Wednesday, June 29, 2011

ස්වයංජාත පොතෙන් ඇරඹී ස්වයංජාතව අවසාන වීම

අද පොඩි විචාරයක් කරන්න යන්නෙ. මම බොහොම ආසාවෙන් බලපු ස්වයංජාත ටෙලිනාට්‍යය ගැන. මේ නාට්‍යය අවසානෙ මගේ හිතට ප්‍රශ්න ගොඩක් ආවා. ඒ ප්‍රශ්න ටික තමා ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ. මම දන්නෙ නෑ කොයිතරම් දුරට බ්ලොග් කියවන අය ටෙලිනාට්‍යය බලනවද, ටෙලිනාට්‍යය බලන අය බ්ලොග් කියවනවද කියල.

බ්ලොග් කියවන අය අතරෙ ඉන්නවද ස්වයංජාත ටෙලිනාට්‍යය බලපු කට්ටිය. ඒ වගේම නාට්‍යත් බලල පොතකියවල තියන අය. ස්වයංජාත ටෙලිනාට්‍යය කියන්නෙ පහුගිය කාලෙ ලංකාවෙ හැට හුටාමාරක් චැනල් වල ගිය ටෙලිනාට්‍යය අතරින් බලන්න පුලුවන් මට්ටමේ තිබ්බ එකම එක ටෙලිනාට්‍ය කියලයි මට නම් හිතෙන්නෙ. මේ නාට්‍යය නිර්මාණය කරල තිබ්බෙ සමරවීර විජයසිංහ මහතාගෙ ස්වයංජාත කියන නවකතාවෙන්. මමත් මේ නාට්‍යය පටන්ගන්නකොට මේ පොත ගැන දැනගෙන හිටියෙ නෑ. එත් නාට්‍යයේ කොටස් කීපයක් යනකොට මේ කතාව අනිත් ඒවට වඩා ගොඩක් වෙනස් එකක් බව පැහැදිලිවම පෙනුනා. ඒ වගේම මේ කතාව රූප මාධ්‍යයට නගන්න ලංකාවෙ හැටියට ගොඩක් ලොකු වෙහෙසක් අරගෙන තිබ්බා. මේ නිසාම කතාවෙ කොටස් කීපයක් යනකොටම මේ පොත කියවන්න ලොකු ආසාවක් මට ඇතිඋනා. කොහොමහරි අවසානයේ පොත හොයාගෙන කියවනකොට නාට්‍යයේ මැද හරියට ඇවිල්ල තිබ්බා.

මේ හින්දම පොත කියවනකොට කතාවෙ චරිත වලට මගේ මනසෙ ඇඳුනෙ ටෙලිනට්‍යයේ රඟපාන චරිතමයි. මේ කතාව ගොඩනැගෙන්නෙ 1920-1970 කාල වකවානුවෙ. මේ කතාවෙ මුල හරිය මෙන්න මේ වගේ. පබිලිනා හාමි කියන්නෙ දරුවන් නැති බව නිසා සිත් තැවුලෙන් සිටින කාන්තාවක්. මේ ගමේ පන්සලේ වැඩසිටිනව යක්කුටිගල හාමුදුරුවො කියල යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වෙදකම් දන්න හාමුදුරු නමක්. මේ හාමුදුරුවො මුහුනුවරින් ගොඩාක් විරූපියි. ඒ වගේම බොහොම නිශ්ශබ්ද භාවනාවට යොමුවුන කෙනෙක්. පබිලිනා හාමි දරුවෙක් ලබාගන්න බලාපොරොත්තුවෙන් මේ හාමුදුරුවන්ගේ වෙදකම් ගන්න යොමු වෙනව. කොහොමහරි අවසානයේ පබිලිනාහමිට ලැබෙන දරුව මුහුනුවරින් මේ හාමුදුරුවො වගේම වෙනව. මේ නිසා  පවුලෙන් එන අවමාන නිසා පබිලිනා වස බීල මියයනව.

අන්තිමට මේ දරුවව හදාගන්නෙ පබිලිනාගෙ නංගි එමලිනා හාමි. කතාවෙ ඉතුරු කොටස ගොඩනැගෙන්නෙ විභූතිරත්න ( මේ දරුව - ජගත් චමිල) එමලිනාහාමිගෙ දුවල දෙන්න වෙන පබාවති(  චතුරික පීරිස්)  සහ මන්ද්‍රි (නිලියගෙ නම දන්නෙ නෑ) එක්ක ගතකරන ජීවිතෙත් එක්ක.

