විස්මලන්තයේ විස්කම්.


විස්මලන්තය පහුගිය වසර කීපය ඇතුලතදී ලෝක බලවතුන්ගේ ගොඩට ඇතුලත්වෙන්නට අවස්ථාව ලද රටක්.දන්නා කියන කාලෙක ඉඳන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් අතරට වී තිබුණත්,ඒ වෙමින් පැවතුන සංවර්ධනය,කිසිදවසකදී අවසන් නොවුණු රටවල් කීපයකින් එකක්වුන විස්මලන්තය පිළිබඳ වාර්ථා වැඩසටහනක් දකින්නට ලැබුනේ අහම්බෙන් වගේ.ඒ ලෝකයේ වැඩිම ප්රේක්ෂක ආකර්ශනයක් හිමි සන්නිවේදන ජාලය වන හෝල්ටන් නාලිකා සමූහයේ හෝල්ටන් නිවුස් නාලිකාවෙන්.

“සුදුස්සට හිමි යුතුවෙයි සුදුසු තැන” යන පැරණි විස්මලන්ත කියමන ආදර්ශ පාඨය කරගනිමින් රට දියුණුවේ හිනිපෙත්තට පත්වුන බවයි වැඩසටහනේ අදහස වුනේ.කොටින්ම කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී,අදාල පුද්ගලයන්ගේ අතීත රැකියාවන්ට සුදුසු ඇමතිකමක්ම ලබාදීම අනිවාර්යයෙන්ම සිදුවන කාරණාවක්. එකපිට එක සේවක වර්ජන පැවති අතීතයක් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත්තේ ඒ නිසයි.මේ රටේ නිතර ප්රවාහන සේවයේ වර්ජන පැවතියත් මේ වෙනකොට ඒ වර්ජන අතීතයට එකතු වී හමාරයි.පැරණි පුද්ගලික බස් රථ රියඳුරෙක් සහ වර්තමාන මහාපරිමාණ බස් හිමියෙක් වෙන මුතුවට්ටි ඇමතිතුමා මතු නොව තවත් රටේ බස් රථ හිමියෙක් වන වැව්ගම ඇමතිතුමා ඒ වර්ජනවිරහිත ප්‍රවාහන සේවය ගොඩනැගීමට මූලිකවුනා.ඔවුන්ගේ ප්රවාහනය ගොඩනැගීමේ මූලධර්මය වූයේ බස් හිමියන්ගේ මනසින් ප්‍රශ්නය දෙස බැලීම.විස්මලන්තයේ කිසිදිනෙක මගීන් වර්ජනය නොකරන බවත්,වර්ජනය කරන්නේ සේවා හිමියන් සහ සේවකයන් බවත් ප්‍රවාහන අමාත්යාංරශයේ වර්ජන හේතු සෙවීමේ ත්‍රී-පුද්ගල කමිටුව මගින් හෙලිදරව් කරගත්තේ හයමසක අසීරු අභ්‍යාසයක් අවසානයේ.

ඉඳින්,ඇමති දෙකට්ටුව නව මාර්ග බලපත් නිකුත් කිරීමේදී තමන්ගේ බස් වලට පමණක් ඒවා නිකුත්කිරීම,බස් ගාස්තු වැඩිකල යුතුයැයි වර්ජනය කිරීමට පෙරම ඒ වැඩිකිරීම වැනි සරල ක්‍රම යොදාගනිමින් ප්‍රවාහන සේවය මේ තත්වයට ගෙනවිත් තියනවා.පොඩි හෝ පරහක්ව පැවතියේ ඔවුන්ට පාලනය කිරීමට අපහසුවුන දුම්රිය සේවය පමණයි.එයද ප්‍රතිසංස්කරණය කරමින් දුම්රිය මාර්ග ,දුම්රිය ,දුම්රිය ස්ථාන ආදිය කොටස් වශයෙන් විවිධ ආයතන යටතට පවරමින් සිටින්නේ. ඒ කොටස් වශයෙන් ඇමති දෙකට්ටුවට සහ තම ඉහල සගයන්ට ඒවා මිලදීගැනීම පහසු කිරීමටයි.මේ ක්‍රියාවලිය අවසානයේ සම්පූර්ණයෙන්ම වර්ජන විරහිත ප්‍රවාහන සේවයක් රටේ ස්ථාපිත වෙනු ඇති.

