Monday, January 25, 2010

ධම්මට පිළිතුරක්: "හබරළ කොළයෙන් විළි වසා ලන්නට තැනීම" (නැවත පළ කිරීමක්)

[මෙම ලිපිය නැවත පළ කිරීමක් බව කරුණාවෙන් සැලකුව මැනව෴]


පසුගිය සතියේ ධම්ම දිසානායක විසින් දිවයින පුවත්පතට ලිපියක් සපයමින් "මහින්ද දිනවිය යුතු ද? විපක්ෂය පැරදවිය යුතු ද?" යනුවෙන් සමාජ කථිකාවකට එළැඹුණි. හෙතෙම මේ ලිපිය ආර්ම්භ කරන්නේ, විපක්ෂය පරදා මහින්ද දිනවිය යුතු යි යන ප්‍රස්තුතය පෙර දැරි කොට, කරුණු ගොණු කරමින් ය. එහිදී, ලිපිය සඳහා අතිරේක බරක් හා ආධිපත්‍යක් ඇති ‍කිරීමට "විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයක උගන්වන ගුරුවරයෙක්‌ විදියට මම එහෙම කියන්නේ ඇයි" වගන්තිය ද යොදයි.


ඔහු ස්වකීය ස්ථාවරය සඳහා කරණු ගෙන හැර පෑම සඳහා ව්‍යාජ ලෙස නිර්පාර්ෂික සහ වාස්තිවික ලෙස සාධක කෙරෙහි අවධානය යොමු කළ යුතු බව දැක්වීමට මෙසේ කියයි:


"මම කිසිම දේශපාලන පක්‍ෂයක සාමාජිකයෙක්‌ නොවේ. යම් කිසි දේශපාලන පක්‌ෂයක සාමාජිකත්වය ලබාගැනීමේ බලාපොරොත්තුවක්‌ ද නැත. එහෙත් මටත් දේශපාලන දැක්‌මක්‌ තිබෙනවා. ඒ නිසා අපේ රට ජාතිය මුහුණ දෙන තීරණාත්මක දේශපාලන, ආර්ථික, සමාජ සංස්‌කෘතික කාරණාවලදී පැත්තකට වෙලා භාවනා කිරීමේ පුරුද්දක්‌ මට නැහැ. ඒ වගේම අපේ රටේ ජනතාව වෙනුවෙන් මැදිහත්විය යුතු තීරණාත්මක මොහොතවල්වලදී අපි කරපු මැදිහත්වීම්වල ප්‍රතිඵල ඉතාම සාධනීයයි."


හෙතෙම, 1994දී චන්ද්‍රිකා ආණ්ඩුව බලයට පත් කිරීමට දායක වූ බව පුරාජෙරු දෙඩිමක් ද කර යි. පාන් ගෙඩිය 3.50කට දෙන පොරොන්දුව කරපින්නා බලයට පත් වූ චන්ද්‍රිකා ආණ්ඩුව කළ හදිය සහ කොටින් සඳහා උතුරු නැගෙනහිර සන්ධාන ගත කරන පිණිසත්, ශ්‍රී මහා බෝධියේ සිට දළදා මාළිඟා ප්‍රහාරය දක්වාත්, අලිමංකඩ සිට සියලු ම හමුදා කදවුරු අහිමි කර ගනිමින් හමුදා ජීවිත 5,000 පමණ විනාශ කිරීමට පාදක වූ රෙජිම බලයට පත් කිරීම පිණිස ඔහුට විළි ලැජ්ජාවක් නැති. ප්‍රසිද්ධ දේශන අවස්ථාවන්හි දී, චන්ද්‍රීකා අණ්ඩුව පට්ට ගැසූ ධම්ම නැවතත් නිර්ලැජ්ජිත ලෙස මුල් මැදිහත් වීම පිළිබඳ පුරාජෙරු දොඩ යි.


හෙතෙම ස්වකීය නොමග යෑම පිළිබඳ දුක් වෙනවාට වඩා එය සාධාරණිය කරනය කරනුයේ එක්සත් ජාතික පක්ෂයේ වැරදි හා අවුරුදු 17ක දෝෂ ඉස්මතු කරමින් ය. එලෙස හයෙන පහක බලවත් නොමනා පාලනයක් ඇති වීම සඳහා වාමාශික කැඳ හවුලේ 1970-1977 කාලයේ ක්‍රියා කලාපය සංදර්භයෙන් ලොප් කොට ඇත.


