Tuesday, August 9, 2011

සිහින තුනක්

1. ඇම්බසි හීනයක්

ඇම්බසියක් වගේ තැනක හිටියා මමත් හීන් නිල් ඉරි සහිත අත් දිග කමිසයක් ඇඳගෙන. ඒක හරියටම කීවොත් පිජාමාවක් වගේ රාත්‍රියට අඳින ඇඳුමක් වගේ. බොහෝ අය එහෙ මෙහේ කොරිඩෝවල ගැවසි ගැවසි නම් කතා කරනතුරු වගේ රස්තියාදු වෙමින් හිටියා. සමහරුන්ගේ මුහුණේ අධික බලාපොරොත්තු තියෙනවා දැක්ක. මමත් හිටියේ මොකද්දෝ මහ විශාල ගැලවීමක් සහනයක් වැනි දෙයක් ස්ථිරව සිදුවන්නට ආසන්න මොහොතකට ලං වූවා වැනි අභ්‍යන්තර සතුටකින්. සැහැල්ලුවකින්.

ඊළඟට මට මතකයි මම ඒ එලිමහන් කොරිඩෝවක වැතිරිලා සැහැල්ලුවෙන් නින්දකට වැටුණා. හොඳට අත පය විසුරුවල මිනිස්සු යන එන ඉස්පිරිතාලෙක ඕපීඩී එක වගේ තැනක් ඒක. නමුත් මම හොඳ තද නින්දකට වැටුණා. ඒ නින්ද ඇතුලෙත් මට දැණුනේ හරිම සැහැල්ලුවක්.

මාව එක පාරටම කවුදෝ කීද්දුව.

මම යටි අතට පොළවට ඔබාගෙන මගේ අත්වල රාමුවකට බර දී තිබ්බ මුහුණ උඩු අතට හරවල බැලුවම කවුදෝ මැදිවියේ කෙනෙක් හරියටම අරාබිකාරයෙක් වගේ උඩුකය ඇඳුමින් සැරසුණ කෙනෙක් බොහොම සුහදව මා දිහා බලං හිටියා හරියටම එයා සොයා ආව කෙනා හමු වුණා වගේම සන්තෝෂයෙන්. මට තේරුණා එයාට වැරදීමක් වුනා කියල. එයාගේ මුහුණේ සන්තෝෂය මැකී ගියා. සමා වෙන්න කියලා කියන්නා සේ මා දිහා බලාගෙනම පස්සෙන් පස්සට ගිහින් හැරිල වේගයෙන් ගේට්ටුවක් වැනි අප සිටි ස්ථානයට මිනිස්සු එන යන පටු පාරට වැටිලා ඈතට ඈතට යනවා පෙනුණා.

මට මහ තූෂ්නිම්භූත හැඟීමක් ආවා. තෝන්තු ගතියක් දැනුණා. නින්ද කැඩුණ නිසා වෙන්න ඕන.

මම ආයෙත් කැඩිච්ච නින්ද හදාගන්න වගේ පොළවට මුහුණ හරවා ගන්න හදද්දිම මා අසළම හිටි කෙනෙක් මට සුහදව ඔහුගේ මුහුණ පෙන්නුවා වගේ මම දැක්කා. ඒ එක්කම එයා මට කීවා දැක්ක නේද කෙනෙක් ගෙ නින්ද කඩලා එයා ගිය ලස්සන. අපට පුළුවන් ද ඒ වගේ කරන්න කියලා. මට එක පාරටම දැනුණා මම ඇයි ඒ මිනිහට කිසිම ප්‍රතිචාරයක් නොදැක්වූවේ කියලා. එක පාරටම මට හිතුණා ඒ මිනිහට හරි නම් වචනයක් දෙකක් කියල මගේ නින්ද කැඩුම ගැන අප්‍රසාදය පළ කරන්නට තිබ්බා නේද කියල වගේ අදහස් ගොඩක් ඔලුවට එන්න ගත්ත.