ප්‍රායෝගික වශයෙන් ඇමතිතුමන් කෙතරම් තම විෂය පථයට අවධානය යොමුකරනවාද සහ මැදිහත්වෙනවාද යන්න විදහාපාන ඓතිහාසික සිදුවීමක් මෑතදී සිදුවුනා.ඒ කෝටි ගනනාවක වියදමින් නොබෝදා බස් හිමියන්ගේ අයිතියට පැවරූ බස් නැවතුමක යකඩ බට කිහිපයක් නිසා බස්වලට සෙනඟ පැටවීමට පැවති අවහිරතාවය එතුමාම මැදිහත්වී ,බට කපාදමා විසඳා දැමීම.මේ ආරංචිය කණ වැකුණු නාථ දෙවියන්ද සාදුකාර දුන් වග තමාට දැන්වූ බවයි,මේ වැඩසටහනට අදහස් දැක්වූ විස්මලන්ත විශ්ව විද්‍යාල ඇදුරෙක් වන දෙයිනලීන් මහතා පැවසූවේ.

රටේ හැම පුරවැසියාම මේ වෙද්දී නීතිය හා සාමය අකුරටම ආරක්ෂා කරමින් සිටින්නේ.ඒ නව නීතිය සහ අධිකරණ කටයුතු සම්බන්ධ ඇමතිවරයා වෙන ආචාර්යය පින්ගැමුණු ඇමතිතුමාගේ උදාර සංකල්පයන් වලට අනුකූලවයි.විස්මලන්තයේ අධිකරණ සියල්ල දැන් ක්‍රියාත්මක වන්නේ නෑ.පැරණි අධිකරණ ශාලා හෝටල් සහ නිවාඩු නිකේතන සඳහා යොදාගෙන තියනවා.යම් සිද්දියක්වූ මොහොතේම ඒ ස්ථානයේම නඩුව අසා තීන්දුව දීමට ඇමතිතුමා සහ ඔහුගේ පුහුණු සහචරයන් ගනනාවක් පැය 24 පුරාම රටේ සංචාරය කරමින් ඉන්නේ.වැරදිකරුවා සතියක් ලයිට් කණුවක බැඳ තැබීම,කසපහර දීම,කණ කැපීම ආදී “ඔන් ද ස්පොට්” දඬුවම් ක්‍රමයක් හඳුන්වාදීමේ සම්පූර්ණ පේටන්ට් අයිතිය හිමිව ඇත්තේ පින්ගැමුණු ඇමතිතුමාට.පවතින ආණ්ඩුව විවේචනය කිරීම,තමාට නොදන්වා තම බලප්‍රදේශයේ සිල්ලර කඩයක් පටන් ගැනීම වැනි වඩා දරුණු අපරාධ සඳහා ඒ මොහොතේම මරණ දණ්ඩනය ලබා දීමට මේ ඇමතිතුමාගේ ක්ෂණික විහිදුම් නඩුකාර හමුදාව පැකිලෙන්නේ නෑ.මේ ඇමතිකම ලබාදීමේදිත් ඔහුගේ පැරණි නඩු ඇසීමේ හැකියාව ආණ්ඩු බලධාරීන් විසින් තදින්ම සොයා බලා තිබෙනවා.

මේ අතිශය දූරදර්ශී කලමනාකරණය නිසයි විස්මලන්තය අද ලෝක බලවතුන් අතරට එක්වී සිටින්නේ.ඒ විස්මිත කලමනාකරණය නොබෝදා පිටරැටි බැංකු කීපයකින් රුපියල් කෝටි 1600 ක් පමණ ලබාගන්නට සමත්වුනා.ඒ ඇමතිවරයෙක් සහ තවත් පිරිස දුර දක්නා නුවණින් යුතුව ගැසූ “හෙජින්” නම්වූ ගිවිසුමක් හේතුවෙන්.