ඉතින් මම කිව්ව වගේ පොත කියවද්දි මම මේ චරිත ඒ විදියටම හිතේ තියාගෙන තමා පොත කියෙව්වෙ. එක හුස්මට බොහොම ආසවෙන් පොත කියවල ඉවර කලා. පස්සෙ ඉතින් බලාගෙන හිටියෙ මේ කතාව රූප පෙට්ටියෙ ගොඩනැගෙන්නෙ කොහොමද කියල. අනේ.... ඒත් උනේ වෙන දෙයක්. එන්න එන්න කතාව පොතේ තියන කතාවෙන් වෙනස් වෙන්න ගත්තා. පොතේ එන විභූතිරත්නගෙ චරිතය බොහොම නිශ්ශබ්ද හිනාවත් නොවන බොහොම ශක්තිමත් ශරීරයක් තියන චරිතයක්. ඒත් ටෙලිනට්‍යයේ මේ ලක්ෂන ගොඩක් අඩු කරල තමා චරිතෙ ගොඩනැගුවෙ. පොතේ කියවෙන විභූතිරත්නගෙ ශරීර ශක්තිය ගැන නාට්‍යයේ සඳහන් උනේ නැති තරම්. ඒ වගේම නාට්‍යයේදි පොතේ තියෙන මූලික කතාවට වඩා වෙන කතා ගොඩක් එකතු කරල ඒ කතාවල් වලට මුල් තැන දීල තිබ්බ. විභූතිරත්නගෙ කතාව කියනවට වඩා අන්තිම කාලෙදි නාට්‍යය වෙන්වුනේ ලංකාවෙ ඒ කාලෙ ඇතිවෙච්ච සමාජ වෙනස ගැන කියන්න. ඒකට මේ කතාවෙ ආපු එක එක චරිත යොදා ගත්ත. හරියට ගම්පෙරලියෙ උනා වගේ. උදාහරණයක් හැටියට මන්ද්‍රී කොලඹ ගියාට පස්සෙ වෙනස්( සින්ගලෙන් කිව්වොත් "පොෂ්") වෙන එක, සමසමාජ ව්‍යාපාරය ගැන කතාව වගේ පෙන්නල දෙන්න පුලුවන්. ඒකෙ වරදක් නෑ. ඒත් එහෙම කිසිම දෙයක් පොතේ තිබ්බෙ නෑ.

මොන විදියට කතාව ගලාගෙන ගියත් අඩු තරමින් අවසානය වත් පොතේ තිබ්බ විදියට වෙයි කියල මම බලපොරොත්තු උනා. නමුත් ඒකත් ඊට හාත්පසින්ම වෙනස් විදියට තමා අවසන් උනේ.(පොතේ එන විදියට පබා සහ විබූතිරත්න එකතු වෙනව වෙනුවට ඒ දෙන්න වෙන්වෙන විදියට අංශක 360 ක වෙනසකින් තමා නාට්‍යය අවසාන උනේ)

මට තියන ප්‍රශ්නය මේකයි. නවකතාවක් රූපමාධ්‍යට ගද්දි මේ විදියට ඒ මුල් කතාවට හානි කරන එක සාධාරනද? ඒක ඒ නවකතාව කියවපු අයට කරන අසාධාරනයක් නෙමේද?

මොනව උනත් ස්වයංජාත ටෙලිනාට්‍යය ලංකාවෙ නිර්මාණය වුන හොඳම නාට්‍යය අතරට එකතුවෙනව කියන එකනම් කියන්නම ඕන. එත් කතාව වෙනස් කරපු එක තමා ගැටලුව.

අවසාන වශයෙන් මේ ටෙලිනාට්‍යයෙ තේමා ගීතය ගැන යමක් කියන්නම ඕන. විශාරද නන්දා මාලනී සහ සුනිල් එදිරිසින්හයන් විශින් ගායනා කරන මේ ගීතය මම ජීවිතේ අහපු ලස්සනම (සංගීතයෙන් විතරක් නෙමේ අර්ථයෙනුත්) ගීතයක් කියලත් කියන්නම ඕන.


මේ ගීතයේ තැනක මෙහෙම සඳහන් වෙනවා.

 "ස්වයංජාතව ඉබේ ඇතිවෙන පහන් සිතුවිල්ලක්ද ප්‍රේමය........................."

 පුලුවන් නම් උත්තරයක් දෙන්න................



ඡායාරූප උපුටාගත්තෙ ස්වයංජාත facebook page එකෙන්....
http://www.facebook.com/pages/Swayanjatha/135356236500759

15 comments:

  1. මමත් ඔය පොත කියෙව්වා.පොත කියෙව්වෙ ටෙලිය පටන් ගන්නත් කලින්.ටෙලියට වඩා පොතේ අවසානය වෙනස් නේද?මම් නම් ආස නෑ ටෙලියෙ අවසානයට.පොතේ තිබ්බ විදියට තිබ්බනම් අවසානය!.

    අවසානය කෙසේ වෙතත් ලස්සන නිර්මාණයක්.සින්දුවටත් මම් ගොඩක් ආසයි.

    ReplyDelete
  2. පාරමීදම් පුරා සපැමිණ එකට හමුවී වෙන්ව යන සද
    කියාගන්නට බැරිව ලතවෙන හැගුම් මිහිදන් නොවේ කිසිදින
    ලේ නහර ඇට මිදුලු විනිවිද රිදුම් දෙන හැගුමක්ද ප්‍රේමය
    දුරට වී ඇසිපිය නොලා බලා ඉන්නට අවසරයි
    සංසාරයේ පතා ආවෙත් එලෙසමයි

    ස්වයංජාතව හිතේ මතුවන පහන් සිතිවිල්ලක්ද ප්‍රේමය
    දෙහදකට සීමා නොවී ලයෙන් ලය සැනසිය යුතුයි
    ප්‍රේමයෙන් විශ්වයම සුවපත් කල හැකියි
    නෙතින් සසර දුක ජයගන්නට පේවී
    දහම් සරණ මිස සරණක් නැත දේවී

    ReplyDelete
  3. ගොඩක් වටින නාට්‍යයක් වගේම සින්දුවක්.සින්දුවෙ තේරුමත් එකක් යනකොට මට හිතුන ආදරයට කොච්චර පූජනීය තත්වයක් වටිනාකයක් තියෙනවද කියල.ඒත් අද සමාජයේ ආදරයට ඒ තත්වය තියෙනවද කියන එක තමයි තියෙන ගැටලුව.

    ReplyDelete
  4. ඔබ ඔය කියන කාරණය ලංකාවේ විතරක් නෙමෙයි ලෝක මට්ටමින් ගත්තත් ඔය විදිහටම තමයි සිද්ධවෙන්නේ. පොතක් ඇසුරින් නිර්මාණයක් කරද්දී බොහෝවිට අදාළ නිර්මාණකරුවා තමන්ට ඇවැසි තැන්වලින් වෙනස්කම් කරනවා.සමහර ලේඛකයින් තමන්ගේ නිර්මාණ මෙවැනි කටයුතු සඳහා නොදෙන්නේ ද මේ හේතුවෙනි.

    ReplyDelete
  5. Poth nam beluwa.drama eka balal ne.potha nam hodai

    ReplyDelete
  6. මමත් පොතයි නාට්‍යයි දෙකම බැලුවා.පොත නං මැක්සා.සාහිත්‍ය සම්සාන ගත්තු පොතක්.ඒත් නාව්‍ය නම් චොර.උඹ කිවුවට බලන්න පුලුවන් නාට්‍යක් කියලා ඒකෙ තිර රචනය, අධ්‍යක්ෂනය අන්තිම දුර්වලයි.උදාහරණයක් විදියට විභූතිරත්න‍, කුලප්පු වූ ගොනා මෙල්ල කිරීම වගේ දෙයක් මේකට එකතු කරලා (සාම්ප්‍රදායික) ආකර්ශනයක් ලබාගන්න තිබුන අවස්තාව පවා නැතිකරගෙන. කතාව ගලාගෙන යන්නෙ විභූතිරත්න හරහා උනත් මේකෙ ප්‍රධාන තේමාව වෙන කුණුහර්පයක්. කතාවෙ අන්තිමේදි පබා අහන්නවා "මහත්තයා බලාපොරොත්තු වුන සමාජ ක්‍රමේ දැන් තියනවද"කියලා(වචන හරියටම මතක නෑ, ඔයවගේ අදහසක් තමයි).මේවා සමාජවාදෙට පහර ගහන්න දාපුවා වෙන්නත් ඇති. මොකද නාට්‍ය දුවන්නෙ 'මහරජවාහිනියෙ'නෙ.

    ReplyDelete
  7. මගේ අදහසනම්... යම්කිසි නාට්‍ය රචකයකු වෙවා..ග්‍රන්ථ රචකයකු වෙවා..ඔවුන් නිර්මාන කරුවන්...
    කුමක් හො වෙවා නිර්මාන කටයුක්තක දී යම්කිසිවෙකු මුලින් නිම කරවු නිර්මාන යක් එලෙසම නැවත කිරිම නව නිර්මානයක් වන්නෙ නැහැ...එය නව නිර්මානයක් විමට නම් නිර්මාපකයාට වෙනත් මගක යායුතු වෙනවා...
    උදාහරනයක් විදිහට " පොතෙහි අවසානය සහ නාට්‍ය හි අවසානය අන්ත දෙකක් ගෙන තිබෙනවා"
    මා දකින විදිහට මෙහි යම් නව නිර්මානයක් මතුකිරිමට නිර්මාපක හොද උත්සාහයක යෙදි තිබෙනවා....
    එමෙන්ම වර්තමානයෙ උපදින බාලගනයේ නාට්‍ය අතර මෙම නාට්‍ය ප්‍රමිතිය අතින් උසස් බවකින් යුක්තයි..
    එමෙන්ම වෙශනිරුපනය සහ නළු නිලි කිහිප දෙනෙකුගෙම රඟපැම උසස් ලෙස සිදුවි තිබෙනවා..

    ReplyDelete
  8. මම මේ කථාව ගොඩක් ආසාවෙන් බැලුව. හරිම ලස්සනයි කථාව. මම පොත කියවල නැති නිසා. මීට ඉස්සරත් බ්ලොග් සහෝදරයෙක් ස්වයංජාත කථාව ගැන පෝස්ට් එකක් දාල තිබ්බ.

    මටත් හිතුන මේක අරගෙනම හරි කියවන්න කියල. ඔයාගේ පෝස්ට් එක සම්පූර්ණයෙන් කියවන්න බැරි වුනා.

    බොහොම ස්තූතියි සහෝ...

    ReplyDelete
  9. ස්වයංජාත පොත මම මෑත කාලේ කියවපු ලස්සනම පොතක්,හැබැයි ටෙලිය නං ගන්න දෙයක් නෑ. පොත කියවනකොට හිතේ මැවෙන ලස්සන සංකල්ප රූප ටික බොහොම අඳබාල හිරිකිත විදියට විනාස කරලා දාල තිබුනෙ, සරලවම කිව්වොත් තිර පිටපත සම්පූර්ණයෙන්ම අනලා තිබුනෙ.මට නම් ඒක ස්වයංජාත කියල නමක් දාපු රූපරාමු ගොඩක් විතරයි.නලු නිලියන් තෝරා ගැනීමත් සාර්ථක නෑ. බලන්න පොත කියවන කොට අපේ හිතේ මැවෙන විභූතිරත්නයි ටෙලියෙ ඉන්න විභූතිරත්නයි කොච්චර වෙනස්ද කියල.මට නම් අහසට පොලොව වගේ.පොතේ ඉන්න විභූති හොඳට ඇඟපත තියන කෙනෙක් ඒත් ටෙලියෙ?ඒ එකක් විතරයි තව ගොඩක් තියනවා පොතේ රූප එක්ක හාත්පසින්ම නොගැලපෙන දේවල්.කෙනෙකුට කියන්න පුලුවන් මේක පොතේ තියන කතව නෙවෙයි ඒක ඇසුරින් හදපු එකක් කියලා. ඒ කොහොම උනත් මම මගේ හිතේ ඇඳිල තිබුනු ලස්සනරූප ටික කැත කරගන්නෙ නැතුව තියා ගන්න ඕන නිසා ටෙලිය බලන එක අතඇරල දැම්ම...

    ReplyDelete
  10. aiyo pothanam niyamai.karumeta math ekama eka kallak baluwa drama eke.potha kaala dala.mamanam kiyawapu pothakata saadarane karala thibune gampereliya witharai.ara wasantha kotuwalla hitiya eka.ano comment keruwata sorry.meka dakkama kiyanda hithuna.