මම නැගිටල ඒ මිනිහ ඇවිද ගිය පැත්තට ඇවිද ගෙන ගියා.

මම දැක්කා ඈතින් එයා ඉදිරියටම ඇවිදගෙන යනවා. මම ඉක්මන් කරල ඔහු වෙතටම ගොස් උරයට තට්ටුවක් දැම්මා. එයා එක පාරටම මා දිහාවට හැරුණා. එයා අරාබිකාරයෙක්. හොඳට සිංහල කතා කරන්න පුළුවන් බැව් පෙනුණා. වඩාත්ම සිත් ගත් කාරණය වුනේ එතුවක් මගේ උසින්ම වගේ හිටි මේ මිනිහා එක පාරටම ලයිට් කණුවක් වගේ උස යන්න ගත්ත. මම එයාගේ ඔලුව දිහා බලං හිටියේ ලයිට් කණුවක් යට ඉඳන් ඒකෙ මුදුන දිහා බලං ඉන්නවා වගේ අමාරුවකින්. එයා හඳට වගේ කිට්ටුවෙන් මුහුණ තියං මා සමග හිනා වෙමින් මොනවදෝ දිගිං දිගටම කියං කියං ගියා මට ඒ කිසි දෙයක් තේරුණේවත් අඛණ්ඩව ඇහුණේවත් නෑ...


2. රබර් වැනි කකුල් සහිත මා...

මම අතිශය උස ගොඩනැගිලි වලින් බිමට නිරුපද්‍රිතව බිමට පනින්නෙක්.

මම හැම තිස්සෙම මගේ කකුල්වල යටිපතුල් ගැන ඒවා අස්ථිවලින් මාංෂ පේශීවලින් දණිස් කටු වලින් මගේ කලවා උකුලට සවි වී ඇති ශක්තිමත් බම්ප්වන සුළු ඉලාස්ටික් ගතිගුණ ගැන මෙණෙහි කරමින් හිටියා. සමහර වෙලාවට මටම ප්‍රශ්නයක් ඇයි මට මේ තරම් ඉහළක ඉඳලා පහලට ගුරුත්වය යටතේ වැටෙද්දිත් එහෙම වැටීගෙන පහලට ඇවිත් පොළවට පතිත වද්දීත් දැනෙන මහ විශාල කම්පනය ගැටුම මගේ කකුල්වලට ඔරොත්තු දෙන්නේ කියලා. මම පොළවට පතිත වන හැම අවස්ථාවක දීම දෙකකුල් පොළව මත ස්පර්ශ වනවාත් සමගම මම කොඳු නාරටිය නවා ඉදිරියට හිස බර කර දණිස් සමාන්තරව නවා මහ පොළවට මගේ අත් දෙකත් ළං කරවන සූක්ෂම යාන්ත්‍රණයකට හුරුවෙලා හිටියා. ඒ බොහොම නිරවද්‍ය ඉරියව් නිසාවෙන් මට ඕනම උසක සිට පහළට පැනීම ඉතාම සුළු දෙයක් වුණා. මට තිබ්බ එකම සංත්‍රාස අවස්ථාව වූයේ ගොඩනැගිල්ලක මුදුනේ දාරයක් දිගේ පහළ බලාගෙන සෙමෙන් සෙමෙන් ඇවිද ගොස් බිමට පැනීමට සුදුසු තැන සොයා ගත් පසු ක්‍රමාණුකූලව පහත් වී එහි දාරය අත් දෙකෙන් අල්ලාගෙන සිරුර පහතට ලම්බකව පිනුමට සුදුසු ආකාරයට සකස් කරගන්නා තුරු කාලය කළමනාකරණය කර ගැනීමයි. මගේ පිනුම වචනයේ අර්ථයෙන් නම් පිනුමක් නොවෙයි. ඒක හරියටම ගොඩනැගිල්ලේ මුහුණතක් දිගේ ඊට සමාන්තරව පහළට ගුරුත්වය යටතේ නිදහසේ වැටීමක් පමණයි. පිනුම තිබ්බේ අවසන් මොහොතෙදි කියලයි මට හිතෙන්නේ. ඒ ගැන ආයෙම කියන්න තරම් දෙයක් නෑ. හැම තිස්සෙම පහළට වැටෙමින් ගත වූ තත්පර කීපය හදවත කීරි ගැස්සුවා. පොළවට පතිත වුණාට පස්සේ දෙකකුල්වලින් ගිනි උණුසුමක් පිට වෙනවා වගේ මොහොතකට දැනෙනවා හැරෙන්න වෙන කිසිම අමුතු දෙයක් වුණේ නෑ.