මේ වෙනකොට ඇමරිකාව ඇතුලු බටහිට රටවල් මේ මහා සංවර්ධනයේ රහස් සොයා ගැනීම සඳහා විස්මලන්තයට චරපුරුෂයන් එවමින් සිටින බවයි හෝර්ටන් නාලිකාවට මේ වැඩසටහන නිෂ්පාදනය කල සුදලියගොඩ මහතා පවසන්නේ.වතුර පිරවීමෙන් පසු වරායේ ගල් කැඩීම සහ කඳු වලින් වටවූ ගුවන් තොටුපොලක් ඉදිකිරීමෙන් අනතුරුව ,ගුවන් යානා ගොඩ බැස්සවීමට වටේ කඳු කැපීම වැනි අධිතාක්ශනික කාරණාවන් මේ චරපුරුශයින් අධ්‍යයනය කරමින් සිටින බව සැලයි.තවදුරටත් ඔවුන් සොයාගෙන ඇත්තේ බටහිර රටවලින් විවිධ දොල පිදේනි ලබාදෙමින් මේ “ආර්ථික වර්ධකයන්” බිලීබා ගැනීමේ උත්සහයක්ද ඇති බව. මේ සියලු කාරණා සලකාබලා විස්මලන්ත ආණ්ඩු බලධාරීන් රටවල් සංවර්ධනය පිලිබඳ විශේෂ උපාධියක් සුමනවීර බණ්ඩා අන්තර්ජාතික විශ්වවිද්‍යාලයේදී ආරම්භ කිරීමට තීරණයකර තියෙනවා.ඉතින් විස්මලන්ත වාසීන්ට නොබෝ දිනකින්ම මේ පාඨමාලාව හැදෑරීමට විස්මලන්තයට පැමිණෙන බටහිර ප්‍රබල රටවල මුදල් ඇමතිවරුන්,බැංකු අධිපතිවරුන් වැනි පිරිස දැකබලාගන්නට ඉඩහසර ලැබෙනු ඇති.

6 thoughts on “විස්මලන්තයේ විස්කම්.

  1. හි හි …… විස්මලන්තයේ උපාධී මාලාවන්ට සහභාගි වෙන්න හිතාන ඇස්කිමෝ වරුත් A/C එහෙම ඇඳුමටම හයි කරගෙන ලක ලැසිති වෙනවලු

  2. විස්මලන්තයේ තාක්ෂණ දියුණුව අනාගතයේ ජලයෙන් රථවාහන ධාවනය දක්වා ව්‍යාප්ත වෙනවා.දැනටමත් ජල-පෙට්‍රල් මිශ්‍රණයකින් වාහන ධාවනය කර අත්හදාබැලීම් කර තිබෙනවා.

  3. ලාකික අන්තර් ජාතික විශ්ව විද්යාලයේ නවතම පාඨමාලා රාශියක් හඳුන්වාදීමට යයි.
    පාර්ලිමේන්තුවට යාමේ අති නූතන ක්‍රමවේද සහ දේශීය තාක්ශනය
    පීෂා කුලුන මෙන් ඇලවු පාලම් තැනීමේ තාක්ශනය
    වට මේස සාකච්චා ක්‍රමවේද සහ තාක්ශනය
    බුදු දහම, නව අසපු සංකල්ප, බුදුරැස් විහිදවීමේ තාක්ශනය
    අලි සහ කොටි සංරක්ශනය
    යකඩ ඇනවලට ඔරොත්තු දෙන ගෘහ සේවිකාවන් නිපදවීමේ තාක්ශනය සහ පුරුශාදිපත්යේ නව ඉසවු
    ආසනික් වැනි විශද්‍රව්යවල විස නසන දේශීය, නූතන දෙවි තාක්ශනය
    ………………..
    ……………..

ගල්ද මල්ද සමසිතින් පිළිගනිමී. වාරණ නොමැත.