1994 ඇති වූ ජනතා හැරීමට මූලික වූ කරුණ වුයේ වන්ද්‍රිකා එවකට පියකරු කන්තාවක් වීම සහ ප්‍රේමදාසගේ ඝාතන රැල්ල යි. ප්‍රේමදාස රෙජිම විසින් තමුන්ට අභියෝගයක් විය හැකි ලලිත්, ගාමිණි, විජය වැනි දේශපාලන නායකයන්ගේ දිවි තොර කරන ලදි. එනයින් ඇති වූ රික්තකය ප්‍රේමදාසගේ ප්‍රචණ්ඩත්වය හා ජන්ද මංකොල්ල නැමති සාධකය ඉවත් වූ විට 60% ඡන්ද ප්‍රතිශතයක් ලැබිණ. එහෙත් අවසාන ප්‍රතිපලය කුමක් ද? ප්‍රේමදාස විසින් ගෙනෙන ලද සිඝ්‍ර ආර්ථික වර්ධනය ක්‍රමයෙන් පහතට වැටී අවසානයේ නිසල නැවතුමකට වැටිණ. දැන් ආර්ථිකය අධික අවපාතයකට පත්ව ඇති අතර සුනාමි ආධාර වලින් ලැබූ විදේශිය මුල්‍යයන් හේතුවෙන් යන්තමින් නියෙන් දතින් ලංකා ආර්ථිකය එල්ලී පවති.


ඔහු එදා පැවති පාලනය මෙසේ විග්‍රහ කරයි:


"එජාපය පරාජය වෙනකොට ඔවුන් ගියේ යන යකා කොරහක්‌ බිඳගෙන ගියා වගේ. අපේ රටේ ආර්ථිකය මුළුමනින්ම විජාතික කඩපොළක්‌ බවට පත්කරලා අපේ ජන සමාජය බඩගෝස්‌තරවාදී පරිභෝජනවාදී අන්තවාදී පුද්ගලිකත්වයකට තල්ලු කරලා. ජාතික සංස්‌කෘතිය මුළුමණින්ම විනාශ කරලා. අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය වලපල්ලට යවලා. රාජ්‍ය දේපළ විකුණලා, මුළුමනින්ම රාජ්‍යයේ ස්‌වාධීනත්වය හා අභිමානය විදේශවලට යටපත් කරලා. 94 ආපු ආණ්‌ඩුවට ඒවා යළි සකස්‌ කරන්න බැරිවුණා. හැබැයි මරණය වෙනුවට ජීවිතය තරුණ අපිට ලබාදුන්නා ඒ ඇති."


අද තත්ත්වය මේ සඳහන් කරන සදහන් කිරීමෙන් වෙනස් වන්නේ කෙසේ ද? ගත වූ අවුරුදු 15 තුළ ධම්ම දක්වන ක්ෂේත්‍රයන්ගේ ඇති වූ වර්ධනය වරක් ද? පිළිතුර කිසිත් නැත. ක්‍රමයෙන් තත්ත්වය අසාධ්‍ය වනු මිස, අනෙක් සියලු අහේතුන්ට නිදහසට කරුණ ලෙස යුද්ධය පෙන්වා මහජනතාව රවටා ඇත.


කෘත්‍රීම ලෙස ජන මතය වෙනස් කිරීම සඳහා ඇමති, නියෝජ්‍ය ඇමතිකම් නැමති පගා දී, මහින්ද සුවිශාල කැබිනට් හා නොන් කැබිනට් ඇමති මණ්ඩලයක් ද, සුරාගෙන ගසා කන්නෝ රොත්තක් ද වට කොට ගත් මහින්ද හට කළ හැකි සංවර්ධනයක් නැත. බලය රදාවා ගැනීමේ කෲරතර පාපකර්මයේ යෙදෙන විට ඒ සඳහා බර පැන ගෙවිය යුත්තේ මහජනතාව යි; අනාගත පරපුර යි.