හැබැයි මේ එකම පිම්මක්වත් මා පනිනවා කිසිවෙකුත් දැක්කේ නෑ. කොටින්ම මම බිමට පැන්න හැම ගොඩනැගිල්ලක්ම අත්හැර දමන ලද හෝ විනාශයට පත් වෙමින් මිනිස් ප්‍ර යෝජනයෙන් ඈත් කර තිබූ ගොඩනැගිලි. සමහර විට මා ඒ තෝරාගත් ගොඩනැගිලි පිහිටා තිබුණෙම මිනිස් වාසයෙන් තොර අත්හැර දමන ලද නාගරික පෙදෙස්වල. ඒවායේ මංමාවත් දිගේ පරණ කරදහි සුංබුං ද්‍රව්‍ය පෝස්ටර් වගේ දැන්වීම් නිතර සුළඟට ගසා යන ආකාරය මා ගොඩනැගිලි මුදුන්වල සිට පහත බැලූ සෑම විටෙකම දැක්ක.

මා අවසන් වරට පනින ලද පිම්ම නිරීක්ෂණය කරන්නට කිසිම ප්‍රාණියෙක් ඒ අවට නොසිටි බව මට හොඳටම මතකයි. ඒක ලා කුණු ලේ පාට ගොඩනැගිල්ලක්. ඒ ගොඩනැගිල්ලේ බිත්තිවල පාටටම හරියන විදියට හාත්පස තිබ්බෙත් ඝණ අඳුරු වැහිබර අහසක්. හැම දේකම තිබ්බේ වැඩි අඩුවෙන් අළු පාට. එහෙම නැත්නම් කුණු ලේ පාට. හිතාමතා ඇඳපු චිත්‍රයක් වගෙයි පසුබිම.


3. සිහිනයක කාලය

මම එකපාරටම ඇවිදිමින් හිටියා පළාතේ මට මතක ඇති කාලෙක ඉඳලම පත්තර බිස්නස්වලින්ම කෝටිපතියෙක් වුණ මගේ පියාගේ වයසේ ප්‍රසිද්ධ මුදලාලි කෙනෙක් එක්කල. අපි ඇවිදිමින් සිටියේ මීට වසර විස්සකට තිහකට පමණ පෙර අරක්කු වෙළඳාමෙන් ජීවිකාව ගත කළ මෙන්ඩිස් අයියගේ පරණ යකඩ බඩු කඩේ තිබ්බ භූමියේ. මැන්ඩිස් අයියා පොලිසියෙන් වටලපු දවසක අරක්කු එක්කලම අහුවෙලා ඒ කාලේ හැටියට උසාවි දැම්ම දවසේ රෑම ආයෙම ඇවිත් යකඩ බඩු කඩේට- එල්ලිලා මළා බාල්කෙක. පහුවදා මෙන්ඩිස් අයියගෙන් අරක්කු බීපු සේරම පාරිභෝගිකයෝ සුපුරුදු පරිදි යකඩ බඩු කඩේට වාර්තා කළේ මැන්ඩිස් අයියගේ අනපේක්ෂිත බාල්කයේ එල්ලෙමින් තිබ්බ දේහය දැක බලා ගන්නයි. ඒ සේරම වෙලා දැං අවුරුදු තිහකටත් වැඩියි.