    ReplyDelete
  11. ඇත්ත එල කතාවක් අපේ අම්මා නම් ඕක මාර ආසාවෙන් බැලුවා, මම කෑලි 3 4 කට වඩා බලලා නෑ.
    පොත කියවන්න ආසාවක් නම් තියෙනවා.
    බම්බු සමාජවාදය ගැන නම් කියලා වැඩක් නෑ.

    ReplyDelete
  12. පොත නම් ගොඩාක් ලස්සනයි.මන් ආයෙ ආයෙ කියෙව්වා,ඒත් මං නාට්‍යය නම් බැලුවෙ නෑ මගෙ හිතේ ඇඳිලා තියෙන රූප නැති වේවි කියලා

    ReplyDelete
  13. පොතත් බැලුවා නාට්‍යයත් බැලුවා.අන්තිමට හිතාගත්ත කවදාවත් පොතකින් හදපු නාට්‍යයක්නම් බලන්නෙ නෑ කියලා.
    පොත ගැන අහල තිබ්බට නාට්‍යය පටන්ගන්නකම් කියවල තිබ්බෙ නෑ.එතකොටම තමයි පොතත් gift 1ක් විදිහට හම්බුනේ.මම මෑතක කියවපු ලස්සනම සිංහල නවකතාව.සමරවීර විජයසිංහ මහත්තය පුදුමාකාර ගැලපීමකින් පොතේ කතාව ඉදිරිපත් කරන්නෙ පාඨකයව පොතේ චරිත අතරට ගෙනිහිල්ලා.
    නාට්‍යය ගැන කියනවනම් මුල කොටස් ටික ලස්සනයි.පොතත් එක්ක ලොකු වෙනසක් නෑ.පස්සෙ කොටස්නම් මෙලෝ රහක් නෑ(පොත කියවල තිබ්බ හින්දද මන්ද).නමුත් නොකියම බැරි දෙයක් තියෙනව,තේමා ගීතයනම් පුදුමාකාර ලස්සනයි.හදවතටම කතාකරන පද මාලාවක් සහ සංගීතයක්.

    (පුංචි නිවැරදිකිරීමක් කරන්නම් අමනාපයක් නැත්තම්,විභූතිරත්නව හදාගන්න එමලිනා හාමි පබිලිනාගෙ නංගි නෙමේ,පබිලිනාගෙ අයිය කසාද බදින්න ඉන්න පබිලිනාගෙ හොදම යාලුව.විභූතිරත්නට අම්මෙක්ගෙ අඩුව පුරවන්න තමයි කසාදෙ ඉක්මන් කරල එමලිනා හාමිව කැන්දන් එන්නෙ)

    ReplyDelete
  14. @නදී : පොතේ තිබ්බ අවසානය හොඳයි කියල මමත් පිලිගන්නවා
    ගීතයේ පද රචනාව ටයිප් කරල දැම්මට ස්තූතියි.මමත් save කරගත්තා

    @ Isuru Sanjeewa : මමත් එකඟයි ඔය අදහසට

    @ උදාර : සරත්චන්ද්‍ර සූරීන් වැද්දට කඩුව දුන්න තැන ඉඳන් වෙලා ටියන වැඩක්නෙ මේ

    @Anoo :drama එක බලන්න ඕනනම් ITN site එකේ තියනව දැක්කා

    @Raj : අධ්‍යක්ෂනය දුර්වලයි කියන එකනම් පිලිගන්න බෑ. අන්තිම හරියෙ පොඩ්ඩක් කඩේ ගිය ලයින් එකකුත් තිබ්බ තමා.

    @ සංකල්පනා-රුවන් : අනිවා..පොත කොහොමහරි කියවන්න.
    @Harshana1985 : එකඟයි ඔය අදහස් වලට

    @Bckurera : පොත කොහොමහරි කියවන්න.

    @කඩේ හාමිනේ : පොත කලින් කියවල තියනවනම් ඒ රූප නට්‍යය බලද්දි වෙනස් වෙනවමයි.

    @saji : ඔය හැඟීම ඇතිඋනේ පොත කියවල තිබ්බ නිසාම තමා.
    කිසිම අමනාපයක් නෑ. වැ‍රැද්ද පිලිගන්නවා.නිවැරදි කලාට ස්තූතියි.

    ReplyDelete
  15. ඇත්තටම මතක හිටින ලස්සන කතාවක් අයියෙ.නැවත සිහි ගැන්වූවාට ස්තූතියි..

    ReplyDelete