ස්වල්ප දෙනෙකුගේ සැප විහරණය සඳහා ලංකා මාතාවගේ අනාගතය උකස් කරමින් සිටින මහින්ද රෙජිම, විධායක ජනපති බලය භාවිත කරමින් අධිකරණය හා ඡන්ද කොමසාරිස් වෙත ද අනියම් බලපෑම් කරනු ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රධාන ස්ථම්භයන් වන අධිකරනය හා විව්‍යස්ථාදායකය හෙවත් පාර්ලිමෙන්තුවට ඍජු ව මහින්ද මැදිගත් වී බලය රැක ගැනීම පිණිස බලපෑම් කර ඇත. පගාදී විපක්ෂයේ මහජන නියෝජිතයන් බිළි බා ගනිමින් ව්‍යවස්ථාදායකයට ජනපති ගේ අදුරු සෙවනැල්ලට නතු කර ගත්තේ ය. එලෙසින් ම, අධිරණය විසින් දුන් තීරණ වන හෙජින් ගිවිසුම හා ඛණිජ තෙල් මිළ අඩුකිරීමේ සිට, ඡන්ද කොමසාරිස්ගේ නියෝජිතයා ඉවත් කර ගැනීම දක්වා කළ ස්වාධින ආයතන විධායක ජනපතිගේ ඇඟිලි ගැසිම, තවත් වරක් බලයට පැමිණි විට අති විශාල ලෙස කරනු ඇත.


රාජ්‍යයේ මැදිහත් වීමෙන් මුදා හරින ප්‍රචණ්ඩත්වය හා මිනිසුන් නිකරුනේ හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීම්, දේශ‍ද්‍රෝහි ලේබල අලවා ජීවිත අනතුරු හෙළිම ආදී සාකල්‍යවිධ ත්‍රස්තවාදය මුදා හැරීම සඳහා මහින්ද රෙජිම වගකිව යුතු ය. මේ ක්‍රියාවන් දක්වන්නේ ඉදිරියේ දී ඇති විය හැකි ඒකාධිපති පාලනයක පෙරනිමිති ය. එදාට ධම්ම තක්බිර් වනු නියත ය.


ධම්ම ස්වකීය ලිපිය නිම කරන්නේ මෙසේ ය:


"දැන් මාස 7 ක්‌ 8 ක්‌ තිස්‌සේ බයක්‌ සැකක්‌ නැතිව සිංහල, දෙමළ මුස්‌ලිම් අපි නිදහසේ ජීවත් වෙනවා. මේක දැක්‌කම සමහර විදේශ රටවල්වලටත් මේ රටේ සමහරුන්ටත් හරිම අමාරුයි. කොටින්ගේ දේශපාලන අංශය වන දෙමළ ජාතික සන්ධානයත් සහෝදර සමාගම් වන මනෝ ගනේෂන්ලත්, හකීම්ලත්, මංගලලත් කොටින්ට ජීවනාලිය දෙන රනිල්ලත් එකතුවෙලා මේ කරන්න යන්නේ නැවතත් මේ රට මහා වාචකයකට ගෙනයැම මිසක්‌ වෙන දෙයක්‌ නොවේ. එක අතකට අඩු වැඩි වශයෙන් මේ රටේ ජනයා ඝාතනය කරපු එජාපය, කොටි සංවිධානය ජවිපෙ කණ්‌ඩායම සහ ඒවට අනුබල දෙන ගනේෂන්ලා හකීම්ලා මංගලලා එකට එකතුවීම පුදුමයක්‌ නොවේ. මේ හවුලේ අරමුණ අනාගත ලංකාවේ දේශපාලන ආර්ථික සමාජ අර්බුද ඇතිකොට ඉන් අසරණ වන ජනයාගේ මිනී කඳු මත නව බලලෝභී වෛරී දේශපාලනයේ සව්දිය පිරීමයි.


ඉතින් මේ මහා භීෂක පක්‍ෂ හවුලට එරෙහිවී අප දිනාගත් නිදහස පරෙස්‌සම් කරගැනීම සහ තහවුරු කරගැනීම අපේ වගකීමක්‌. අපිට වගේම අපේ දරුවන්ට ජීවිතය අවශ්‍යයි. මරණයට එරෙහිව ජීවිතය දිනවමු. මේ මොහොතේ ජීවිතය යනු මහින්දයි. ඔබට සුබ අනාගතයක්‌."


ධම්ම දක්වන සාමය මනෝමූල හා මනෝරජ්‍යක සාමයක් මිස, සැබෑ සාමයක් නොවේ. ප්‍රතිවාදින් හා ප්‍රති අදහස් නො ඉවසන, ඔවුන්ගේ රැකියාවන්, ජීවනෝපායන්, ජීවිත අහිමි කරන තත්ත්වයක, මාධ්‍ය නිදහස හිරගෙට හා පොරකයට යවා ඇති යුගයක, දෙමළ මිනිසෙකුට නිදහසේ පාරේ තොටේ යා නොහැකි, ධීවරයකුට රෑ ස්වකීය රැකියාවට යා නොහැකි නම්, දහස් ගණනක් තව ම අනාථ කදවුරුවල ගාල් වී ඇත්තම් ධම්ම කතා කරන සාමය කොහි ද?


ඉදිරියේ ස්වකීය විධායක ජනපති බලතල යොදා ගනිමින් ව්‍යවස්ථාදායක පාර්ලිමෙන්තුවේ බල තුලනය වෙනස් කළ, අධිකරණය හැල්ලුවකට ලක් කර, විධායක ජනපති ධූරය අහෝසි කරන බව බොරු පවසා තවත් වරක් විධායක ජනපති ධූරය සඳහා ඉල්ලන මහින්ද හා ඔහුගේ සහචර පිරිස අනාගතයේ භිෂක හවුලක් නොවන බවට ඇති තක්සේරුව කුමක් ද? ධම්මගේ මේ කතිතාව අනාගත පරපුර අදුරේ හෙළන ස්වකීය ශාස්ත්‍රීය දැනුම හා කතිකාරචාර්ය ධූරය නැමති හබරළ කොළයෙන් විළි වසා ලන්ට තනන ධම්මගේ මෘග්ධ ව්‍යයාමයකි.


ස්වකීට ජනපති ධූරයේ තවත් වසර දෙකක නිල කාලයක් ඉතිරි ව ඇති විටක, මහින්ද ජනපති වරණයක් කැඳවූයේ මහජනතාවට ඇති ‍ස්නේහයෙන් හෝ සත්ත්ව කරුණාවෙන් නොව, ආත්ම ලෝභයෙන් හා බලලෝභයෙන් ස්වකීය බලය තහවුරු කර ගැනීමේ අවසාන තුරුම්පුව ලෙසින් ය.


මේ නම් දක්වන්නේ මහින්දයේ ඇති බල උම්මාදයේ ඉහමොළ යෑමේ රෝග ලක්ෂණය යි. මෙයින් ඉදිරියට රඟ දැක්වෙන්නේ, විධායක උමතු මිලිටරවාදී, බල උම්මාදි විධායක ජනපතිගේ භිෂණ ජවනිකාව යි. තව වසර හයක දී, මේරට අන්ත දූගීත්වයකට පත් වීම මෙවැනි නායකයකුගේ පුරෝගාමිත්වයෙන් සිඳු නොවුන හොත් එය අරුමයකි. මහින්දගේ අවසාන ධූර කාලයෙ දී, පසුගිය කාලය හා සසඳන විට, නැවත ජනපති වීමට අවස්ථාවක් නොමැති නිසාවෙන් , විය හැකි අනතුර මහත් විශාල ය.


දෛවයේ අනාගත වෙනසක් සිඳු නොවුන හොත්, මේ මොදූ වන විධායකයේ අදුරු සෙවනැල්ල ලංකා දේශය මත වැටී, මුළු ලංකාව ම අන්ධකාරය පත් කරන කාලය වැඩි ඈතක නොවේ.



මුල් ලිපිය සඳහා ලැබුණු ප්‍රතිචාර:


Ramachandra said...

වයස්ගත වනවිට කොන්ද පන නැති වෙලා ලොකු තැන් වලට වාරු වෙන රැඩිකල් පොරවල් වලට හොද උදාහරන කිහිපයක් මෑතකදී දකින්න ලැබුනා.ජැක්සන් ඇන්තනි ගාවට ආපු අනිත් උදාහරනය ධම්ම දිසානායක.මේ විශ්ව විද්‍යාල ආචාර්වයවරයා වසර කිහිපයකට ඉහත වාමාංශික පාඨ මහත් බරක් ඇතිව ( සමහරවිට අති වාමාංශික විදිහට පවා) උච්චාරනය කල හැටි අපිට මතකයි.
මේ වගේ ව්‍යාජ රැඩිකලුන් දැකීමට තව තවත් වාසනාව උදාවේවා!


No comments:

Post a Comment

Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...