දැං එතන සමතලා බිමක්. මැන්ඩිස් අයියාගෙ ගැඹුරු ළිඳ ඒ කාලේ කවුරුත් හවසට නාන්න ආව ළිඳ තිබ්බා ඒ පරණ දිය සෙවෙල් පරිසරයේ මුත්‍ර ගඳ වහනය වන වට පිටාවේ ඒ කාලේ තිබ්බ විදියටම. මොකද්දෝ වැටක් වගේ අලුත් දෙයකුත් ඒ අසලම තිබ්බා ඒක එච්චර මට පැහැදිලි නෑ. අපි ඒ පැතිරුණ භූමියේ එහාට මෙහාට ඇවිද්දා හරියට මමත් කෝටිපතියෙක් වගේ මුදලාලිව අනුකරණය කරමින්. වැරහැලි හැඳගත් ඒ කාලේ තරුණ බේබද්දෙක් වෙච්චි මතියස් අප්පු හඩු ගඳ ගහන සරම්මාල්ලක් ඇඳගෙන හිස කහමින් අපට මද දුරකින් බයාදු විදියට බලං ඉන්නව දැක්කා. දැං වයසට ගිහිං අසූවකටත් එහා ඇති මයේ හිතේ. එයා තමයි මේ මැන්ඩිස් අයියාගේ භූමියේ කෙළවර ඉතිරි වෙච්ච හරි හතරැස් ටකරං ගුබ්බෑයමේ දැං වාසය කරන්නේ හරියට පෙරේත පැටියෙක් වගේ. මට එක පාරටම මතක් වුණා ඒ කාලේ ඒ ගොල්ලෝ හවසට බීගෙන කුණු හබ්බ කියාගෙන පළාතම දෙවනත් කරං හිටි හැටි.

මුදලාලි හරිම සන්තෝෂෙන් මට ඒ භූමි භාගයේ තිබ්බ මායිම් පෙන්නන්න වුණා. මුදලාලි සුදු සරමක් ෂර්ට් එකක් ඇඳලයි හිටියේ.රත්තරං පාට ඔරලෝසුවෙ දිස්නෙ හැම තිස්සෙම මට පෙනුණා අත වනද්දි. මායිමෙන් එහා පැත්තේ ඉස්කෝලේ. මහ විසාල ගොඩනැගිලි පෙනුනා පන්තිකාමර වල එල්ලපු කාල සටහන් එක්කලම මම ඉන්න තැනටත් පේන තරමට. මුදලාලිට මේ නගරය මැද්දේ ඉතිරිව ඇති මේ ඉඩම් කෑල්ල මිළට ගන්න එක කජු කනවා වගේ සරල දෙයක් බව මම දැනං හිටියා. ඒත් මට මතක නෑ හරියටම මුදලාලි ද මම ද ඒ ඉඩම ගන්න යන්නේ කියලා. කොහොම වුණත් මුදලාලිගෙ හිතේ මටත් ඒ ඉඩම මිළ දී ගන්නට තරම් වත්කමක් ඇතිය කියලා එයාට හිතෙනවා ඇති කියලයි මට හිතුණේ. මමත් දහ අතේ කල්පනා කළා ඇයි මම මේ මගුල් ඉඩමක් බලන්න මේ කෝටිපති මුදලාලි එක්කල පෑහෙමින් මේ කරක් ගහන්නේ කියලා.

ඉඩම කෙළවරට වෙන්න තිබ්බ කොහොඹ ගහ අවුරුදු තිස් ගාණකට ඉස්සර තිබ්ච්ච තරමටම උසින් සමව තියෙනව දැක්ක මම වටපිට බලද්දී.

1 comment:

  1. සිහින තුනෙන් දෙවෙනි එක කියවද්දි දැනුනෙ දැනට අවුරුදු ගානක් ඉස්සරහ ගැන,ඒත් තුන්වෙනි කතාව අතීතය ගැන, ඒ කියන්නෙ පළමු කතාව වර්තමානය ගැනද..?

    ReplyDelete