේ ඉල්ලීම ඉවසා වදාල සේක. සුමන කුමාරයා විශාල මාලිගා සාදවා බුදු රජාණන් වහ්න්සේටත් උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලාටත් පූජාකොට සිය බිසෝවරුන්ද කැඳවා, 'බුදු රජාණන් වහන්සේ කිසිම ලෞකික වස්තුවකට ප්‍රිය නොකරන්නාහ. උන්වහන්සේ අගය කරන්නේ ශීලය සහ අනෙක් කුසල් පමණකි.' යයි පවසා සිටි සේක.  මේ නයින් සුමන කුමාරයා දසසිල් සමාදන්ව ඒ තෙමස පුරා ශීලයෙහි පිහිටා සිටියේය.  

 බුදු රජාණන් වහන්සේගේ දෑගසව්වන් වූ කෝලිත (මුගලන්) සහ උපතිස්ස (සාරිපුත්ත ) යන යහලුවන් දෙදෙනා පවා සෝතාපන්න වීමට පෙර පටිච්ච සමුප්පාදය පිලිබඳව හරිහැටි නොදැන සිටියහ.  අස්සජි තෙරුන් දේශනා කල "යේ ධම්මා හේතුප්පභවා තේසම් හේතූම් තථාගතෝ ආහ - තේසංච යෝ නිරෝධෝ එවම් වාදී මහා සමනෝ... " මේ ගාථා ඛන්ඩයෙන් කියැවෙන්නේ සියලුම 'සංසිද්ධි', (සංස්කාරයෝ) වෙනත් සංස්කාර නිසා සිදු වෙන බවයි. ඒ යහලුවන් දෙදෙනාගේ පුණ්‍ය මහිමය නිසාම මේ ගාථා ඛණ්ඩය ශ්‍රවණය කිරීමෙන්ම සෝතාපන්න වූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය.    බුදු රජාණන් වහන්සේ මේ ගැඹුරු ධර්මය එක් එක් සත්වයාගේ ප්‍රඥා මහිමය දිවැසින් දැක ධර්මය දේශනා කරන සේක.  උපතිස්ස සහ කෝලිත යන මිතුරන් දෙදෙනා දීර්ඝ කාලීන සසර බැමි අනුව දහම තේරුම් ගන්නා බව උන්වහන්සේ දුටු සේක.   මේ ගාථා පිලිබඳව ලියැවී ඇති අටුවා වල සියලු සංස්කාරයෝ හේතූන් නිසා උපදින්නාහ, යන  ඛණ්ඩය දුක්ඛ සත්‍යය පිලිබඳව පැහැදිලි කරන බව පෙන්වයි.  'හේතූන්' වශයෙන් පෙන්වන්නේ සමුදය සත්‍යයයි.  එබැවින් මේ ගාථාවේ යමක ප්‍රතිමූර්තිය (epitomize)වන්නේ චතුරාර්ය සත්‍යයම බව පෙනෙයි.  බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන විට දඹදිව පුරා 'ආත්මය' පිලිබඳ විශ්වාසය ඉතා තදින් පැතිරී තිබුනි.  ආත්මය අමරණීය බවත්, එය දෙවියන් විසින් මවන ලද බවත් පිලිගත් සමයෙක ඊට විරුද්ධ මතයක් ඉදිරිපත් කිරීම භාරදූර කාර්යයකි. නුවණ මුහුකුරා ගිය ඇත්තන්ට එය අවබෝධ කිරීම අපහසු නොවීය.  හේතුඵල දහම, මැවුම් කාර වාදය අභිභවා නැග සිටියේය.    දඹදිව තලයම කසාවතින් බැබලුනු සමයයි ඒ.

No comments: